දූවිලි සේල පටලවා ගෙන උරහිසෙන් එපිට ඉන්නවුන්ගේ නවයෙ කතාව කියපු විමල් කැටිපෙආරච්චිත්, සංගදාසගේ චුටි කලිසම ගලවලා වේදිකාවේ දීත් කෙළින් මිනිහෙක් බව ඔප්පු කරපු අසංක සායක්කාරත්, ඔන්න තව වැඩ දෙකකට එකට සෙට් වෙලා. කොම්රේඩ්ගේ ‘NGO- නැළවෙන ගී මැද ඔවිල්ල’ නවකතාව යි, සායාගේ ‘වසරේ හොඳම කෙටිකතාව” නම් කෙටිකතා සංග්‍රහය යි මේ අගෝස්තු 07 වෙනිදා හවස 03.30ට මහවැලි කේන්ද්‍රයේ දී එළිදැක්වෙනවා. ඒත් මේ එළිදැක්වීම වෙනස්ම විදිහකට වන බවට තමයි ආරංචිය ලැබිලා තියෙන්නෙ. ඒක වෙන විදිය බලන්න නම් ඔබට එන්නම සිද්ධ වෙන බවත් මතක් කරමින්, ඊට සමගාමී ව අප ඔවුන් දෙදෙනා සමග කළ සංවාදය මෙසේ ඔබ වෙත දිගහරින්නම්.
“කැටේ පෙරළෙන පැත්ත තීරණය වෙන්නෙ වටේ සිද්ධ වෙන දේවල් අනුව.”- විමල් කැටිපෙආරච්චි
කැටිපෙ සහ සායා දෙන්නා හමුවන ප්‍රථම මංසන්ධිය ලංකා පත්තරේ නිසා මට මෙහෙම තැනකින් අපේ කතාබහට ප්‍රවේශයක් ගන්න හිතුණා. කැටේටත්, සායාටත් පොදු වූ ඒ අතීත “දේශපාලන දික්කසාදය” ගැන කතා කරමු මුලින්ම.
ඇත්තටම දේශපාලනිකව ‘දික්කසාද වුණේ’ අපි අපි නෙමෙයි. අපි හිටපු දේශපාලන කඳවුර. ‘සකල දේශවාසී නිර්ධනයිනි එක්වව්’ කිව්ව වාමාංශික ව්‍යාපාරය, මුළුමහත් ඉතිහාසය පුරාම විවිධ න්‍යායික හා ක්‍රියාකාරීත්ව හේතු මත වෙන් වෙලා ගියා. ලංකාවේ දී නම්, ගොඩක් වෙලාවට ‘න්‍යායික ප්‍රශ්න’වලට වඩා ‘නායක ප්‍රශ්න’ තමයි එබඳු බිඳී යාම්වලට බලපෑවේ. ඒවා කාගෙවත් පෞද්ගලික වැරදිවලට වඩා ඒ ඒ මොහොතේ ‘සංවර්ධන මට්ටම්’ තමයි සිදුවීම්වලට බලපාන්නේ. කෙසේ වෙතත් ලංකා පුවත්පතේ ඉද්දි සිද්ධ වෙච්ච ‘පක්ෂයේ දෙකඩ වීම’ පත්තරේටත් ඒ විදිහටම බලපෑවා. එක පත්තරේ වැඩ කර කර හිටපු පිරිසක් පත්තර දෙකක වෙන වෙනම වැඩ කරන්න ගත්තා. ඒ අනුව, සායලා අපි ලංකා වෙතින් වෙන් වෙලා ජනරළට ගොඩ වුණා. පස්සෙ කාලෙක සායා පත්තර රස්සාවට සමුදුන්නා. අපි තව බොහෝ තැන්වල කරක් ගැහුවා. දිනුවා. පැරදුණා. හරි ගියා. වැරදුණා. හැබැයි මැරුන්නෑ! තාම පණ පිටින්!
සායක්කාරමය අකුරුවල කැටිපෙට අහුවුණ හැඩය ගැන දැනගන්න කැමතියි.
අසංක සායක්කාර කියන්නේ මතක හිටින්න ලියන්න පුළුවන් මිනිහෙක්. සායා ලංකා පත්තරේට ලියපු ‘කාක දූපතේ කතා’ විසින්, වාරණ නීති රීතිවලින් රිංගලා ගිහින් දේශපාලුවන්ගේ නිරුවත වහපු ‘චූටි කලිසම්’ පවා ගලවලා වීසි කරනු ලැබුවා. ඔහු ලියූ ‘අයාලේ’ කවි විසින්, සම්මත සදාචාර සෙල්ලං ගෙවල් සර බර ගාලා බිමට පාත් කරනු ලැබුවා. ඔහු විසින් සම්පාදනය කරන ලද, ලෙස්ටර් ජේම්ස් පීරිස්- ප්‍රේමසිරි කේමදාස වැනි යෝධයන්ගේ චරිතාපදාන, සරල සුගම නව ආරක් හඳුන්වා දුන්නා. මම ඔහුගේ පාඨකයෙක් හැටියට මේ දේවල් කියන්නේ, අසංක සායක්කාර යනු පිට කසා සනසවන්න බැරි ‘කෙළින් මිනිහෙක්’ බව හොඳින් දැනගෙන යි.
රේඩියෝ-ටෙලිවිෂන් ක්ෂේත්‍රය, පුවත්පත් කලාව, ලේඛන කලාව සහ දේශපාලනය යන ඔබ ගමන් ගත්, ගමන් ගනිමින් ඉන්න මංතීරු හතරෙන් මේ මොහොතේ කැටේ වැඩිපුර පෙරලෙනවට කැමති කොතැනට ද? ඊට හේතුව?
කැටේ පෙරළෙන පැත්ත තීරණය වෙන්නෙ වටේ සිද්ධ වෙන දේවල් අනුව. මොකද, අපේ චලනයන් සමාජය එක්ක බැඳිලයි තියෙන්නෙ. ටෙලිවිෂන්- රේඩියෝ- නවකතා- කවි- පත්තර මේ මොන පැත්තට ගියත්, දේශපාලනයෙන් ඈත් වෙන්න අමාරු යි. කවුරු කොහොම මොනවා කරලා අපිව නිශ්ශබ්ද කරන්න හැදුවත්, යක්ෂයන් යක්ෂයන් විදිහටත් යක්ෂයන් සාන්තුවරයන් විදිහටත් කියන දෙවිදිහටම ඇවිත් අපව නතර කරන්න හැදුවත්, නතර නොවී ඉස්සරහට යන්න අවැසි අභිලාශාත්මක පෙළඹුම හදන්නේ වෙන මොකක්වත් නෙමෙයි දේශපාලනය. ‘නැළවෙන ගී මැද ඕවිල්ලෙන්’ ම උපුටලා කියනවා නම්, “සිගරැට්ටුවක පළමු දුම් උගුර ප්‍රථම ප්‍රේමය තරම්ම නැවුම් ය. එය දෙවැනි වන්නේ පළමු දේශපාලන අත්දැකීමට පමණි”.
කැටිපෙ සහ සායා දෙන්නෙක් වුණාට, මතවාදී ව නිවුන්නු ද? එය එසේ නම්, මොකද්ද ඒ “පොදු බලපෑම”?
සායා සහ කැටිපෙ කියන්නෙ දෙන්නෙක්. මේ ලෝකේ කවුරුවත් ජාන පිටපත් වගේ වෙන්න ඕන කියල මම හිතන්නෙ නැහැ. මිනිසුන් අතර ඇති වෙනස්කම් තමයි මිනිස් සමාජය ලස්සන කරන්නේ. ඒ අසිරිමත් විවිධත්වය තමයි විචිත්‍රත්වය නිර්මාණය කරන්නේ. හැබැයි එක මාවතක ගමන් කරන මිනිස්සු. මනුෂ්‍යත්වය ගැන අපට පොදු අදහසක් තියෙනව. ජාතිවාදය ආගම්වාදය කියන්නෙ මොනතරම් ජරාජීර්ණ දේවල් ද කියලා අපි අත්දැකීමෙන් දන්නවා. ඉතින් මෙන්න මේ සමාන පදනම් උඩ ස්ථානගත වෙලා වෙනස් වෙනස් වැඩ කරන වෙනස් මිනිස්සු හැටියට යි අපි අපිව හඳුනාගන්නෙ.
පැත්තකට වෙලා නිෂ්ක්‍රීයව නොඉඳ, සම්මා සතියෙන් ක්‍රියාකාරී වෙන්න ඕන කියන අදහස තමයි අපේ පොදු සාධකය.
අවසන් ප්‍රශ්නේ විදියට මං කැමතියි මෙහෙම අහන්න. “වාරණය” තුළින් විමල් කැටිපේආරච්චි ව මර්දනය කරන්න පුළුවන් ද?
මං වගේ කෙනෙකුට ඔබේ ප්‍රශ්නය ලොකු වැඩියි කියලත් හිතෙනව. මොකද, අප ගලිවරයන් නොවෙයි. අප ලිලිපුට්ටන්. අප වැඩකරන ක්ෂේත්‍රවල ඕනෑ තරම් යෝධයන් සිටියා සහ ඉන්නවා. අපේ පොඩිකම දැනගෙන තමයි අපි වැඩකරන්නේ. අප වැනි ලිලිපුට්ටන්වත් වාරණය කරන්නට කවුරුන් හෝ හිතනවානම්- උත්සාහ කරනවානම්, අප ඔවුන්ට ඉතා නිහතමානීව අවධාරණය කරන්නේ, සිරුරේ සහ අධිෂ්ඨානයේ ප්‍රමාණයන් එකිනෙකට සමාන නොවන බවයි සහ අන්න ඒ නිසාම, අපගේ වෙර වෑයම් ලේසියෙන් හකුලා නොගන්නා බව යි. පැරදීමට වඩා අප බියවන්නේ වැරදීමට වුවත්, වැරදෙයි හෝ පැරදෙයි කියා බයට ‘නිකම් ඉන්න’ බැහැ නේද?
“ඔව්! වාරණයට අපි විරුද්ධ යි. කලාවට වාරණය එපා.”- අසංක සායක්කාර
සායා සහ කැටිපෙ දෙන්නා හමුවන ප්‍රථම මංසන්ධිය ලංකා පත්තරේ නිසා මට මෙහෙම තැනකින් අපේ කතාබහට ප්‍රවේශයක් ගන්න හිතුණා. සායාටත්, කැටේටත් පොදු වූ ඒ අතීත “දේශපාලන දික්කසාදය” ගැන කතා කරමු මුලින්ම.
අතීත දේශපාලන දික්කසාදය කියන යෙදුම සෑහෙන්න සංකීර්ණ යි. ඒක එක එක අයට එක එක තැන්වලින් අර්ථකනය කරන්න පුළුවන්. මං කැමතියි ඒකට මෙහෙම උත්තරයක් දෙන්න. අපි අනුගත වුණු, එකඟ වුණු, කි‍්‍රයාත්මක වුණු දේශපාලන ධාරාවක්/ ව්‍යාපාරයක් තිබුණා. ඒ තුළ අපි අපිට දැනෙන උපරිමයෙන් ක‍්‍රියාත්මක වුණා. ඒ දේශපාලන ධාරාවන් වෙන වෙන ධාරාවන්වල යද්දි අපිට දැනෙන විවේචනය අපි ඉදිරිපත් කළා. ඒ ධාරාවන් බෙදී වෙන්වෙලා යද්දී අපි හරියි කියලා හිතපු යාත‍්‍රාවන්වල නැගලා අපි ඒ ඒ ඉවුරු වෙත ඔවුන් එක්ක යාත‍්‍රා කළා. ඒ ගමන විවිධ හංදිවලින් හැරිලා දැන් අපි මෙතැනට ඇවිල්ලා ඉන්නෙ. අපි නතර වෙලා ඉන්න තැනත් එක්ක බලනකොට අතීත දේශපාලන ධාරාවන් සමග දික්කසාද වුණා කියලා දැනෙන්න පුළුවන්. ඔව්! දික්කසාද වුණා. ඒ එම දේශපාලන ධාරාවන් තුළ තිබ්බ අගතීන් එක්ක. හැබැයි පේ‍්‍රමය තාමත් එහෙමම යි.
කැටිපෙගේ අකුරුවල සායක්කාරට අහුවුණ හැඩේ ගැන දැනගන්න කැමතියි.
කැටිපෙට තියෙන්නෙ ලියන එකෙක්ට ඉරිසියා හිතෙන විදියෙ භාෂාවක්. දීප්ති වරක් කිව්වා කැටිපෙට තියෙන්නෙ කොලාජ් භාෂාවක් කියලා. කැටිපෙගෙ භාෂාව එහෙම කිසිම කෝවක දාලා කිරලා මනින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක වෙලාවකට කොලාජ්. තවත් වෙලාවකට මොන්ටාජ්. ඌ ලියන ප‍්‍රස්තුතය අනුව තමයි උගේ භාෂා තුවක්කුවට ගැලපෙන උණ්ඩ තෝරගන්නෙ. විරෝධය පාන ලිපියක කවියක, වැකියක තියෙන සැර පේ‍්‍රමය ගැන ලියන තැනට ඌ අරන් එන්නෙ නෑ. එතන තියෙන තෙත. මොන දේ ලිව්වත් ඒ ලියන දේ අපුර්වම තැනින් ලියන්න කැටයා දක්ෂ යි. එහෙම ලියන්නෝ ඇත්තටම අපිට ඉන්නෙ ඉතාම අඩුවෙන්. ඒ අඩු උන් අතරිනුත් කැටයා විශේෂ යි. ඒ ලියවිලි හැමදාම මාව අලෝලනය කළා වගේම උත්තේජනය කළා.
පුවත්පත් කලාව, වේදිකා නාට්‍ය, ලේඛන කලාව සහ දේශපාලනය යන ඔබ ගමන් ගත්, ගමන් ගනිමින් ඉන්න මංතීරු හතරෙන් මේ මොහොතේ සායක්කාර වැඩිපුර ගමන් ගන්න කැමති මොන මංතීරුවේ ද? ඊට හේතුව?
ඔබ ඔය කියන මංතීරූ එළියෙන් ඉඳලා බලන කෙනෙක්ට වෙන වෙනම මංතීරූ වගේ පෙනුනට ඒ ඔක්කොම එකට පැටලිලා තියෙන්නෙ. වේදිකා මංතීරුවේ ගමන් කරත් ඒක වැටිලා තියෙන්නෙ දේශපාලන මංතීරූව උඩින්. ලේඛනය ගත්තත් එහෙම යි. ඒ නිසා වඩාම කැමති මංතීරූව මොකක්ද කියලා හිතන එක පවා තේරුමක් නැති වැඩක්. මංතීරූව තීරණය වෙන්නෙ ඒ මොහොතේ හිත ඇතුළෙ කැකෑරෙන දේත් එක්ක.
සායා සහ කැටිපෙ දෙන්නෙක් වුණාට, මතවාදී ව නිවුන්නු ද? එය එසේ නම්, මොකද්ද ඒ “පොදු බලපෑම”?
ඕනවට වඩා රොමාන්තික වෙලා මේ ප‍්‍රශ්නෙට උත්තර දුන්නොත්, ඔව් අපි මතවාදී නිවුන්නු වගේ එකක් කියන්න පුළුවන්. ඒත් එච්චර හැගීම්බර වෙන්න ඕනේ නෑ. සායක්කාර කියන්නෙ කැටිපෙආරච්චි නෙමෙයි. කැටිපෙආරච්චි කියන්නෙ සායක්කාර නෙමෙයි. ඌට අනන්‍ය වෙච්ච දෙයක් සහ මට අනන්‍ය වෙච්ච දෙයක් තියෙනවා. ඌ හිතෙන විදියක් සහ මම හිතෙන විදියක් තියෙනවා. ඌ ජීවත් වෙන ජීවන ලතාවක් සහ මම ජීවත්වෙන ජීවන ලතාවක් තියෙනවා. තවත් ගොඩක් දේවල් එහෙම යි. මේ හැම එකක්ම 100%ක් සමාන නෑ. සෑහෙන්න වෙනස්කම් තියෙනවා. ඒ සියලු වෙනස්කම් තිබිය දී පවා අපිට එකඟව වැඩ කළ හැකි මහාපොදු සාධක ගොඩක් තියෙනවා. අපි දෙන්නම පසුකරගෙන ආපු එක වගේ අතීත කතා ගොඩක් තියෙනවා. අපි දෙන්නටම අද මුහුණ දෙන වර්තමාන කතා ගොඩකුත් තියෙනවා. අනාගත කතා ගොඩකුත් තියෙයි. ඒවා ඇතුළෙ අපි සමාජ ක‍්‍රියාවන්ට දක්වන ප‍්‍රතික‍්‍රියා හුගක් වෙලාවට සමාන වුණා. මීට වඩා දියුණු සමාජයක් ගැන දියුණු මිනිසෙක් ගැන අපිට උස් ප‍්‍රාර්ථනාවක් අදහසක් තියෙනවා. ඒක තමයි අපිව මේ මොහොතේ ගැටගහන පොදු හුය.
අවසන් ප්‍රශ්නේ විදියට මං කැමතියි මෙහෙම අහන්න. මේ වෙද්දී උණුසුම් මාතෘකාවක් බවට පත්වෙලා තියෙන “වාරණය” ගැන සායක්කාරගේ අදහස?
වාරණයට මම එකහෙළා විරුද්ධ යි. කාලෙන් කාලෙට ඔය වාරණේ එක එක වේශයන්ගෙන් කරළියට එනවා. නිර්මාණකරුවෙක් පුරවැසියෙක් විදියට සියලු පුරවැසියන්ගෙන් කලාකාරුවන්ගෙන් මම ඉල්ලන්නේ පළමු කොට වාරණයට විරුද්ධ වෙන්න. අතරමැදි කොන්දේසීවල පිහිටන්නෙ නැතුව විරුද්ධ වෙන්න. ටිකක් විරුද්ධ යි. චූට්ටක් එකඟ යි වගේ දියාරු ආස්ථානවල හිටපු නිසා තමයි අපිට මේ කෙළවිල්ල කෙළවුණේ. නළවන්නෙ නැතුව හරියට සැරට රිදෙන්න කියමු. ඔව්! වාරණයට අපි විරුද්ධ යි. කලාවට වාරණය එපා කියලා. එච්චර යි.