නිරන්තරයෙන් ම ස්වභාවික ආපදාවලට මුහුණ දුන්නත්, ජපානය ස්වභාව ධර්මයට සමීප, සුන්දරත්වයෙන් අනූන රටක් ලෙස හැඳින්වීම වරදක් නෙමෙයි. ඈත අතීතයේ පටන්ම බෞද්ධ රාජ්‍යයක් වූ ජපානයේ බුදු දහම අනුගමනය කරන භික්ෂූන් වෙනුවෙන් තැනූ පන්සල් ද බොහෝමයක් දැක ගැනීමට ලැබෙනවා. ඒ අතරින් ‘යමදෙරා’ හෙවත් කඳුකර පන්සලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. යමගටා නුවර ඊශාන දෙසට වන්නට පිහිටි ඇති උස් කඳු වැටි අතර වැජඹෙන, ජපානයේ සොඳුරු දසුන් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙන කඳුකර පන්සල ගැන තොරතුරු යි මේ.
සහස්‍රයකට පෙර තැනූ කඳුකර පන්සල
කඳුකර පන්සල යන අරුතින් ‘යමදෙරා’ ලෙස ප්‍රකට වුවත් මෙහි සත්‍ය නාමය වන්නේ ‘යූසාකු-ජි’ යන්න යි. ක්‍රිස්තු වර්ෂ 794 – 1185 කාලයේ දී පැවති හේයන් රාජ සමය, ජපානය තුළ බුදු දහම ව්‍යාප්ත කිරීමට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 860 දී සෙයිවා අධිරාජ්‍යයාට ජපානයේ ඊශාන දිග දේශ සීමා මායිමේ පිහිටි ටෝහොකු ප්‍රාන්තයේ පන්සලක් ඉදි කිරීමට අවශ්‍ය වී ඇති අතර එම කටයුත්ත භාර දී ඇත්තේ එවකට ජපානයේ සිටි උසස් භික්ෂුවක් ලෙස සැලකූ ජිකාකු දයිෂිට යි.
ඒ අනුව යමගටා නුවර උස් කඳුවැටියක් මුදුනේ ‘යූසාකු-ජි’ හෙවත් කඳුකර පන්සල ගොඩ නංවා තිබෙනවා. එය ශාලා කිහිපයකින් ම සමන්විත වන අතර මුල් කාලයේ දී නිමවන ලද ‘කෙමොපෝ-ෂුදෝ’ ශාලාව, වසර 1,000 ක් තිස්සේ නොනිමී දැල්වෙන පහන් සිළුවකට සෙවණ සපයනවා. ක්‍රිස්තු වර්ෂ 1144 දී ගොඩ නංවන ලද ‘හිහෝ-කං’ හෙවත් නිධන් ශාලාව, කඳුකර පන්සල සතු වටිනා ම බෞද්ධ පුරාවස්තු ප්‍රදර්ශනය සඳහා වෙන් කර තිබෙනවා.
හයිකු කවියකට පාදක වූ සුන්දරත්වය
උස් කඳු මුදුනක් මුදුනේ පිහිටි කඳුකර පන්සලේ ප්‍රධාන ශාලාව හෙවත් භාවනා කටයුතු සඳහා යොදා ගන්නා ‘ඔකුනොයින්’ ශාලාවට ළඟා වීම සඳහා පියගැට 1,015 කින් සමන්විත පියගැට පෙළක් තරණය කළ යුතු වෙනවා. හොජු-සං කඳුවැටියේ සොඳුරු පරිසරය අතරින් වැටී තිබෙන මේ පියගැට පෙළ සැලකෙන්නේ සොබාදහමට සමීප ගමනක් ලෙස යි. එහි ඇති සුන්දරත්වය නිසා ම ඇතැම් විටෙක පියවර 1,015 ක් තරණය කර යන ගමන තරමක් වෙහෙසකර වුවත් ‘පාරාදීසයට යන ගමනක්’ ලෙස හඳුන්වනවා.
කඳුකර පන්සලේ ඇති සුන්දරත්වය, ජපානයේ ප්‍රකට හයිකු කවියෙකු වූ මත්සුවෝ බාෂෝ ව පවා වසඟ කර ගැනීමට සමත් වූ බව පැවසෙනවා. එයට ඇති හොඳ ම සාක්ෂියක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1689 දී කඳුකර පන්සලේ සංචාරයක නිතර වීමෙන් පසු ව වූ මත්සුවෝ බාෂෝ විසින් රචනා කර ඇති හයිකු කාව්‍ය යි.
නිසල සහ සන්සුන් බව
බිඳ ඇසෙන රෑහි හඬින්
ගල් කුල විනිවිද යයි
මත්සුවෝ බාෂෝ කවියට නැගූ ලෙසින් ම අදටත් ‘පාරාදීසයට යන ගමන’ රැහැයියන්ගේ හඬින් පමණක් බිඳී යන තාක්ෂණික ලෝකයෙන් හුදෙකලා වූ ගමනක් බව පැවසීම අතිශයෝක්තියක් නෙමෙයි. දීර්ඝ පා ගමනකින් පසු ව කඳුකර පන්සලට ළඟා වන අයෙක්ට දැක ගැනීමට හැකි වන්නේ හරිත පැහැය අතරින් දිස්වන කුඩා නගරයක අතිශය සොඳුරු දර්ශනයක්.
වසන්තයේ සොඳුරු දසුන්
වසන්ත සමයේ සකුරා මලින් වැසී යන කඳුකර පන්සල හේමන්තයේ දී සම්පූර්ණයෙන් ම රතු, තැඹිලි සහ කහ පැහැයෙන් දිදුලන පත්‍රයන්ගෙන් වැසී යනවා. සාමාන්‍යයෙන් වසරේ දින කිහිපයක් හැරුණු විට අනෙක් සෑම දිනක ම පාහේ මහජනයා සඳහා විවෘත කඳුකර පන්සලට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු යි. වසන්ත ඍතුවේ සෑම දිනක ම සවස 6 සිට රාත්‍රී 9 දක්වා කඳුකර පන්සලට යන මග දෙපස, රාත්‍රී පිරිත් සජ්ඣායනා සඳහා ඒකාලෝක කරනවා. එයට හේතුව ඈත අතීතයේ සිට ම කඳුකර පන්සලට ළඟා වීමේ චාරිත්‍රය වුණේ සවස් යාමයේ නැගීම අරඹා පසු දින උදෑසනින් යළිත් පහළට බැසීම වීම යි.
සිසිර ඍතුවේ දී ද කඳුකර පන්සල වසන්තයට නොදෙවැනි සුන්දරත්වයකින් යුතු යි. සම්පූර්ණයෙන් ම හිමෙන් වැසී යන එය වසන්තයේ දී කඳුකරය පිර වූ සියලු ශබ්දයන් උරා ගන්නා බව සඳහන්. සිසිර ඍතුවේ දී කඳුකර පන්සලට ළඟා වන පියගැට පෙළේ හිම ඉවත් කළ ද මාර්ගය ලිස්සන බැවින් පන්සලට ළඟා වීම තරමක් දුෂ්කර වෙනවා.
කඳුකර පන්සලේ සංචාරයක්
‘යමදෙරා’ හෙවත් කඳුකර පන්සල සමන්විත වන්නේ එක් එක් කාලවල දී ගොඩ නංවන ලද ශාලාවලින්. නොනිමෙන පහන් සිළුවක් සහිත එහි පැරණිත ම ශාලාව වන ‘කෙමොපෝ-ෂුදෝ’ ශාලාව ගොඩ නංවා ඇත්තේ බීච් දැව යොදාගෙන යි. ‘කෙමොපෝ-ෂුදෝ’ ශාලාවේ සිට මිනිත්තු කිහිපයක දුරින් කඳු මුදුනේ ‘සංමොන් දොරටුව’ පිහිටා තිබෙනවා.
එසේ ම කඳුකර පන්සල බිමේ බොහෝ ස්ථානවල ශෛලමය බුද්ධ ප්‍රතිමා සහ ලන්තෑරුම් දැක ගැනීමට ලැබෙනවා. ‘සංමොන් දොරටුව’ පසු කර කඳු මුදුනට ගමන් කරන අයෙක්ට ‘නියෝමොන් දොරටුව’ හමු වන අතර එය 19 වැනි සියවසේ දී ගොඩ නගන ලද්දක්. එය ගොඩ නංවා ඇත්තේ ඉහළ පන්සල් භූමිය සලකුණු කිරීම සඳහා යි.
‘නියෝමොන් දොරටුව’ පසු කළ පසු කඳුකර පන්සල සතු ප්‍රකට ම ශාලාවන් ද්විත්වයක් වන කඳුකර පන්සලේ නිර්මාතෘ, ජිකාකු දයිෂි වෙනුවෙන් වෙන් කරන ලද ‘කයිසන්දෝ’ ශාලාව සහ සූත්‍ර කටපාඩම් කිරීම සඳහා යොදා ගත් ‘නොකියුදෝ’ කුටිය හමු වෙනවා. කඳුවැටියේ ඉහළින් ම පිහිටා ඇත්තේ ‘ගොදයිදෝ’ ශාලාව යි. 18 වැනි සියවසේ දී ගොඩ නංවන ලද එය භාවිතා කරන්නේ පරිසරයේ සිරි නැරඹීම සඳහා යි.
කවරයේ පින්තූරය : © Trevor Dobson