1970 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් හිමිව තිබුණා. එම නිසා සමගි පෙරමුණු රජයට 1972 වසරේ දී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට හැකියාව ලැබුණා. එම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා නමින් නව තනතුරක් ඇති කර තිබුණා. ඒ අනුව ලංකාවේ පළමු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව හිමි වුණේ විලියම් ගොපල්ලවට යි. නමුත් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තනතුර බලතල රහිත තනතුරක් වුණා. ඉන්පසු වඩාත් බලවත් තනතුර වුණේ අගමැති තනතුර යි.
විධායක ජනාධිපති ක්‍රමය බිහිවීම
1977 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට 5/6ක බහුතර බලයක් ලැබුණා. එය, එම කාල වකවානුව වන විට තනි පක්ෂයක් මහා මැතිවරණයක දී ලබාගත් ඉහළම ආසන ප්‍රමාණය යි. එදා එක්සත් ජාතික පක්ෂයට ලැබුණු විශල ජනවරමෙන් ප්‍රයෝජන ගත් ජේ. ආර්. ජයවර්ධන ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණු 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනය කළා. 1977 වසරේ ඔක්තෝබර් 4 වැනිදා රාජ්‍ය සභාවට ඉදිරිපත් වුණු එම සංශෝධනය බහුතර කැමැත්තෙන් සම්මත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1978 වසරේ පෙබරවාරි 4 වැනිදා ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙසින් පත් වුණේ ජේ. ආර්. ජයවර්ධන යි. ඔහුගේ පත්වීම නිසා පුරප්පාඩු වුණු අග්‍රාමාත්‍ය තනතුර රණසිංහ ප්‍රේමදාසට හිමි වුණා.
1978 ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයාට ලැබුණු බලතල
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව බිහිවුණු විධායක ජනාධිපති නම් තනතුර ඉතාම බලවත් එකක් වුණා. “තමාට බැරි ගැහැනියක් පිරිමියෙකු කිරීමට පමණයි” යනුවෙන් එකල ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පවසා සිටියේ විධායක ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලැබී තිබුණු නිසා යි.
විධායක ජනාධිපති නම් තනතුර බිහිවීමත් සමගම අගමැති නම් තනතුර බල රහිත එකක් වුණා. එකල රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා නිතරම පවසා සිටියේ ඔහුට ලැබුණේ පියන් කෙනෙක් වැනි අගමැති තනතුරක් බව යි. ඔහු ඉන් අදහස් කළේ අගමැතිවරයාට තිබුණු බලතල විශාල ලෙස අඩුවුණු බව යි. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ලැබුණු ප්‍රධාන බලතල කිහිපයක් පහත දක්වා තිබෙනවා.
1) ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ප්‍රධානියා ජනාධිපතිවරයා යි. එසේම ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ හමුදා සේනාවන්ට අණ දෙන ප්‍රධානියා ද වනවා.
2) ජනාධිපති තෝරාගනු ලබන්නේ ජනතාව වන අතර, ඒ අවුරුදු හයක ධුර කාලයකට යි. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට සහභාගිවීමට, ඇමතීමට, සහ පණිවිඩ යැවීමට අයිතියක් ඇති අතර සියලුම වරප්‍රසාද සඳහා හිමිකම් තිබෙනවා. එසේම ඡන්දය පාවිච්චි කිරිම අයිතියට අමතරව නිර්මුක්තිය සහ පාර්ලිමේන්තු සාමාජික ලෙස බලය, පාර්ලිමේන්තුවේ හෝ එහි සාමාජිකයෙක් ලෙස ඕනෑම වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව වගකිය යුතු නොවේ.
3) ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා යි. එම නිසා කැබිනට් රැස්වීමේ මුලසුන දැරීම සහ අගමැති තනතුරට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් අතුරින් කෙනෙකු පත්කිරීමේ බලය හිමියි.
4) ජනාධිපතිතුමාගේ බලයට යටතේ ව්‍යවස්ථාවට ඇතුළත් ව තිබෙන නිතීන්ට එකඟව අදාළ කැඳවීම සිදු කිරීමට, සභාව විසුරුවා හැරීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජනමත විචාරණයක් කැඳවීම
5) ඡන්දයෙන් පත්කළ ජනාධිපතිතුමාට ව්‍යවස්ථාදායකය විසින් පැවරෙන බලය මත සියලුම පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භයට රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නිකුත් කිරීම
6) පාර්ලිමේන්තුවේ චාරිත්‍රානුකූලව සභාවාරයේ මුලසුන දැරීම
7) මහ කොමසාරිස්, පූර්ණ බලතල සහිත තානාපති, සහ අනෙකුත් තානාපති නියෝජිතයන් භාරගැනීම සහ පිළිගැනීම, පත්කිරීම සහ තානාපති බලතල පැවරීම
8) රාජ්‍ය ලාංඡනය ළඟ තබාගැනීම, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකරු සහ අනෙකුත් විනිශ්චයකරුවන් පත්කිරීම වැනි ප්‍රතිපාදනයන් පිළිබඳ කෙටුම්පත් සඳහා භාවිතා කිරීම සහ ඉඩම් පවරාදීම, සහ මහජනයා වෙත පවරා දී ඇති නිශ්චල දේපළ ඇතුළු ඕනෑම දෙයක් මුද්‍රා තැබීම සඳහා රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමට ජනාධිපතිවරයා ලෙස නීත්‍යනුකූල අවශ්‍ය වීම හෝ බලය පවරා ඇත
9) යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම
10) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ලිඛිත නීතියට පටහැනි නොවන ලෙස, අන්තර්ජාතික නීතියට අනුව ජනාධිපතිවරයා කළ යුතු හෝ කිරීමට අවසර එවන් සියලුම දෑ සහ ක්‍රියා ක්‍රියාවට නැංවීම
11) කමා කිරීම, දඬුවමක් කල් දැමීම, ලබා දුන් දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් ලබා දීම සහ සම්පූර්ණ දඬුවම හෝ කොටසක් අවලංගු කිරීම
12) යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කරන අවස්ථාවක ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු යි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුට ලැබී තිබුණු බලතල අසීමිතව භාවිතා කරනු ලැබුවා. එසේම ඔහුට පාර්ලිමේන්තුව තුළ 5/6ක බහුතර බලයක් තිබුණු නිසා පහසුවෙන්ම බලය පාවිච්චි කිරීමට හැකි වුණා. 16 වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, 1982 ජනමත විචාරණය පවත්වා පාර්ලිමේන්තුව වසර 6කින් දීර්ඝ කරගැනීම, 1982 වසරේ දී පළමු ජනාධිපතිවරණය වසර දෙකකට පෙර කැඳවීම වැනි සිදුවීම් තුළින් ජේ. ආර්. ජයවර්ධන සිය බලය භාවිතා කළ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. නමුත් ජේ. ආර්. ජයවර්ධන සිය ධුර කාලයන් දෙක අවසන් වුණු පසු ව්‍යවස්ථාව වෙනස් කරමින් නැවත ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට උත්සාහ කළේ නැහැ. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම නිසා ඔහුට එරෙහිව ගොඩනැගී තිබුණු මහජන විරෝධය හේතුවෙන් එවැනි දෙයක් කිරීමෙන් වැලකී සිටියා විය හැකියි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ලබා දුන් පොරොන්දු
විධායක ජනාධිපති නම් තනතුර ඇති කළ කාල සමයේ සිටම ඒ පිළිබඳව නොයෙකුත් විරෝධතා එල්ල වුණා. එලෙස විරෝධය පළ කළ පාර්ශවයන් මතු කළ ප්‍රධාන කරුණ වුණේ තනි පුද්ගලයෙකුට අසීමිත බලයක් හිමි වීම ඉතාමත් භයානක බව යි. විනාශකාරී පුද්ගලයෙකුට එවැනි බලයක් හිමි වුණොත් භයානක තත්ත්වයක් ඇති විය හැකියි. එම නිසා පසුගිය දශක 3ක තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සමාජය තුළ කතාබහක් ඇති වුණා. එසේම එය ජනප්‍රියම ජනාධිපතිවරණ පොරොන්දුවක් බවටත් පත්ව තිබුණා. නමුත් කිසිම ජනාධිපතිවරයෙකු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කළේ නැහැ.
18 වැනි සංශෝධනය හරහා ජනාධිපති බලතල තවත් වැඩි වෙයි
2010 මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144ක් දිනාගත්තා. ඉන්පසුව රජය තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහාය ලබාගනිමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්තා. එම සංශෝධනය මගින් ජනාධිපතිවරයාට එම ධුරය දැරීම සඳහා තිබුණු වාර 2ක සීමාව ඉවත් කර තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 වසරේ දී තෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබුණු අවස්ථාව නිසා යි. ඊට අමතරව ජනාධිපතිවරයා සතු වගකීම් යටතේ පොලිස් හා පාර්ලිමේන්තු කොමිෂන් සභාවල බලතලවලට අදාල වෙනස්කම් ගණනාවක් මෙයින් සංශෝධනය කළා. එම නිසා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව බොහෝ පාර්ශවයන් විරෝධය දක්වනු ලැබුවා.
19 වැනි සංශෝධනය හරහා ජනාධිපති බලතල අඩු වෙයි
2015 වසරේ දී බලයට පත්වුණු යහපාලන රජය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. එමඟින් ජනාධිපතිවරයා සතුව තිබුණු බලතල තරමක් දුරට අඩු වුණා. පහත දැක්වෙන්නේ එම ව්‍යවස්ථා සංශෝධනය මගින් බලතල අඩු වුණු ආකාරය පිළිබඳව යි.
1) වසර 6ක්ව පැවති ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 දක්වා අඩු කිරීම
2) ජනාධිපති තනතුර දැරිය හැකි වාර ගණන යළි 2ක දක්වා අඩු කිරීම
3) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බව සහ මාස 3කට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු වීම
4) මෙම සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හැකියාව උදා වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ එම අවස්ථාව ලැබුණු නිසා යි.
5) ධුරයේ සිටින ජනාධිපතිවරයා නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් වසර 4ක් ගතවුණු පසුව එම ජනාධිපතිවරණය කැඳවිය යුතු යි.
6) ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම
7) අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී අග්‍රාණ්ඩුකාරවරයාගෙන් විමසා එය පත්කළ යුතු වීම. ඉන් අග්‍රාමාත්‍යවරයා සතු බලය වැඩිවීමක් සිදු වුණා.
8) වසර 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වීම. ඊට පෙර විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරුන් පිරිසකගේ කැමැත්ත අවශ්‍ය වීම. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය 2001 වසරේ බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජය වසර 2 1/2කින් පමණ විසුරුවා හැරියා. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එකිනෙකට විරුද්ධ පක්ෂයකින් පත්වුණොත් එවැනි තත්ත්වයක් ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.
9) ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපති තනතුරට තරග කිරීමට වරම් අහිමි වීම
යෝජිත 20 වැනි සංශෝධනයෙන් ජනාධිපති බලතල යළි වැඩි වෙයි
පසුගිය දිනෙක 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවා. යෝජිත සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයාගේ බලතලවල වැඩිවීමක් සිදුව තිබෙනවා. එලෙස වැඩි වුණු බලතල සහ ජනාධිපති තනතුර සම්බන්ධ සිදුවුණු වෙනස්කම් පිළිබඳව පහත දක්වා තිබෙනවා.
1) ජනාධිපතිවරයාගේ වගකීමක් වුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්‍ෂා කරන බවට ද වන වගකීම ඉවත් කිරීම.
2) විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව ලබාදීම.
3) ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම. මෙම තත්ත්වය 1978-2015 කාල සමයේ ද තිබුණා. සරත් මුත්තෙට්ටුවේගම නම් විපක්ෂයේ මන්ත්‍රීවරයා 1987 වසරේ දී ජනාධිපතිවරයා අධිකරණයට යටත් කිරීම සඳහා 12 වැනි සංශෝධනය ඉදිරිපත් කළත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.
4) ජනාධිපතිවරයාට වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි. 2004 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය භාවිතා කළේ මෙම බලතලය යි.
5) ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වුණු ප‍්‍රතිපාදනය ඉවත් කර තිබෙනවා.
6) ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් අහෝසි කිරීම සහ තවත් ඒවායේ බලතල අඩු කිරීම.
7) ජනාධිපතිට අමාත්‍යවරුන් පත්කිරීමේ සම්පූර්ණ අයිතිය ලැබීම.
8) ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් සම්මත වී නැහැ. නමුත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එය සම්මත වීමට තිබෙන ඉඩ වැඩියි. ඒ අනුව යළිත් පූර්ණ බලතල තිබෙන ජනාධිපතිවරයෙකු බිහිවනු ඇති. එවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන වාක්‍යය අනාගත මැතිවරණ පොරොන්දු ගොඩට නැවතත් එකතු වනු ඇති.