පංච මහා විල් අතර දෙවන දැවන්තයා – හ්‍යුරන්

පංච මහා විල් පිළිබඳ මූලික තොරතුරු හා එහි පිහිටීම, ඉතිහාසය වැනි දේ පිළිබඳ රසබර තොරතුරු අපි පසුගිය ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා. පංච මහා විල් ඉතාම විශාල ප්‍රදේශයක පැතිරුණු ජලස්කන්ධ 5 කින්ම යුක්ත නිසා එකට කැටි කොට කරුණු කාරණා රාශියක් දක්වන්නට හැකිවා මෙන්ම ඒවා වෙන වෙනම ගත් විටත් තවත් වැදගත් කරුණු රාශියක්ම සාකච්ඡා කරන්නට පුළුවන්. මේ ලිපි පෙළේ දෙවන ලිපිය වන මේ ලිපියෙන් අපි පංච මහා විල් පද්ධතියට අන්තර්ගත හ්‍යුරන් විල පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට තීරණය කලා.

විල පිළිබඳව හැඳීන්වීමක්

northernontario.travel

වර්ග කිලෝමීටර 59,600 ක විශාලත්වයකින් යුතු හ්‍යුරන් විල පංච මහා විල් අතුරින් දීර්ඝතම වෙරළ තීරයට හෙවත් කිලෝමීටර 6,157ක් දිග වෙරළ තීරයකට ද දෙවන විශාලතම වපසරියටද උරුම කම් කියනවා. මීට අමතරව මේ විල් අතුරින් තෙවනුවට වැඩිම ජල පරිමාවක් දරා සිටින්නේද  හ්‍යුරන් විලයි. ඝන කිලෝමීටර 3,540 ක ජල කඳක් දරා සිටින මෙය ලොව පස් වැනි විශාලතම මිරිදිය විල ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහි දීර්ඝ වෙරළ තීරයට හේතු වන්නේ ඒ සතුව විවිධ ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු දූපත් ගණනාවක් පිහිටා තිබීමයි.

හ්‍යුරන් විලේ පිහිටීම

මෙහි රතු පාටින් ලකුණු කර ඇත්තේ හ්‍යුරන් විලයි- glfc.org

හ්‍යුරන් විල පිහිටා ඇත්තේ මිචිගන් විලේ නැඟෙනහිර වෙරළ තීරයත් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයටත් මායිම්වයි. හ්‍යුරන් විලේ දකුණින්ම පිහිටි හ්‍යුරන් තොටුපොළ හෙවත් Port Huron/Sarnia යන ස්ථානයෙන් මෙය ශාන්ත ක්ලෙයාර් ගංගාව හා සම්බන්ධ වෙනවා. මෙය මැකිනැක් සන්ධිය හෙවත් Straits of Mackinac නම් ඇළ පහර මඟින් මිචිගන් විල හා සම්බන්ධ වෙනවා. මේ දිය පහරේ විශාලත්වය නිසා ඇත්තෙන්ම හ්‍යුරන් හා මිචිගන් විල් දෙක එකම විලක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ශාන්ත මේරි ගංගාව මඟින් සුපීරියර් විලේ ජලය හ්‍යුරන් විල වෙත ගලා එනවා.

හ්‍යුරන් විලට මිචිගන් හා සුපීරියර් යන විල් ද්විත්වයෙන්ම ජලය ගලාගෙන එන නිසා මෙහි ජලය අනෙක් විල් හතරටම වඩා වේගයෙන් ගලා ගෙන යනවා. මීට අමතරව මෙය සතුව විශාල ජලය බැස යාමේ ප්‍රදේශයක් පවතින අතර එය  මිචිගන් හ ඔන්ටාරියෝ ප්‍රාන්ත වල ප්‍රදේශ කිහිපයක් ආවරණය වන සේ විහිදී පවතිනවා.

ජෝර්ජියානු බොක්ක-flickr.com/Dale Roddick

හ්‍යුරන් විල සතුව ඇති අති විශාල ප්‍රමාණයක් වූ දූපත් අතුරින් ජෝර්ජියානු බොක්කේ පිහිටි මැනිටුලින් (Manitoulin) දූපත විශාලම එකයි. මෙහි 12,000 ක පමණ ජනකායක් ජීවත් වෙනවා. පෙර ලිපියේ සඳහන් කළ පරිදි මෙය මිරිදිය විලක පිහිටි ලොව විශාලම දූපත වන අතර කැනඩාව සතු 31 වැනියට විශාලම දූපත වෙනවා. විශේෂම කාරණය වන්නේ මේ දූපතේ භූමි ස්කන්ධය තුළත් තවත් කුඩා මිරිදිය විල් තුනක්ම පිහිටා තිබීමයි.

හ්‍යුරන් විල පිළිබඳ ඉතිහාසය

පළමු ලිපියේ දැක්වුණ පරිදි පංච මහා විල් පද්ධතියට මුලින්ම යුරෝපියයන් ප්‍රවිෂ්ඨ වන්නේ 17 වන සියවසේ මුල් භාගයේයි. ඒ ප්‍රංශ ජාතික දේශ ගවේෂකයන් වන ඉටියෙන් බෲල් හා සැමුවෙල් ඩෙ චැම්ප්ලේන් විසින් 1615 වසරේදීයි. ඔවුන් විසින් පංච මහා විල් පහෙන් මුලින්ම ගවේෂණය කළේ හ්‍යුරන් විල නිසා  එයට La Mer Douce හෙවත් මිරිදිය සයුර ලෙස නම් තබා තිබුණා. පසු කලෙක මෙය ඒ වනවිට එහි අවට ලැගුම් ගෙන සිටි ව්‍යැන්ඩොට් ඉන්දියානුවන් හෙවත් හ්‍යුරන්වරුන් වෙනුවෙන් නම් කරන ලද බව කියැවෙනවා. ක්‍රි.ව 1669 දී ප්‍රසිද්ධ ප්‍රංශ-කැනේඩියානු දේශ ගවේෂක ලුවිස් ජොලියට් ඔරුවක් යොදාගෙන මෙහි සංචාරය කර තිබෙනවා.

හ්‍යුරන් විල අසබඩ පිහිටි ප්‍රදීපාගාරයක්-quietsolopursuits.wordpress.com

17 වන ශතවර්ෂයට පසු වෙළෙන්දන්, මිෂනාරි වරුන් හා ස්වදේශික ඇමෙරිකානුවන්ද මේ විල ඔස්සේ එහෙ මෙහෙ යන්නට පන් පටන් ගෙන තිබෙනවා. මොවුන් ගමන් ගත් නැව් හා බෝට්ටු වලට මඟ පෙන්වීමට ප්‍රදීපාගාර 120ක්ද මෙහි ඉදි වී තිබෙනවා. මේ කෙසේ නමුත් මෙහි ගමනාගමනය අවදානම් වන්නේ ඉතා දැඩි සුළං තත්ත්ව මෙහි වාර්ථා වී තිබෙන නිසායි. 1913 වසරේදී පංච මහා විල් වලින් වාර්ථා වූ දරුණුම කුණාටුව නිසා වූ වැඩිම හානිය හ්‍යුරන් විලෙන් වාර්ථා වුණා. 1913 නොවැම්බර් 9 වැනිදා පැය 16 ක් පුරාවට ඇති වූ මේ චණ්ඩ මාරුතයේදී පැයට කිලෝමීටර 145 ක පමණ වේගයෙන් සුළං ඇති වූ බව දැක්වෙන අතර අඩි 35ක් පමණ උසකින් යුත් රළ ඇති වී නැව් 10ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ජීවිත 235ක් මරු තුරුළට ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙවැනි සුළං නිසා මෙහි පතුළේ සැඟවී ගිය බෝට්ටු හා නැව් සිය ගණනක නටඹුන් තවමත් මෙහි ඉතිරි වී තිබෙනවා.

නිවාඩු ගත කිරීමේ තෝතැන්නක් ලෙස

හ්‍යුරන් විල හා ඒ අසබඩ වෙරළ තීරය විනෝද වීම, ක්‍රීඩා කිරීම හා  බෝට්ටු සවාරි යෑම වැනි දේවල් හි යෙදීම සඳහා නිවාඩු සමයන් ගත කරන කැනඩා හා ඇමෙරිකානු ජාතීන් අතර ජනප්‍රිය ප්‍රදේශයක් වෙනවා. විශේෂයෙන්  ග්‍රීෂ්ම සෘතුවේ මධ්‍යය වන අගෝස්තුවේ මෙහි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23ක් පමණ වන නිසා කිසිදු අපහසුවකින් තොරව  ඒ කාලයේදී මෙහි ජල ක්‍රීඩා ආදියෙහි නිරත වන්නට පුළුවන්. ශීත කාලයේදී අවට පරිසරයේ හා ජල තලයේ උෂ්ණත්වය ඉතා පහළ බැස්සත් මිදීම සිදුවන්නේ වසර දහයකට එක් වරක් තරම් කලාතුරකින්. ක්‍රි.ව 2003 ශීත ඍතුවේදී මේ විල මිදී ගිය අතර ජලයේ උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 1 ක් වශයෙනුයි.

ශිශියරයේදී හ්‍යුරන් විල -John McCormick/Shutterstock

හ්‍යුරන් විලේ මසුන් බෑම හා වටපිටාව

හ්‍යුරන් විල විනෝදයට හා කර්මාන්තයක් වශයෙන් මසුන් බෑම සඳහාද ප්‍රසිද්ධියක් උසුළනවා. මසුන් වර්ග ගණනාවක්ම හ්‍යුරන් විල් දියේ ජීවත් වෙනවා. මෙහි ජීවත් වන මසුන් වර්ග අතර Round white fish, ruffe, මුහුදු ලාම්පු බෙල්ලන්, smallmouth bass, walleye, white bass, white perch, white sucker හා yellow perch යන මසුන් ප්‍රධාන තැනක් ගන්නවා.

holykaw.alltop.com-මුහුදු ලාම්පු බෙල්ලන්

yellow perch-onthewater.com

හ්‍යුරන් විල අවට හොඳින් වැඩුණු වනාන්තර පෙදෙස් තිබෙනවා. හ්‍යුරන්-මැනිස්ටී ජාතික වනාන්තර පිහිටා ඇත්තේත් මෙම සීමාවේ යි. අක්කර 10000ක් පමණ ප්‍රදේශයක පැතිරී ඇති, විශාල ගස් සහිත මේ නිසා වසර 7000 ක් පමණ පැරණි යුගයේ වෘක්ෂ වල කොටස් තවමත් මේ විල් පතුළේ සංරක්ෂණය වී පවතී යැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.

හ්‍යුරන්-මැනිස්ටී ජාතික වනාන්තර-Joseph O’brien/USDA forest service

පංච මහා විල් වලට අයත් ඉතිරි විල් කිහිපය පිළිබඳ රසබර තොරතුරු ඉදිරි ලිපි වලින් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.

Cover Image: (wpnature.com)

Related Articles

Exit mobile version