අත් ට්‍රැක්ටරය යනු කලකට පෙර නැසීගිය ශ්‍රී ලාංකික විද්‍යාඥ රේ. විජේවර්ධන මහතා විසින් නිපදවන ලද්දකි. ඔහු විසින් එය ලාංකික දේශපාලනයේ එවකට ඉහළම තැනකට දැනුම් දුන් පසු “ලංකාවේ ඇති පදන් මී හරක් ඉන්නවා”යැ යි පිළිතුරු දී තිබේ. රේවත මහතාගේ අත් ට්‍රැක්ටරය ලංකාවට නොවටිනා එකක් වුව ද බ්‍රිතාන්‍යයේ ලෑන්ඩ්මාස්ටර් සමාගමට වටිනා නිමවුමක් විය. අද කාලයේ ද අත් ට්‍රැක්ටරය ලෑන්ඩ්මාස්ටරේ ලෙස හැඳින්වේ.
අත් ට්‍රැක්ටරය දුප්පත් ගොවියාගේ සකලවිධ කාර්යයන් සඳහා යොදාගන්නා බහුකාර්ය මෙවලමකි. එයට ට්‍රේලරයක් සවිකොට ගත් කල ගොවියාගේ එළවළු මලු ටික පොළේ ගෙනියන්නට එය පාවිච්චි කරන්නට හැකිය. වී, දහයියා, පොහොර ඇදිමට මෙන්ම වළවල් යහමින් ඇති ගමේ පාරේ පොළට යන්න, කඩ මන්ඩියට යන්න ද අත් ට්‍රැක්ටරය ගැමි ජනතාව යොදා ගත්තේ ය. අද වන විටත් ඈත ගම්මානවල අත් ට්‍රැක්ටරයෙන් ගමන් බිමන් යෑම කලාතුරකින් දක්නට තිබුණ ද, එදා මෙන් සුලබ ව ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතා නොවේ.
අත් ට්‍රැක්ටරේ උජාරුව
ට්‍රේලරය ද සහිත අත් ට්‍රැක්ටරයක් එකල ගම්වල වර්තමානයේ මෙන් සුලබ නැත. අත් ට්‍රැක්ටරයක් මිල දී ගන්නට හැකියාව ද ලෙහෙසි පහසු එකක් නොවීය. එවැනි හැකියාව ඇති අයට අත් ට්‍රැක්ටරය සිය සෞභාග්‍යය ලොවට පෙන්වන එක්තරා ආභරණයක් මෙන් විය. දුප්පත් ගොවියා ටිකක් සල්ලිය බාගේ ලැබෙන්නට වූ කල තම පැල්පත යාන්තමින් නිවසක් කරගන්නට වෙහෙස මහන්සි වූයේ ය. ඉන්පසු ඔහුට සියදෝරිස්ට මෙන් බයිසිකලයක් මිල දී ගෙන වඩාත් ඉක්මනින් ගමන් යෑමට උවමනාවක් ඇති වේ. ඉතිං බයිසිකලයත් මිල දී ගෙන, ගොවිතැන් වැඩ කන්න දෙක තුනක් හරියට තිබුණොත් ඊළඟ අඩිය තබන්නේ අත් ට්‍රැක්ටරයක් මිල දී ගැනිමට ය. වර්තමානයේ දී නම් ඈත ගම් දනව්වල ජනයාගේ මූලික අරමුණ ත්‍රී රෝද රථයක් හෝ මෝටර් රථයක් මිල දී ගැනිම ය. එහෙත් එකල ගොවි ජනයා මඩ වැඩට, ගොඩ වැඩට මෙන්ම ඉදිහිට ප්‍රවාහනයට ද වැදගත් වූ අත් ට්‍රැක්ටරය වඩාත් ප්‍රයෝජනවත් ආයෝජනයක් ලෙස සැලකීය.
ගමන් සවාරි යෑම
අත් ට්‍රැක්ටර ට්‍රේලරය කිසිම ලෙසකින් සුවපහසු තැනක් නොවේ. කාපට් පාරක වුව ද යන විට එහි වන ගැස්සීමෙන් නම් ගැළවීමක් නැත. වළවල් බහුල පාරක නම් වාඩි වී යෑමට වඩා එහි සිටගෙන යෑම පහසු ය. මේ ට්‍රැක්ටරවලින් ගමන් බිමන් යෑම අප රටෙහි පමණක් නොව ඉන්දියාව, පිලිපීනය, බුරුමය, තායිලන්තය ආදී රටවල ද ගොවි ජනතාවගේ ජනප්‍රිය ප්‍රවාහන මාදිලියකි. ඉන්දියාවේ ගොවිතැන්බත් සරුසාර පන්ජාබයේ පවා අද ද ගොවීන් එහා මෙහා යන්නේ මහ ට්‍රැක්ටරවල නැගීගෙන ය.
මහ වෙහෙර නරඹන ගමන
විද්‍යුත් මාධ්‍යවලින් බැලූ විට අද කාලේ වෙසක් තිබෙන්නේ කොළඹ ය. එක් එක් නාලිකාවලින් එකිනෙකා පරයා වෙසක් සිරි පෙන්වීම ද එක්තරා තරගයකි. ඒ ඒ ගම්මාන සහ පළාත් ආශ්‍රිත ව ජනප්‍රිය වූ වෙහෙර විහාරස්ථාන තිබේ. ගිරුවාපත්තුවේ හා මාගම්පත්තුවේ රුහුණු රට වැසියනට වැවුරුකන්නල, කසාගල, මුල්ගිරිගල, තිස්සමහවෙහෙර, සිතුල්පව්ව, කතරගම කිරි වෙහෙර ආදි ස්ථාන ගෞරවාදරයට පත් මහා සිද්ධස්ථාන විය. අනෙක් පළාත්වල ද ඒ පළාතේ ම පිහිටි මහ විහාරයන් පෝ දිනවල දී මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. ගමට ආසන්නයේ තිබෙන මහ වෙහෙර විහාර නැරඹීම සඳහා ට්‍රැක්ටරයේ නැගීගෙන වන්දනාවේ යන පිරිස් එදා නම් පෝය දිනවල සුලබ දසුනක් විය.
තොරණ, පෙරහැර, සල්පිල
වෙසක්, පොසොන්, ඇසළ ආදී ප්‍රමුඛ පොහොයන් ආශ්‍රිත ව කෙරෙන දාන, ශීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවලට වඩාත් ඇල්මක් දක්වන්නේ වැඩිහිටි පරම්පරාවේ ආච්චිලා, සීයලා ය. ආච්චී, සීයා, අම්මා, තාත්තා පන්සලේ පෙහෙවස් සමාදන් වී ඇත්නම් පොහොය දිනයේ ඔවුන් දැක බලාගෙන, දන් පිලිගන්වා, වැද නමස්කාර කර ඒම එකල ගමේ පවුලේ චාරිත්‍රයක් විය.
ආමිෂ පූජා වශයෙන් පෙරහැර පැවත්වීම, තොරණ පැවැත්වීම, සල්පිල් පැවැත්වීම, අපාය, රූකඩ හා බක්කො නැටවීම මෙන්ම ආගමික නාට්‍ය රගදැක්වීම ද එකල ගම්මානවල පොහෝ දින ආසන්නයේ දි සිදුවිය. තොරණ නම් කොළඹ වෙසක් එකට තිබෙන තොරණ පොසොන්, ඇසළ වන විට ගමට යයි. ස්ථාන කිහිපයක තිබෙන මේ උත්සව කිහිපයක් ම දැක බලාගැනීමට අත් ට්‍රැක්ටර් ගමන මහත් රුකුලකි.
එදා සහ අද
අද වන විට ට්‍රැක්ටර් ගමන ගම්මානවලිනුත් තරමක් ඈතට ගොස් තිබේ. අද ත්‍රීරෝද රිය සහ අඩුමිල කුඩා මෝටර් රථ ගම ද ආක්‍රමණය කරගෙන අවසන් ය. එදා ගමේ පවුල් කිහිපයක් එක්ව සියලු දෙනා සහයෝගයෙන් එකිනෙකා හා විහිළු තහළු කරගනිමින්, ගැස්සීගෙන පැද්දීගෙන ගිය අත් ට්‍රැක්ටර් ගමන් දැන් අතීතයට ගොසිනි. පුද්ගලික ව එකිනෙකා ගෙවල් දොරවල්, යාන වාහන ගෙන දියුණු වුව ද ඒ තුළින් පෙර සමාජයේ පැවති පොදු හැඟීම තරමක් දුරස් වී තිබේ. එකිනෙකා හා එක්කාසු වී උත්සව පැවැත්වීම මෙන්ම උත්සව නරඹන්නට යෑම ද අපෙන් කෙමෙන් කෙමෙන් දුරස් වී ඇත. මතක නැති රජ කාලේ නොව බොහෝ දෙනාට මතක 2000ට පෙර කාලයේ ගම්පළාත්වල සුලබ වූ අත් ට්‍රැක්ටර ගමන් පිළිබඳ ඔබටත් මතක සටහන් තිබෙනු නිසැක ය.
Cover image: pbase.com