Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙන්ඩින් යන්ත්‍ර – Vending Machine

පසුගිය දිනවල සමාජ ජාලා අවකාශය තුල උපත් පාලන කොපු (Condoms) ලබා ගැනීමේ හැකියාව සහිතව ලංකාවේ නිර්මාණය කරන ලද වෙන්ඩින් යන්ත්‍ර ගැන​ දැඩි කතා බහක් නිර්මාණය වී තිබුණා. අපි අද ඔබට තොරතුරු ගෙන්න යන්නේ වෙන්ඩින් යන්ත්‍ර පිළිබඳවයි.

මොනවා ද මේ වෙන්ඩින්  යන්ත්‍ර ?

යම්කිසි මුල්‍යමය වටිනාකමක් සහිත දෙයක් ඇතුලත් කල විට එයට සමාන වටිනාකමකින් යුතු භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාවක් ඇති ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර මේ නමින් හඳුන්වනවා.

ඉතිහාසය

ලොව පළමු වෙන්ඩින් යන්ත්‍රය පිළිබඳව සාක්ෂිය හමුවෙන්නේ මීට වසර 2000කට පෙර ග්‍රීසියෙනි. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ජීවත් වූ ග්‍රීක ජාතික​ ගණිතඥයකු වූ අලෙක්සැන්ඩ්‍රියාහි හීරෝ විසින් ලොව මුල්ම වෙන්ඩින් යන්ත්‍රය නිපදවා තිබෙනවා. හීරෝ සළකනු ලබන්නේ නව නිපැයුම්කරුවකු,විද්‍යාඥයකු හා ගණිතඥයකු ලෙසයි.

ගණිතඥයකු වූ  හීරෝ හා ඔහුගේ වෙන්ඩින් යන්ත්‍රය – (www.famous-mathematicians.com)

ඔහු විසින් නිර්මාණය කරන ලද ලොව ප්‍රථම වෙන්ඩින් යන්ත්‍රය ක්‍රියාත්මක වී ඇත්තේ කාසි දැමු විට භාණ්ඩය එන ක්‍රමයටයි. එය අදටත් ලොව ක්‍රියාත්මක වෙන ක්‍රමයක් වෙනවා. නමුත් එය මගින් අද පවතින ලෙස භාණ්ඩ නම් ලබා ගැනීමේ හැකියාවක් තිබී නෑ. නියමිත අගයට මුදල ඇතුලත් කල විට, යන්ත්‍රයේ ඉහළ කටෙන් ලබා ගැනීමේ හැකියාව තිබී ඇත්තේ ශුද්ධවූ ජලයයි. එම ජලය දේවස්ථාන වල වන්දනා කටයුතු වලට භාවිතයට යොදා ගැනුණා.

මෙය ක්‍රියාත්මක වී තිබුණේ අපූරු ක්‍රමයකටයි. කාසිය දැමූ පසු එය මගින් ලිවර පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඉන්පසුව එය මගින් ශුද්ධවූ ජලය භාජනයට වැටෙනවා. පසුව​ ඒ කාසිය එම ලිවර පද්ධතියෙන් (කාසිය ලිස්සා ගොස්) ඉවත් වී නැවත යන්ත්‍රය යථා තත්ත්වයට පැමිණ ශුද්ධ වූ ජලය පැමිණීම නතර වෙනවා.  

මෙම යන්ත්‍රය නිසා දේවස්ථාන වලට මුදල් ලැබීමත් බැතිමතුන්ට වන්දනාව පහසු වීමත් සිදුව තිබුණා. එමෙන්ම මෙය මගින් ඔහු සතුව යන්ත්‍ර කෙරෙහි තිබු දැනුම් සම්භාරයත් ඉස්මතු වී තිබුණා.

ඉන්පසුව 1615 කාලයේදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම වෙනුවෙන් එංගලන්තයේ මෙවැනි යන්ත්‍ර භාවිතා වුණා. 1822 දී පුවත්පත් ගැනීම වෙනුවෙන් පොත්හල් හිමිකරුවෙකු වූ රිචඩ් කාලයිල් වෙන්ඩින් යන්ත්‍රයක් නිර්මාණය කර තිබුණා. 1867 ලොව පළමු පුර්ණ ස්වයංක්‍රීය වෙන්ඩින් යන්ත්‍රය නිර්මාණය වුණා.

අතීතයේ තිබූ වෙන්ඩින් යන්ත්‍ර කිහිපයක් (staticflickr.com)

කාසි මගින් ක්‍රියාකරන වෙන්ඩින් මැෂින්

එංගලන්තයේ ලන්ඩන් නුවර මුලින්ම කාසි මගින් ක්‍රියාකරන වෙන්ඩින් යන්ත්‍ර හඳුන්වා දී තිබෙනවා.  ඒ 1880 ගණන් වල මුල් කාලයේදීයි. ඒවා දුම්රිය ස්ථාන හා තැපැල් කාර්යාල ආශ්‍රිතව ඉදි වූ අතර ඒවා වල ලියුම් කවර, තැපැල් පත් වැනි දෑ මිල දී ගැනීමේ හැකියාව තිබී තිබෙනවා. එය 1883 දී නිර්මාණය කර තිබුණේ පර්සිවල් එවරිට් (Percival Everitt) නම් අයෙකු විසිනුයි.

1888 දී එක්සත් ජනපදයේ මුල්ම වෙන්ඩින් යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ තෝමස් ඇඩම්ස් නම් චුවින්ගම් සමාගමක් විසිනුයි. ඒ නිව් යෝක් නුවරදීයි. ටුටි-ෆ්රුටි නම් චුවින්ගම් වර්ගයක් මෙහි දී අලෙවි කර තිබුණා.

ක්‍රියාකාරිත්වය

මෙම යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය තරමක් සංකීර්ණ එකක් වෙනවා. මෙම යන්ත්‍ර වලින් එක් නිෂ්පාදනයක් හෝ නිෂ්පාදන කිහිපයක් මිලදී ගත හැකියි. එමෙන්ම මේ හරහා ගනුදෙනු කිරීමට කාසි, නෝට්ටු හෝ විද්‍යුත් මුදල් භාවිතා කල හැකි වනවා. මෙහිදී කාසි වල ප්‍රමාණය හඳුනා ගන්නා අතර, මුදල් නෝට්ටු යන්ත්‍රය විසින් කියවනු ලබනවා. මෙම යන්ත්‍ර එකිනෙකට සුළු සුළු වෙනස්කම් කිහිපයකින් යුතු වෙනවා. නමුත් පොදුවේ කාසි හඳුනාගැනීම සිදු වන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මගින් කාසියේ ඝනත්වය හා විෂ්කම්භය හඳුනාගැනීමෙනුයි. නෝට්ටු ලේසර් කිරණ මගින් පරිලෝකනය (Scan) කර යන්ත්‍රයට සවි කරන ලද කුඩා පරිඝනකයක් මගින් එම නෝට්ටු කියවනු ලබනවා. ඉන්පසු යන්ත්‍රය එම මුල්‍යමය අගයන් ගණනය කරනු ලබනවා. පසුව පාරිභෝගිකයාට භාණ්ඩය තෝරා ගැනීමේ අවස්ථාව සලසා දෙනවා. එම භාණ්ඩය පිළිබඳව ඔහුගේ තෝරා ගැනීම ගැන​ ඉලෙක්ට්‍රොනික පාලන පුවරුවක් හරහා ගොස් එම භාණ්ඩය ඔහුට ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඉන්පසුව භාණ්ඩයේ මිලෙන් ඔහු ඇතුලත් කරන ලද මුදල අඩුකර ඉතුරු මුදල්ද පාරිභෝගිකයාට ලබා ගැනීමේ හැකියාවක් ද ලැබෙනවා. මෙවැනි යන්ත්‍ර වල මුදල් සාමාන්‍යයෙන් දෛනිකව, සතිපතා හෝ මාසිකව එකතු කරනු ලබනවා.

වර්තමානය හා අනාගතය

ආහාර වර්ග, පාන වර්ග හා සිගරැට් වර්ග වෙන්ඩින් යන්ත්‍ර වල වැඩිපුරම මිලදී ගැනීම හැකියාවක් පවතිනවා. මෙම යන්ත්‍ර 2006 වසර වනවිට විශාල පෙරළියකට ලක් වෙනවා. ඒ ණයපත් (Credit Card) මගින් ගෙවීම් කර භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. එයින් වසර 10ක් යන තැන එය ලොව පුරාම වෙන්ඩින් යන්ත්‍ර වලට ඇතුලත් වුණා. අද වනවිට වෙන්ඩින් යන්ත්‍රවලින් ලබා ගත හැකි ඒවා සමහරක් ඒවා අතරට ලොතරැයි ටිකට් පත්, පොත්, ඉලෙක්ට්‍රොනික උපාංග, i-pad,ජංගම දුරකථන, ඩිජිටල් කැමරා, පරිඝනක, උණුසුම් කෑම, උපත් පාලන කොපු, හා රථ වාහනත් අයත් වෙනවා. 2016 දී සිංගප්පූරුවේ ඔටෝබාන් මෝටර් රථ අලෙවි කිරීමේ සමාගම වෙන්ඩින් යන්ත්‍ර වලින් රථ වාහන අලෙවි කිරීම ආරම්භ කළා. ගැනුම්කරුවන්ට ණයපත් මගින් ගණුදෙනු කර මෙම සේවාව ලබා ගැනීමේ හැකියාවක් ලැබුණු අතර ලැම්බෝගිනි හා ෆෙරාරි වාහන මෙසේ අලෙවි කෙරුණා.

කාර් මිලදී ගතහැකි වෙන්ඩින් යන්ත්‍රයක් (businesswire.com)

අනාගතයේදී වෙන්ඩින් යන්ත්‍ර මුදල් රහිත ගෙවීම් ක්‍රම සහිතව නිර්මාණය වෙතැයි අපේක්ෂා වෙනවා. ඒ මුහුණ, ඇස් හා ඇඟිලි සළකනු හඳුනාගැනීම්  හා සමාජ ජාලා සම්බන්ධතා ඔස්සේ තාක්ෂණික ක්‍රම සංවර්ධනය කිරීම මගිනුයි.

කවරය – www.thenewsgeeks.com

Related Articles