Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තිරසාර සංවර්ධනයක් උදෙසා තනි තනි ව පෙළ ගැසෙමු ද?

‘තිරසාර සංවර්ධනය’ ශ්‍රී ලාංකිකයන්ට නිතර ම අසන්නට ලැබෙන හුරුපුරුදු වචනයක් බව පැවසීම වරදක් නොවෙයි. ප්‍රවෘත්ති, පුවත්පත්, දේශපාලන සාකච්ඡා ආදියේ දී නිරන්තරයෙන් ම භාවිතා වුවත් ‘තිරසාර සංවර්ධනය’යන වදනේ නියම අර්ථය දන්නේ අතළොස්සක් දෙනා පමණ යි. සරල ව එය අනාගත පරපුරට සංවර්ධනය වීමට ඇති අයිතිය උදුරා නොගනිමින් සංවර්ධනය කරා ගමන් කිරීම ලෙස හැඳින්විය හැකි යි. මෙහි දී මූලික වශයෙන් යම් කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ රාජ්‍යයක් විසින් එයට සමගාමී ව ඇති විය හැකි පාරිසරික පිරිවැය සහ ප්‍රතිලාභයන් විශ්ලේෂණය කරමින් ආර්ථික වර්ධනයක් උදා කර ගැනීමට උත්සාහ කරනවා.

© WBCSD

ඒ අනුව තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට කටයුතු කිරීමේ දී පරිසරය ආරක්ෂා කර ගැනීම, අදාළ සංවර්ධන ක්‍රියාදාමයේ ම  කොටසක් ලෙස සැලකිය යුතු බව අතිශය පැහැදිලි යි. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 17 වැනි වගන්තියේ රටේ ස්වභාවික සම්පත් භුක්ති විඳීමේ දී සහ කළමනාකරණය කිරීමේ දී ඒවායෙන් වර්තමානයට මෙන් ම අනාගත පරම්පරාවට ද ඉහළ ම ප්‍රතිඵල ලැබෙන පරිදි කටයුතු කළ යුතු බව දැක්වෙනවා. නමුත් වත්මන් සංවර්ධනය ක්‍රියාවලිය තුළ එවැනි ස්වභාවික සම්පත් කළමනාකරණයක් හෝ ආරක්ෂණ ක්‍රමවේදයක් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ.

එහෙත් පාලන අධිකාරීන් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට කටයුතු කරන තුරු බලා නොසිට තනි තනි ව හරිත පැහැ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට දායක වීමට පුරවැසි සැමට හැකියාව පවතිනවා. පරිසරය ආරක්ෂා කරන ලෙස බලධාරීන්ට බල කරමින් පෙළපාලි සහ උද්ඝෝෂණ සිදු කිරීමට ගත කරන කාලයෙන් මිනිත්තු කිහිපයක් රැගෙන එදිනෙදා ගෘහස්ථ කටයුතු අතරතුර දී මව්බිමේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් යමක් කිරීමට ඔබ කැමති නම් මේ ලිපිය ඔබ වෙනුවෙන්.

© Urbanize Hub

(1) සාප්පු සාවාරියේ යන්න කැන්වස් මල්ලක්

2018 ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මයික්‍රෝන් 20 ට වඩා තුනී පොලිතීන් මලු සහ ආහාර දවටන භාවිතා කිරීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළා. නමුත් බොහෝ අයගේ අදහස වන්නේ නියමිත ඝනකමින් යුතු පොලිතීන් මලු භාවිතා කිරීම අනුමත කළ හැකි බව යි. මින් පෙර භාවිතා කළ පොලිතීන් මලුවලට වඩා ඝනකමින් යුතු වුවත් පොලිතීන් මලු භාවිතා කිරීම මොන ම ආකාරයෙන් හෝ පරිසර හිතකාමී වන්නේ නැහැ. ඝනකම වැඩි පොලිතීන් මලු භාවිතා කිරීමෙන් අත් වන එක ම වාසිය වන්නේ මිල දී ගන්නා භාණ්ඩයන් හි බර දරා ගැනීම සඳහා පොලිතීන් මලු කිහිපයක් භාවිතා කිරීමට සිදු නොවීම හේතුවෙන් පරිසරයට එක් වන පොලිතීන් මලු ප්‍රමාණය අඩු වීම යි.

© Magnolia Market

නමුත් පොලිතීන් මලු වෙනුවට නැවත භාවිතා කළ හැකි කැන්වස් මලු හෝ වේවැල් කූඩ වැනි පරිසරයට හිතකර විකල්පයක් භාවිතා කිරීම තුළින් පරිසරයට එක් වන පොලිතීන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර ගත හැකි යි. එදිනෙදා භාවිතයට අවැසි සිල්ලර භාණ්ඩ මිල දී ගැනීමට යාමේ දී එවැනි විකල්පයක් රැගෙන යාමට අමතක වෙනවා නම් නිතර භාවිතා කරන අත් බෑගයේ කුඩා කැන්වස් මල්ලක් හෝ මෝටර් රථයේ පසුපස වේවැල් කූඩයක් තැන්පත් කර තැබීම පහසුවක් වන බවට සැකයක් නැහැ.

(2) දැවටුම් හි අසුරන ලද ආහාර වෙනුවට නැවුම් ආහාර

බොහෝමයක් සුපිරි වෙළඳසැල්වල කපන හෝ නොකපන ලද එළවළු, පලතුරු සහ පලා වර්ග යම් නිශ්චිත ප්‍රමාණයන්ගෙන් ප්ලාස්ටික් දවටනයන් හි අසුරා තිබෙනවා. කැන්වස් මල්ලක් හෝ වේවැල් කූඩයක් රැගෙන එළවළු සහ පලතුරු මිල දී ගැනීමට ගිය ද ඔබ මිල දී ගන්නේ එසේ දැවටුම් හි අසුරන ලද ආහාර නම් එයින් සිදු වන්නේ පරිසරයට තවත් ප්ලාස්ටික් එක් වීම පමණ යි. මෙවැනි ආහාර දැවටුම් බොහෝමයක් නැවත භාවිතා කළ නොහැකි අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන්නේ ද නැහැ. ඒ හේතුවෙන් එවැනි දැවටුම් වැඩි ප්‍රමාණයක අවසන් ගමනාන්තය වන්නේ මහ සයුර යි.

© Flickr

මේ තත්ත්වය මග හරවා ගැනීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ දැවටුම් හි අසුරන ලද ආහාර වෙනුවට නැවුම් ආහාර තොගයක් අතරින් තමන්ට අවැසි ප්‍රමාණය තෝරා ගැනීම යි. එයින් ප්ලාස්ටික් සහ පොලිතීන් දැවටුම් භාවිතයට අවම වෙනවා පමණක් නොව තමන්ගේ අවශ්‍යතාවන්ට සරිලන නැවුම් එළවළු සහ පලතුරු මිල දී ගැනීමට ද අවස්ථාව හිමි වෙනවා.

(3) නැවත භාවිතා කළ හැකි වතුර බෝතලයක්

ගෙවී ගිය මාර්තු මාසය පැමිණියේ වියළි කාලගුණික තත්ත්වයක් රැගෙන යි. වැඩ රාජකාරී සඳහා නිවෙසින් බැහැර යන බොහෝ දෙනෙක් පිපාසයක් ඇති වූ සැණින් සිදු කරන්නේ සිසිල් කළ පානීය ජල බෝතලයක් මිල දී ගැනීම යි. මෙවැනි පානීය ජල බෝතල් බොහෝ විට යළිත් භාවිතා නොකරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු වන්නේ ද නැහැ. එසේ ම එක් වරක් පමණක් භාවිතයට සුදුසු මෙම පානීය ජල බෝතල් ඔබේ සෞඛ්‍යයට අහිතකර බව දැන සිටියා ද?

© Outdoria

මේ සඳහා පවතින හොඳම විකල්පය වන්නේ වීදුරු බෝතලයක් භාවිතා කිරීම වුවත් එය එතරම් ප්‍රායෝගික නැහැ. නමුත් අඩු මුදලකට මිල දී ගත හැකි භාවිතා කිරීමට පහසු නැවත භාවිතා කළ හැකි වතුර බෝතල් වර්ග රැසක් වෙළඳපොළේ පවතිනවා. වීදුරු මෙන් පහසුවෙන් නොකැඩෙන ඒවා බරින් අඩු වන අතර ඇතැම් බෝතල් හි ජල පෙරන ද අන්තර්ගත වෙනවා.

(4) බීම බටවලට තිත

උණුසුම් දිනයක දී  පිපාසය නිවා ගන්නට තැඹිලි ගෙඩියක් පානය කරනවා තරම් රසවත් මගයක් නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. නමුත් බොහෝ විට තැඹිලි පමණක් නොව මග දෙපස විකිණීමට ඇති පලතුරු සහ අනෙකුත් බීම පිළිගන්වන්නේ බීම බටයක් ද සමග යි. මෙවැනි බීම බටයක් භාවිතයට ගන්නේ තත්පර 30 ක් වැනි සුළු කාලයක් වුණත් එය දිරාපත් වීම සඳහා සියවස් ගණනාවක් ගත වෙනවා. එසේ ම ප්‍රතිචක්‍රීයකරණයකින් තොර ව මහ සයුරට මුදා හරින බීම බට හේතුවෙන් වසරක් තුළ දී මිය යන කැස්බෑවුන් ඇතුළු අනෙකුත් සාගර ජීවීන් සංඛ්‍යාව ද ඉහළ යි.

©Binu Nair

මෙයට ඇති හොඳම විසඳුම වන්නේ බීම බට භාවිතය සම්පූර්ණයෙන් ම නතර කිරීම යි. එසේ කිරීම අපහසු නම් බොහෝමයක් සුපිරි වෙළඳසැල් හි දී මේ වන විට ප්ලාස්ටික් බීම බට වෙනුවට ලෝහ බීම බට මිල දී ගැනීමට අවස්ථාව පවතිනවා.

(5) පිසූ ආහාර ගබඩා කරන්න ලෝහ භාජනයක්

විඩාබර දිනක් අවසානයේ නිවෙස් බලා පැමිණෙන බොහෝ දෙනෙක් ඉඳිආප්ප හෝ කොත්තු වැනි යමක් රාත්‍රී ආහාර සඳහා රැගෙන ඒමට කැමැත්තක් දක්වනවා. එවැනි ආහාර බොහෝමයක් අලෙවි කරන්නේ පොලිතීන් දවටනයන් හි අසුරා යි. නමුත් ආහාර මිල දී ගැනීමට යාමේ දී කොටස් කිහිපයකින් යුතු ලෝහ භාජනයක් රැගෙන යාමට ඔබට හැකි නම් රාත්‍රී ආහාරය සමග පොලිතීන් දවටන කිහිපයක් නිවසට රැගෙන ඒමට ඔබට සිදු වන්නේ නැහැ.

© Bisare

රැකියාවට යන අයෙක් නම් ඔබේ දවල් ආහාරය ද එවැනි ලෝහ භාජනයක රැගෙන යා හැකි යි. නැවතත් නිවෙසට පැමිණීමේ දී රාත්‍රී ආහාරය පිටින් මිල දී ගන්නවා නම් පිරිසිදු කරන ලද එම භාජනයේ ම ආහාර ගබඩා කිරීම තුළින් කොතරම් පොලීතීන් දවටන ප්‍රමාණයක් භාවිතා නොකර සිටිය හැකි දැයි සිතන්න.

කවරයේ පින්තූරය : © Buzz Aaena

Related Articles