වසර 76 කට වරක් පෘථිවියට පෙනෙන හේලිගේ ධූමකේතුව

වල්ගා තරුවක්, නැති නම් ධූමකේතුවක් කියන්නේ දකින්නට ඉතාම ප්‍රිය උපදවන දෙයක්. රෑ ආකාසයේ එළිය විහිදුවමින් ඇදී යන මේ ධූමකේතු වල වතගොත ගැන වර්තමානය වන විට බොහෝ දෙනා දැනුවත්ව සිටියත්, අතීතයේ මේවා පිළිබඳව මිනිසුන්ට තිබුනෙ බිය මුසුවුණු අද්භූත හැඟීමක්. ඉන්දියානු හා ශ්‍රී ලාංකීය නැකත්කරුවන් පවා මේවා දර්ශනය වීම හැඳින්වූවේ ඉතා අවාසනාවන්ත සිදුවීමක පෙරනිමිත්තක් හැටියටයි.

වල්ගා තරුවක් හෝ ධූමකේතුවක් යනු සරලවම අභ්‍යාවකාශයේ ඇති,  සූර්යයා වටා කක්ෂයක ගමන් කරන සමහර ග්‍රාහක කැබලියි. මේවායේ විශේෂත්වය මේවා දුහුවිලි හා අයිස් අංශු වලින් සෑදී තිබීමයි. ග්‍රහලෝක මෙන් නොව ඉතාම අසමාකාර ඉලිප්සයක් වන මේවායේ ගමන් පථ වල එක් වටයක් සම්පූර්ණ කිරීමට මේවාට වසර කිහිපයක සිට වසර මිලියන ගණනක් ගත විය හැකියි. සූර්යයාට ආසන්න වන විට වල්ගා තරුවක ඇති අයිස් දිය වීම නිසා විවිධ වායු වර්ග නිකුත් වීමත්, සූර්ය සුළඟට හසු වී මේවායේ දුහුවිලි අංශු එහි මධ්‍යයෙන් ඉවතට වල්ගයක් සේ විහිදී යාමත් නිසා මේවා ඉතා අලංකාර කේතු හැඩයකින් අහසේ දිස් වනවා.

අලංකාර ධූමකේතුවක්-Dominic Cantin

පෘථිවියට නැවත නැවත දර්ශනය වන සමහර වල්ගා තරු එක් වරක් දර්ශනය වූ පසු නැවත දර්ශනය වීමට සමහර විට වසර දහස් ගණනක් ගත වෙනවා. ඒ නිසා මිනිසෙකුගේ ජීවිත කාලය තුළදී එක් වරක් හෝ ඒවා දැකගැනීම උගහටයි. ඒ කෙසේ නමුත් ලොව පුරා ජනප්‍රියම වල්ගා තරුවක් වන ‘හේලිගේ’ වල්ගාතරුව නම් උපරිම වශයෙන් සිය ජීවිත කාලය තුළදී දෙවරක් දැක ගැනීමේ භාග්‍යය සමහර මිනිසුන්ට ලැබෙනවා. ඒ, එය වසර 76 ක් වැනි කාලයක් තුලදී සිය කක්ෂය එක් වරක් සම්පූර්ණ කරන නිසායි. 1986 අවසන් වරට දිස් වුණු මේ ධූමකේතුව ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට පාඨක ඔබ අතරින් බොහෝ දෙනා සැදී පැහැදී සිටින නිසා ඒ ගැන වැදගත් තොරතුරු කිහිපයක් ගෙන එන්නට අපි තීරණය කළා.

ධූමකේතුව නාමකරණය

එඩ්මන් හේලි-thefamouspeople.com

හේලිගේ ධූමකේතුව නම් කර ඇත්තේ මෙය නිසියාකාරව අධ්‍යනය කර නැවත දිස් වන කාල වකවානු නිසි ලෙස ප්‍රකාශ කළ බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු වන එඩ්මන් හේලිට කරන ගෞරවයක් වශයෙනුයි. ක්‍රි.ව 1682 හේලිගේ වල්ගාතරුව දර්ශනය වූ පසු එය මීට කලින් 1531 හා 1607 වසර වල දර්ශනය වූ වල්ගා තාරුවම විය හැකි බව අනුමානය කළ ඔහු වැඩිදුර පරීක්ෂණ සිදුකර එයට අනෙක් ග්‍රහලෝක මෙන්ම සූර්යයා වටා කක්ෂ්‍යක් ඇති බවත් එහි වටයක් සම්පූර්ණයෙන් ගමන් කිරීමට වසර 76 ක කාලයක් ගතවන බවත් නිර්ණය කළා. මේ අනුව ඔහු 1758 වසරේ නැවත එම ධූමකේතුව නිරීක්ෂණය වනු ඇති බවට අනාවැකියක් ප්‍රකාශ කළා. කෙසේ නමුත් 1742 වසරේදී හේලි මියගිය අතර ඔහු අනුමාන කළ ලෙසම 1758 වසරේදී වල්ගාතරුව දර්ශනය වුණා. පසු කාලීනව මෙය ‘හේලි ගේ’ වල්ගාතාරුව ලෙස නම් කරනු ලැබුවා. (1)

සූර්යයාගෙන් පිහිටා ඇති දුර

හේලිගේ වල්ගාතරුවේ ගමන් පථය (සුදු පැහැයෙන්) -drewexmachina.com

වල්ගා තරුවක කක්ෂය ඉතා ඉලිප්සීය එකක් මෙන්ම ඉතා දැඩි ලෙස විටෙක සූර්යායාට ළංවන හා තවත් විටෙක ඈත් වන පරිදි සැකසුණු එකක් වෙනවා. හේලිගේ වල්ගාතරුව සූර්යයාගෙන් ඈතින්ම පිහිටන විට එය අභ්‍යාවකාශ ඒකක 35ක් තරම් හිරුගෙන් දුරස්ව පිහිටන අතර එයට ඉතාම ආසන්න වන විට අභ්‍යාවකාශ ඒකක 0.57 ක් දක්වා හිරුට ආසන්න වනවා. මේ අනුව සිකුරු ග්‍රහයාට වඩා හේලිගේ වල්ගා තරුව හිරුට ආසන්න වනවා. (1)

හේලිගේ වල්ගාතරුව ගැන මුල්ම වාර්තා

වල්ගාතරුවක් ගැන සටහන් වී ඇති බැබිලෝනියාවේ මැටි පුවරු Gavin Collins/commons.wikimedia.org

ක්‍රි.පූ 240 දී චීන ජාතික තාරකා විද්‍යාඥයින් විසින් නැඟෙනහිර සිට උතුරට ඇදී ගිය වල්ගාතරුවක් ගැන සටහන් කර තිබෙනවා. ඉන් පසු ක්‍රි.පූ 164 හෙවත් හරියටම වසර 76 කට පසු බැබිලෝනියාවේ මැටි පුවරු දෙකක එවැනිම වල්ගාතරුවක් ගැන සටහන් වී තිබෙනවා. තවම තහවුරු කර නැතත් එම සටහන් දෙකම හේලිගේ වල්ගාතරුව දර්ශනය වීම ගැන කළ ඒවා බවට වර්තමාන ඉතිහාසඥයින් මත පළ කරනවා. (2)

බෙත්ලෙහෙමේ තරුව හා හේලිගේ වල්ගා තරුව

බෙත්ලෙහෙම් තරුව දැක්වෙන ග්‍රැෆික් නිර්මාණයක්-theastrologypodcast.com

හේලිගේ වල්ගාතරුව පිළිබඳ විද්‍යාඥයින්ගේ හා ජනතාවගේ උනන්දුව වැඩී ආ සමයේ සමහරක් දෙනා ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය ලද දින දර්ශනය වුණු ‘බෙත්ලෙහෙමේ තරුව’ ලෙස දර්ශනය වූයේත් හේලිගේ වල්ගාතරුවම බවට මත ප්‍රකාශ කළා. කෙසේ නමුත් ගණනය කිරීම් වලින් අනතුරුව ක්‍රිස්තු උප්පත්තියට ආසන්නවම එය දර්ශනය වී ඇත්තේ ක්‍රි.පූ 12 දී බවත්, තවත් පැරණි වාර්තා පරීක්ෂා කිරීමේදී ක්‍රි.පූ 5 දී හෝ ආසන්න කාලයක තවත් වෙනත් වල්ගාතරුවක් වැනි යමක් පෘථිවියට දර්ශනය වී ඇති බවත් සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකි වුණා. දෙවනුව සඳහන් කළ වස්තුව දින 70ක් පමණ දැඩි චලනයකින් තොරව අහසේ එකම ස්ථානයක දර්ශනය වී ඇති අතර බෙත්ලෙහෙම් තරුවද චලනය වූ බවක් සඳහන් නොවන නිසා එය මේ ග්‍රහ වස්තුව විය හැකි බව විද්වතුන් පවසනවා. (1)

හේලිගේ වල්ගාතරුවේ වේගය

හේලිගේ වල්ගාතරුව සෞරග්‍රහමණ්ඩලය තුළ පෘථිවියට සාපේක්ෂව ඉහළම ප්‍රවේගය ඇති ග්‍රහ වස්තුව වෙනවා. මේ වල්ගාතරුව සාමාන්‍යයෙන් සූර්යයා වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක ගමන්ගන්නා දිශාවට විරුද්ධ දිශාවට ගමන් කරනවා. මේ හේතුව නිසා පෘථිවියට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 70.56 ක සාපේක්ෂ ප්‍රවේගයකින් 1910 වසරේදී හේලිගේ වල්ගාතරුව  ගමන් කර තිබෙනවා. මෙය පැයට කිලෝමීටර 254,016 ක තරම් අති විශාල ප්‍රවේගයක්. (2)

මාක් ට්වේන් හා හේලිගේ වල්ගාතරුව

මාර්ක් ට්වේන් -cmgww.com

ප්‍රසිද්ධ ගත්කරු මාර්ක් ට්වේන් උප්පත්තිය ලැබුවේ 1835 වසරේ නොවැම්බර් මස 30 වනදායි. එනම් ඒ වසරේ හේලිගේ වල්ගාතරුව දර්ශනය වී සති දෙකකට පසුවයි. පසු කලෙක ඔහු නැවත හේලිගේ වල්ගාතරුව දර්ශනය වන විට මියයාම යෙහෙකි යැයි පවසා තිබුණා. ක්‍රි.ව 1910 අප්‍රේල් මස ඔහු මියගිය අතර ඒ හරියටම හේලිගේ වල්ගාතරුව එම වසරේ දර්ශනය වන්නට පටන්ගත් දිනට පසු දිනයි. (1)

හේලිගේ වල්ගාතරුවේ හැඩය

හේලිගේ වල්ගාතරුවේ න්‍යෂ්ඨිය රටකජු ගෙඩියක හැඩය ගන්නා අතර දිගින් කිලෝමීටර 15 ක් හා පළලින් කිලෝමීටර 8 ක් පමණ වනවා. (1)

හේලිගේ ධූමකේතුව අවසන් වරට දර්ශනය වුණේ 1986 දීයි. පැවති වැසිබර කාලගුණය නිසා එකල එම සිදුවීම නැරඹීමට සිටි ඔබ ඇතැමෙක්ට එය නරඹන්නට නොහැකි වන්නට ඇති. මෙම ධූමකේතුව නැවතත් දර්ශනය වන්නේ 2061 වසරේ දීයි.

කවරයේ පින්තූරය-Lambert/Getty Images

මූලාශ්‍ර

  1. tenfactsabout.co.uk
  2. astronomytrek.com

Related Articles

Exit mobile version