අපට නැතිවම බැරි දින දසුනේ කතාව

නව වසරක උදාවත් සමගම අප සෑම කෙනෙකුම පාහේ අපගේ නිවාස අලුත්වැඩියා කරන්නට, අලුතෙන් අංග එක් කරන්නට යුහුසුළු වෙනවා. එලෙස අපගේ නිවසේ සෑම වසරකටම වරක් අලුත් වෙමින් පවතින අංගයක් ලෙස දින දර්ශනය නැතිනම්, “කැලැන්ඩරය” හැඳින්වීමට පුළුවන්. එළඹෙන නව වසරේ ඉදිරි කටයුතු පිළිබඳව මුළු ලොවෙහිම වෙසෙන්නන් සැලසුම් කරන්නේ මෙම දින දර්ශනයේ දින වකවානු වලට අනුකූලව යි. මෙම දින දර්ශනය වර්තමානයේ අප භාවිතා කරන තත්ත්වයට පත්ව තිබෙන්නේ ආදී කාලයේ සිට වර්ධනය වෙමින් පැවතීමේ ප්‍රතිපලයක් ලෙසයි. එලෙස දින දර්ශනය හා සබැඳි අතීත තොරතුරු මෙම ලිපිය හරහා ගෙන එනවා.

දින දර්ශනය බිහිවීමට පෙර කාලය ගණනය කළ ආකාරය

දින දර්ශනයේ මූලාරම්භය පිලිබදව අවධානය යොමු කරන විට ආදිතම ශිෂ්ටාරවල විසූ මිනිසුන් දින වකවානු ගණනය කර ඇත්තේ හිරු, සඳු, හා තරු වැනි ග්‍රහ වස්තූන් මුල් කරගෙන යි. එහිදී ඔවුන් ආලෝකය හා අඳුර අතර සිදුවන වෙනස්වීම් වලට අනුව කාලය ගණනය කර තිබෙනවා. දින ගණනය කර ගැනීම සඳහා සූර්ය හා චන්ද්‍ර මාස ක්‍රමය බහුලවම යොදාගෙන තිබෙනවා. එයට අමතරව දවසින් දවසට දින ගනිමින් ද අභිමතානුකූලව කාලය ගණනය කළ ක්‍රමයක්ද එකල භාවිතා වී තිබෙනවා. නමුත් මෙම ක්‍රමයන් ඉතාමත් ප්‍රාථමික මට්ටමේ ඒවා වූ අතර ඒවායේ දෝෂ රැසක්ද පැවතුනා.

එකල කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් පැවතීම හේතුවෙන් ගොවිතැන් කටයුතු වලදී බෝග වගා කිරීමට හා අස්වනු නෙලීම සදහා නිවැරදිව කාලය ගණනය කර ගැනීමට අවශ්‍ය වූවා. නමුත් එකල පැවතී දින දර්ශන ප්‍රාථමික මට්ටමේ පැවතීම හා නිරවද්‍යභාවයෙන් අවම වූ නිසා එම කාලය ගණනය කරගැනීමේදී අපහසුතාවයන් ඇති වී තිබෙනවා. එසේම ඉහළ නිරවද්‍යතාවයක් උදෙසා දින දර්ශනයන් සෘතු අනුව සකස් වීමට ද අවශ්‍ය වුණා. එනිසා මිනිසා තව දුරටත් මෙම දින දර්ශන නිරවද්‍යව සැකසීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

මුල්ම දින දර්ශනය.

timecenter.com (මිසර දින දර්ශනයක පින්තුරයක්)

දැනට සොයාගෙන ඇති තොරතුරු වලට අනුව ලොව පැරණිතම හා පළමු නිරවද්‍ය මෙන්ම විද්‍යානුකූල දින දර්ශනය ලෙස සලකනු ලැබෙන්නේ මිසර ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද දින දර්ශනයයි. මිසර දින දර්ශනයට අනුව වසරක් මාස 12කින් සමන්විත වුණා. එසේම ඒ සෑම මාසයක්ම දින 30කින් සමන්විත වී ඇති අතර, එක් මාසය සති තුනකින් ද සමන්විත වී තිබෙනවා. එම සෑම සතියක්ම දින දහයකින් යුතු වූවා. තවත් පැරණිම දින දර්ශනයක් ලෙස බැබිලෝනියානු දින දර්ශනයද හඳුනාගැනීමට හැකියි. එයට අනුව එම වැසියන් චන්ද්‍රයාගේ වෙනස්වීමේ රටාව දෙස බලා චන්ද්‍ර මාස ගණනය කරගෙන තිබෙන අතර, එවැනි මාස 12ක් ගතවීම වසරක් ලෙස සලකා තිබෙනවා. එසේම එයට සමාන දින දර්ශනයක් ග්‍රීසියේ දී ද භාවිතයට ගෙන තිබෙනවා.

historicmysteries.com (ජුලියන් දින දර්ශනය දැක්වෙන පින්තුරයක්)

එකල භාවිත වූ තවත් දින දර්ශනයක් ලෙස රෝම දින දර්ශනය හඳුන්වාදීමට හැකියි. එයට අනුව සතියක් දවස් 8කින් සමන්විත වූවා මෙන්ම වසර ආරම්භ වී ඇත්තේ මාර්තු 31 වනදායිනු යි. එම දින දර්ශනයට අනුව වසරක් මාස 10 කින් සමන්විත වුණා. එහිදී එම සෑම මාසයකටම දින 30ක් හෝ 31ක් අයත් වුණා. ඉන් පසුව හමු වන වැදගත්ම දින දර්ශනයක් ලෙස ජුලියන් දින දර්ශනය හැඳින්වීමට හැකියි. ඒ ක්‍රි.පූ. 45 පමණ කාලයේදී වන අතර එම දින දර්ශනයට අනුව වසරකට මාස 12ක් අයත් වුණා. එම වසරක් දින 355කින් සමන්විත වුවා. ඒ, මෙම දින දර්ශනය ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි. එම ප්‍රතිසංස්කරණ වලට අනුව පෙබරවාරි මාසයට දින 28ක් ඇතුලත් කර ඇති අතර දින අටකින් සමන්විත වූ සතියේ දින ගණන 7ක් බවටද අඩු කරනු ලැබුවා.

ග්‍රෙගරියානු දින දර්ශනය.

heavy.com (13 වන ග්‍රෙගරි පාප්තුමා දැක්වෙන පින්තුරයක්)

ජුලියන් දින දර්ශනය ද පරිපූර්ණ දින දර්ශනයක් වූයේ නැහැ. එහි ද දෝෂ හඳුනාගැනීම නිසා එය ද වෙනස් කිරීමට අවශ්‍ය වුණා. ජුලියන් දින දර්ශනයට අනුව වසර 1600 ක කාලයක් තුල දින අටක දෝෂයක් ඇති වී තිබුණා. ඒ බව දුටු 13 වන ග්‍රෙගරි පාප්තුමා වර්ෂ 1582 දී ජුලියන් දින දර්ශනය ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කර තිබෙනවා. එහිදී ජුලියන් දින දර්ශනයට අනුව වසරේ ආරම්භක දිනය ලෙස හඳුන්වා දුන් ජනවාරි 1 වැනිදා ලොව පුරා ව්‍යාප්ත වූයේ මෙම ග්‍රෙගරියානු දින දර්ශනය හරහායි. මේ වනතුරු සමහර රටවල් වසර ආරම්භ කළේ දෙසැම්බර් 25 වනදා හෝ මාර්තු මස 1 වනිදායිනු යි. මෙලෙස පැවතී වෙනස්කම් මෙම දින දර්ශනය හරහා එකම දිනයක් බවට පත් කිරීමට හැකියාව ලැබුනා. අද වනවිට අප භාවිතා කරන දින දර්ශනය නිර්මාණය වී තිබෙන්නේ ඒ ආකාරයට යි. මෙය ග්‍රෙගරියානු දින දර්ශනය හෙවත් නව දින දර්ශනය යනුවෙන් ද හඳුන්වනු ලබනවා. එහෙත් මුල් කාලීනව සමහර යුරෝපිය රටවල් මෙම දින දර්ශනය පිළිගැනීමට අකමැති වූ අතර 20 වන සියවසෙන් පසුව එය යුරෝපය පුරා ද පිළිගැනීමට ලක් වුණා. වර්තමානයේ පෘථිවි ගෝලයට තමා වටා භ්‍රමණයට ගතවන කාලය දිනයක් ලෙස ද, සුර්යයා වටා පරිභ්‍රමණයට ගතවන කාලය වසරක් ලෙස ද, සලකනු ලැබෙනවා.

taringal…. (ජුලියස් සීසර් අධිරාජයාගේ ප්‍රතිමාවක් දැක්වෙන පින්තුරයක්)

දින දර්ශන වර්ග.

දින දර්ශන පිලිබදව සලකා බලන විට අපට ප්‍රධාන වශයෙන් දින දර්ශන වර්ග තුනක් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා. එනම් චන්ද්‍ර දින දර්ශන (lunar), සූර්ය දින දර්ශන(solar) හා චන්ද්‍ර-සූර්ය දින දර්ශනය (lunisolar ) වශයෙනුයි.

එහිදී චන්ද්‍ර දින දර්ශන යනුවෙන් හඳුන්වන්නේ චන්ද්‍රයාගේ වෙනස්වීම මත පදනම් වී දින ගණනය කළ දින දර්ශනයි. එයට අනුව වසරකට මාස 12ක් අයත් වන අතර මාසයකට දින සාමාන්‍යයෙන් 29.53 අයත් වුවා. එසේම වසරකට දින 354.37ක් වෙනවා. මෙම චන්ද්‍ර දින දර්ශන සදහා උදාහරණ ලෙස මුස්ලිම් රටවල භාවිතා වූ මුස්ලිම් දින දර්ශන හඳුනාගැනීමට හැකියි. සූර්ය දින දර්ශන යනු සූර්යයා මත පදනම්ව සකස් කළ දින දර්ශනයි. එයට උදාහරණ ලෙස රෝම දින දර්ශනය හා වර්තමානයේදී භාවිතා වන දින දර්ශනය හඳුනාගැනීමට හැකියි. චන්ද්‍ර-සූර්ය දින දර්ශන වලට අනුව වසරකට මාස 12 ට වඩා අඩු වූ අතර එයට උදාහරණ ලෙස බැබිලෝනියානු හා යුදෙව් ජාතිකයන්ගේ දින දර්ශන හඳුනාගැනීමට හැකියි.

දින දර්ශන වර්ග කිරීම මේ ආකාර වුවත්, වර්තමානයේ ඇති දින දර්ශනයේද විවිධ අඩුපාඩු පවතින බවට මතයන් පල වෙනවා. වර්තමාන කැලැන්ඩරයට අනුව සෑම වසරකම තත්පර 26ක දෝෂයක් ඇතිවන අතර එය නිවැරදි කිරීමට තවමත්සමත් වී නැහැ. එය නිවැරදි කිරීම සදහා තවදුරටත් අවධානය යොමු වී තිබෙනවා.

justijulieb30.blogspot.com (කවරයේ පින්තුරය)

මුලාශ්‍ර:

timecenter.com

todayifoundout.com

eclipse.gsfc.nasa.gov

webexhibits.org

Related Articles

Exit mobile version