වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් සහභාගී වෙන ලොව විශාල ම සැණකෙළිය- කුම්භ මේලා

ලෝකයේ වැඩි ම ජන ප්‍රමාණයක් සහභාගි වෙන උත්සවය ලෙස වාර්තා තබා තිබෙන්නේ අසල්වැසි ඉන්දියාවේ ඇති කුම්භ මේලා (Kumbha Mela) සැණකෙළිය යි. මෙය හින්දු භක්තිකයන්ගේ ආගමික උත්සවයක් ලෙස හැඳින්විය හැකි යි. එම සැණකෙළිය සඳහා හින්දු භක්තිකයන්ට අමතර ව ලොව නොයෙක් දෙසින් සංචාරකයන් ද එකතු වෙනවා.

2019 වසරේ කුම්භ මේලා සැණකෙළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජනවාරි දෙවන සතියේ ආරම්භ වී මාර්තු දක්වා පැවැත්වෙන මෙම සැණකෙළිය සඳහා මිලියන 120ක ජනකායක් සහභාගී වනු ඇතැ යි බලාපොරොත්තු වෙනවා. මේ සැණකෙළිය යටතේ පෙබරවාරි  4 වෙනි දිනට යෙදී ඇති ස්නානය සඳහා වන නැකතට මිලියන 30ක ජනකායක් සහභාගී වනු ඇති බවට අනුමාන කර තිබෙනවා.

මෙම සැණකෙළියේ දී සිදුවන්නේ වන්දනාකරුවන්, ගංගා හා යමුනා යන ගංගාත්, ඔවුන් පවතිනවායැ යි විශ්වාස කරන මිත්‍යා ගංගාවක් වන සරස්වතී ගංගාවත් එකිනෙක හමුවෙන ස්ථානයේ ස්නානය කිරීම යි. එය මෙම සැණකෙළියේ ප්‍රධාන අංගය යි.

සෑම වසර 12කට වරක් මෙම “පූර්ණ කුම්භ මේලා” සැණකෙළිය පැවැත්වෙනවා. සැණකෙළි භූමිය අලහබාදය යි. එය උතුරු ඉන්දියාවට අයත් ප්‍රදේශයක් ලෙස නම් කළ හැකි යි.

යුනෙස්කෝ සංවිධානය විසින් මේ වන විට කුම්භ මේලා සැණකෙළිය අස්පර්ශීය සංස්කෘතික උරුමයක් ලෙස නම් කර තිබෙනවා. කුම්භ මේලා ව සඳහා ඉන්දියානු රජයේ අනුග්‍රහය ද හිමිවෙනවා.

කුම්භ මේලා වෙත ළඟා වීම

තාවකාලික කූඩාරම් (Tripoto)

කුම්භ මේලා සැණකෙළිය සඳහා සහභාගී වෙන අතිවිශාල ජනකාය ඒ ප්‍රදේශයට පැමිණීම සඳහා වැඩිපුර ම භාවිතා කරන්නේ දුම්රිය යි. මේ කාලයේ දී දුම්රියේ පැමිණෙන පිරිස වෙනත් දිනවලට සාපේක්ෂ ව කිහිප ගුණයකින් වැඩි යි. මේ සඳහා ඉන්දියානු හින්දු ජනතාවට අමතර ව තවත් බොහෝ රටවල හින්දු භක්තිකයින් හා සංචාරකයන් සහභාගී වෙනවා.

ඊට අමතර ව ගොනුන්, බූරුවන්, හා අශ්වයන් බඳින ලද කරත්තවලින් ද බොහෝ පිරිසක් පැමිණෙන අතර, ප්‍රදේශය වෙත ඇදෙන පෞද්ගලික මෝටර් රථ ප්‍රමාණය ද ඉතාම ඉහළ අගයක් ගන්නවා. තව ද, ධනවත් පුද්ගලයන් මේ කරා ළඟා වෙන්නේ  තමන්ගේ පෞද්ගලික හෙලිකොප්ටර් හා ගුවන් යානා උපයෝගී කරගෙන යි.

ඔවුන්ට නැවතීම සඳහා ව. කි. මී. 32ක භූමි ප්‍රදේශයක් වෙන් කර ඇති අතර, ඒ ප්‍රදේශයේ තාවකාලික කුඩාරම් ඉදිකිරීමට රජය විසින් කටයුතු කර තිබෙනවා. ඔවුන්ට පහසුකම් සැපයීමට ආරක්ෂක අංශ මෙන්ම විවිධ සංස්කෘතික හා රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් සුදානමින් සිටිනවා.

හින්දු බැතිමතුන්ට අමතර ව හිමාලය ආදී ප්‍රදේශවල විවිධ වෘත සමාදන් ව සිටින විවිධ අධ්‍යාත්මික හැකියාවන් ඇතියැ යි පැවසෙන ලබ්ධිකයන් මේ සඳහා සහභාගී වෙනවා. මේ පිරිස අතරට නිර්වස්ත්‍ර සාධුවරුන් ද ඇතුළත් වෙනවා.

ඔවුන් ගංගාව දෙපස කුඩාරම්වල සිට උත්සවසමය අවසන් වන තුරු රාත්‍රියේ විවිධ දේශනා පවත්වන අතර, මේවා ශ්‍රවණය කිරීමට හින්දුන් මෙන්ම විදෙස් සංචාරකයින් ද කැමැත්තක් දක්වනවා.

කුම්භ මේලාවේ ප්‍රභේද

විවිධ වෘත සමාදන් වී සිටින සාධුවරුන් (www.allahabadkumbhyatra.com)

කුම්භ මේලා සැණකෙළිය සෑම වසරක ම පැවැත්වෙන්නේ නෑ. “සාමාන්‍ය කුම්භ මේලා” සැණකෙළිය සෑම වර්ෂ තුනකට ම වරක් පැවැත්වෙනවා. නමුත්, “අර්ධ කුම්භ මේලාව” සමරන්නේ වර්ෂ 6කට වරක්. තව ද, පූර්ණ කුම්භ මේලාව (Purna Kumbh Melas) සමරන්නේ වසර 12කට වරක්. ඒ කියන්නේ පූර්ණ කුම්භ මේලා දෙකක් අතර අර්ධ කුම්භ මේලාවක් පැවැත්වෙනවා.

ප්‍රධානතම කුම්භ මේලාව “මහා” යනුවෙන් හඳුන්වනවා. මහා කුම්භ මේලාවන් (Great Kumbh Mela”) සංවිධානය වෙන්නේ පූර්ණ කුම්භ මේලාවන් 12කට පසු ව යි. එනම්, වර්ෂ 144කට වරක් පමණ යි.

මෙවර පැවැත්වෙන්නේ අර්ධ කුම්භ මේලාවක්. මීට පෙර පූර්ණ කුම්භ මේලාවක් අවසන් වතාවට පැවැත්වෙන්නේ 2013 වසරේ දී යි. මේ සඳහා සහභාගී වෙන අධික ජනකාය හේතුවෙන් සෑම උළෙලක ම මරණ කිහිපයක් වාර්තා වෙනවා. ඒ වන්දනාකරුවන් තෙරපීමට ලක් වීමෙනු යි. 1954 දී පැවැති උත්සවයේ දී 500ක පමණ පිරිසක්‌ මරණයට පත් වෙනවා. 2003 වර්ෂයේ පුද්ගලයන් 39ක්‌ මරණයට පත් වෙනවා. තවත් විශාලා පිරිසක් තුවාල ලබනවා. අනතුරට හේතුව ලෙස පසු ව අනාවරණය වන්නේ සාධුවරයෙක්‌ බැතිමතුන්ට දැමූ රිදී කාසි ප්‍රමාණයක්‌ ඇහිලීමට ගොස්‌ සිදු වූ තෙරපීමක් බව යි.

ආත්මය පිරිසිදු කර ගැනීම උදෙසා වන ස්නානය

පවු සෝදා ගැනීම (Quartz)

මෙම සැණකෙළියේ දී වැදගත් ම දිනය වන්නේ ගංගා එක්වන ස්ථානයේ ස්නානය කරන දිනය යි. මේ සඳහා අතිවිශාල ජනකායක් සහභාගී වන අතර, එම දිනයේ ස්නානය කිරීමෙන් තමන්ගේ පවු සෝදා ගැනීමට හැකි වන බවත්, පිරිසිදු වීමේ බලය සිය දහස් ගුණයකින් වැඩි ව බවත්, හින්දු ආගමිකයන් විශ්වාස කරනවා. ඒ හේතුවෙන් අධික ශිතලකින් යුක්ත ජලයේ ස්නානය කිරීමට ඔවුන් නොපැකිලි ව ඉදිරිපත් වෙනවා.

කුම්භ මේලාව ආරම්භ වූ හැටි

සහභාගි වෙන අධික ජනකාය (Idealism Prevails)

මේ සම්බන්ධයෙන් කියවෙන පුරාවෘතයන් අතරින් ප්‍රධාන කතාව වන්නේ, කිරි සයුර කලඹා අමෘතය කළය ගැනීම සඳහා දෙවියන් හා අසුරයන් අතර, පැවති අර්බුදයේ කතාව යි. එහි දී අමෘතය කළය ලබා ගැනීමට විෂ්ණු දෙවියන් සමත් වෙනවා.

අමෘතය ලබා ගැනීමත් සමග ම එය අසුරයන් අතට පත් වේයැ යි සැක සිතූ විෂ්ණු දෙවියන් ගුරුලාගේ පිටේ නැඟ පලා යනවා. එහි දී අමෘතය බිංදු හතරක් අලහාබාද්, හරිද්වාර්, උඡේන්, හා නාශික්‌ යන නගරවලට පතිත වූ බව සඳහන් වෙනවා. ඒ හේතුවෙන්  එම නගරවල බලයක්‌ ඇතැ යි හින්දුන් විශ්වාස කරනවා. එම නිසා කුම්භ මේලා සැණකෙළිය මේ නගර ප්‍රදේශවල දී පැවැත්වීමට අතීතයේ සිට කටයුතු කර ඇති බව ජනප්‍රවාදවල සඳහන්.

කවරයේ පින්තූරය: Kumbh Mela

මූලාශ්‍රයයන්:

kumbh.gov.in

aljazeera.com

tourmyindia.com

Related Articles

Exit mobile version