කූඹියෝ ටෙලි නාට්‍ය මාලාවේ අවසන් කොටස් මාර්තු 17 වන සෙනසුරාදා විකාශය වීමට නියමිත යි. 2016 අගෝස්තු 26 වනදා පටන් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි ITN ඔස්සේ විකාශය වූ මෙම අමුතු ආරක් ගත් ටෙලි නාට්‍යය මේ අනුව දැනට නිම වනවා.
දැනට? ඔව්. දෙවන කතා මාලාවක් ආවොත් අපට ආයෙත් කූඹියෝ බලන්න පුළුවන් වේවි. ඒ නිසා, දැනට අවසන් වෙනවා කියලා කියමු. ඊට අමතරව, කැමති කෙනෙකුට Youtube හරහා මෙම කතා මාලාව සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්.
අවසන් කතාංග විකාශය වන්නට නියමිතව තියෙන මේ වෙලාවෙ අපි හිතුවා කූඹියෝ ගැන පොඩ්ඩක් හැරී බලන්න. ඇත්තට ම අපි කූඹියෝ බලන්න ඕන ද? කූඹියෝ බලලා අපට වැඩක් තියෙනව ද? කූඹියෝ බලපු, සහ විශේෂයෙන්ම තාමත් නොබලපු, සියලු දෙනා වෙනුවෙන් ඒ ගැන සාකච්ඡා කරන්නට අපි අදහස් කළා.
මේකෙ ඉන්න කට්ටිය කවුද?
ඒ ගැන හිතන්න කළින් අපි මේ කතාවට දායක වූ අය ගැන දැනගමු. කූඹියෝ කතාවේ තිර රචනය ලක්මාල් ධර්මරත්නගෙ සහ දමිත චන්ද්‍රසිරිගෙ. අධ්‍යක්ෂණයත් ලක්මාල්ගෙ. නැත්නම් අපි කවුරුත් දන්න විදියට ලකාගෙ. ප්‍රධාන චරිත රඟපාන්නෙ තුමිඳු දොඩන්තැන්න, කළණ ගුණසේකර, යුරේනි නොෂිකා ඇතුළු නළු නිළියන් කණ්ඩායමක්. නාට්‍යයේ නිෂ්පාදකයා අසංක දොඩන්තැන්න. ඒ කියන්නෙ තුමිඳුගෙ වැඩිමහල් සහෝදරයා. සංගීතය අචල සොලමන්ස්ගෙ. “පායනා කාලෙදී” ගීතය අලුත්ම ආරකින් සංගීතය සපයලා ගායනය කරන්නේ ඔහු යි.
මීට අමතරව කතාවෙ ඉතාම වැදගත් කොටසක් වෙච්ච ඔස්ටින් අයියාගෙ චරිතය රඟ දක්වපු සේනක ටයිටස් මහතා ITN ඔස්සේ කූඹියෝ ප්‍රචාරය වන දිනවලම අප අතරින් වෙන්ව ගියා. ඒ ගැනත් විශේෂයෙන් මතක් කළ යුතුමයි.
මේ විස්තරය කිව්වේ මෙතෙක් නාට්‍යය නොබලපු අයට දැනගන්න පමණයි.
කූඹියෝ යන්නෙ කොහෙටද?
සාමාන්‍යයෙන් අපි දන්න කූඹියෝ නම් යන්නෙ පැණිරස කෑමක් හෝ වෙනත් රසවත් කෑමක් ඇති තැනකට. නමුත් ඒ සාමාන්‍ය දේට වඩා දෙයක් පායනා කාලෙ දී කියන පැරණි ගීයෙන් අපට කියා දෙනවා. “පායනා කාලෙදී” ගීතයේ කියවෙන කූඹියෝ මගින් අදහස් කරන්නේ අනාගතය පිළිබඳ සිතමින් මේ අවස්ථාවේ වැඩ කරන, මහන්සි වන පිරිසක් ගැන. කූඹියෝ ඒ වගේ කතාවක්.
කූඹියෝ කතාව ආරම්භ වන්නේ අමුතු හමුවීම් දෙකකින්. එක අතකින් ඒ ජෙහාන් කියන චරිතයත්, හිරුණි කියන චරිතයත්. අනික් අතින් ජෙහාන් සහ ප්‍රියන්ත කියන දෙදෙනා. මේ කතාව පදනම් වෙන්නේ ඒ අය මත. ඒක තමයි අපට පේන දෙය.කතාවෙ ආරම්භයේ දී ගලාගෙන යන්නෙ මේ සමාජයේ ජීවිකාව ගැටගහ ගන්නට අරගලයක් කරන දෙදෙනෙකු වටේ ගෙතෙමින්. ජෙහාන් තමයි මෙහි මහ මොළකාරයා. ප්‍රියන්ත ගමෙන් ආපු අන්තේවාසිකයා. නමුත් කතාව ටිකක් ඉස්සරහට යද්දි පෙන්නුම් කරනවා ජෙහාන් කියන්නෙත් ගමෙන් ආපු කෙනෙක් කියන එක. සමාජය තුළ ඒ ඒ අය පත්වන තත්ත්වයන් ගැනයි මේ කතාවෙන් පිළිබිඹු වන්නේ. එහෙමත් නැත්නම් එහෙමයි අපට හිතෙන්නෙ.
ඇත්තම කිව්වොත් ජෙහාන් “ගේම්කාරයෙක්.” මිනිසුන්ගෙ විශ්වාසය දිනාගෙන ඒ මගින් විවිධ දේ කරලා තමන්ගෙ ජීවිකාව කරගන්නා අයෙක්. නමුත් ඔහුව පෙන්වලා දෙන්නෙ නාගරික ශ්‍රී ලාංකීය සමාජයේ ජීවත් වන රොබින් හුඩ් කෙනෙකු වගේ.
කතාව අමුතු පැත්තකට යන්නෙ වාමාංශික දේශපාලන පක්ෂයක් තමුන්ට අවශ්‍ය “ගේම් එකක්” කරගන්න ජෙහාන් සොයාගෙන ඒමෙන්. එතැන පටන් කතාවේ ඇත්තම අරමුණ යන්නෙ දේශපාලනයට බව පැහැදිලි වෙනවා. ඊට පස්සෙ කතාව අමුතු අමුතු පැතිවලට හැරෙනවා.
මුලින්ම සිද්ධවෙන සමහර දේවල්වල ඇත්ත ම තේරුම පැහැදිලි වෙන්නෙ අන්තිමට. ඇත්තෙන්ම ජෙහාන් කියන්නෙ රොබින් හුඩ් කෙනෙක් නොවන බව අපට පැහැදිලි වෙනවා. නමුත් ඒක ම කතාවෙ සාර්ථකත්වයක් විදියටත් දක්වන්න පුළුවන්. මොකද අද අපට හිතෙන දේ නෙවෙයි හෙට හිතෙන්නෙ. ඉතින්, කතාවෙ සමහර කොන්වලින් අල්ලගෙන තමුන්ගෙ න්‍යායපත්‍ර අනුව එය වර්ණනා කරපු සමහර “කූඹි ෆෑන්ස්ලා” පස්සෙ හැරුණ හැරුණ අතට නාට්‍යයට පහර ගහනවාත් අපි දැක්කා.
කතාව සංකීර්ණ ද?
ඇත්තෙන් ම කෙනෙකුට හිතෙන්න පුළුවන් දේශපාලනය ගැන වගේම පාතාල ලෝකය ගැන කියවෙන ටිකක් අමුතු ආරක් ගත්තු කතාවක් නිසා මේක සංකීර්ණයි කියලා. හැබැයි කතාව දිගටම බැලුවොත් එහෙම හිතෙන අයගෙන් කොටසකට හරි ඒ අදහස වෙනස් වේවි.
අපේ ජීවිතවලට දේශපාලනය කෙළින්ම බලපාන බව ඔබත් දන්නවා ඇති. අපට බදු ගහන්නෙ, අපට බලපාන නීති හදන්නෙ, අපි පත්කර යවන නියෝජිතයො. ඉතින් අපි කැමති වුණා, නැතා, දේශපාලනය අපට සම්බන්ධයි. ඒ නිසා ඒක තේරුම් ගැනීම වැදගත්.
අපේ අයට තියෙන ප්‍රශ්නය තමයි දේශපාලනය සංකීර්ණ කරලා තියෙන එක. විශේෂයෙන් ම වාමාංශික දේශපාලනය ගත්තොත්, ඒ ඉන්න දේශපාලකයො වැඩි දෙනෙකුට සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න කතා කරන්න බැහැ. එයාලා කතා කරන්නෙ වෙනම ලෝකෙක, වෙනමම වචන සෙට් එකක් හිස මත තියාගෙන. ඒක එහෙම නෙවෙයි වෙන්න ඕන කියන එක ජෙහාන් පෙන්වනවා.
ඇත්තෙන්ම මේ නාට්‍යයෙන් වාමාංශික දේශපාලනයට පහර ගහනවා තමයි. ඒත් එක්කම මේකෙන් ඔවුනට පාඩමක් කියා දෙනවා, මෙන්න මෙහෙම කරන්න කියලා.
අවසානයෙදි, අපට පෙන්වා දෙනවා දේශපාලන ගේම් කියන දේවල් වෙන්නෙ කොහොමද කියන එක. ඒක විස්තර කරන්න කරලියට එන්නෙ මල්දෙණිය කියන චරිතය. අවුරුදු 25කට පස්සෙ පීටර් ද අල්මේදා කියන විශිෂ්ට නළුවා රූපවාහිනියෙන් අපි දකින්නෙ මල්දෙණිය කියන චරිතයෙන්.
එක් අවස්ථාවක මෙන්න මෙහෙම දෙබසක් එනවා. මේක වෙන්නෙ මල්දෙණිය සහ ඔහුගෙ ලේකම් අධිකාරි (ඩබ්ලියු ජයසිරි) අතරයි.
මල්දෙණිය: එතකොටත් මට තිබ්බා අපේ පක්ෂය දිනවන්න මොකක්ද කරන්න ඕන කියලා සැලසුමක්
අධිකාරි: ඉතාම පැහැදිලියි. අපි ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැටියට එළියට දැම්ම නෙ.
මල්දෙණිය: අයිසේ! මං කතා කරන්නෙ ඔය කෙහෙල්මල් ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නෙවෙයි. අපේ පක්ෂය දිනවන නියම වැඩපිළිවෙල ගැන.
කූඹියෝ බලන්න මේ හේතුව ඇති
කූඹියෝ කතාවේ අඩුපාඩු නැතිව නෙවෙයි. ඇතැම් විදේශීය රූපවාහිනී කතාමාලාවන් එක්ක බැලුවාම කූඹියෝ වගේ නාට්‍යයක් තව දියුණු කරන්න පුළුවන් බව පේනවා. නමුත් සිංහල විතරක් දන්න ප්‍රේක්ෂකයාට කූඹියෝ කියන්නෙ නිධානයක්.
කතාවෙ අවසානය මොකක් වුණත් අපි අන්තිමට ඉගෙන ගන්න ඕන පාඩම මේකයි. අපේ දේශපාලකයො වේදිකාවල නැගලා ප්‍රතිපත්ති ගැන කියෙව්වාට, දේශපාලන බල අරගල වල දී ඔවුන් ඇත්තට කතා කරන්නෙ ඒ “කෙහෙල්මල් ප්‍රතිපත්ති ප්‍රකාශන” ගැන නෙවෙයි. ඔවුන් කතා කරන්නෙ, කූඹියෝ කතාවෙම තවත් තැනක කියවෙන පරිදි පාර්ලිමේන්තුවේ එක් එක් පක්ෂවලට අයිති මන්ත්‍රීන්ලා කඩා ගන්නා “නම්බර්ස් ගේම්” එක, නැත්නම් අංක ගණිතමය ගේම් එක ගැනයි.
අන්න ඒක තේරුම් ගන්න විතරක් හෝ කූඹියෝ බලන එක වටිනවා. මොකද ඒ ගේම් එක ඒ විදියට පෙන්වන ටෙලි කතාවක් මෑත අවුරුදු වල සිංහල ප්‍රේක්ෂකයා දැකලා නැති නිසා.
Cover Image: ප්‍රියන්තව ජෙහාන් ඔහුගේ නවාතැනට රැගෙන එන අවස්ථාව (IMDB)
රූගත කිරීම් අතර ඡායාරූප සඳහා ස්තූතිය – අසංක දොඩන්තැන්න