Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ම අවධානය යොමු වූ සතාසිවම් ඝාතන නඩුව

ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබෙන්නේ 1981 දී යි. එනමුත් ඊට දශක ගණනාවකට පෙරත් ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ප්‍රචලිත ව තිබුණා. ටෙස්ට් වරම් ලැබීමට පෙර යුගයේ ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලැබුවා. ඒ අතරින් මහාදේවන් සතාසිවම් නාමය ඉහළින් ම කියැවෙනවා.

සතාසිවම් එවකට ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකය ම සැලකූ විටත් අතිදක්ෂ ම පිතිකරුවන් කිහිපදෙනා අතර සිටි ක්‍රීඩකයෙකු බව විචාරක මතය යි. මේ නිසා ඔහු ශ්‍රී ලංකාවට ගෙන දුන්නේ සුළුපටු කීර්තියක් නොවේ. කෙසේ නමුත් මේ සියල්ල සමග එක්තරා කළු පැල්ලමකුත් ඔහුගේ නාමය සමග ඈඳී තිබෙනවා. ඒ ඔහුගේ පළමු බිරිඳ ගෙල සිරකර ඝාතනය කිරීමේ චෝදනාවට ඔහු ලක්වීම යි. පසුකාලීන ව ඉන් ගැලවුණත් ඉන් ඇති වූ අපකීර්තිය ඔහුගේ ක්‍රීඩා ජීවිතයට ම බලපෑම් එල්ල කළා.

සතාසිවම් (දකුණේ) ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග: srilankasports.lk

ඝාතන සිද්ධිය

මහාදේවන් සතාසිවම් පළමුවර විවාහ වී සිටියේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිබිරියක සමග යි. මේ විවාහයෙන් ඔහුට දාව සතාසිවම් මහත්මියට දියණියන් සිවුදෙනෙකු සිටියා.  කෙසේ නමුත් සතාසිවම්ගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක එකක් වුණේ නැහැ. ඔහු සුදු ජාතික තරුණියක සමග ඇති කරගෙන තිබූ අයථා සම්බන්ධතාවත් පවුලේ ආර්ථික තත්ත්වය ස්ථාවර ව ගෙනයාමට උනන්දුවක් නොදැක්වීමත් යන කරුණු නිසා කීපවිටක් ම ඔවුන්ගේ විවාහය දෙදරා යන්නට ආසන්න වූ නමුත් දෙපාර්ශවයේ වැඩිහිටියන් එය එසේ නොවීමට ක්‍රියා කර තිබුණා. 1951 ඔක්තෝබර් 9 වැනි දා ට පහන් වූයේ ඒ අතර යි.

එදින දිවාකාලයේ දී සතාසිවම්ගේ කුඩා දියණියන් දෙදෙනා යාබද නිවැසියෙකුට තමන්ගේ මව ‘අසනීප වී’ ගරාජයේ නිදා සිටින බව පවසනවා. ඇය වහා ම ගරාජය වෙත ගොස් බලන විට දක්නට ලැබෙන්නේ සතාසිවම් මහත්මිය සිහිවිසඥව මෙන් උඩුබැලි අතට වැටී සිටින ආකාරය යි. ඇයගේ ගෙල මතට නිවසේ වංගෙඩිය වැටී තිබුණා. මේ අවස්ථාවේ දී සතාසිවම්ගේ වැඩිමහල් දියණියන් දෙදෙනා නිවසට කැඳවාගෙන ආ නිවසේ සේවකයෙකු විසින් සතාසිවම් මහත්මිය පරීක්ෂා කර බලා ඇගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බව පවසනවා.

වහා ම පරීක්ෂණ ඇරඹෙයි

සතාසිවම් මහත්මිය ඝාතනය වූ බැව් සැලවීමත් සමග ඇයගේ ඥාතීන් සතාසිවම් මහතා ඊට සැක කරන බැව් පොලීසියට පවසනවා. මූලික පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු දේහය වහා ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශය භාර මහාචාර්ය ද සේරම් වෙත යොමු කෙරෙන අතර සතාසිවම්ට එරෙහිව චෝදනා ගොනු වෙනවා.

සතාසිවම් පිළිබඳව එකල පළ වූ ලිපි- inlawspro.blogspot.com

ඝාතන සිද්ධියත් සමග සතාසිවම්ට එරෙහිව චෝදනා ගොනු වූවත් සතාසිවම් ලෝ පතළ පුද්ගලයෙකු වූ නිසා ඔහුට එරෙහිව පවතින සැකය නිසි පරිදි තහවුරු කර නොගෙන ඔහු අත්අඩංගුවට ගැනීම පොලීසියට මහත් අවදානමක් වුණා. සිද්ධිය වූ දිනයේ පෙරවරු 10.30ට පෙර තමන් නිවසෙන් නික්ම ගිය බවත්, ඒ වනවිට සතාසිවම් මහත්මිය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් සතාසිවම් ප්‍රකාශ කරන්නේ මේ අතර යි. සිද්ධිය සැල වූ අවස්ථාවේ දී නිවසේ සිට ඇත්තේ වයස 2 හා 4ක් වූ සතාසිවම් යුවලගේ කුඩා දියණියන් දෙදෙනා පමණක් වීම නිසා සතාසිවම් සැකපිට සිරභාරයට ගැනීම පසෙක තබා පළමු කට උත්තරය ඔවුන්ගෙන් ගැනීමට පොලිසිය තීරණය කරන්නේ වෙන විකල්පයක් නැති තැන යි.

මේ අතර සතාසිවම් නිවසෙහි සේවය කළ 18 වියැති විලියම් නම් කොලුවෙකු සිද්ධියෙන් පසු අතුරුදන් ව ඇති බවට පොලීසියට තොරතුරු ලැබෙනවා. වහා ම ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවනවා. සතාසිවම්ගේ සිවු වියැති තෙවන දියණිය ‘සේවකයෙක්’ තම මව ඔසවාගෙන ගොස් ගරාජයට දමනු’ තමන් දුටුවේයැ යි පොලීසිය වෙත පවසන්නේ මේ අතර යි. කෙසේ නමුත් ඇය නම් කළ සේවකයා සතාසිවම්ගේ වැඩිමල් දියණියන් දෙදෙනා පාසලෙන් කැඳවාගෙන ඒමට ඒ වන විට නිවසින් පිටතට ගොස් තිබූ සේවකයා ම බැව් තහවුරු වුණා. සතාසිවම් මහත්මියගේ ප්‍රභූ ඥාතීන් පරීක්ෂණ සිදුවන මන්දගාමී ස්වභාවය පිළිබඳ ඉතා නොසතුටෙන් ක්‍රියාකිරීමට පටන්ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස සතාසිවම් එදින ම පොලිස් භාරයට ගැනෙනවා. නමුත් ඔහු දිගින් දිගට ම ප්‍රකාශ කළේ මේ සිද්ධිය වන විට තමන් නිවසේ නොසිටි බව යි.

අධිකරණ වෛද්‍ය වාර්තාව හා තවත් සාක්ෂ්‍ය

මහාචාර්ය ද සේරම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් වන්නේ මේ අතර යි. මෙහි දී ඇය මියගොස් ඇත්තේ ගෙල සිර කිරීමෙන් බැව් තහවුරු වුණු අතර ඒ වන විට ඇය සිටගෙන සිට ඇති බවටත්, ඝාතකයා ඇයගේ පසුපසින් සිට ඇති බවටත් තහවුරු වී තිබුණා. මේ අනුව විලියම්ට එරෙහිව ඇති සැකය තවත් වැඩි වුණා.

කොල්වින් ආර්. ද සිල්වා- sundaytimes.lk

සතාසිවම් සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ නීතීඥයා වූයේ ලක්දිව ඉතා පතළ චරිතයක් වූ කොල්වින් ආර්. ද සිල්වා මහතා යි. ඉතා ඉක්මනින් කරුණු ගොනු කරගත් ඔහු සතාසිවම් මහතාට අනුව ඔහු පෙරවරු 10.30ට පමණ නිවසින් පිට වී ඇති බවත්, ඒ වන විට විලියම් පොල් ගාමින් කුස්සියේ සිටි බවත්, සතාසිවම් මහත්මිය ඒ අසල සිටි බවත් අධිකරණයට ප්‍රකාශ කළා. සතාසිවම් මහතාගේ පාර්ශවයට වාසි ගෙන දෙමින් නිවසින් පිට වී යාමට ඔහු ඇණවුම් කළ කුලී රියේ සේවකයා තමන් සතාසිවම් නිවසට ළඟා වූයේ පෙරවරු 10.30ට බවත්, සතාසිවම් මහතා නිවසෙන් පිටත් වන විට ඔහුගේ බිරිඳ නිවසින් ඉවතට පැමිණ ඔහුට සමුදුන් බවත් පොලීසියට පවසනවා.

සිද්ධිය සිදු වී දින 10කින් පමණ මාතර ප්‍රදේශයේ දී විලියම් පොලිස් භාරයට ගැනෙන අතර ඔහු පවසෙන්නේ මරණය සිදු වූ දිනයේ පෙරවරු 9.30ට පමණ සතාසිවම් යුවළ නිදන කාමරයේ දී විශාල දබරයකට මුලපිරූ බව යි. ඒ වන විට සතාසිවම් මහත්මිය සතාසිවම්ට එරෙහිව නැවත දික්කසාද නඩුවක් ගොනු කර තිබූ අතර එය ඉවත් කරගන්නා ලෙස ඔහු ඇයට තර්ජනය කළ බවත්, අවසානයේ ඇඳ මතට තල්ලු කොට ඇගේ ගෙල වැරෙන් පෑගූ බවත් තමන් දුටු බව ඔහු පවසනවා. ඔහුගේ සිරුරේ වූ සීරීම් ලකුණු මොනවාදැ යි විමසූ විට සතාසිවම් මහතා තමන්ට ඔහුත් සමග පණ අදිමින් සිටි සතාසිවම් මහත්මිය ව ඔසවාගෙන ගරාජයට පැමිණෙන ලෙස විධානය කළ බවත්, එහි දී සීරීම් තුවාල ඇති වූ බවත් ඔහු පවසනවා.

සතාසිවම් මහත්මිය සතු ව තිබූ වටිනා ආභරණයක් මේ වන විට අතුරුදන්ව තිබූ අතර විලියම් එය විකිණූ බවට ද සාක්ෂ්‍ය හමු වී තිබුණා. එයට නිදහසට කරුණු ලෙස විලියම් පවසන්නේ ‘කට වසාගෙන සිටින ලෙසට ‘ පවසමින් සතාසිවම් මහතා එය තමන්ට තෑගි කළ බව යි.

සාක්ෂ්‍යවල පරස්පරතා

විලියම්ගේ සාක්ෂිය හා කුලී රථ රියැදුරුගේ සාක්ෂිය පරස්පර වීම නිසා නැවතත් අධිකරණය උභතෝගෝටික ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කෙසේ නමුත් සතාසිවම් මහත්මියගේ පාර්ශවය ප්‍රකාශ කළේ දික්කසාද නඩුව සතාසිවම් මහත්මියගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන නිසා එය පරාජය වුවහොත් අත්තිකාරම ගෙවීමට සිදුවුණු බව දැනගත් නිසා සතාසිවම් මෙම ඝාතනය සිදුකර ඇති බව යි. ඊට අමතර ව ඇගේ මෙම මරණයෙන් පසු ඔහුට සෑහෙන දේපළක් ද නීතිප්‍රකාර ව හිමිවීමට තිබුණා. මුදල් දී කුලී රථ රියැදුරා නම්මවාගන්නට ඇතැ යි යන මතය ප්‍රකාශ වීමත් සමග නැවතත් සැකය සතාසිවම් වෙත යොමු වුණා.

ඝාතන නඩුව අවධියේ. දකුණුපස සිට පිළිවෙළින් අචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා සතාසිවම්- thinkworth.wordpress.com

ද සේරම්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව විලියම්ගේ කට උත්තරය සමග නොසැසඳුණු අතර සතාසිවම් මහත්මියගේ වස්ත්‍රයෙහි තිබී ශුක්‍රාණු පැල්ලමක් ද නිරීක්ෂණය වී තිබුණා. කෙසේ නමුත් අද මෙන් තාක්ෂණය දියුණුව නොතිබූ ඒ සමයේ එය කාගේදැ යි නිශ්චිත ව හඳුනාගැනීම උගහට වුණා. කෙසේ නමුත් වඩා විය හැකි දේ ලෙස සියල්ලන්ට ම පෙනී ගියේ විලියම් ලිංගික අඩත්තේට්ටමක් කිරීම හා ආභරණය සොරගැනීම උදෙසා මේ ඝාතනය සිදුකර ඇති බව යි.

කෙසේ නමුත් සතාසිවම් මහත්මියගේ පාර්ශවය එය පිළිගැනීමට මැළි වූ අතර ශ්‍රී ලාංකීය අධිකරණ වාර්තාවේ මරණය සිදු වූ වේලාව ආසන්න මිනිත්තුවට ම නිශ්චය කර නොතිබීම ඔවුන් ආයුධයක් කරගත්තා. මේ හේතුවෙන් මෙම නඩුව ජාත්‍යන්තරව ද ප්‍රසිද්ධියට පත් වූ අතර ලෝ පතළ අධිකරණ වෛද්‍ය සිඩ්නි ස්මිත් මහතාට මෙය විසඳීමට කැඳවීමක් ලැබෙන්නේ මේ අතර යි. සියල්ල පරීක්ෂා කර බලා ඔහු විසින් මරණය සිදු වී ඇත්තේ උදෑසන 11න් පසු ව බව නිශ්චිතව ම පවසනවා. ඒ වේලාව වන විට සතාසිවම් මහතා නිවසෙන් පිට ව සිටි බවට ඇති තරම් සාක්ෂ්‍ය තිබූ අතර මේ හේතුවෙන් හා කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දක්ෂතා නිසා සතාසිවම් මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරෙනවා.

සිඩ්නි ස්මිත්- rcpe.ac.uk

පසුවදන

චෝදනාවලින් නිදහස් වූ සතාසිවම් මහතා හට සිය බිරිඳගෙන් විශාල දේපළක් උරුම වූ අතර, ඔහු ඒවා විකුණා දමා සිය දීර්ඝකාලීන පෙම්වතිය හා විවාහ වී රටින් පිටවනවා. සාක්ෂ්‍යවල මඳකම හේතුවෙන් විලියම් ද නිදහස් වෙනවා. කෙසේ නමුත් මෙය ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනාගේ නොසතුටට හේතු වූ අතර ‘වංගෙඩිය මිනී මරා ඇතැ යි’ යනුවෙන් මේ සම්බන්ධයෙන් කතාවක් පටබැඳෙනවා.

කවරයේ පින්තූරය: thinkworth.wordpress.com

මූලාශ්‍රයයන්:

  1. Island.lk
  2. Sundaytimes.lk
  3. Mostly Murder -by Sydney Smith

Related Articles