සාමාන්‍ය ඡායාරූපකරණයෙන් ඔබ්බට ගිය සුවිශේෂී ඡායාරූප සමහර විට ඔබ දැකලා ඇති. බොහොම ප්‍රසිද්ධියට හා අවධානයට ලක්වූ විශේෂ ඡායාරූප අතරින් ලොවම මහත් කම්පාවට පත්වූ, ආන්දෝලනයකට ලක් වූ ඡායාරූප කිහිපයක් හා ඒ පසුපස බැදුණු විස්තර ටිකකුයි අද අපි ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ. කියවලා බලන්න ඔබ මේ විශේෂ ඡායාරූපයන්ගේ පසුපස තිබු කතාව දන්නවාද කියලා. මෙවැනි ලෝක ප්‍රසිද්ධ තවත් ඡායාරූප තියනවනම් ඒවත් ඒ හා බැඳි විස්තරත් comment එකකින් ලිපියට යටින් සටහන් කරන්න අමතක කරන්න එපා.
ගැහැණු ළමයා හා ගිජුලිහිණියා
1993 මාර්තු මස දිනක සූඩානයේ අයෝද් නගරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දැරියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආහාර බෙදා දෙන ස්ථානයකට ගමන් කිරීමට උත්සාහ දරන ආකාරයකුත්, ඇය අසළම ගිජුලිහිණියෙකු වසා සිටින අයුරුත් ඡායාරූපයෙන් නිරූපණය වෙනවා.
මෙම ඡායාරූපය රැගෙන තිබුනේ කෙවින් කාටර් නම් අප්‍රිකානු ජාතික තරුණ ඡායාරූප ශිල්පියෙක්. 1994 වර්ෂයේ හොදම වාර්තාමය ඡායාරූපයට හිමි පුලිස්ටර් සම්මානය පවා මෙයට හිමි වෙනවා.
ඡායාරූපය එම වසරේම මාර්තු 26 වන දින නිවුයෝර්ක් ටයිම් පුවත්පතේ පළවෙනවා. මේ පළවීමත් සමඟම දහස් ගණන් පාඨකයන්ට අවශ්‍ය වූයේ ගිජුලිහිණියා දරුවා ගොදුරු කරගත්තාද? නැත්නම් දැරිය ආහාර ලබා ගැනීම සඳහා නිරුපද්‍රිතව ගමන් කලේද යන්න දැනගන්නයි. සැබවින්ම දැරියට අත්වූ ඉරණම පිළිබඳව පිළිතුරු දෙන්නට පුවත්පත් මණ්ඩලයට හැකියාව ලැබුනේ නෑ. පාඨකයන්ගේ මෙම ප්‍රශ්නයට හරි හැටි පිළිතුරුක් දෙන්නට කෙවින්ටවත් නොහැකි වූ බැවින් ඔහු නිතැතින්ම වරදකරුවෙක් ලෙස සමාජගත වෙනවා.
ඡායාරූපයට දැඩි විවේචන
දැරියට උදවු නොකර එම අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඔහුට දැඩි විවේචන එල්ල වීමට පටන් ගන්නවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පළ වන ශාන්ත පිටර්ස්බර්ග් ටයිම් පුවත්පතේ මෙම සිදුවීම මෙසේ වාර්තා කර තිබුණා.
“කාටර් හුදෙක් ඡායාරූප ශිල්පියෙක් පමණයි. ඒ මොහොත ඔහු ඡායාරූපයට නැගුවා. අනතුරුව ඔහු එතනින් නික්ම ගියා. මොකද ඒ ඔහුගේ රැකියාවයි. ඡායාරූපය ගැනීමට කැමරාව සීරු මාරු කළ මොහු දැරිය ගොදුරු කරගැනීමට කුරුමානම් ඇල්ලූ තවත් ගිජුලිහිණියෙක් පමණයි. මේ ගිජුලිහිණියා ඡායාරූපයේ සටහන් වෙලා නැති එක තමයි එකම අඩුව”
කාටර් සියදිවි නසාගනී
1994 වර්ෂයේ පුලිස්ටර් සම්මානය දිනාගත් කාටර් එම වසරේම ජූලි 27 වනදා සියදිවි නසාගන්නවා. ඊට ආසන්නම හේතුව ලෙස දැරිය බේරා නොගෙන ඡායාරූපය පමණක් ගැනීම ලෙස ඔහු මරණයට පෙර ලියා තැබූ සටහනේ දැක්වෙනවා.
“පැහැදිලිව පෙනෙන තුවාල වූ දරුවෙකු පෝෂණය නොකිරීමේ වරදකාරී හැඟීමත්, තුවක්කුවේ කොකා මත අත තබා ගත් උමතු මිනිසෙකුගේ දර්ශනයකුත්, අලුගොසුවෙකුත් මා වටා හොල්මන් කරනවා. මට හිතෙන්නේ මම විශාදයෙන් පෙළෙනවා. මම වාසනාවන්තනම් කේන් සමඟ එක වීමට මට අවස්ථාව ලැබේවි. මම යනවා” ඒ ඔහුගේ අවසන් සටහනේ කොටසකුයි.
වෙඩි පහරින් කුඩුවෙන හිස
ඡායාරූප යනු ලොව ප්‍රබල ආයුධයක් බවත්, මිනිසුන් සෑම විටම පාහේ ඡායාරූප දුටු පමණින් තීරණ වලට එළඹෙන අයුරුත්, එසේ වූවත් සෑම විටම ඡායාරූපය තුලින් සත්‍ය නිරූපණය නොවන බවත් අපූරුවට පැහැදිලි වූ අවස්ථාවක් ලෙස මෙය හදුන්වා දෙන්නට පුළුවන්. Eddie Adams නම් ඡායාරූප ශිල්පියා විසින් වියට්නාම් යුධ සමයේ වියට්නාම් හමුදා නිලධාරියෙක් විසින් සිරකරුවෙකුගේ හිසට වෙඩි පහර එල්ල කරන සංවේදී මොහොතක් තම කැමරා කාචයේ ක්ෂණිකව සටහන් කරගෙන තිබෙනවා.
බැලු බැල්මට යුධ අපරාධයක්
වියට්නාම් හමුදා නිලධාරියෙක් වන මේජර් ජෙනරාල් Nguyen Ngoc Loan විසින් සිවිල් සිරකරුවෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරන ආකාරය නිරූපනය වීමෙන් මෙය පැහැදිලිව යුධ අපරාධයක් බව යුධ විරෝධී සංගම් මගින් ලොව වටා ප්‍රචාරය කරන්නට විය. සියළුම රටවල අවධානය ඡායාරූපයට යොමු වීමට මෙය හේතුවක් වෙනවා. ඉන් නොනැවතුණු ඔවුන් වියට්නාමය යුධ අපරාධ සිදු කරන රටක් බවට චෝදනා පත්‍රයක්ද සම්මත කර ගනු ලබනවා.
ඇත්තටම ඝාතනය වෙන්නේ සිවිල් වැසියෙක්ද?
ඇත්තටම ඝාතනය වන පුද්ගලයා සිවිල් වැසියෙක් නොවන බවත් ඔහු දකුණු වියට්නාම් පොලිස් නිලධාරීන් ඇතුළු ඔවුන්ගේ පවුල් සමූලඝාතනයට ලක් කළ වියට්නාමය තුළ භීෂණය වැපුරූ වියට්නාම් කොන්ග් සංවිධානයේ නායක Van Leam නම් පුද්ගලයා බව පසුව හෙළි වෙනවා. වරෙක ඔහු මේජර් ජෙනරාල් Loan ද ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙනවා. Leam හසු වන්නේ ඔහු වියට්නාම් නිලධාරීන්ව ඝාතනය කල සිරුරු වැළලූ සමූහ මිනි අඩවියකදීයි. මේජර් ජෙනරාල්වරයා මේ තරම් කුරිරු ලෙස සිරකරුට වෙඩි තබා ඝාතනය කරන්නට මුල් වූ එක් හේතුවක් ලෙස එය සදහන් කරන්න පුළුවන්. ඔහුව මෙලෙස ඝාතනය කරන්නේ සයිගොන් හි වීදියකදී ඔහුගේ සගයින් දෙදෙනෙක්ද සමඟයි.
ඡායාරූපයේ ප්‍රතිඵල
සත්‍ය හෙළිවීමත් සමඟ මිනිසුන් මෙම ඡායාරූපයට දක්වූ ප්‍රතිචාර වියට්නාම් යුද්ධය අවසන් කිරීමට මහත් රුකුලක් වූවත් මේජර් ජෙනරාල්ව වියට්නාම් යුධ හමුදාවෙන් නෙරපීමට රජය විසින් තීරණය කරනු ලබනවා. මෙම සිද්ධිය කැමරාවට හසුකරගත් Eddie Adams පසුව මේ සම්බන්ධව දැඩි කණගාටුවෙන් යුතුව මෙසේ ප්‍රකාශ කරනු ලබනවා.
“ජෙනරාල් විසින් Lemව මරා දැමුවා. ඒ වුනත් මම මගේ කැමරාවෙන් ජෙනරාල්ව විනාශ කළා. මිනිස්සු ඡායාරූප වලින් හැමවෙලේම සත්‍ය නිරූපණය වෙනවා කියලා තදින් විශ්වාස කරනවා.එත් එක හැම අවස්ථාවකදීම එසේ වෙන්නේ නෑ.”
නිරුවත් නාපාම් ගැහැණු ළමයා
වියට්නාම් යුද්ධය හේතුවෙන් 1972 දී බෝම්බ වලින් ශරීරය පිලිස්සී පළා එන නිරුවත් නාපාම් දැරියගේ ඡායාරූපය 20 වන සියවසේ ලොව වඩාත් කම්පා කළ ඡායාරූපයක් ලෙස හදුන්වන්න පුළුවන්. 1973 වර්ෂයේ පුලිස්ටර් සම්මානය ලබා ගත් මෙම ඡායාරූපයේ හිමිකරු වන්නේ පුවත්පත් වේදියෙක් වන Nick Ut.
කොහොමද පළ වුනේ?
බෝම්බ වලින් පළා එන දරුවන් සහිත යුධ භිෂණය පෙන්නුම් කරන මෙය Nick Ut විසින් පළ කලේ නෑ. නමුත් AP පුවත් සේවාවේ සේවය කළ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන Hall Buell හා Horst Fass ගේ පෙරැත්ත මත පෙර නොදුටු විරූ තරමක් මතභේදකාරී වූ නිරුවත් ගැහැණු ළමයාගේ ඡායාරූපයට AP පුවත් සේවාව හරහා පුළුල් ප්‍රචාරයක් ලැබෙනවා. බරපතල තුවාල ලැබුවත් තවදුරටත් ජිවත් වීමට තරම් කුඩා ගැහැණු ළමයා සමත් වෙනවා.
ලොවම හැඩවූ සිගිත්තාගේ මරණය
මෑත කාලයේ මුළු ලොවම කම්පාවට පත් කරන්නට සමත් වූ මෙම ඡායාරූපය නම් අපි සියළු දෙනාම දැකලා තියනවා. යුධ ගැටුම් හේතුවෙන් සිරියාවේ සිට කැනඩාවට ගමන් කල නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මගීන් අධික ලෙස පැටවීම නිසා තුර්කි සීමාවේදී මුහුදුබත් වෙනවා.එහි ගමන් කල Aylan Kurdi නම් අවුරුදු තුනක් වයසැති සිරියානු ජාතික කුඩා සිගිත්තාගේ සිරුර තුර්කි වෙරළට ගොඩ ගැසූ පසු ලබාගත් ජයාරූපය තමයි මුළු ලොවම කම්පා කිරීමට සමත් වෙන්නේ.
ලොවේම අවධානය සරණාගත ගැටළුව වෙත
2015 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ වූ මෙම අනතුරෙන් කුඩා Aylan, ඔහුගේ පස් හැවිරිදි සොහොයුරු Galip හා ඔවුන්ගේ මව Rehana ඇතුළු තවත් 11 දෙනෙක් මරණයට පත් වෙනවා. මෙම ඡායාරූපය සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වේගවත්ව ව්‍යාප්ත වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳව සොයා බැලීමේ ක්‍රමවේදය නව මුහුණුවරක් ගැනීමට සමත් වෙන අතරම මුළු ලොවේම අවධානය සරණාගත ප්‍රශ්නය දෙසට යොමු වීමත් සිදු වෙනවා.
ඉහතින් දැක්වුයේ ලොවම කම්පා කල හා ලොවේම අවධානය ලබාගත් ආන්දෝලනාත්මක ඡායාරූප අතරින් තෝරාගත් හතරක් හා ඒ හා සම්බන්ධ වූ විස්තරයන්ය. ඡායාරූපයන් ඉතා විශිෂ්ට වූවත් මෙවන් සිදුවීම් ඡායාරූපයකින් හෝ දකින්නට නොලැබේවායි යන්න අපේ ඒකායන පැතුමයි.