ලොව ආරක්ෂාකාරීම ප්‍රවාහන මාධ්‍යය ගුවන් ගමන් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් යම් හෙයකින් අනතුරක් සිදු වුවහොත් බොහෝ විට එය එම ගුවන් යානයේ ගමන් කරන සියලුම දෙනාට මරණය කැඳවීමට සමත් වෙනවා.
හොඳින් පරීක්ෂා කර ගුවන්ගත කරන ගුවන් යානයක් එක් සරල අහඹු හේතුවක් නිසා අනතුරට භාජනය වන්නේ නැහැ. ඒ සඳහා අවාසනාවන්ත ලෙස සාධක කිහිපයක් පෙළගැසිය යුතුයි. විශේෂයෙන් ඉතා වැදගත් පුද්ගලයෙකු (VVIP) ගමන් කරන ගුවන් යානා නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් වරයෙකු වන ඩැග් හැමර්ස්කොයිඩ් ගමන් කළ ගුවන් යානය අප්‍රිකාවේදී අනතුරට භාජනය වන්නේ මෙවැනි වටපිටාවක යි. විශේෂයෙන්ම එදින බාහිර පරිසර සාධකත් ඒ තරම් අභියෝගාත්මක නොවුණු නිසා මෙම අනතුර පිළිබඳ ප්‍රහේලිකා රැසක් පැන නැඟුණා.
ඩැග් හැමර්ෂල්ඩ් පිළිබඳ හැඳින්වීම
ක්‍රි.ව 1905 දී උපත ලද ස්වීඩන් ජාතිකයෙකු වූ ඩැග් හැමර්ස්කොයිඩ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන මහ ලේකම් වරයායි. ඔහු ධූරය හෙබවූ සත් වසර තුළ ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ඔහු පෙනී සිටියා. ක්‍රි.ව 1914 සිට 1917 දක්වා ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ අල්මර් හැමර්ස්කොයිඩ් ගේ පුත්‍රයෙකු වූ ඩැග් හැමර්ස්කොයිඩ් ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කොට 1930 වසරේදී ස්වීඩන සිවිල් සේවයට බැඳුණා. වසර ගණනාවක සේවයෙන් අනතුරුව 1947 වසරේදී හැමර්ස්කොයිඩ් ස්වීඩනයේ විදේශ අමාත්‍යාංශය අනුයුක්ත වන අතර 1951 වසරේදී ස්වීඩනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලෙස දිවුරුම් දෙනවා. එම වසරේදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වීඩන නියෝජිත මණ්ඩලයේ උපසභාපති ධූරයත් ඔහුට ලැබෙනවා. ක්‍රි.ව 1952 දී ඩැග් හැමර්ස්කොයිඩ් ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සභාපති ලෙස තෝරා පත්කර ගැනෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ලෙස
ක්‍රි.ව 1953 අප්‍රේල් මස 7 වන දින ඩැග් හැමර්ස්කොයිඩ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ලෙස වැඩ කටයුතු අරඹනවා. ඒ එහි සමාරම්භක මහලේකම් වන නෝර්වේ ජාතික ට්‍රිග්වේ ලී ට පසුවයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා ලෙස හැමර්ස්කොයිඩ් ට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. විශේෂයෙන් මේ වන විට යුදමය අතින් ස්ථාවරව නොතිබූ චීනය, මැද පෙරදිග වෙත සාමය පැතිරවීමට ඔහුට විශේෂ වෙහෙසක් ගැනීමට සිදු වෙනවා. ක්‍රි.ව 1956 සූවස් ඇල සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙයක් හැමර්ස්කොයිඩ් විසින් සිදු කරනවා.
හැමර්ස්කොයිඩ් හා කොංගෝව
ක්‍රි.ව 1957 දී හැමර්ස්කොයිඩ් දෙවන වරටත් ඒකමතිකව එක්සත් ජාතීන්ගේ මහලේකම් හැටියට තෝරා පත් කර ගැනෙනවා. මෙවර ඔහු අවධානය යොමු කරන්නේ ඉතා උණුසුම් තත්වයක පැවති කොංගෝව වෙතයි. ක්‍රි.ව 1960 බෙල්ජියම කොංගෝවට නිදහස ලබා දීමත් සමඟ කොංගෝවේ යුද ගිනි ඇවිලී යන අතර එය සමථයකට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ට මැදිහත් වන්නට සිදු වෙනවා. කෙසේ නමුත් මෙම ගැටලුව වඩා බරපතල එකක් බවට පත් වන්නේ ලෝක බලවතුන් අතර එකල ප්‍රබලවම පැවති ශීතල යුද්ධයත් මෙයට ඈඳීම නිසායි. එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට හිතැති පැට්‍රිස් ලුමුම්බා ධූරයෙන් පහ කිරීමට නිල නොවන ලෙස සහය දුන්නා යැයි පවසමින් සෝවියට් රුසියාව හැමර්ස්කොයිඩ් ට ධූරයෙන් ඉවත් වන ලෙස බල කරනවා. කෙසේ නමුත් ධූරයේ නිරුපද්‍රිතව රැඳීමට හැමර්ස්කොයිඩ්ට හැකියාව ලැබෙන අතර කොංගෝ ප්‍රශ්නයද කෙමෙන් කෙමෙන් සමථයකට පත් වන සෙයක් දිස් වනවා. කෙසේ නමුත් වැඩි කල් යන්නට මත්තෙන් නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධනයට කොංගෝව වෙත නෙත් යොමන්නට සිදු වෙන්නේ නැවතත් එහි උණුසුම් තත්ත්වයක් ඇති වීම නිසායි. මෙවර යුද ගිනි ඇවිලුනේ කටංගා පෙදෙසේයි.
අනපේක්ෂිත අනතුර
කටංගාව කොංගෝවට අයත්ව තිබෙන ආර්ථික අතින් සවිමත් ප්‍රදේශයක්. එහි ඇති ස්වභාවික සම්පත් ඔස්සේ ධනවත් වූ ව්‍යාපාරිකයින් සමස්තයක් ලෙස දිළිඳු කොංගෝවේ සෙසු ප්‍රදේශ වලට සිය සම්පත් බෙදී යාම ගැන සිටියේ නොසතුටින්. මේ නිසා ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන් ඔවුන් සිවිල් යුද්ධයක් ආරම්භ කර තිබුණා. කොංගෝවේ එක්සත් බවට පක්ෂපාතීව ලෝක බලවතුන්ගෙන් කොටසක්ද කටංගාවේ ස්වෛරී බවට පක්ෂපාතීව තවත් කොටසක්ද පෙළගැසී සිටියා. මෙහිදී ඩැග් හැමර්ස්කොයිඩ් ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කළේ එක්සත් කොංගෝවක් වෙනුවෙනුයි. මේ නිසා ඔවුන් කොංගෝවට බළමුළු පිටත් කර හැරි අතර කටංගා කැරලිකරුවන් පසුබැස්ස වීමට එම හමුදා සමත් වනවා. උතුරු රොඩේෂියාවට පසු බසින කටංගා කැරලි නායක මොයිසේ ට්ෂොම්බේ එහි කඳවුරු බැඳගන්නේ නැවත සිය සේනා සංවිධානය කිරීම සඳහායි.
කටංගාවේ මේ ගැටළුව පහර දීමෙන් පමණක් අවසන් නොවන බව වටහාගත් එක්සත් ජාතීන් මේ අවස්ථාවේදී ට්ෂොම්බෙ සමඟ සාම සාකච්ඡා ඇරඹීමට උත්සාහ කරනවා. සාකච්ඡාවකට කැරලි නායකයා කැමති කරගත හැකි බව වටහාගත් එක්සත් ජාතීන්ගේ මහලේකම් හැමර්ස්කොයිඩ් 1961 වසරේ සැප්තැම්බර් මස 18 වනදා කොංගෝ – උතුරු රොඩේෂියා මායිමේ පිහිටි න්ඩෝලා වෙත යාමට සැලසුම් කරනවා.
සැප්තැම්බර් 18 වනදා රාත්‍රියේ ගුවනින් සිදුවන මේ ගමන ඉතා රහසිගත එකක් වූ අතර හැමර්ස්කොයිඩ් මෙන්ම තවත් කිහිප දෙනෙක්ද ස්වීඩනයට අයත් ඩීසී 6 ගුවන් යානයකින් කොංගෝවේ අගනුවරින් පිටත් වන්නේ ඉතා අතළොස්සකගේ අනුදැනුම මතයි. භූමියෙන් එල්ල විය හැකි ප්‍රහාර වලින් බේරීම සඳහා වටරවුම් මාර්ගයකින් න්ඩෝලා වෙත සාර්ථකව ළඟා වෙනවා. න්ඩෝලා කුඩා ගුවන් පථයක් සහිත ගුවන්තොටුපලක් වූ අතර සාමාන්‍යයෙන් ගුවන්යානා එහි ළඟා වූයේ එක් පසෙකින් පමණයි. කෙසේ නමුත් වට රවුම් මාර්ගයකින් එහි ළඟා වී සිටි හැමර්ස්කොයිඩ් රැගත් ගුවන් යානය ගුවන්තොටුපොළට ළඟා වෙමින් සිටියේ ඊට විරුද්ධ දෙසින් නිසා ඔවුනට ගොඩබෑම සඳහා ගුවන් පථය පසුකොට ගොස් නැවත හැරී ගොඩබැසීම සිදු කළ යුතු වුණා. ඩී.සී 6 යානයේ ගුවන් නියමුවා මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දීම න්ඩෝලා ගුවන්තොටුපොළෙහි යානා හසුරවන්නා අමතා තමන් විරුද්ධ දෙසින් ගුවන්තොටුපොළ ආසන්නයට පැමිණ ඇති බවත්, ගොඩබෑම සඳහා අවසන් සැකැස්ම සිදු කළ යුතු බවත් පවසනවා.
මෙය ඉතා රහසිගත ගුවන් ගමනක් නිසා යානා හසුරවන්නන් මෙම යානයේ ගමන් පථය ගැන වැඩි යමක් දැන සිටියේ නැහැ. එම නිසා ගොඩබෑම සඳහා අවසන් සැකැස්මට උපදෙස් ලබා දුන් ඔවුන් ඒ සඳහා ගත වන විනාඩි 10 අවසානයේ ගුවන් යානය බලාපොරොත්තුවෙන් සිටියා.කෙසේ නමුත් විනාඩි 15 ක් අවසානයේද ගුවන් යානය ගොඩබෑම සිදු නොවුණු නිසා කළබල වූ න්ඩෝලා කාර්යය මණ්ඩලය සෙවීම් බැලීම ආරම්භ කල අතර මද වේලාවකින්ම ඔවුනට යානය කඩා වැටුණු අවාසනාවන්ත පණිවුඩය දැනගන්නට ලැබෙනවා.
මේ යානය න්ඩෝලා ගුවන් පථයට දිශාගත කිරීම උදෙසා වූ අවසාන සැකසීම සිදු කරන විට අභිරහස් ලෙස වන ලැහැබකට කඩා වැටී තිබුණා. මේ අනතුරින් යානයේ ගමන් කළ එක් අයෙකු හැර අනෙක් සියලු දෙනාම මරණයට පත් වනවා. ඝට්ටනයේ දී ඉවතට විසි වී තිබුණු හැමර්ස්කොයිඩ්ගේ දේහය පසෙක තිබී හමු වෙනවා.
අනතුරෙහි පසු විපරම
ඩැග් හැමර්ස්කොයිඩ් වැන්නෙකු රැගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වීම පිළිබඳ බොහෝ දෙනා සැක සංකා මතු කළා. විශේෂයෙන් කොංගෝවේ කටංගා ගැටලුව ලෝක බලවතුන්ගේ සීතල යුද්ධයට ඈඳී තිබීමත්, අනතුරෙන් දිවි බේරාගෙන දින කිහිපයක් ජීවත් වූ පුද්ගලයා ගුවන් යානය කඩා වැටීමට පෙර පිපුරුම් හඬවල් ඇසුණු බව පැවසීමත්, තවත් ගුවන් යානයක් ගුවන් අනතුරට තදාසන්න වේලාවක එම ගුවන් සීමාවේ සැරිසැරූ බවට ඇසින් දුටු සාක්ෂි තිබීමත් නිසා මෙය සිතා මතා කළ ඝාතනයක් බවට තර්කයක් ගොඩනැඟුණා. කෙසේ නමුත් පර්යේෂණ වලින් අනතුරුව එය එවැන්නක ප්‍රතිඵලයක් නොවුණු බවට නිගමනය කෙරුණා. කෙසේ නමුත් ගුවන් යානය කඩා වැටුණේ ඇයිද යන්න නිශ්චිත ලෙස තහවුරු කර ගැනීමට පර්යේෂකයින්ට හැකි වූයේ නැහැ.
සිද්ධියෙන් වසර 50 ක ඇවෑමෙන් එනම් 2011 වසරේදී මේ ගුවන් අනතුර නැවත කරළියට පැමිණියේ පැරණි ගුවන් නියමුවෙකු විසින් තමන්ට යම් ගුවන් යානයකින් හැමර්ස්කොයිඩ් ගමන්ගත් ඩී.සී 6 ගුවන් යානය ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ගුවන්විදුලි පණිවුඩයක් ලැබුණු බවයි. ඒ ඔස්සේ නැවත පර්යේෂණයක් ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ ගුවන් අනතුර සිදු වූයේ වෙහෙස වූ ගුවන් නියමුවන් හා වැරදි සිතියමක් හේතුවෙන් බව තහවුරු වුණා.
කවරයේ පින්තූරය -UN PHOTO/parabola.org
වීඩියෝ මූලාශ්‍ර – Air Crash Investigation: Deadly Mission (S15E05)