ක්‍රිස්තු වර්ෂ 69 – 96 යන කාලසීමාව තුළ බටහිර රෝමයේ බලය ව්‍යාප්ත කළ ෆ්ලේවියන් රාජවාංශිකයන් සුප්‍රසිද්ධ කොලෝසියම ඉදි කිරීමට මූලික අඩිතාලම දැමුවා. රෝමය මූලික කරගෙන ඉදි කළ මෙම සුවිසල් නිර්මාණය, ’ඇම්ෆිතියටර්’ (ග්‍රීක භාෂාවෙන් “දෙපස” යන අර්ථය දෙන, විශාල අර්ධ වෘත්තාකාර එළිමහන් ක්‍රීඩාගාරය) යනුවෙන් ද හඳුන්වනවා.
මීට අමතර ව, ෆ්ලේවියන් ඇම්ෆිතියටර් – ‘Flavian Amphitheatre’ යන අන්වර්ථ නාමයකිනුත් කොලෝසියම් ක්‍රීඩාගාරය හඳුන්වනවා. ගල්, කොන්ක්‍රීට් සහ ටෆ් ( ගිනිකඳු පිපිරීමකදී වාතයෙන් බාහිර පරිසරයට පිටවන ගිනිකඳු අළුවලින් සෑදෙන පාෂාණයක්) යනාදිය කොලෝසියම් ක්‍රීඩාගාරය ගොඩ නැංවීමට ප්‍රධාන වශයෙන් යොදා ගැනුණා.
එකවර ප්‍රේක්ෂකයන් 50,000 ක් රඳවා ගැනීමේ හැකියාව
ඉලිප්සාකාර හැඩයක් ගන්නා කොලෝසියම තට්ටු හතරක (මහල් හතරක) උසකින් සමන්විත වනවා. එය අඩි 620 x 513 (මීටර් 189 x 156) ක ප්‍රමාණයකින් සමන්විත වන අතර එකවර ප්‍රේක්ෂකයන් 50,000 ක් රඳවා ගැනීමේ හැකියාව ද කොලෝසියම් ක්‍රීඩාගාරයට පවතිනවා. ත්‍රාසජනක ග්ලැඩියේටර් සටන් ( රෝම අධිරාජ්‍යයේ කොලෝසියම් ප්‍රේක්ෂකයන් සතුටු කළ සන්නද්ධ සටන්) ඇතුළු උද්වේගකර ක්‍රීඩා රැසක් පුරාණයේ මෙහි පැවැත්වූ බවට සාධක හමු ව තිබෙනවා.
කොලෝසියම – ඉදි කිරීම් ආරම්භය
ක්‍රිස්තු වර්ෂ 70 සිට 72 දක්වා කාලය තුළ රෝමය පාලනය කළ වෙස්පේසියන් අධිරාජ්‍යයාගේ මූලිකත්වයෙන් කොලෝසියමේ ඉදිකිරීම් ආරම්භ වූවා. මෙලෙස ඉදිකිරීම් ආරම්භ වූ කොලෝසියමේ සියලු වැඩ කටයුතු නිම වූයේ ක්‍රිස්තු වර්ෂ 82 දී එවක රෝම අධිරාජ්‍යයා වූ ඩොමිටියන් ගේ පාලන කාලයේදී යි. මෙම ක්‍රීඩාගාරය ගොඩනැංවීමට යුදෙව් ශ්‍රමය ද යොදා ගත් බව පුරාණ පොත පතේ සඳහන් වනවා.
කොලෝසියමේ බිඳ වැටීම
බටහිර රෝම අධිරාජ්‍යය ඇද වැටීමෙන් පසු කොලෝසියම් ක්‍රීඩාගාරය ද බරපතල බිඳ වැටීමකට ලක් වනවා. 15 වන ශතවර්ෂයේ අගභාගය පමණ වන විට, VI වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා කොලෝසියම ගල්වලක් ලෙස භාවිත කිරීමට පවා අවසර ලබා දී තිබෙනවා. මෙලෙස වසර දහස් ගණනක් නොසලකා හැර තිබී 90 දශකයේ පමණ රාජ්‍ය අරමුදල් යොදා ගනිමින් කොලෝසියම් ක්‍රීඩාගාරයේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයක් ආරම්භ වූවා.
කොලෝසියම් සිමෙන්ති
සුවිසල් කොලෝසියම ඉදිකිරීමට භාවිත කළ සිමෙන්ති, ගොඩනැඟිලි ඉදිකිරීමට වර්තමානයේ යොදා ගන්නා සිමෙන්තිවලට සාපේක්ෂ ව දිගු කලක් පවතින බව පර්යේෂණ මඟින් සනාථ කර තිබෙනවා.
එවැනි පර්යේෂණයක සඳහන් වන්නේ කොලෝසියම් ක්‍රීඩාගාරය ගොඩනැංවූ කොන්ක්‍රීට් සන්ධිවලට පොරවක් වැනි තියුණු ආයුධයකින් පුද්ගලයෙක් පහර දුන්න ද කුඩා බොරළු කැබැල්ලකවත් ගරා වැටීමකින් තොරව පොරව ආපසු ඉවතට පනින බවත්, එම පුද්ගලයා ම නැවත නැවතත් කොන්ක්‍රීට් සන්ධිවලට පහර දුනහොත් එහි තරමක ඉරිතැලීමක් දැකගත හැකි වන බවත් ය.
පර්යේෂණයේ අද්භූත සංසිද්ධිය
ඉහත පර්යේෂණයේ දැක ගත හැකි අද්භූත සංසිද්ධිය ලෙස, සති දෙකකට පසුව කොන්ක්‍රීට් සන්ධියෙහි වන ඉරිතැලීම ඉබේ ම වැසී යන අයුරු දැක්විය හැකි යි. පොරෝ පහර වැදුණු කොන්ක්‍රීට් ඉරිතැල්ම වාතයට නිරාවරණය වී පසුව එම ඉරිතැලුණු පෙදෙස් එකිනෙක යා වීමක් එහිදී සිදුවනවා.
1960 ගණන්වල සිට ම නොයෙකුත් ගොඩනැඟිලි පර්යේෂකයන් රෝමානු ගොඩනැඟිලිවල කොන්ක්‍රීට් ව්‍යුහය කෙතරම් හොඳින් අධ්‍යයනය කළත් එම අද්භූත සංසිද්ධිය පිටුපස තිබෙන රහස හෙළි වූයේ මෑත කාලයේ දී යි.
පසුගිය ජනවාරි මස මුල ඉතාලි, ස්විට්සර්ලන්ත සහ එක්සත් ජනපද විශ්ව විද්‍යාල රෝමානු සිමෙන්ති පිළිබඳ ඒකාබද්ධ ව සිදු කළ නවතම අධ්‍යයනයක දී මේ බව සොයා ගැනුණා. එහි ඇතුළත් කරුණු කිහිපයකි මේ.
පුරාණ රෝම ගොඩනැඟිලි දිගුකලක් නොනැසී පැවතීමට හේතුපාදක වූ විශේෂ අමුද්‍රව්‍යයක් එකල පැවතියා. ‘කුයික් ලයිම් ’ – (Quick Lime) හෙවත් කැල්සියම් ඔක්සයිඩ්, වනාහි මෙම විශේෂ අමුද්‍රව්‍යය යි. කාලයාගේ ඇවෑමෙන්, ස්වභාවික උවදුරුවලට ඔරොත්තු දෙන රෝම ගොඩනැඟිලි සෑදීමට මුල් වූ ප්‍රධාන ඉදිකිරීම් සංඝටකය ද මෙය (Quick Lime) බව ඉහත අධ්‍යයනය පෙන්වා දෙනවා.
Quick Lime හෙවත් කැල්සියම් ඔක්සයිඩ්
කුයික් ලයිම්, එසේත් නැතිනම් කැල්සියම් ඔක්සයිඩ්, කාමර උෂ්ණත්වයේ සුදු පැහැ, ස්ඵටිකරූපී ඝන ක්ෂාරීය රසායනිකයක්. රෝමන්වරුන් තම ගොඩනැඟිලි ශක්තිමත් ව ඉදි කිරීමට විඛාදන ගුණාංග සහිත මෙවැනි අමුද්‍රව්‍ය බහුලව යොදා ගෙන තිබෙනවා.
රෝමවරුන් ඉතාලි නේපල්ස් බොක්ක අසලින් කුයික් ලයිම්, එසේත් නැතිනම් කැල්සියම් ඔක්සයිඩ් සෘජුව ම ලබා ගෙන තිබුණා. කුයික් ලයිම්වල අඩංගු කාබන් ඩයොක්සයිඩ් ඉවත් කළ ඔවුන්, එය ජලයේ බහා පසුව ‘කුයික් ලයිම් පේස්ට්’ සකසා ගෙන තිබුණා.
සාමාන්‍ය කොන්ක්‍රීට්වලට සාපේක්ෂව රෝම කොන්ක්‍රීට් කල් පැවතීමට හේතු වනුයේ ඒ සඳහා ඉතා පිරිසුදු බොරළු භාවිත කර තිබීම යි. රෝමන්වරුන් මෙම කොන්ක්‍රීට් මිශ්‍රණය හොඳින් බන්ධනය වීමට ජලය සමඟ ‘ Cold Lime ‘(ගොඩනැඟිල්ලක් ඇතුළත ආර්ද්‍රතාවය ස්ථාවර කිරීමටත්, ඇතුළත පරිසරය වඩාත් සුවපහසු වීමට සහ තෙතමනය අවශෝෂණය කර මුදා හැරීමටත් උපකාර වන අමුද්‍රව්‍යයක්) මිශ්‍ර කළ බව සඳහන්.
ගොඩනැඟිලි ඉදි කිරීමට ප්‍රථම මෙම කුයික් ලයිම් – Quick Lime සය මසක් පමණ ජලයේ තබා ගත යුතු බව සුප්‍රසිද්ධ රෝමානු ගෘහ නිර්මාණ ශිල්පී ‘ විටෘවියස් ‘ (Vitruvius) සිය ග්‍රන්ථයක ලියා තිබෙනවා.
රෝමන් කොන්ක්‍රීට්
ඉතාලි, ස්විට්සර්ලන්ත සහ එක්සත් ජනපද විශ්ව විද්‍යාල මෑතදී සිදු කළ ඒකාබද්ධ අධ්‍යයනය තවදුරටත් පෙන්වා දෙන්නේ පුරාණ රෝම ඉංජිනේරුවන් සාම්ප්‍රදායික බොරළු සහ හුණු මිශ්‍රණයට කුයික් ලයිම් – (Quick Lime) එකතු කළ බව යි.
බොහෝ රෝම ගොඩනැඟිලිවල කල්පැවැත්ම තීරණය කළ සාධකය කුයික් ලයිම් (Quick Lime) වන අතර ම එම ගොඩනැඟිලි ඉදිකිරීමට සාපේක්ෂ වශයෙන් අඩු කලක් ගතව තිබෙන බවත් එහි සඳහන් වනවා. Quick Lime සාමාන්‍යය කොන්ක්‍රීට් දැඩි කිරීමටත්, මිශ්‍රණය ශක්තිමත් වීමටත් බෙහෙවින් උපකාර වන රසායනිකයක්.
වාතයට නිරාවරණය වූ Quick Lime එයට යහපත් ප්‍රතිචාර දක්වනවා. ගොඩනැඟිල්ලක් ඉදිකර සියවස් ගණනාවක් ගතවුවත් ගොඩනැඟිල්ලක හට ගන්නා සියුම් ඉරිතැලීම් එකිනෙකට යා වීමට Quick Lime සතු ඉහත ගුණාංගය හේතු වනවා. Quick Lime පරිසර හිතකාමී සංයෝගයක් බවත් මේ වන විට පිළිගැනෙනවා.
කොලෝසියම ඇතුළු රෝම ගොඩනැඟිලි රාශියක් ශක්තිමත් ව නිමවීමට මෙම Quick Lime මිශ්‍රණය බෙහෙවින් උපකාර වූවා.
නවීන සිමෙන්ති සහ රෝමන් කොන්ක්‍රීට්
රෝම ශිෂ්ටාචාරයේ ප්‍රෞඪත්වය දිගුකල් පැවතීමට රෝම කොන්ක්‍රීට් කදිම නිදසුනක් සපයන බවත්, එමඟින් නූතන රෝම ඉදිකිරීම් ක්‍රමවල විප්ලවීය වෙනසක් සිදු වීමට හැකි වූ බවත් අග්නිදිග ස්පාඤ්ඤයේ රෝමානු පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂිකා Carmen Martínez පවසනවා.
විශාල කැණීමකට පවා රෝම කොන්ක්‍රීට් කැබැල්ලක් එකවර ඉවත් කිරීමට නොහැකි බව Carmen Martínez වැඩිදුරටත් පවසා සිටියා.
තාක්‍ෂණ කෙතරම් දියුණු වුවත්, නවීන කොන්ක්‍රීට් රෝම කොන්ක්‍රීට් වලට සාපේක්ෂ ව දුර්වල වීමට හේතු කිහිපයක් බලපානවා.
පුරාණ රෝම වැසියන් රසායන විද්‍යාව ගැඹුරුව නොදැන සිටියත් මොවුන් යම් කිසි දෙයක් සම්බන්ධ ව සිදු කළ නිරන්තර අත්හදා බැලීම් ඔවුන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන ම හේතුව වූවා.
කල් පවතින රෝම සිමෙන්ති නවීන ඉදිකිරීම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට බෙහෙවින් දායක වනු ඇති බව මේ වන විට සොයාගෙන තිබෙනවා. ඵලදායී හා ස්ථාවර රෝම රාජ්‍යයක් බිහිකිරීමට ද රෝමානු කොන්ක්‍රීට් දායකවී තිබුණා.
රෝමන් කොන්ක්‍රීට් වර්ණනා
රෝමානු සිමෙන්ති නවීන සිමෙන්තිවලට සාපේක්ෂ ව හොඳ යැයි පිළිගන්නේ ඉතිහාසඥයන් පමණක් ම නොවෙයි.
ගෘහ නිර්මාණ ශිල්පී ඇල්ෆොන්සෝ බැරන් පවසන්නේ රෝම කොන්ක්‍රීට් වසර ගණනාවක් පුරාවට දැඩි ව පවතින බව යි.
කාලයාගේ ඇවෑමෙන් රෝම කොන්ක්‍රීට් නැවතත් හුණුගල් බවට පරිවර්තනය වී නිරන්තරව ම ශක්තිමත් වනවා. තාක්ෂණය දියුණු වුවත් 19 වන සියවසේ සිට භාවිත වන නූතන සිමෙන්ති කල් යත් ම ක්‍රම ක්‍රමයෙන් දිරාපත් වී දුර්වල වීමට පටන් ගන්නවා.