ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර 1300ක් නැගෙනහිර දෙසට වන්නට වර්ග කිලෝමීටර 8400ක විශාලත්වයෙන් යුතු නෙත්කළු දිවයින් කීපයකි. ඒ දූපත් මණ්ඩලයෙන් කිලෝමීටර 600කට එපිට අග්නිදිග ආසියානු ගොඩබිම් කිහිපයකි, ඉන්දුනීසියානු, සුමාත්‍රාව, තායිලන්තයේ පුකට් දිවයින සහ මියන්මාරය (බුරුමය) එම රටවල් කිහිපයයි. මේ අන්දමන් නිකොබාර් දූපත් සමූහයෙහි අයිතිවාසිකම ඇත්තේ ඉන්දියාවටයි.
මේ අන්දමන් දූපත්හි අපූරු ගෝත්‍රික ජනතාවක් වාසය කරති. ඔවුන් විද්‍යාඥයින්ට එදා පටන්ම ප්රශ්ණකාරී වූ පුරුකක් වූයේය. ඉන්දුනීසියානු තායිලන්ත වැසියෝ කහපැහැති සම ඇත්තෝය. දක්ෂිණ ඉන්දියාවේ සහ ලංකාවේ කළුවන් සම ඇති පුද්ගලයින් වාසය කලද අන්දමන් ගෝත්‍රිකයෝ තරම් අපේ අය කළු නොවේ. මේ අන්දමන් නිකොබාර් දූපත් වාසීන් සමේ වර්ණයෙන් වත් ශරීර හැඩයෙන් වත් ඒ වටාපිටාවේ වූ ගොඩබිම් එකක වත් ජනතාව හා සමපාත නොවේ.
ගෝත්රිකයින්ගේ වෙනස්කම
ජරාවා,මහා අන්දමන්, ඔන්ගෙ, සෙන්ටිනලිස් යන දැනට ඉතිරිව ඇති ගෝත්‍ර 4ම ජනතාව අප්‍රිකානුවන්ට වඩා සමීප හැඩහුරුකමක් පෙන්වති. ඔවුන්ගේ උස අඩි 4කි. තද කළුවන් සම ඇත්තේය. අප්‍රිකානුවන්ට මෙන් කැරළි වූ කොන්ඩා ඇත්තේය.1990 දී ඉන්දියානුවන් විසින් ජරාවා ගෝත්‍රිකයින් වාසය කරන මහා වනය මැදින් පාරක් හදන්නට පළමුව ජරාවා ගෝත්‍රිකයෝ නිරුවතින්ම වාසය කලෝය. ඔවුන් ඇදුම් වෙනුවට විවිධ ආභරණ සහ මඩ වලින් සිරුරේ රටා නිර්මාණය කොට ගත්තෝය.
ජානමය අතින් සැලකූ කල අප්‍රිකානුවන්ට වඩාත් සමීප වූ ජානමය පසුබිමක් මෙම අන්දමන් නිකොබාර් දූපත් හි ආදිවාසීන්ට ඇත්තේය. ලෝකයේ වෙන කිසියම්ම ස්ථානයක භාවිතා නොකරන භාෂාවක්ද ජරාවා ගෝත්‍රිකයින්ට උරුම වේ. ජීව විද්‍යාත්මක සාධක අනුව ගත්කල ජරාවා ගෝත්‍රිකයෝ අප්‍රිකානු ජනයාට වඩාත් සමීප වෙති.
ගෝත්‍රිකයින් ආවේ කොහෙන්ද?
මිනිසාගේ මුල්ම මුතුන් මිත්තන් වාසය කලේ අප්‍රිකාවේ බව පිළිගත් මතයකි. ඒ අනුව අප්‍රිකාවේ සිට යුරෝපයට සහ ආසියාවට මිනිසුන් සංක්‍රමණය වී ඒ ඒ පලාත්වලට ගැලපෙන පරිදි සිරුරේ හැඩය වෙනස් කරගන්නා ලදී. මේ වසර දහස් ගනනක කාල ප්‍රාන්තරය තුල නිවර්ථන පරිසරයට වඩාත් උචිත ලෙස නිර්මාණය වූ කළු පැහැ මිටි අප්‍රිකානුවන්ට වඩා කුඩා ඇස් ඇති චීන්නුද විශාල සිරුරැති යුරෝපීයන්ද වඩාත් වෙනස් ලෙස ඒ ඒ පරිසරයන්ට අනුවර්ථනය විය. වර්ථමානයේද පෙර සිට පැවත එන අප්‍රිකානුවන්ට වඩා වඩාත් දේශගුණික පාරිසරික හැල හැප්පීම් වලට බදුන් වූ යුරෝපීයයන්ගේ සහ ආසියාතිකයින්ගේ හිස්කබලේ ප්‍රමාණයද අප්‍රිකානුවන්ට වඩා මදක් විශාලය.
ජරාවා සහ අන්දමන් දූපත් වාසීන්ද මීට අවුරුදු සිය ගණනකට පෙර සිටි ඉන්දුනීසියා තායිලන්ත ආදී රටවල ආදිවාසීන්ද අවුරුදු 60,000කට එපිට අන්දමන් නිකොබාර් සහ ඒ අවට නිවර්ථන බිම් කරා සංක්‍රමණය වන්නට ඇත. මුහුදු මට්ටම මේ කාලයට වඩා මීටර සියයකටත් වඩා අඩුවූ එකල විශාල මහද්වීප අතර සංක්‍රමණයට ගොඩබිම් මාර්ග තිබෙන්නට ඇත. අන්දමන් නිකොබාර් සහ අග්නිදිග ආසියාතික රටවල ඇති සමකාසන්න දේශගුණය නිසා ඔවුන් කලුවට සහ මිටියට අවුරුදු දහස් ගනනාවක් තිස්සේ පැවත එන්නට ඇත.
සියලුම ක්ෂේත්‍ර වලින් සිය ඉන්දීය ආසියානු අභිමානයම උලුප්පන්නට හදන ඉන්දීය විද්‍යාඥයෝ කිහිප දෙනෙක් මානවයා මුලින්ම පහල වූයේ අප්‍රිකාවේ නොව ආසියාවේ මේ දූපත් ආසන්නයේ විය හැකි බවට අමුතු මතයක් ගෙන හැර පාති. එහෙත් හමු වී ඇති පුරාවිද්‍යා භූගෝලීය, ෆොසිලමය සාධක රාශියක් අනුව මානව ඉතිහාසයේ මුල් පරිච්ඡේද හිමි වන්නේ අප්‍රිකාවටය.
ගෝත්‍රික සිරිත් විරිත්
2004 වර්ශයේදී ශ්‍රී ලංකාවටද දැඩි බලපෑමක් එල්ල වූ සුනාමි භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටියේ අන්දමන් නිකොබාර් දූපත් මාලාවේ සිට කිලෝමීටර 500ක් තරම් නුදුරෙනි. එම අවස්ථාව පිළිබද වසර දහස් ගනනක් තිස්සේ දූපත් වාසී වූ මොවුන් ස්වභාවිකවම ඉවෙන් මෙන් එම උවදුර අදුනාගෙන එම අවස්ථාවහිදී වෙරළබඩ තිබූ තම බඩු බාහිරාදියට රැගෙන දූපත්හි උස් මුදුන් කරා පියමැන්නේය. එනිසා සුනාමි උවදුරින් මෙම දූපත් හී ආදිවාසින්ට හානි වූයේ ඉතා සුළු වශයෙනි. මෙම ආදිවාසීන් ස්වභාවයෙන්ම සිය දඩයම් කටයුතු සහ ජීවින ක්‍රියාකාරකම් මුහුද ආශ්‍රිතව සිදු කලද නිවාස ආදිය තනනු ලබන්නේ වඩාත් දූපත අභ්‍යන්තරයට වන්නටය.
මේ අන්දමන් නිකොබාර් දූපත් මාලාවෙහිම දූපතක ඕනෑම තැනක සිට කිලෝමීටර කිහිපයක් ගිය තැන මුහුද හමු වේ. එබැවින් මෙම ගෝත්‍රික ජනයා මුහුද හා ගනුදෙනුවට විශේෂයෙන් අනුවර්ථනය වී ඇත්තේය. ඔවුන්ගෙන් ඔන්ගෙ ගෝත්‍රිකයෝ සුවිසල් කොට ආයුධ වලින් සාරා කුඩා ඔරු තනාගනිති. ඇතැම් ගෝත්‍රිකයෝ නොගැඹුරු මුහුදේ කරක් ගසමින් මසුන් සොයා හෙල්ලයෙන් එල්ලය බලා පහරදී මසුන් මරති.
මිනිසුන් පමණක් නොව මෙම අන්දමන් නිකොබාර් දූපත් වාසී අලි ඇතුන්ද නොගැඹුරු මුහුදේ පිහිනා ගොස් මුහුදු පැලෑටි ආහාරයට එක් කරගෙන සිය ජීවිතය පරිසයට අනුරූපව පවත්වා ගනී. දූපත් වලට ආවේනික ඌරන් සහ කුරුල්ලන්ද මෙම ගෝත්‍රිකයෝ ආහාරයට ගනිති.
“අපි ඉස්සර දඩයමක් කරගෙන කාල අහක්වෙලා හැන්දෑවට පිරිස එකතු වෙලා ගිනිමැලයක් වටේ ඉදන් අපේ භාෂාවෙන් සින්දු කියමින් නටමින් බොහොම සන්තෝෂයෙන් ජීවත් වුනා. අපිට ඒ ඇති. ඒ අපේ ජීවිතය“ . එක් ජරාවා ගෝත්‍රිකයෙක් සිය පෙර ජීවිතය ගැන එසේ ප්‍රකාශ කොට තිබුනි.
සභ්‍ය මිනිසුන්ගේ අසභ්‍ය විනාශය
පොදු පිළිගැනීම වන්නේ ගෝත්‍රිකයින්ට වඩා අපි වැනි මිනිසුන් වඩාත් දියුණු සහ සභ්‍යත්වයෙන් හෙබි පුද්ගලයෝය යන්නය. නමුත් අන්දමන් නිකොබාර් ආදිවාසී ගෝත්‍රික ජනතාවට නූතන මානවයාගෙන් අත් වූයේ ගැහැටම පමණි. 1850 වන විට මහා අන්දමානු ගෝත්‍රිකයෝ 5000කට අධික ප්‍රමාණයක් අන්දමන් දිවයිනේ වාසය කලෝය. නමුත් යුරෝපීයයන් විසින් අන්දමන් දිවයින් අත්පත් කරගැනීම නිසා ඔවුන් බුරුතු පිටින් මියැදෙන්නට පටන් ගත්තෝය.
සාමාන්‍ය මනුෂ්‍ය වාසයෙන් බොහෝ කලක් හුදකලාව සිටි මෙම මිනිසුන්ට නිව්මෝනියාව, මැලේරියාව, සෙම් රෝග, සමේ රෝග, ලිංගික රෝග ආදී බොහෝ දේ ආගන්තුකය. පැමිණි ශිෂ්ඨ මිනිසුන් ගේ අශික්ඛිත ලෙඩ රෝග මේ හුදකලා දූපත් වාසීන්ට බෝ වන්නට විය. ඒවාට ඔවුන්ගේ ප්‍රතිශක්තිය මද බැවින් ඉක්මනින්ම මිනිසුන් තොග ගනනේ මිය යන්නට විය.
සෙන්ටිනලිස් යනු කුඩා දූපතක වාසය කරන දූපත් වාසී ගෝත්‍රික පිරිසකි. ඔවුන්ගේ මුහුදු වෙරළ ආසන්නයට ගොස් ධීවර කර්මාන්තයේ නිරත වන්නට ගිය ඉන්දියානුවන්ව සැන්ටිනලිස් ගෝත්‍රිකයින් මිතුරන් ලෙස දැක්කේ නැත. ඔවුන් දුනු ඊතල වලින් විද ඒ ආගන්තුක ධිවරයෝ දෙදෙනා ඝාතනය කලෝය. එය අපරාධයක් ලෙස සැලකිය හැකි වුවත් නූතන ලෝකයෙන් ඈත් වී වසන ඔවුන්ගේ මායිම් වලට රිංගන්නට උත්සාහ කිරීම බුද්ධිමත් නූතන මානවයින්ට කිසිසේත්ම නොගැලපෙන ක්‍රියාවකි.
වර්තමානයේ අන්දමන් දූපතේ දෙකෙළවර යාකරන මහා මාර්ගයක් 1990 දශකයේදී ඉන්දියාව විසින් ඉදිකර තිබේ. නීති පොත් හී කවර කාරණා සදහන් වුවද යුරෝපීය යුගවලදී පවා අන් ලොවෙන් සැගවී සිටි ජරාවා ගෝත්‍රිකයෝ ඉන්දියානුවන්ගේ නොයෙකුත් වධ බන්ධනයන්ට ලක් වෙති. ඒ අතර සීනි සහ ඇල්කොහොල් මධ්‍යසාර, සහ සාමාන්‍ය ආහාර ගෝත්‍රිකයින්ට හුරු කිරීම, ගෝත්‍රික ස්ත්‍රීන් බලෙන් නැටුම් කරා පෙළඹවීම, ගෝත්‍රික තරුණියන්ට හා කාන්තාවන්ට ලිංගික හිංසා කිරීම වැනි පහත් ක්‍රියාද ඇතුලත්ය.
ලංකාවේ හෝ මාලදිවයින් වෙරළ තරම් ඉන්දියාවේ වෙරළබඩ පරිසර ලස්සන නැත. එබැවින් මහා ගොඩබිමින් නික්මෙන මධ්‍යම පාන්තික ඉන්දියානුවෝ අන්දමන් නිකොබාර් දූපත් කරා එළැඹ සතුන් නරඹන්නාක් මෙන් ගෝත්‍රික ජනයා නරඹමින් මුහුදු වෙරලේ විවේක ගනිති. දැඩි ආගමික භක්තිකයින් වූ ඇතැම් ඉන්දියානුවන් දැන් ගෝත්‍රිකයින්ට විදුලි පන්දම්, රෙදි පෙරදි, දී මුදල් භාවිතයද හුරු කර ඔවුන් විනාස මුඛය කරා ගෙන විත් තිබේ.
රැකගත යුත්තේ ඇයි?
සාරවත් වූ වෙරළබඩ පරිසරයෙන් තමුන්ගේ ජීවිතයට අවැසි සියලු දේම ලබාගෙන ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ වලින් සපිරි මනරම් ජීවිතයක් අන්දමන් දිවයින් වාසී ආදීවාසී ජනතාව ගෙන ගියෝය. ඔවුන්ගේ සංස්කෘතියේ ඇතැම් ලක්ෂණ අපට ආගන්තුක විය හැකිය. නමුත් ඔවුන්ට ඒ ජීවන රටාව ගෙනයෑමට හිමිකමක් මනුෂ්‍යයින් වශයෙන් තිබිය යුතුය.