නිදහස් උත්සවයක ප්‍රධාන තැනක් හිමි වන අංගය තමයි ජාතික ගීය. ඒ වගේ ම නිදහස් රටක අභිමානය ලොවට ම හඬගා කියන නිර්මාණය වන්නෙත් ජාතික ගීය යි. අපේ ජාතික ගීය නම් අහම්බෙන් ලියැවුණු ග්‍රැමෆෝන් ගීයක්.
නිදහස ලැබිලා අවුරුදු 74ක් සමරන මේ අවස්ථාවේ අපේ ජාතික ගීය නිර්මාණය වීම සහ ඒ පිටුපස කියැවෙන කලබගෑනි ටිකක් සොයා බලන්න දරපු උත්සාහයක් තමයි මේ.
ගෝඩ් සේව් ද කිං
යටත් විජිත පාලන සමයෙහි ශ්‍රී ලංකාව (එවක Ceylon) ඇතුළු ව සියළු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ජාතික ගීය වශයෙන් ගැයුණේ “God save the King/Queen” බ්‍රිතාන්‍ය ජාතික ගීය යි. 1815 සිට ගායනා කළ එම ගීතයට විරාමය තැබීමට නිදහස ලැබීමත් සමඟ අවශ්‍ය වුණා. 1948 දී දේශපාලන නිදහස ලබන විටත් ශ්‍රී ලංකාවට පිළිගත් ස්වදේශික ජාතික ගීයක් තිබුණේ නැහැ. මේ නිසා 1948 නිදහස් දා ගායනා කිරීමට ජාතික ගීයක් අවශ්‍ය වුණා.
ජාතික ගීයට තරගයක්
ජාතික ගීයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ ‘ලංකා ගාන්ධර්ව සභාවටයි’. ඒ සඳහා තරගයක් පැවැත්වුණු අතර සුදුසු ගීත රචනා එවන ලෙස ජනතාව ගෙන් ඉල්ලීමක් කෙරුණා. ඒ අතරින් ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා මණ්ඩලයක් ද පත් කර තිබුණා.
1948 ජනවාරි 31 වැනිදා ලංකා ගාන්ධර්ව සභාව සංවිධාන කළ ලංකාවේ ජාතික ගී තරගයෙන් ජයග්‍රහණය කර ඇත්තේ පී. බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි යි. ඔහු කවියකු, ලේඛකයකු, සංගීතඥයකු, විද්වතකු, අක්ෂි වෛද්‍යවරයකු ලෙසත් ප්‍රකට ව සිටි කලාකරුවෙක්. එම ගීතය 1948 පෙබරවාරි 01 වැනිදා ජාතික ගීය වශයෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. එහි සංගීතය නිර්මාණය කර තිබුණේ සංගීත විශාරද ලයනල් එදිරිසිංහ යි. එම ගීතය ආරම්භ වුණේ මෙලෙසයි:
‘ශ්‍රී ලංකා මාතා පාලා මහිමා ජය ජය
සිහිලස ජලධාරා – ගිරි පෙළ තුරුලිය මන හාරා’
එය රචනා කළ පී.බී ඉලංගසිංහ සහ එය සංගීතවත් කළ ලයනල් එදිරිසිංහ ජාතික ගී තේරීම් මණ්ඩලයේ ම සාමාජිකයන් වීම මතභේදයට තුඩු දුන් කරුණක් වුණා. එම ගීතය ජනතාව අතර ද එතරම් ජනප්‍රිය නොවුණු බවයි පැවසෙන්නේ.
නමෝ නමෝ මාතා
තරගය සඳහා ආනන්ද සමරකෝන් රචිත “නමෝ නමෝ මාතා” ගීය ඉදිරිපත් කළත් එය ජයග්‍රහණය කළේ නැහැ. එය ජාතික අභිමානී ග්‍රැමෆ්‍රොන් ගීයක් ලෙස ඒ වනවිටත් ජනතාව අතර ප්‍රචලිතව පැවතුණා. ජාතික ගීය ලෙස නිල වශයෙන් නොපිළිගෙන තිබූ නමුත් එය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වුණා.
ආනන්ද සමරකෝන් ඉන්දියාවේ සංගීතය හදාරා පැමිණි පසු නමෝ නමෝ මාතා ගීතය 1940 ඔක්තෝබර් 20 වැනිදා රැයේ ලියූ බව සඳහන් කර තිබෙනවා. ඔහු එවකට ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ අතර තම ශිෂ්‍යයන්ට එය ගායනය කිරීම උගන්වා තිබෙනවා.
ආනන්ද සමරකෝන් විසින්ම තනුව යොදා සංගීතය නිර්මාණය කොට ‘නමෝ නමෝ මාතා’ නමින් H.M.V ග්‍රැමෆෝන් ගීතයක් ලෙස එම ගීය මුලින් ම 1946 දී තැටි ගත කර තිබුණා.
මේ ගීතය ඇතුළු සමරකෝන් ලියූ තවත් ගීත සහිත ‘කුමුදිනි’ නම් ගීත පොත මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර තිබුණේ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන ප්‍රකාශකයන්. මේ නිසා ගීත රචනාවල ප්‍රකාශන අයිතිය හිමි ව තිබුණේ සිරිවර්ධනට යි.
ජාතික ගීයක්
ජාතික ගීත තරගය සංවිධානය කළ ලංකා ගාන්ධර්ව සභාවේ ම සාමාජිකයන් දෙදෙනකු වූ ඉලංගසිංහ – එදිරිසිංහ ගීත නිර්මාණයට එරෙහි ව මහජන මතයක් පැවැති බැවින් එය නතර කොට වෙනත් ගීයක් සපයා ගැනීමට අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයට අවශ්‍ය වුණා. ඒ අනුව 1949 පෙබරවාරි 04 වෙනිදා නිදහස් උත්සවයට ඒ වන විට ජනප්‍රියව පැවති ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය වශයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ගායිකා කණ්ඩායමක් ගායනා කර තිබෙනවා. එම ගීතය පුහුණු කර ඇත්තේ මර්සලීන් ජයකොඩි පියතුමන්. ඒ සඳහා සංවිධාන කටයුතු කර ඇත්තේ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන යි.
“නමෝ නමෝ මාතා” ගීය නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලා 1950 වසරේ දී මුදල් ඇමැති ජේ.ආර් ජයවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අගමැති ඩී.එස් සේනානායක ජාතික ගීය ගැන තීරණයක් ගැනීමට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති ව සිටි ඊ.ඒ.පී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.
එම කමිටුවේ තීරණය වුණේ “නමෝ නමෝ මාතා” ගීය ජාතික ගීය විය යුතු බව යි. කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතියත් එයට ලැබුණා. 1952 මාර්තු 12 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය වශයෙන් “නමෝ නමෝ මාතා” ගීතය නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණා.
ජාතික ගීය දෙමළ බසට
“නමෝ නමෝ මාතා” ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර නිල වශයෙන් පිළිගත යුතු යයි අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක ප්‍රකාශ කළ බව පැවසෙනවා. එය දෙමළ බසට පරිවර්තනය කරනු ලැබුවේ කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයකු වූ පණ්ඩිත් එම්. නල්ලතම්බි විසින්. ඒ අනුව දෙමළ බහුතරය වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල “නමෝ නමෝ තායේ” ලෙස ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආරම්භ වුණා.
ජාතික ගීයේ දෙමළ පරිවර්තනය සිංහල ජාතික ගීයේ පද අනුව ම කළ පරිවර්තනයක් මිස ජාතික ගීයට දෙමළ අනුවාදයක් කිරීමක් නොවේ. තවත් අදහසක් වන්නේ ජාතික ගීයේ දෙමළ භාෂා පරිවර්තනය එවක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වූ කේ. කනගරත්නම් සිදු කළ බවට යි. කෙසේ වුවත් 1951පණ්ඩිත් නල්ලතම්බි මිය ගිය පසු ප්‍රකාශයට පත් කළ ඔහුගේ කාව්‍ය සංග්‍රහයක ජාතික ගීය ද ඇතුළත් ව තිබීමෙන් එහි පරිවර්තන රචනාව ඔහු ඉටු කළ බව පැහැදිලි වෙනවා.
1949 මෙන්ම 1950 වසරේ නිදහස් උත්සවය වෙනුවෙන් ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ බව දිනමිණ පුවත් පත වාර්තා කොට තිබෙනවා. 1950 දී අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායකගේ යාපනය සංචාරයේ දී ද ජාතික ගීය දෙමළ මාධ්‍යයෙන් ගායනා කොට ඇති බවට වාර්තා වෙනවා.
ජාතික ගීයට රුපියල් 2500ක්
ජාතික ගීයෙහි රචකයාට ගරු කිරීමක් වශයෙන් රු. 2500 ක ප්‍රදානයක් කිරීමට 1953 දී රජය තීරණය කළා. ආනන්ද සමරකෝන් ඒ වන විට ‘සැඩසුළං’ චිත්‍රපටයේ ගීත රචනය කිරීමට ඉන්දියාවට ගොස් සිටි නිසා 1953 පෙබරවාරි 15 වැනිදා සමරකෝන් ඉන්දියාවේ සිට එවූ ලිපියක් ඉදිරිපත් කරමින් ඔහුගේ බිරිය කැරලයින් ද සිල්වා ඒ මුදල ලබා ගැනීමට කටයුතු කළා. න
ජාතික ගීය හා සමරකෝන්ගේ සෙසු ගීතවල පද රචනා සහිත ‘කුමුදිනි’ පොත ප්‍රකාශයට පත් කළ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන එම මුදලට අයිතිවාසිකම් ඉදිරිපත් කළා. මේ නිසා නීතිපතිවරයා කෘතියේ අයිතිය ප්‍රකාශකයාට හිමි ය යන පදනම මත ගීත රචනාවේ අයිතිවාසිකම ප්‍රකාශකයාට පවරා තිබෙනවා. මේ නිසා ආනන්ද සමරකෝන් වෙනුවට තෑගි මුදල ලබාගත්තේ සිරිවර්ධන යි.
ආනන්ද සමරකෝන් සිය දිවි නසා ගනී
ජාතික ගීයේ ‘නමෝ නමෝ මාතා’ යන පදයෙහි සමාරම්භක අකුර එනම් ‘න’ යන්න අපායක්ෂරයක් බවත්, ආරම්භක ගණය අනිෂ්ට ගණයක් බවටත් ජාතික ගීතයට චෝදනා එල්ල වුණා. මේ නිසා 1961 පෙබරවාරියේ දී ජාතික ගීයේ මුල් පද වුණු “නමෝ නමෝ මාතා” යන්න “ශ්‍රී ලංකා මාතා” යනුවෙන් වෙනස් කිරීමට තීරණය කෙරුණා. ඒ ජාතික ගීයේ නිර්මාතෘවරයා වූ ආනන්ද සමරකෝන්ගේ දැඩි විරෝධය හමුවේ යි. සමරකෝන් 1962 අප්‍රේල් 02 වැනිදා නිදි පෙති 25ත් 30ත් අතර ප්‍රමාණයක් ගෙන සියදිවි නසා ගත් අතර ඔහුට ජීවිතය එපාවීමට හේතුව ජාතික ගීයේ වචන වෙනස් කිරීම බවට මතයක් ද පවතිනවා.
නමෝ නමෝ මාතා
නමෝ නමෝ මාතා – අප ශ්‍රී ලංකා – නමෝ නමෝ මාතා
සුන්දර සිරි බරිනි සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්ති පූජා නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා – ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති – අප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ – අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ – අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා – නමෝ නමෝ මාතා
ජාතික ගීය උසාවියට
2016 අවුරුද්දේ පැවති නිදහස් දින උළෙලේ දී ජාතික ගීය දෙමළ බසින් ගැයීමට එවකට පැවති ආණ්ඩුව තීරණය කළා. ඒ සඳහා ජාතිවාදී දේශපාලනඥයන් විරෝධයක් ඇවිළවූවා. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම හේතුවෙන් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව 2016 නොවැම්බර් 18 දින ප්‍රකාශයට පත් කරමින් තීන්දුවක් ලබා දුන්නා.