ශ්‍රී ලංකාව වර්තමානය වන විට ගෙවමින් සිටින්නේ නිදහසෙන් පසු මෙරට ආර්ථික වශයෙන් දරුණුත ම අයුරින් කඩා වැටුණු සමය යි. ශ්‍රී ලංකාව මේ වන විට, තම බංකොලොත් බව ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රකාශ කර ඇති අතර, හුදෙක් විදෙස් ආධාර මත යැපෙමින් සිටින්නේ, බංකොලොත් වූ රාජ්‍යයකට බොහෝ රටවල් ණය ආධාර නොදෙන පසුබිමක යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් ‘බේරා ගැනීමේ පැකේජයක්’ ලැබෙන තුරු කෙසේ හෝ මෙරට ආර්ථිකය ගැටගසාගෙන ඉදිරියට යන්නට මෙරට බලධාරීන් කටයුතු කරමින් තිබෙන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ යි. මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පස්වරුවේ පවත්වා තිබුණා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත් මෙහිදී වැඩිදුරටත් තීරණය වූ බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ ලෙස ඉදිරියට යාමේ දී මෙරටට ලැබෙන සීමිත විදෙස් මුදල් ප්‍රමාණ සහ සංචිත ඉතා ප්‍රවේශමෙන් යොදවාගනිමින් ඉදිරියට යා යුතු අතර හැකිතාක් ආදායම් මාර්ග වැඩිදියුණු කරගත යුතු වෙනවා. කෙසේ නමුත් එම ව්‍යායාමය තවත් අභියෝගාත්මක කරමින් මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ හෙවත්, මෙරට පුරවැසියන් විදෙස් රටවලට ගොස්, සේවය කිරීමෙන් හෝ ව්‍යාපාර කිරීමෙන් උපයා ගන්නා විදෙස් විනිමය මෙරට බැංකු පද්ධතියට ලැබීමත් පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. මෙසේ සිදු වෙමින් ඇත්තේ ඇයි? කෙතරම් ප්‍රමාණයකින් විදෙස් ප්‍රේෂණ වර්තමානය වන විට අඩු වී තිබෙනවා ද? මෙය වැඩි දියුණු කරගැනීමට කුමක් කළ යුතු ද යන්න පිළිබඳ ව මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට අප අදහස් කළා.
පසුගිය වසර කිහිපයේ විදෙස් ප්‍රේෂණ අඩු වී ඇති අයුරු
පසුගිය වසර කිහිපය සලකන කල් හී ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වන වන ප්‍රවණතාවක් නිර්මාණය වී තිබෙනවා. 2016 වසර වන විට ක්‍රමයෙන් වැඩි වන ප්‍රවණතාවක් පැවති මේ විදෙස් ප්‍රේෂණ, 2020 වසරෙන් අනතුරුව ක්‍රමයෙන් අඩු වී, 2015 වසරට සාපේක්ෂ ව කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. විශේෂයෙන් 2020 වසරේ අවසාන භාගය වන තුරු මෙරටට විදෙස් ප්‍රේෂණ ලැබීම ඉතා ප්‍රශස්ත මට්ටමක තිබුණු අතර, ඒවා ලැබීම දැඩි ලෙස අඩු වී ඇත්තේ ඉන් අනතුරුව යි.
පසුගිය වසර කිහිපය සැලකීමේ දී, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ශ්‍රී ලාංකික විදෙස් වෘත්තිකයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු විදෙස් ප්‍රේෂණ උපරිම වී ඇත්තේ 2016 වසරේ දී යි. එය අමෙරිකානු ඩොලර් මිලියන 7,241.50 ක් හෙවත්, ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7.24 ක් ලෙස සටහන් වුණා. එම වසරේ මාර්තු මස පමණක් මෙරටට විදෙස් ප්‍රේෂණ මඟින් අමෙරිකානු ඩොලර් 675.7 ක් ලැබී තිබීම සුවිශේෂී වන අතර, එම වසර ඇතුළත, මසක දී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 600 ඉක්ම වූ අවස්ථා 5ක් ම වාර්තා වුණා.
සමස්තයක් ලෙස ගත් විට 2015 – 2019 කාලයේ දී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 7 ක සීමාව වටා විචලනය වූ අතර, එම කාලය තුළ, මසක දී ලැබුණු වැඩි ම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ලැබී තිබුණේ 2020 වසරේ දෙසැම්බර් මස යි. එය අමෙරිකානු ඩොලර් මිලියන 812.7 ක්.
2021 වසරේ දී ශ්‍රී ලංකාවට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන අතර, එය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 5.491 ක් ලෙස යි. මෙලෙස ශ්‍රී ලංකාවට වසරක දී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6 ට වඩා අඩු වූයේ වසර ගණනාවකට පසුව යි. මෙම ප්‍රේෂණ අඩු වීමේ ප්‍රවණතාව 2021 වසරේ මැයි මාසයේ පටන් ක්‍රමයෙන් බලපවත්වා තිබුණු බැව්, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පිරික්සීමේ දී පෙනී යන අතර, 2021 නොවැම්බර් මාසය පුරාවට මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4 ක් ලෙස යි.
ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.20 සිට පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර්මිලියන 204.90 දක්වා අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙලෙස ශ්‍රී ලංකා බැංකු පද්ධතියට මාසයක් ඇතුළත ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 300 ට වඩා අඩු වූයේ වසර ගණනාවකට පසුව යි.
2022 වසරෙහි ජුනි මස වන තුරු සැලකීමේ දී, ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 1.61 ක පමණ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් පමණ යි. විද්වතුන් පවසන්නේ කාරණා මෙලෙස ම දිගට ම පැවතියහොත් මේ වසර තුළ මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4 සීමාවට ළඟා වීම ද සැක සහිත බව යි.
විදෙස් ප්‍රේෂණ අඩු වීමට හේතු
ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් විනිමය ප්‍රමාණය අඩුවන්නට හේතු කිහිපයක් ම බලපවත්වා තිබෙනවා. මෙරටට විශාල වශයෙන් විදෙස් විනිමය රැගෙන ආ ව්‍යාපාරයක් වන සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීම ඉහළින් ම තිබෙනවා. මෙරට පුරවැසියන් සැලකිය යුතු පිරිසක් මෙරටට විදෙස් විනිමය සොයා දුන්නේ සංචාරක ව්‍යාපාරය මඟිනු යි. 2019 පාස්කු ප්‍රහාරය නිසා යම් පසුබෑමකට ලක් වූ එම ව්‍යාපාරය නැවත නැඟී එන විට ම කොවිඩ් ගෝලීය වසංගතය ඇරඹුණු අතර, එහිදී ඇති වූ සෞඛ්‍යාරක්ෂක අවශ්‍යතා මත, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් ම පාහේ අවහිර වීම නිසා, ඉන් මෙරටට ලැබුණු විදෙස් විනිමය සම්පූර්ණයෙන් ම පාහේ මෙරටට ලැබීම නතර වුණා.
2018 වසරේ දී පමණක් මෙරටට විදෙස් සංචාරකයන් මිලියන 2.3 ක් පැමිණි අතර, 2019 වසරේ දී එය මිලියන 1.9 කට අඩු වූයේ පාස්කු දින බෝම්බ ප්‍රහාර නිසා ඇති වූ තත්ත්වයත් සමඟ යි. 2020 වසරේ මාර්තු මාසයෙන් පසු එය ඉතා දැඩි ලෙස අඩු වූ අතර, තවමත් යථා තත්ත්වයට පත් වී නැහැ. මෙමඟින් මෙරටට අහිමි වන විදෙස් විනිමය අති මහත්.
සංචාරක ව්‍යාපාරයට අමතර ව, මෙරටට විදෙස් විනිමය ගෙන ආ ව්‍යාපාර වන තේ කර්මාන්තය සහ නිමි ඇඳුම් කර්මාන්තය වැනි කර්මාන්තවලටත් කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑම් එල්ල වුණා. මේ නිසා ඒවායේ නිෂ්පාදන ද උපරිම කාර්යක්ෂ්මතාවයකින් ක්‍රියාත්මක නොවූ අතර, සිය නිෂ්පාදන පිටරට යැවීමේ ගැටලු ද ව්‍යාපාරිකයින්ට ඇති වුණා. හටගත් ඉන්ධන අර්බුදය ද මෙම නිපැයුම් අපනයනයට බාධා ඇති කළා.
මෙරට පාලන තන්ත්‍රය ගත්, සමහර හදිසි තීරණ නිසා ඒවාට කොවිඩ් නිසා තිබූ බලපෑම දෙගුණ තෙගුණ වුණා. රසායනික පොහොර එක් වරම තහනම් කිරීම ද ඉන් එකක්.මෙරටට විදෙස් විනිමය ලැබෙන තවත් ප්‍රධානත ම මාර්ගයක් වන්නේ විදෙස් ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ යි. 2020 වසරේ මුල් කාර්තුවේ පටන් බලපැවැත්වුණු කොවිඩ් ව්‍යසනය නිසා, ලොව පුරා කර්මාන්ත වැනි දේ වැසී ගිය අතර, එය කාර්යයේ නියුතු විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද බලපෑවා. වැටුප් කප්පාදු, රැකියා අහිමි වීම් වැනි දේ නිසා මෙරටට ඔවුන්ගෙන් ලැබුණු විදෙස් ප්‍රේෂණ විශාල ප්‍රමාණයක් ලැබීම නතර වුණා.
අස්ථාවර දේශපාලනික පසුබිම
පාලකයන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති ද, අස්ථාවර දේශපාලනික පසුබිම ද මෙරට බැංකු පද්ධතියට විදෙස් ප්‍රේෂණ ලැබීම අඩුවන්නට හේතු වුණා. ඩොලරය රුපියල් 200 සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගැනීම නිසාත්, පාලකයන් තමන්ගේ මුදල් සොරකම් කරන්නේ ය යන හැඟීම ඇතිවීම නිසාත්, විදෙස්ගත ශ්‍රමිකයන් තමන්ට අවාසිදායක යැයි හැඟී ගිය ශ්‍රී ලංකා බැංකු පද්ධතියට තම ශ්‍රමයෙන් උපයාගත් මුදල් එවීම නතර කළා. ඒ වෙනුවට විදෙස් විනිමයට වැඩි මිලක් ගෙවූ උණ්ඩියල්, හවාලා වැනි ක්‍රම වෙත ඔවුන් යොමු වුණා.
මේ දිනවල වැඩියෙන් ම කතාබහට ලක් වන විදෙස්ගත ශ්‍රමිකයන් තම ඉපැයීම් මෙරටට එවීමට භාවිත කරන නිත්‍යනුකූල නොවන උන්ඩියල් සහ හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම මුදල් විශුද්ධිකරණ ක්‍රම දෙකක් ලෙසටයි හඳුන්වන්නේ. මුදල් විශුද්ධිකරණය යන්නෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය යි. මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උපයා ගන්නා මුදල්.
ගෝලීය සාර්ව ආකෘති සහ විශ්ලේෂකයන්ගේ අපේක්ෂාවන්ට අනුව මෙම කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ අමෙරිකා ඩොලර් මිලියන 550.00 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. දිගු කාලීනව, ඔවුන්ගේ ආර්ථිකමිතික ආකෘතිවලට අනුව, 2023 දී ශ්‍රී ලංකා ප්‍රේෂණ අමෙරිකා ඩොලර් මිලියන 600.00 ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කෙරෙනවා.
ප්‍රේෂණ ගැටලුව විසඳා ගන්නා ආකාරය
විදෙස් විනිමය නැවත ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය වෙත අද්දවා ගැනීමට නම් ව්‍යාපාර කිරීමට මෙරට තුළ ඇති විශ්වාසනීයභාවය විදෙස් ව්‍යාපාරිකයන් තුළ ඇති කිරීම සිදු කළ යුතු වන අතර, සංචාරක කර්මාන්තය සහ වෙනස් කර්මාන්ත මෙරට නිසි ලෙස පවත්වා ගෙන යාම සඳහා මූලික වශයෙන් අවශ්‍ය බලශක්තිය සහ වෙනස් අවශ්‍යතා නිසි ලෙස පවත්වා ගත යුතු වෙනවා. විශේෂයෙන් පසුගිය මාස කිහිපය තුළ ඇති වූ උග්‍ර බලශක්ති ගැටලුව නිසා විදෙස් විනිමය උපයන ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන කටයුතු සිදුකිරීම පවා අපහසු වූ අතර, සංචාරකයන් ද කිසි විටෙක තමන් අපහසුතාවට පත්වන වටපිටාවකට පැමිණීමට කැමති වන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ දේශපාලනික ස්ථාවරභාවය මෙන් ම පාලන තන්ත්‍රය කෙරෙහි විශ්වාසයක් ඇති වීම අනිවාර්යයෙන් විය යුතු අතර, විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට තම මුදල් මෙරට බැංකු පද්ධතියට එවූ පසු ඒවා අවභාවිත නොවන බවට සහ සාධාරණ මිලක් ලැබෙන බවට සහතිකය දිය යුතු වෙනවා.උණ්ඩියල් සහ හවාලා වැනි ශ්‍රී ලංකා බැංකු පද්ධතියට පිටතින් ඇති විදෙස් විනිමය හුවමාරු ක්‍රම වෙත යොමු වීම අධෛර්යයමත් කිරීම සඳහා යම් දිරිගැන්වීම් ද සිදුකළ යුතු වෙනවා. මෙරට සිටින සහ විදෙස්ගත ව සිටින ලාංකික ජනතාව සමඟ ම ආණ්ඩුව නැඟී සිටිය යුතු අතර, කාරණා එසේ සිදුවුවහොත් ඉක්මනින්ම ශ්‍රී ලංකා විදෙස් විනිමය ගැටගුව විසඳෙන මාර්ගය හෙළි පෙහෙළි වනු ඇති.