සුලබව හමුවන මානසික සහ පෞරුෂත්ව ආබාධයන් පිළිබඳ ලිපි පෙළේ දෙවනි ලිපිය ලෙස විෂාදය සම්බන්ධයෙන් ලිපියක් පසුගිය සතියේ පල වුණා. එහි තෙවනි ලිපිය ලෙස, බරපතල, ලංකාවෙනුත් නිතර හමුවන “භින්නෝන්මාදය” ගැන ලියන්නට අප තීරණය කළා.
ලංකාව, ඉන්දියාව වැනි රටවල භින්නෝන්මාදය සහිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ ගැටළු බොහොම යි. ඇතැම්විට, රෝගය පිළිබඳව දැනුමක් නැති පිරිස් මෙවැනි රෝගීන්ව දේවත්වයෙන් සලකන අවස්ථාවන් පවා තිබෙනවා!
භින්නෝන්මාදය
මේ නම අහලා නැති ද? “Schizophrenia” යන මානසික රෝගයට වන සිංහල යෙදුමයි මේ. ස්කිට්සොෆ්‍රීනියා කියන්නෙ යමෙකුගේ හැසිරීම, සිතීමේ රටාව පමණක් නොවෙයි ප්රත්යක්ෂය, ඒ කිව්වෙ යම් පිටස්තර සිදුවීමක් හෝ සංවේදනයක් ග්‍රහණය කරගන්නා ආකාරය, පවා වෙනස් කළ හැකි බරපතල මානසික රෝගයක්.
භින්නෝන්මාදය හා සම්බන්ධ සමාන රෝග ලක්ෂණ දරන මානසික ආබාධයන් කීපයක්ම තිබෙනවා. නමුත් ඒ සියල්ල ගැන සඳහන් කිරීමෙන් පලක් නැති නිසා, මේ ලිපියෙන් භින්නෝන්මාදය ගැන පමණක් සාකච්ඡා කෙරෙනවා.
“සයිකො” කේස් එකක්
“උමතු තැනැත්තෙක්” කිව්වොත් කාගෙත් ඔළුවෙ මැවෙන්නෙ තනියම කියවන, නොපෙනෙන කෙනෙක් එක්ක කතාකරන්නකුගේ චිත්‍රයක්. ඕනෑම කෙනෙකුගේ සිතේ නොදැනුවත්වම මැවෙන මේ රූපය භින්නෝන්මාදය උත්සන්න වූ රෝගියෙක් කියලා හඳුන්වන්න පුළුවන්.
දශකයකට දෙකකට පෙර භින්නෝන්මාදය ගැන තිබුණු සමාජ ආකල්පය එතරම් හොඳ එකක් නොවෙයි. භින්නෝන්මාදය වැළඳුනු අයෙකුට ප්‍රතිකාර කිරීමට නොහැකිය යන විශ්වාසය, ඔවුන්ගේ හැසිරීම උපහාසයටත් අපහාසයටත් බඳුන්කිරීම නිසා භින්නෝන්මාදය වැළඳුනු අයෙකු සමාජයෙන් කොන්වීම ඉතාම සාමාන්‍ය වුණා. අදටත්, ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යයතනයට ඇතුලත් වූ නමුත් ඥාතීන් විසින් අත්හැර දැමීම නිසා, යන එන මං නැතිව එහිම නැවතී සිටින රෝගීන් බොහොම යි.
ඇතැමෙකුට භින්නෝන්මාදය පූර්ව රෝග ලක්ෂණ පෙන්වීමකින් තොරව වැළඳෙන්නට පුළුවන්. නමුත් බොහොමයක් දෙනාට එය වැළඳෙන්නට ප්‍රථම “අනතුරු හැඟැවීමේ” ලක්ෂණයන් පෙන්නුම් කරනවා. ඒවා අතර විෂාද තත්ත්වය, සමාජ සබඳතා අත්හැරීම, අහේතුක සැකය, එදිරිවාදී හැසිරීම, විවේචනයන්ට අනවශ්‍ය අන්දමින් කිපීම, සාමාන්‍ය සනීපාරක්ෂක පුරුදු අත්හැරීම, බලාගත් අත බලාසිටීම, අවධානය මඳ වීම, නින්ද නැතිවීම හෝ වැඩිවීම, මතකය අඩුවීම, විකාරරූපී ප්‍රකාශයන් හා වචන භාවිතය ආදිය වෙනවා. ඔබ හඳුනන අයෙකු මේ ලක්ෂණ කීපයක් පෙන්නුම් කරනවා නම්, ඔහු කෙරෙහි අවධානයෙන් සිටීම අත්‍යාවශ්‍ය යි.
දෙයියො කතාකරනවා ද?
භින්නෝන්මාදයේ ප්‍රධාන ලක්ෂණයන් තමයි නිතර ඇතිවන මෝහය සහ භ්රාන්ති තත්ත්වයන්.
මෝහය කියන්නෙ අසත්‍ය යමක් දැඩිව විශ්වාස කිරීම කියලා සරලව හඳුන්වන්න පුළුවන්. ඇත්තෙන්ම සිදුනොවූ යමක් සිදුවූවා ය යන දැඩි විශ්වාසය සහ අහේතුක සැකයන් මේ අතරට දමන්න පුළුවන්. උදාහරණයක් විදියට, යමෙකු තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේයැ දැඩි සේ විශ්වාස කිරීම දක්වන්නට පුළුවන්. භින්නෝන්මාදය වැළඳුනු සමහරු තමන්ට ප්‍රසිද්ධ පුද්ගලයෙක් (නළුවෙකු, දේශපාලඥයෙකු) හා පෙම් සබඳතාවක් තිබූ බවට විශ්වාස කරද්දී, තවත් සමහරු තමන්ට දෙවියන්ගෙන් වරමක් ලැබී ඇති බවත් විශ්වාස කරන්න පුළුවන්. නූගත් පිරිස් මෙවැනි කතන්දර සත්‍යය සේ සලකන නිසා, එවැනි රෝගීන්ව “දේවමෑණිවරුන්” හෝ “දේවපුත්‍රයින්” ලෙස සලකා වැඳුම්-පිදුම් කිරීමත් විරල නැහැ.
භ්‍රාන්තිය කියන්නේත් නැති දේ ඇසීම හෝ පෙනීම ලෙස සරලව අර්ථ දක්වන්නට පුළුවන්. තම මළගිය නෑයින් දර්ශනය වීම, හෝ කිසිවෙකු/ කීපදෙනෙකු තමන්ට විධාන දෙන සේ ඇසීම මෙයට උදාහරණයන්. ඊට අමතරව, අපිළිවෙල කතාබහ, අපිළිවෙල හැසිරීම, හැඟිම් ප්රකාශනයත් සහ එදිනෙදා ජීවිතය කෙරෙහි වන උනන්දුව අවම වීම භින්නෝන්මාදයේ ලක්ෂණ ලෙස සලකන්නට පුළුවන්.
යමෙකුට මේ ලක්ෂණ වලින් දෙකක් හෝ කීපයක් තිබේ නම් (මෝහය හෝ භ්‍රාන්තිය ද ඇතුළුව), ඔහුට භින්නෝන්මාදය වැළඳී ඇතැයි සැක කළ හැකියි.
හැසිරීම අමුතු ද?
භින්නෝන්මාදය වැළඳුනු අයෙකු ඉහත ලක්ෂණ පෙන්නනවාට අමතරව තවත් දෙයහි අසමත් වෙනවා. ඔවුන්ගේ රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, ගෙදරදොර වැඩ, සමාජ සබඳතා, සහ පුද්ගලික සනීපාරක්ෂක කටයුතු පවා සැලකිය යුතු තරමින් පහත වැටෙන්නට පුළුවන් රෝගය හේතුවෙන්. ප්‍රතිකාර ලබා නොදුනහොත් මේ ලක්ෂණයන් දිගින් දිගටම, මාස ගණනාවක් පුරා පවතිනවා.
මේ කාලය අතරතුරේ රෝගය වැළඳුනු තැනැත්තාගෙන් යම් යම් නිශ්චිත හැසිරීම නිරීක්ෂණය කරන්න පුළුවන්. ආහාර ගැනීමට ඇති උනන්දුව අඩුවීම හෝ ආහාර ප්‍රතික්ෂේප කිරීම, විකාරරූපී, මායාකාරී දෙය පිළිබඳ නිතර කතාකිරීම, යම් නොපෙනෙන පුද්ගලයෙකු හෝ බලවේගයක් තමා තුළ හෝ අවට තිබේයැ යි විශ්වාසය, තනිවම කතාකිරීම හෝ මිමිණීම, අහේතුකව මහ හඬින් සිනාසීම, සහ ඇතැම්විට දුක්සහිත හැඟීම් ඇතිවීමත් බහුලව කළ හැකි නිරීක්ෂණයන්.
ඒ වගේම අප “ෆෝබියා” යනුවෙන් හඳුන්වන, යම් දෙයක් කෙරෙහි ඇතිවන අනවශ්‍ය තරම් අධික භීතිකා තත්ත්වය භින්නෝන්මාදය වැළඳුනෙකුගෙන් දැකගන්නට පුළුවන්. මොවුන්ගෙන් සුළු පිරිසක් කලහකාරී හැසිරීම් සහිත වුණත්, බහුතරය කිසිවෙකුට හානි කරන්නට පෙළඹෙන්නේ නැහැ.
වැඩි අවදානම කාට ද?
ලංකාවේ ජනගහනයෙන් 1%ක පමණ පිරිසක් භින්නෝන්මාදයෙන් පීඩා විඳිනවා ( දළ වශයෙන් ලංකාවේ ජනගහනයෙන් 200 000ක් පමණ). මෙයිනුත් කාන්තාවන්ට වඩා ඉතා සුළු ලෙස වැඩි ප්‍රතිශතයක් පුරුෂයින් (1.4: 1ක්).
සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවන්නට පටන්ගන්නේ පසු යෞවන සමයේ දී යි. යෞවනෝදයට ප්‍රථම රෝග ලක්ෂණ මතුවන්නේ කලාතුරකින්. මෙයින් භ්රාන්ති ලක්ෂණ පෙන්නුම් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින්නේ මුල් විසි-වයස් වල දී යි. කාන්තාවන්ට නම් පසු විසි-වයස් වලදීත්, වයස අවු. 40ට පමණ පසුවත් භින්නෝන්මාදය වැළඳීමේ යම් ඉඩක් පවතිනවා.
වයසින් වැඩීමත් සමග මෝහය සහ භ්රාන්ති ලක්ෂණ අඩු වී යන්නට හැකියාවක් තිබුණත්, භින්නෝන්මාදය නිට්ටාවටම සුව කළ හැක්කේ කලාතුරකින්.
ප්‍රතිකාර නොකළොත්?
භින්නෝන්මාදය නිට්ටාවටම සුවකළ නොහැකි වුණත්, කලට වේලාවට ලබාදෙන නිසි ප්‍රතිකාර මඟින් පාලනය කළ හැකියි. ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝගියා සියදිවි නසාගැනීමට හෝ තවෙකෙකුට හානි කිරීමට පවා පෙළඹෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෝගීන්ගෙන් 6%ක් පමණ සියදිවි නසාගන්නා අතර, 20%ක් පමණම එයට උත්සාහ දැරීමේ අවදානමක් තිබෙනවා.
එසේම, භින්නෝන්මාදය හා සම්බන්ධ හැසිරීම් හෝ රෝග ලක්ෂණයන් නිසා ස්ථුලතාවය, දියවැඩියාව, හෘදය ආශ්රිත රෝග, සහ ශ්වසන ආබාධ ආදිය වැළඳීමේ ප්‍රවණතාවය ද ඉහළ යි.
මට කරන්න පුළුවන් මොනවා ද?
භින්නෝන්මාදයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි තමා රෝගී බව අදාල තැනැත්තාට නොවැටහීම. එනිසා ඔහු තමාට මානසික රෝගයක් වැළඳී ඇති බව පිළිගැනීම හෝ ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔබේ සමීපතමයෙකුට මේ රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම්, ඔබ විසින් කළ යුත්තේ සුදුසුකම් ලත් මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු හමුවට ඔහුව ඉදිරිපත් කිරීම යි. ඔහුට දේවාරූඪයක් ලැබී ඇති බව, හෝ මළගිය ඥාතියෙකු දර්ශනය වන බව පිළිගැනීම නම් කිසිසේත්ම කරන්නට එපා.
භින්නෝන්මාදය, ජීවිත කාලය පුරාවටම, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන විට දී පවා, ප්‍රතිකාර ලබාගත යුතු රෝගී තත්ත්වයක්. ඖෂධ සහිත සහ රහිත චිකිත්සක ක්‍රම දෙයාකාරයම මෙයට ප්‍රතිකාර ලෙස යොදාගන්නවා. කෙසේ නමුත් මේ ඖෂධ අතැම්වා බරපතල අන්දමේ අතුරු ආබාධයන් ගෙන දිය හැකියි.
ප්‍රතිකාර ඇරඹී සති කිහිපයකින් රෝග ලක්ෂණ අවම වනු නිරීක්ෂණය කරන්නට පුළුවන්.
භින්නෝන්මාදය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යය යි. විකල්ප ප්‍රතිකාර ක්‍රමයන්වල හෝ ආගමික පිළිවෙත්වල යෙදීම කිසිසේත්ම සාර්ථක නොවෙනවා පමණක් නොවේ, අනතුරුදායක ද වෙනවා.
මූලාශ්‍රයයන්:
The Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition
dailymirror.lk
mayoclinic.org
cover image: Edvard Munch