Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනි කන්දක් හේතුවෙන් බිහිවූ දකුණු කොරියාවේ ජේජු දූපත

දකුණු කොරියාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන ආර්ථික බලයක් හිමි රටකි. ආසියාවේ තෙවන විශාලතම ආර්ථිකය හිමි වන්නේ මෙරටට ය. මෙවැනි ආර්ථික ස්ථාවරයකට පැමිණීමට එරට සංචාරක කර්මාන්තයෙන් ඔවුන් හට ලැබෙන්නේ අනුපමේය දායකත්වයකි. ජේජු යනුවෙන් හඳුන්වන්නේ මේ සඳහා සුවිශාල දායකත්වයක් සපයන දකුණු කොරියාවේ එක් සුවිශේෂී, සුන්දර දූපතකි. පරිපාලනමය කටයුතු ඇතුළුව ජේජු දූපත සම්බන්ධ විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වනවා.

භූ ගෝලීය පිහිටීම

globalresearch.ca(ජේජු හි භූ ගෝලීය පිහිටීම)

දකුණු කොරියානු දේශ සීමාව තුළ දූපත් 3000 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. එමෙන්ම ඒ අතරින් බොහෝමයක ජනාවාස වී නොමැත. ජේජු යනුවෙන් හඳුන්වන්නේ දකුණු කොරියාවේ විශාලතම දූපතයි. කොරියානු අර්ධද්වීපයට කිලෝමීටර් 64 ක් පමණ දුරින් මෙම දිවයින පිහිටා තිබෙනවා.  මීට අමතරව Ulleungdo, Hongdo, Geojedo, Oedo, Jindo, Udo යන දූපත්ද ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ගෙන සිටින දූපත් ලෙස දැක්විය හැකියි.

ජේජු යන නම

අතීතයේ ජේජු දූපත විවිධ නම් වලින් හඳුන්වනු ලැබ තිබීම විශේෂත්වයකි.  Doi, Dongyeongju, Seopra, Tammora, Takra හා Tamna යන නම් ඒ අතර වනවා. මේ අතරින් වැඩිම කාල පරිච්ජේදයක් භාවිතා කර තිබෙන නම වනුයේ තම්නා (Tamna) යන නාමයයි. ඉතිහාස වාර්තා වලට අනුව දූපතට මෙම නම් ලබා දී තිබෙන්නේ ක්‍රි. පූ. 57 දී පමණ සිලා (Silla) නමැති රාජධානිය විසිනුයි. වර්තමානයේ භාවිතා කරන ජේජූ යන නාමය 1192 හා 1256 අතර වකවානුවේදී Goryeo නමැති රාජ වංශය මඟින් ලබා දී තිබෙනවා. ජේජු යන්නෙහි අරුත ලෙස දැක්වෙන්නේ “ මුහුද හරහා ගම” යන්නයි.

වර්ෂ 2000 ක​ට පෙර මෙම දිවයින සම්බන්ධයෙන් සඳහන් කරන එරට සෑම ලිඛිත සටහනකම සඳහන් වූයේ “චේජු” (Cheju) යනුවෙනි. එමෙන්ම නිවැරදි උච්චාරණය වන්නේද “ චේජු” (Che-ju) යන්නයි. නමුත් මෙම වචනය ඇසීමෙන් විදේශිකයන් “ ජේජු (je-ju)” යන්න පැවසීමෙන් මෙම දූපතට ජේජු යන නාමය නිර්මාණය වී තිබෙනවා.

ජේජු දූපතේ නිර්මාණය

caitlyndebeer.wordpress.com (Halla – San කන්ද)

ජේජු දූපත මුල් කාලයේ ගිනිකඳු දූපතකි. මීටර් 1950 ක් පමණ වූ Halla – San දකුණු කොරියාවේ පිහිටා තිබෙන උසම කන්දයි. අනතුරුව මීට වසර මිලියන ගණනකට පෙරාතුව මෙම ගිනි කන්ද පුපුරා යාමෙන් මෙම දූපත නිර්මාණය වී තිබෙනවා. ජේජු දූපත වර්ග කිලෝමීටර් 1,848 ක් පමණ විශාලත්වයන් යුක්ත වන අතරම භූමි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ ලාවා ඝන වීමෙන් සෑදුණු තද පාෂාණ වලිනුයි.

පරිපාලනය හා ජන ජීවිතය

businesskorea.co.kr(ජේජු සිටි)

ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ පාලන සමයත් සමඟම  පරිපාලනය සඳහා වූ පළාත් වර්ග කිරීමද වෙනස් වූ බවයි. කෙසේ නමුත් දකුණු කොරියාව සතු වර්තමාන  පළාත් සංඛ්‍යාව නවයකි. එනම් Gangwon Do, Chungbuk Do, Gyeongbuk Do, Jeollabuk Do, Jeju Do, Gyeonggi Do, Chungnam Do, Gyeongnam Do හා  Jeollanam Do යනුවෙනි. ‘ජේජු සිටි’ යනුවෙන් හැඳින්වෙන්නේ ජේජු පළාතේ අගනගරයයි.

ජේජු පළාත Jeju City හා Seogwipo යනුවෙන් නගර දෙකකට මෙන්ම  බක්ජේජු (Bukjeju) හා නම්ජේජු (Namjeju) යනුවෙන් ප්‍රදේශ​ දෙකකට බෙදීමක් සිදු කරනු ලබනවා. නගර දෙක නැවත වටපිටාවන් (neighbourhoods) 31 කට බෙදා ඇති අතර රටවල් දෙක සුළු නගර 7 කට හා දිස්ත්‍රික්ක 5කට බෙදීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම මෙම සුළු නගර හත හා දිස්ත්‍රික්ක පහ, ගම්මාන 551 කට බෙදා තිබෙනවා.

ජේජු පළාතේ පුෂ්පය වන්නේ රොඩෙන්ඩ්‍රොන් පුෂ්පයයි. Camphor (කපුරු) පළාතේ වෘක්ෂය වන අතරම කොට්ටෝරුවා පක්ෂියා වෙනවා.

මෙහි 360,000 පමණ ජනගහනයක් වාසය කරනු ලබනවා. ජේජු දූපත ජාතික හා ජාත්‍යන්තර සංචාරක කටයුතු සම්බන්ධයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. එමෙන්ම මෙම දිවයින හුදකලාව පිහිටා තිබීම හේතුවෙන් මෙහි වාසය කරන ජනතාව විසින් ගොඩනගාගෙන තිබෙන සංස්කෘතිය කොරියාවේ සංස්කෘතියෙන් වෙනස් වනවා. දිවයිනේ සංස්කෘතිය ගැන අවධානය යොමු කිරීමේදී එය ඉතාමත් විශේෂ වනවා. අද්විතීය ආහාර, උපභාෂාවන්, ජනප්‍රවාද, මිත්‍යා විශ්වාස මෙන්ම නොයෙක් ආකාරයේ සිරිත් විරිත්ද මෙහි දක්නට තිබෙනවා. එමෙන්ම ජේජු සමාජයේ කාන්තාව ගෞරවාදරයට පාත්‍ර වන අතරම වන්නේ කාන්තාව පවුලේ ගෘහ මූලිකයා ලෙස සලකනු ලබයි.

සංචාරක කර්මාන්තය

thinglink.com(Cheonjeyeon දිය ඇල්ල)

දකුණු කොරියාවේ නිවාඩු ගත කිරීම සඳහා ජේජු දූපත ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. 2013 වසරේ එරට රාජ්‍ය සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මිලියන 10ක පමණ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට දූපත සමත් වූ බවයි. එම සංචාරකයින් අතුරින් 70% වැඩි ප්‍රමාණයක් දේශීය සංචාරකයින් ය. ඔවුන් මෙලෙස පැමිණෙන්නේ ‘දකුණු කොරියාවේ හවායි’ යනුවෙන් හඳුන්වනු ලබන ජේජු දූපත නැරඹීම සඳහායි.

දිය ඇළි, සුදු වැලි තලාවන්ගෙන් යුත් වෙරළ තීරයන්, අක්‍රීය ගිනිකන්ද එනම් දකුණු කොරියාවේ උසම කන්දෙන්ද යුක්ත දිවයින ස්වභාවික පුදුමයන් අතින්  ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ ලාවා ටියුබ් හා ජේජු ගිනිකඳු දූපත 2007 වසරේදී ලෝක උරුමයන් ලැයිස්තුවටද ඇතුළත් කරනු ලැබුවා. 2011 වසරේදී මෙම දූපත නව ස්වාභාවික පුදුම හතෙන් එකක් ලෙසද නම් කරනු ලැබුවා.

දිවයිනේ නැරඹිය හැකි ස්ථාන අතර කිහිපයක් නම්, Hallasan නමැති කන්ද , Cheonjeyeon දිය ඇල්ල, Seonimgyo  නමැති පාලම ,Jeju Folk ගමේ කෞතුකාගාරය , Seongsan Ilchulbong, Jeongbang ඇල්ල , Manjanggul ගුහාව , Jungmun වෙරළ, Jeju Waterworld ය.

කවරයේ පින්තූරය:  Screengrab from Youtube

Related Articles