ශ්‍රී ලංකාව කියලා හැඳින්වෙන අපේ රටේ ඇත්ත තත්වය කොහොම වුණත් නමට හරි අපි සමාජවාදී රටක්. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ රටේ සම්පූර්ණ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලයි දක්වලා තියෙන්නේ. හැමදේම කියන විදිහට කෙරෙනවා නම් සමාජවාදී රටක් කියන්නේ සේවා නියුක්තිකයන්ට දිව්‍යලෝකයක් වුණු, සේවා යෝජකයන්ට, නැතිනම් ආයතන ප්‍රධානීන්ට අපායක් වුණු තැනක් කියන්න පුළුවන්. අපි වැඩිය නොහිතනවා වුණාට රැකියාවන් කරන අය විදිහට ලබා ගන්න පුළුවන් අයිතිවාසිකම් බොහොමයක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා සඳහන් වෙනවා. වරින් වර ඉදිරිපත් කරපු පනත් 30ක් විතර සම්පුර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ මේ වෙනුවෙන්මයි. වැඩ කරන්න අවශ්‍ය පැය ගණනේ ඉඳන් සේවකයෙක්ට ලබා දෙන්න පුළුවන් ඉඩේ අවම වර්ග අඩි ගණන පවා මේවායේ සඳහන් කරලා තියෙනවා.
කොහොම වුණත් මේ වගේ තමන්ට නීතියෙන්ම හිමි වෙලා තියෙන අයිතිවාසිකම් ගැන නොදන්නා පිරිස ඉතාම ඉහළයි. පෞද්ගලික ආයතන වල ඉහළ පෙලේ රැකියා කරන උදවිය, ඒ කියන්නේ විධායක නිලධාරීන් සහ කළමනාකරුවන් පවා වැඩි දෙනෙක් මේවා ගැන ඒ තරම් දන්නේ නැහැ. (රජයේ සේවකයන් නම් වැඩි දෙනෙක් ඒ වගේ දේවල් දන්නවා වගේම තමන්ගේ අයිතිවාසිකම් ගැන නිතරම උනන්දු වෙනවා නේ) ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ වගේ අපෙ රටේ රැකියාවක් කරන සේවා නියුක්තිකයෙක්ට හිමි වන අයිතිවාසිකම් කිහිපයක් ගැනයි.
සැ . යු : මේ ලිපියේ තියෙන බොහෝ කාරණා ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ පෞද්ගලික ආයතන වල සේවය ස්ථිර වුණු සේවා නියුක්තිකයන්ටයි. අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ මේ කරුණු සරලව පැහැදිලි කරන්න විතරක් නිසා මේවාට අදාළව තියෙන නීතියේ මූලික රාමුව විතරයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. වඩාත් නිවැරදි අර්ථකතනයක් ඕන නම් අදාළ පනත් කියවලා බලන එක වඩා සුදුසු වේවි.
1. ඔබේ රැකියා ගිවිසුම සාමාන්‍ය ගිවිසුමකට වඩා වෙනස්.
කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන්නේ සේවා නියුක්තිකයන්ගේ අයිතිවාසිකම් වලට වැඩි තැන දෙන නමට හරි සමාජවාදී රටක් නිසා රැකියා ගිවිසුමක් කියන එක දෙපාර්ශවයක් අතරේ ඇති වෙන වෙනත් ගිවිසුමකට වඩා වෙනස්. සේවා යෝජක – සේවා නියුක්තික සම්බන්ධයක් ගොඩ නගා ගන්න (සරලව කිව්වොත් කාට හරි රස්සාවක් හොයා ගන්න) ගිවිසුමක් තියෙන්න අවශ්‍යම නැහැ. ඒ වගේම බොහෝ වෙලාවට අපි රැකියාවක් පටන් ගන්න කලින් දෙන ගිවිසුම් පත්‍රයේ තියෙන සමහර වගන්ති වලට වුණත් නීතිය ඉදිරියේ කිසිම පිළිගැනීමක් නැහැ. හොඳම උදාහරණය ආයතනයට ඔබව කැමති ඕනෑම අවස්ථාවක දැනුම් දීමකින් පසු සේවයෙන් ඉවත් කරන්න පුළුවන් කියලා තියෙන වගන්තිය. ප්‍රායෝගිකව කොහොම වුණත් නීතියට අනුව නම් ඔබව එහෙම දැනුම් දීමක් කරපු පමණින් සේවයෙන් ඉවත් කරන්න බැහැ.
2. දිගින් දිගටම අලුත් කෙරෙන සේවා කොන්ත්‍රාත්තු සහිත සේවකයන් ස්ථිර සේවකයන් විදිහට සලකන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ තියෙන රැකියා නීතිය තුල අලුතෙන්ම තියෙන ප්‍රවණතාවක් වෙන්නේ නියමිත කාලයකට ලබා දෙන කොන්ත්‍රාත් සේවයක් (උදාහරණයකට අවුරුද්දක කාලයකට වගේ) එක දිගටම කිහිප වාරයක් අලුත් කෙරුණා නම් (සාමාන්‍යයෙන් එක දිගට තුන් පාරක් වත්) බොහෝ විට ඒ වගේ සේවකයන්ට අදාළ ආයතනයේ ස්ථිර සේවකයෙක්ට සමාන සැලකුම් ලබන්න අයිතියක් තියෙන එක. මේ නිසා තමන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වුණාට පස්සෙත් ඉදිරියට සේවය දිගු කරාවි කියලා බලාපොරොත්තු වෙන්නත් ඒ වගේ කෙනෙකුට පුළුවන්.
3. විනය විරෝධී නොවන කාරණාවක් නිසා ඔබේ සේවය අත්හිටුවන්න ආයතනයකට බැහැ.
කිසිම සේවා නියුක්තිකයෙක් ස්වකැමැත්තෙන් භාර දෙන ඉල්ලා අස්වීමේ ලිපියක් නැතිව හරි, කම්කරු කොමසාරිස්ට ආයතනයෙන් යොමු කරන ඉල්ලීමක් සලකා බලන්නේ නැතිව හරි සේවයෙන් පහ කරන්න බැහැ කියලා මේ වෙනුවෙන්ම නීතිගත කෙරුණු සේවය අත්හිටුවීමේ (විශේෂ විධිවිධාන) පනත තුල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නමුත් මේක අදාළ වෙන්නේ ස්ථිර සේවකයන්ට විතරයි. යම් ආකාරයක පුහුණු හෝ ආධුනික සේවකයෙක් නම් ඔබව සේවයෙන් පහ කරන්න සේවා යෝජකයාට පුළුවන්. කලින් කියපු විදිහට යම් හේතුවක් නිසා කම්කරු කොමසාරිස්ට යොමු කරන ඉල්ලීමකින් ඔබව සේවයෙන් පහ කිරීම සුදුසු බවට තීරණය වුණත් ඔබ ඒ වන තුරු සේවය කරලා තියෙන අවුරුදු ගණනට අදාළව වන්දි මුදලක් ලබා ගන්න ඔබට අයිතිවාසිකම් තියෙනවා. මේ නිසා තමයි අපි මුලින්ම සඳහන් කරපු විදිහට “කැමති වෙලාවක සේවයෙන් ඉවත් කරන්න පුළුවන්” කියලා ගිවිසුමේ තියෙන වගන්තිය වලංගු වෙන්නේ නැත්තේ.
4. සේවය අතහැර යන්න කියලා හරි ඉල්ලා අස් වෙන්න හරි කියලා බල කරන්න බැහැ.
ඔබට සේවය හැර යන්න කියලා බල කරන්න හරි, සේවය අතහැර යන්නට සිදු වන විදිහට වෙනත් බලපෑම් කරන්න හරි ඔබේ සේවා යෝජකයා ක්‍රියා කරනවා නම් ඒක සංස්කරණාත්මක සේවයෙන් පහ කිරීමක් (constructive termination of services) කියලා සැලකෙනවා. මේක බොහෝ විට කෙරෙන්නේ අපි කලින් 3. කොටසේ සඳහන් කරලා තියෙන තත්වය මග හරින්න ගන්නා උත්සහයක් විදිහටයි. ඒ වගේ දෙයක් සිදු වෙනවා නම් ඒ ගැන කම්කරු අධිකරණයකදී නීතිමය විදිහට අභියෝගයට ලක් කරන්නත්, ඒ බව තහවුරු වුණොත් වන්දි මුදලක් හෝ යලි සේවයේ පිහිටුවීමක් දිනා ගන්න ඔබට පුළුවන්.
5. විනය විරෝධී හේතුවක් මත කෙරෙන ඕනෑම සේවයෙන් පහ කිරීමක් කම්කරු අධිකරණයේදී අභියෝගයට ලක් කරන්න පුළුවන්.
අපි කලින් කියපු විදිහට ස්ථිර සේවකයෙක් සේවයෙන් පහ කිරීම තහනම් වෙන්නේ විනය විරෝධී නොවන ක්‍රියා වලටයි. ඔබ කරන විනය විරෝධී ක්‍රියාවකදී ඔබ ස්ථිර සේවකයෙක් වුණත් සේවයෙන් පහ කරන්න සේවා යෝජකයාට හැකියාව තියෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවකදී වුණත් ඔබට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හැඟෙනවා නම් එම තීරණයට එරෙහිව කම්කරු අධිකරණයේ පිහිට පතන්න ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා. ශ්‍රී ලංකාවේ රැකියා නීතිය ක්‍රියාත්මක වෙන වර්තමාන ප්‍රවණතාවය අනුව විනය විරෝධී ක්‍රියාවක් මත සේවය අත්හිටුවීම කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ ඉතාම බරපතල තත්වයේ වරදකදී විතරයි. (ආයතනික දේපළ සොරා ගැනීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, උවමනාවෙන්ම නිල උපදෙස් කඩ කිරීම වගේ)
6. ඔබේ කැමැත්තෙන් තොරව ඔබේ වැඩකටයුතු වල ස්වභාවය, වගකීම් සහ පැවරිලා තියෙන නිලතල වෙනස් කරන්න බැහැ.
යම් විදිහකට ඔබට ලැබිලා තියෙන නිලතල, පැවරිලා තියෙන වගකීම් සහ රාජකාරි වගේ දේවල් සැලකිය යුතු තරමින් වෙනස් කරනවා නම් ඒ සඳහා ඔබේ කැමැත්ත තිබීම අවශ්‍යයි. යම් වෙනස් කමකට ඔබ අකමැති නම් ඒ බව දන්වලා පෙර පැවති තත්වයටම පත් වෙන්න ඔබට අයිතිය තියෙනවා. ඔබේ කැමැත්තට පිටින් එවැනි දෙයක් කරලා තියෙනවා නම් සහ ඔබ එයට විරුද්ධව කරන ඉල්ලීම නොසලකා හරිනවා නම් ඒක නීතියේදී නැවතත් සැලකෙන්නේ සංස්කරණාත්මක සේවයෙන් පහ කිරීමක් කියලයි. ඒ නිසා කම්කරු කොමසාරිස් වෙත ඒ ගැන පැමිණිලි කරන්න හරි, කම්කරු අධිකරණය තුල නඩු ගොනු කරන්න හරි ඔබට අයිතිවාසිකම් තියෙනවා. කොහොම වුණත් ඔබේ අකමැත්තෙන් ඔබව වෙනත් තැනකට මාරු කරලා තියෙනවා නම් මුලින්ම ඒ විධානයට අවනත වෙලා ඉන් පසුව තමයි මේ විදිහට අදාළ තීරණය අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙන්නේ.
7. හේතුවක් නැතිව ඔබව සේවා තත්වයෙන් පහත හෙලන්න හරි, ඔබේ දැනට තියෙන වැටුප අඩු කරන්න හරි සේවා යෝජකයාට හැකියාවක් නැහැ.
සේවා තත්වයෙන් පහත හෙලීමක් (Demotion) කියන්නේ දඬුවමක් විදිහටයි නීතියේදී සැලකෙන්නේ. ඒ නිසා සේවා තත්වයෙන් පහත හෙලීමක් හරි, වැටුප අඩු කරන්න හරි ඔබ විනය විරෝධී වරදක් කළ බවට තහවුරු කළ හැකි ප්‍රබල සාක්ෂි තියෙන එක අනිවාර්ය අවශ්‍යතාවක්. තහවුරු කරන්න බැරි හේතුවක් මත එහෙම දෙයක් සිදු වුණොත් නැවතත් සංස්කරණාත්මක සේවයෙන් පහ කිරීමක් කියලා සලකලා කම්කරු කොමසාරිස්ට පැමිණිලි කරලා හරි, කම්කරු අධිකරණයක අභියෝගයට ලක් කරලා හරි ඔබේ පෙර තත්වය සහ වැටුප දිනා ගන්න පුළුවන්.
8. සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න බැරි හේතුවකට දඬුවම් පමුණුවන්න බැහැ.
ඔබට එරෙහිව විනය විරෝධී හේතුවක් මත කෙරෙන හැම දඬුවමක්ම සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එවන් අවස්ථාවක වුණත් ඔබට එරෙහිව ඕනෑම කාරණයකට පමුණුවන ඕනෑම දඬුවමක් කම්කරු අධිකරණයකදී අභියෝගයට ලක් කරන්න ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා.
9. විනය විරෝධී හේතුවක් විමර්ශනය කරන්න කියලා පඩි රහිතව අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් තාවකාලිකව අත්හිටුවා තියන්න බැහැ.
මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවලට අනුව කිසිම සේවා නියුක්තිකයෙක්ව විනය විරෝධී කාරණාවක් විමර්ශනය කිරීම සඳහා තාවකාලිකව අත්හිටුවලා පඩි හෝ වෙනත් දීමනාවක් නොගෙවා තියන්න අවසර නැහැ. පඩිය හෝ වෙනත් දීමනාවක් ලබා දීලා වුණත් අනවශ්‍ය විදිහට දිගු කාලයක් තිස්සේ විමර්ශනය කරන්න බැහැ. සේවා නියුක්තිකයන්ට එරෙහිව සිදු වෙන හැම විනය විරෝධී විමර්ශනයක්ම හැකි ඉක්මනින් අවසන් කරන්න අවශ්‍යයි.
10. ඔබට කිසිදු හේතුවක් නිසා අඩන්තේට්ටම් කරන්න, හිරිහැර කරන්න, බලපෑම් කරන්න හෝ වෙනස්කම් කරන්න බැහැ.
ඔබ සේවය කරන තැන සේවය කරන්න සුදුසු ආකාරයේ වාතාවරණයක් පවත්වා ගන්න එක ඔබේ සේවායෝජකයාගේ වගකීමක්. ඒ නිසා පාලනාධිකාරිය ඔබට සේවය අතහැර යන්න සිදු වෙන විදිහට හිරිහැර පීඩා සිදු කරනවා නම් කලින් වගේම සංස්කරණාත්මක සේවයෙන් පහ කිරීමක් විදිහට කම්කරු කොමසාරිස්ට හරි කම්කරු අධිකරණයකට හරි පැමිණිලි කරලා වන්දියක් හා අධිකරණ නියෝගයක් ලබාගෙන සාධාරණය ඉෂ්ට කරවා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් සේවකයන්ගෙන් ඔබට සිදු වෙන හිරිහැර කරදර වලට එරෙහිව පියවර අරගෙන ඔබට නිදහසේ රැකියාව කරන්න පුළුවන් වටපිටාවක් සකස් කරන්නත් සේවා යෝජකයා බැඳිලා ඉන්නවා. මේ නිසා අනිත් සේවකයන්ගෙන් සිදු වෙන හිරිහැර ඔබ පාලනාධිකරියට දැනුම් දුන්නාට පසුවත් නිවැරදි කරන්නේ නැති නම් කලින් කියපු විදිහටම නීතියේ පිහිට ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංගික අඩන්තේට්ටම් ගැන පැමිණිලි පාලනාධිකාරිය නොසලකා හරිනවා නම් එය පහසුවෙන්ම අභියෝගයට ලක් කරන්න පුළුවන්.
11. ඔබට හිමි වන නිවාඩු.
වෙළඳසැල් සහ කාර්යාල සේවක පනත යටතේ (වෙනත් විදිහකින් කියනවා නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව) ඔබට අවම වශයෙන් වසරකට දවස් 7ක් පෞද්ගලික නිවාඩු වගේම දින 14ක් වාර්ෂික නිවාඩු ලබා ගන්න අවසර තියෙනවා. මේ දින ප්‍රමාණය සඳහා ඔබේ වැටුපෙන් කොටසක් අහිමි කරන්නත් බැහැ. කොහොම වුණත් බොහෝ ආයතන මීට අමතරවත් අතිරේක නිවාඩු ලබා දෙනවා දකින්න පුළුවන්.
12. EPF සහ ETF හිමි කර ගන්න සියලුම සේවා නියුක්තිකයන්ට අයිතිය තියෙනවා.
ආධුනික, පුහුණු, ස්ථිර ඕනෑම සේවා නියුක්තිකයෙක්ට ලැබෙන වැටුපෙන් පිළිවෙලින් 12%ක් සහ 3%ක් EPF සහ ETF අරමුදල් වල තැන්පත් කරන එක සේවා යෝජකයා සතු වැදගත් වගකීමක්. මේ තත්වය වෙනස් වෙන්නේ ඊට වඩා ප්‍රතිලාභ සහිත විශ්‍රාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් විතරයි. ඔබේ සාමාජික අරමුදල් ගෙවා නැතිනම් ඉතා පහසුවෙන් කම්කරු දෙපාර්තුමේන්තුව ඒක අභියෝගයට ලක් කරලා ඔබට හිමි අරමුදල වගේම අතිරේක වන්දියකුත් ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා.
13. මූලික වැටුපට අමතරව ඔබට ලැබෙන සියලුම දීමනා සඳහාත් EPF සහ ETF අරමුදල් ගෙවන්න අවශ්‍යයි.
බොහෝ සේවකයන්ට මූලික වැටුපක් (Basic එක) වගේම වෙනත් දීමනා විදිහට අතිරේක මුදලක් හිමි වෙනවා. මේ ඇතැම් දීමනා ද (ජීවන වියදම් ආදී දීමනා) මූලික වැටුපට එකතුකර එන වටිනාකම මත 12% ක් සහ 3%ක් EPF සහ ETF අරමුදල් වෙත ගෙවන්න සේවා යෝජකයා ක්‍රියා කරන්න අවශ්‍යයි. මේ ගැන තියෙන ඕනෑම ගැටළුවක් කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවෙන් විමසන්න ඔබට පුළුවන්. (කොළඹ කම්කරු දෙපාර්තමේන්තුව කියන්නේ ආසිරි රෝහල ඉදිරිපිට කිරුල පාරේ තියෙන තට්ටු 8ක ගොඩනැගිල්ලට)
14. පාරිතෝෂික මුදලක් ලබා ගන්න එකත් ඔබේ අයිතිවාසිකමක්.
අවුරුදු පහක් හෝ ඊට වැඩි කාලයක් සේවකයන් 15ක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න ආයතනයක සේවය කරලා තියෙනවා නම් ඔබ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වෙන අවස්ථාවක ඒ කාලය වෙනුවෙන් අමතර පාරිතෝෂික මුදලක් ලබා ගන්න අයිතියක් තියෙනවා. ඔබ අන්තිමට ආයතනයෙන් ලබපු වැටුපෙන් භාගයක මුදල සේවය කරපු වසර ගණනෙන් වැඩි කරලා ලැබෙන අගයට සමාන මුදලක් මේ විදිහට ඔබට සේවය අවසානයේ හිමි වෙනවා.***
15. සාමාන්‍යයෙන් ඔබට සේවය කරන්න නියම කරන්න පුළුවන් උපරිම කාලය දිනකට පැය 8ක් සහ සතියකට පැය 45ක් විතරයි.
අපි කලින් සඳහන් කරපු වෙළඳසැල් සහ කාර්යාල සේවක පනත ට අනුව සේවා නියුක්තිකයෙක්ට දිනකට පැය 8කට වඩා සේවය කරන්න කියලා හෝ සතියකට පැය 45කට වඩා සේවය කරන්න කියලා නියම කරන්න සේවා යෝජකයන්ට අවසර නැහැ. කොහොම වුණත් රාජ්‍ය අංශයේ සේවය කරන විධායක හෝ කළමනාකාර ශ්‍රේණි වල නිලධාරීන්ට මේ සීමාව පනවලා නැහැ.
16. හැම දවසකදීම සේවා කාලය අතරතුරදී දිවා ආහරය සඳහා පැයක විවේකයක් (සහ ඇතැම් විට තේ පානය සඳහා පැය භාගයක විවේකයක්) ලබා දීම අනිවාර්යයි.
වෙළඳසැල් සහ කාර්යාල සේවක පනතේම තියෙන තවත් දෙයක් තමයි උදෑසන 8.00 සහ සවස 5.00 යන කාලය අතරතුර පැයක දිවා ආහාර විවේකයක් ලබා දෙන එක අනිවාර්ය බව. ඔබ හවස 6.00න් පසුවත් සේවය කරනවා නම් තවත් පැය භාගයක විවේකයක් ලබා දෙන්න අවශ්‍යයි.
17. කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කරන්න කියලා බල කරන්න බැහැ.
ඔබ කාන්තාවක් නම් සහ ඔබ “කළමනාකාර හෝ තාක්ෂණික මට්ටමේ වගකීම්” උසුලන කෙනෙක් නෙවෙයි නම් හරි, සෞඛ්‍ය සහ පොදු සුභසාධක අංශයක සේවය කරන කෙනෙක් නෙවෙයි නම් ඔබේ කැමැත්ත නැතිව ඔබට රාත්‍රී කාලයේ සේවය කරන්න කියලා බල කරන්න සේවා යෝජකයාට සාමාන්‍යයෙන් අවසර නැහැ. (මේ තත්වය වෙනස් වෙන අවස්ථා කිහිපයකුත් තියෙනවා)
18. මාතෘ නිවාඩුව. (Maternity leave)
ඕනෑම කාන්තාවකට දරුවෙක් ලැබුණු අවස්ථාවක පඩි සහිතව මාතෘ නිවාඩුවක් ලබා ගන්න නීතියෙන් අවසර තියෙනවා. පළමු වැනි සහ දෙවැනි දරුවා සඳහා දින 70ක් බැගිනුත්, තුන් වන සහ ඉන් පසුව ලැබෙන දරුවන් සඳහා දින 28 බැගිනුත් මේ විදිහට පඩි සහිතව නිවාඩු ලැබෙනවා. මේ තත්වයේ යම් ලිහිල් බවක් තියෙන්නේ කළමනාකාර හෝ විධායක ශ්‍රේණියක ඉන්න කාන්තාවන් වෙනුවෙන් විතරයි.
19. පුර පසළොස්වක පොහොය දිනයක ඔබ රාජකාරී කරනවා නම් සාමාන්‍ය දවසේ වැටුප වගේ එක හමාර ගුණයක වැටුපක් හිමි වෙනවා.
ඔබ කළමනාකාර හෝ විධායක ධුරයක් හොබවන කෙනෙක් නෙවෙයි නම් පෝය දවසක වැඩ කරන්න සිද්ධ වුණොත් සාමාන්‍ය දවසක වැටුප වගේ එක හමාර ගුණයක වැටුපක් ලබන්න ඔබ හිමිකම් කියනවා.
20. ඔබ සේවය කරන ස්ථානයේ ප්‍රමාණවත් වායු සංසරණයක්, පිරිසිදු වැසිකිලි සහ ප්‍රමාණවත් ආලෝකයක් සපයා තිබිය යුතුයි.
මේ නිසා ප්‍රමාණවත් ආලෝකයක් නැතිනම්, වායු සංසරණය සිදු වෙන්නේ නැතිනම් සහ පිරිසිදු වැසිකිලි පහසුකම් සපයා නැති නම් ඒ ගැන ඔබේ සේවා යෝජකයාට පැමිණිලි කරලා යම් විසඳුමක් ලබා ගන්න මැලි වෙන්න ඕන නැහැ.
අපි මේ කියපු හැම කාරණාවක්ම වගේ ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන වල ස්ථිරව සේවය කරන අයට බව පැහැදිලිව මතක තියා ගන්න අවශ්‍යයි. රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්, රජය යටතේ තියෙන ව්‍යාපාරික ආයතන වල සේවකයන් වැනි පිරිස් සඳහා බලපවත්වන වෙනත් / තරමක් වෙනස් නීති රෙගුලාසි පවතිනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවකදී මේ කියපු කාරණා සහ අයිතිවාසිකම් ගැන කතා කරද්දී අදාළ ස්ථානයේ වටපිටාව සහ අදාළ වන අනෙක් කරුණුත් සැලකිල්ලට ගන්න අවශ්‍යයි.
අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ මේ හැම දෙයක් ගැනම අකුරට හොයලා පැමිණිලි කරන්න කියන එකම නෙවෙයි. හැබැයි තමන්ට තියෙන අයිතිවාසිකම් ගැන දැන ගෙන ඉන්න එක ඕනෑම අවස්ථාවක තමන්ට සිදු වෙන අසාධාරණකම් වලින් බේරෙන්න හොඳ ආයුධයක් කර ගන්න පුළුවන්. මේ ලිපිය කියවලා ඔබටත් රටේ තමන්ට අදාළ වන නීතිය ගැන දැනුවත් වෙන්න යම් උනන්දුවක් ඇති වෙන්න ඇති කියලා අපේක්ෂා කරනවා. මේ ලිපිය වැදගත් කියලා හිතෙන අය වෙනුවෙන් share කරන්නත්, මීට අමතරව ඔබ දන්නා වෙනත් කරුණු, අදහස් වගේ දේවල් අපේ ෆේස්බුක් පිටුවේ අදාළ පොස්ට් එකට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
*** පැහැදිලි කිරීමක් : 1983 අංක 12 දරන පාරිතෝෂක ගෙවීම් පිළිබඳ පනතේ (සංශෝධනයට පසු) පැහැදිලි කෙරෙන ආකාරයට විවිධ වර්ගයේ සේවකයන් සඳහා පාරිතෝෂිකය ගණනය කෙරෙන්නේ මේ විදිහටයි.
- කෘෂිකාර්මික සහ වතුවල සේවය කරන්නන් (LRC අනුබද්ධ) – මාසයක වැටුප වාරයක් සේවය කළ වසර ගණන.
- කෘෂිකාර්මික භූමි වල කම්කරුවන් – දින 14ක වැටුප වාරයක් සේවය කළ වසර ගණන.
- වෙනත් සියලු කර්මාන්ත වල සේවකයන් – මාස භාගයක වැටුප වාරයක් සේවය කළ වසර ගණන.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ
කවරයේ පින්තුරය: GP Lewis/IWM Via Getty Images