කොවිඩ් 19 නිසා ඇල්මැරී තිබූ සාහිත්‍ය පිළිබඳ කතාබහට යළිත් පණ ලැබුණේ පසුගිය සැප්තැම්බරයේ පැවැත්වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයක් නිසා යි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පවත්වන දිනය ගැන නම් තවම ආරංචියක් නෑ. සමාජයේ සාහිත කතාබහක් මතුවුණ ද සිංහල සාහිත්‍ය සම්මාන ප්‍රදානයෙන් පසු මතුවන විචාර විවේචන සහ මඩ ප්‍රහාර ගැනත් ඒ කතාබහ තුළ වැඩි සංවාදයක් මතු වුණා. අපි මේ උත්සාහ කරන්නේ ඒ ගැන අහුමුලු හාරා බැලීමට යි.
විද්‍යෝදය සම්මාන වෙනස් කළේ ඇයි?
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ දී පසුගිය සැප්තැම්බර් 2දා පැවැත්වුණා. එම විශ්වවිද්‍යාලයයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශය මෙම සම්මාන උලෙළ මෙවර සංවිධාන කළේ 61 වන වරට යි. නවකතා 150කට අධික ප්‍රමාණයක්, කෙටිකතා සංග්‍රහ 87ක්, කාව්‍ය සංග්‍රහ 100ක්, සහ තීරු ලිපි සංග්‍රහ 28ක් පමණ විනිශ්චය සඳහා සලකා බැලුණා.
වසරේ ප්‍රශස්ත නවකතාව, වසරේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය, වසරේ ප්‍රශස්ත පද්‍ය සංග්‍රහය, සහ වසරේ ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය යන තරග ඉසව් හතර උදෙසා විද්‍යෝදය සම්මාන ප්‍රදානය කෙරුණු අතර, මෙවර වසරේ ප්‍රශස්ත නවකතාව සහ වසරේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය සඳහා වන සම්මාන ද්විත්වයම හිමි කර ගනු ලැබුවේ එරික් ඉලයප්ආරච්චි විසින්. ඒ ‘පේත’ නවකතාව සහ ‘විශ්‍රාමික පෙම්වතිය’ නමැති කෙටිකතා සංග්‍රහය සඳහා යි. වසරේ ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහය ලෙස අජිත් තිලකසේන විසින් රචනා කරන ලද ‘මොන තරම් අවුලක්ද?’ කෘතිය සම්මාන ලැබූ අතර, තීරු ලිපි සංග්‍රහය සඳහා සම සම්මාන පිරිනැමිණි. ඒ අනුරසිරි හෙට්ටිගේ විසින් රචනා කරන ලද ‘ කොළඹ කතා‘ සහ යසවර්ධන රුද්‍රිගු විසින් රචනා කරන ලද ‘යසයාගේ වාක්කිය’ නමැති කෘතීන් සඳහා යි.
උළෙල පැවැත්වූ දින සිටම එයට එල්ලවන විවේචන බරපතල යි. සම්මාන උත්සවයට පෙර දින, ඒ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූ පුවත්පතක අන්තර්ජාල සංස්කරණයේ සම්මානලාභීන්ගේ නම් සහ පොත්වල පිටකවර පළ කර තිබුණා. එයට අනුව අනුරාධා නිල්මිණීගේ “රිදුම් පිරිමැදුම්” කවිපොත, අනුරසිරි හෙට්ටිගේගේ “මැරීන් ඩ්‍රයිව්” කෙටිකතා සංග්‍රහය, එරික් ඉලයප්පආරච්චිගේ “පේත” නවකතාව, යසවර්ධන රුද්රිගූගේගේ “යසයාගේ වාක්කිය” තීරුලිපි සංග්‍රහය යන කෘතිවලට සම්මාන හිමිව ඇති බව සඳහන්ව තිබුණා. ඒ අතරම සම්මාන උළෙලේ සංවිධායකයන් විසින් ඒ ඒ ලේඛක ලේඛිකාවන්ට දුරකථනයෙන් පවසා අනිවාර්යයෙන් පැමිණෙන ලෙස ද දැනුම් දී තිබුණා. ඒත් සම්මාන ප්‍රදානය කිරීමේදී ප්‍රතිඵල ලේඛනයේ වෙනස්කම් සිදුවූ අතර ගීත රචනා ක්ෂේත්‍රයේ සම්මානය කපාහැර තිබුණා. ඒ ගැන උත්සව සභාවේ දී පැවසුවේ හොඳම ගීත රචනා සංග්‍රහයක් සඳහා සම්මාන පිරිනොනැමීමට සංවිධායක කමිටුව තීරණය කළ බව යි. මේ අතර ගීත රචනා කෘති විනිශ්චය කළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ ගීත රචනා සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනයත් හා බාහිරින් ඊට අතපෙවූ මහාචාර්යවරයකුත් තමනට බලපෑම් කළ බව පවසමින්. ඒ ගැන මහාචාර්ය සුනේත්‍රා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ ලිපියේ මෙසේ සඳහන් වෙනවා,
අවසාන ගීත පොත් පහ තේරී සති දෙකක් පමණ ගතවන තෙක්ම උක්ත මහාචාර්යවරයාට හෝ සංවිධායිකාවට කිසිදු විරෝධයක් නොතිබිණි. සම්මානය හිමි කෘතිය රත්න ශ්‍රී ගේ “සුවඳ මුවරද” යැයි නිර්දේශය මා විසින් ලබාදීමෙන් අනතුරැව මේ දෙදෙනාට උභතෝකෝටික ප්‍රශ්නයක් මතුවිය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ කල්ලි ගැසී සම්මාන ලබාදීමේ කූඨ ව්‍යාපාරයක් මේ රටේ ඇති බව යි.
කාව්‍ය කෘතිය සඳහා සම්මාන ලබාගැනීමට පවුලේ අයත් සමග පැමිණෙන ලෙස අනුරාධා නිල්මිණීට විද්‍යොදය සම්මාන සංවිධායකයන් දුරකථනයෙන් දැනුම් දී තිබුණා. ඒත් සම්මානය හිමිවූයේ ඇයට නොව අජිත් තිලකරත්න කවියාගේ “මොන තරම් අවුලක් ද?” පොතට යි. අනුරසිරි හෙට්ටිගේට කෙටිකතා පොතට හිමි සම්මානය වෙනුවට ලැබුණේ තීරුලිපි කෘතියට සම සම්මානයක්. මේ අවුල්සහගත බව නිසා සම්මාන උළෙල ගැන සමාජ මාධ්‍යවල විවේචන රාශියක් පැතිර ගියා.
ගොඩගේ සම්මාන උළෙල
22 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය 10 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා. එහිදී නවකතා (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) කෙටිකතා, පද්‍ය, යොවුන් නවකතා, පරිවර්තන සාහිත්‍ය, ශාස්ත්‍රීය කෘති, පුවත්පත් තීරුලිපි, දෙමළෙන් සිංහලට පරිවර්තිත කෘති ආදී වශයෙන් සම්මාන හිමිවුණා. හොඳම නවකතාව ලෙස සුනේත්‍රා රාජකරැණානායකගේ නිෂ්කාන්ත්‍රිය සම්මානයට පාත්‍ර වුණා.
මෙම සම්මාන උළෙලේ ද කෙටිකතාවට හිමි සම්මානය එරික් ඉලයප්පආරච්චිට ලැබුණා. හොඳම තීරුලිපි සංග්‍රහය වූයේ චමල් අකලංක පොල්වත්තගේ සහ සුජිත් අන්නමලේගේ “ශ්‍රී විකාර” යි. හොඳම ශාස්ත්‍රීය කෘති ලෙස රෝහණ සෙනෙවිරත්නගේ කෘතිය සහ සිරිනිමල් ලක්දුසිංහගේ කෘතිය තේරුණා.
ගොඩගේ සම්මාන උළෙලට එල්ලවන චෝදනාවක් වන්නේ සම සම්මාන බහුලව ප්‍රදානය කිරීම යි. අදාළ කෘති අතරින් හොඳම එක් කෘතියක් තෝරාගැනීමට විනිශ්චය මණ්ඩලය අපොහොසත් වීම ඉන් පැහැදිලි වෙනවා. මෙවරත් යොවුන් නවකතා දෙකක් ද (ඒත් අපි පියාඹමු – සුජාතා අලහකෝන්, සහ හත F – බුවනෙක වන්නිආරච්චි) හොඳම කවිපොත් දෙකක් ද (සරමිණි සුමුගුව – කුමාර හෙට්ටිආරච්චි, රන්වන් පත් – සුනන්දා රණසිංහ) හොඳම පරිවර්තන කෘති දෙකක් (මුල් කවය – ඩබ්ලිව්.ඒ. අබේසිංහ, විවාහකයා – චන්ද්‍ර ශ්‍රී රණසිංහ) ද වශයෙන් සම සම්මාන පිරිනමා තිබුණා.
ගොඩගේ සම්මාන උළෙලේ සංවිධායක අනුරසිරි හෙට්ටිගේ මේ ගැන සඳහන් කළේ සමීක්ෂකයන් සම සම්මාන නිර්දේශ කළහොත් එය පිළිගැනීමට සිදුවන බව යි.
ස්වර්ණ පුස්තක සම්මානයේ දී මොකද වුණේ?
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සම්මාන උළෙල වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 12 වැනි සෙනසුරාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මාන ශාලාවේ දී පැවැත්වුණා. මේ වසරේ නවකතා පොත් 200 ආසන්න ප්‍රමාණයක් සමීක්ෂණය සඳහා ලැබී තිබුණා. එහි අවසන් වටයට තේරුණු නවකතා වූයේ එරික් ඉලයප්ආරච්චිගේ පේත, ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අදින අත, සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්කාන්ත්‍රිය, ශමෙල් ජයකොඩිගේ කුමර කොබෙයි, සුරත් ද මැල්ගේ තී හා තා යි.
මෙවර හොදම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක කිරුළ හිමිවූයේ එරික් ඉලයප්පආරච්චි රචනා කළ ගොඩගේ ප්‍රකාශනයක් වූ පේත නවකතාව යි. එහෙත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට කතුවර එරික් ඉලයප්පආරච්චි පැමිණ සිටියේ නැහැ. එයට හේතුව ඔහුට සම්මාන උළෙළ පවත්වන දිනය පටලැවීම බව යි එරික් පවසා සිටියේ. සැප්තැම්බර් 18 වැනි සිකුරාදා පැවැත්වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ දී පවත්වන රජත පුස්තක සම්මාන ප්‍රදානයත් සමග ස්වර්ණ පුස්තක සම්මානය ද නැවත පිරිනැමීමට නියමිත බව ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවත් තවමත් එය අදාළ ලේඛකයාට ලබා දී නැති බවත්, එය පසුව ලබාදෙන බවත් වාර්තා වෙනවා.