අරාබි වසන්තයෙන් පසු මල් පිපුණා ද?

පවතින පාලනයේ අර්බුදයට එරෙහිව අරාබිකරයේ රටවල් පුරා සීඝ්‍රයෙන් පැතිරී ගිය නැඟිටීම් සමුදාය හඳුන්වන්නේ  ආරාබි වසන්තය (Arab Spring) නමින්. එය ඇතැමුන් විසින් ඉස්ලාමීය වසන්තය (Islamic Spring) ලෙසත් හඳුන්වනවා.

2011 වසරේ දී උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වූ ටියුනීසියාවෙන් මෙම ජනතා නැඟිටීම ආරම්භ වන අතර, අරාබි වසන්තය උතුරු අප්‍රිකාවේ අනෙකුත් රටවල් හරහා වේගයෙන් හමා යනවා. එතැනින් නොනැවතී මැදපෙරදිග රටවල්වලට ද, එමෙන්ම දකුණු ආසියානු රටවල්වලට ද ක්‍රමක්‍රමයෙන් පැතිරෙනවා.

ටියුනීසියාවේ, ඊජිප්තුවේ, ලිබියාවේ, යේමනයේ, හා මාලදිවයිනේ ද පැවති පාලනයන් පෙරළා දැමීමට අරාබි වසන්තය සමත් වෙනවා. ඊට අමතර ව සිරියාව, බහරේනය, කුවේට්, ලෙබනන්, ඕමාන්, ජෝර්දානය, මොරොක්කෝව, සෞදි අරාබිය, හා සුඩානයටත් බලපෑම් එල්ල කිරීමට ආරාබි වසන්තය සමත් වෙනවා.

බොහෝ දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙය එකවර ම ඇති වූ තත්ත්වයක් නොවන අතර, දීර්ඝ කාලයක් තිස්සේ තිබූ අර්බුදයක පුපුරායාමක් ලෙස යි.

ටියුනීසියාවෙන් ආරම්භ වූ අරාබි වසන්තය

ටියුනීසියානු නැඟිටීම් (SETA)

ජනතා නැඟිටීම් පළමුවෙන් ම ඇති වෙන්නේ ටියුනීසියාවේ යි. ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දී එළවළු හා පළතුරු වෙළඳාමේ නියුතු තරුණයෙකු ගිනි තබාගෙන මියයාම යි.

බලපත්‍රයක් නොමැති ව වෙළදාමේ යෙදිණියැ යි චෝදනා මේ තරුණයාට එල්ල වෙනවා. දූෂිත රාජ්‍ය නිලධාරීන් තමන්ගෙන් අල්ලස් ඉල්ලූ අතර, එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ගේ එළවළු කරත්තය රාජ සන්තක කළ බව පවසන ඔහු, ඒ හේතුවෙන් තම සිරුරට ගිනි තබාගෙන මිය යනවා.

මෙම සිඳුවීම ඉතා සීඝ්‍රයෙන් ටියුනීසියාව පුරා පැතිරී ගිය අතර, මෙයට විරුද්ධත්වය පාමින් ජන අරගල රැසක් රට පුරා ආරම්භ වෙනවා. අරගලය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ අතර, අරගලය අවසන් වන්නේ වසර 20කටත් වඩා වැඩි කාලයක් තම යකඩ අතින් පාලනය රැගෙන ගිය එරට පාලකයා වන බෙන් අලී ව නෙරපා හැරීමෙන් පසුව යි.

මෙය සිදුවීමට ගත වෙන්නේ මාසයකටත් වඩා අඩු කාලයක්. කැරලිවලට වැඩි ම දායකත්වයක් දක්වන ලද්දේ සාමාජ ජාල මාධ්‍යයන්යැ යි පැවසෙනවා.

පසුව, එහි මහා මැතිවරණයක් පැවැත්වෙනවා.

අනෙක් රටවලට ව්‍යාප්ත වීම

ඊජිප්තුවේ (Al Jazeera)

ටියුනීසියාවේ වසර 20කට වඩා වැඩි දරදඬු පාලනය බිඳ දැමීමට සමත් වීම පිළිබඳ ව අනෙක් රටවලට ඉතා ඉක්මනින් ආරංචි වෙන අතර, මැදපෙරදිග වෙළාගෙන තිබෙන ඒකාධිපති පාලනයන් සියල්ල වහා ඉක්මනින් විනාශ කළ යුතු බවට මතයක් සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිර්මාණය වෙන්නේ මෙම සමයේ දී යි.

අරාබි වසන්තය ඊළඟට හමන්නේ ඊජිප්තුවට යි. එහි දී 1981 වසරේ සිට එරට පාලනය මෙහෙය වූ හොස්නි මුබාරක්ට සිය ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට සිදුවෙනවා. ඉන්පසු ව එහි ජනාධිපති ධූරයට පත්වන්නේ මොහොමඩ් මොර්සි යි.

2011 වසරේ ජනවාරි මාසයේ දී යේමනයේ ඇති වූ ජනතා නැඟිටීම් හේතුවෙන් අබ්දුල්ලා සලේහ් ජනාධිපති ධූරයෙන් නෙරපන අතර, එහි ඇති වෙන සිවිල් යුද්ධය මේ වන තුරුත් පවතිනවා. ඒ හුතී සටන්කාමීන් හා යේමන් රජය අතර යි.

ලිබියාවේ (Libya)

ලිබියානු පාලනයට විරුද්ධ ව කැරලිකරුවන් විසින් මෙහෙයුම් ආරම්භ කරන්නෙත් මෙම වසරේ දී ම යි. ඒ හේතුවෙන් එවකට පාලකයා වූ මුවමර් ගඩාෆි, කැරලිකරුවන් අතින් ඝාතනයට ලක් වෙනවා. එහෙත් සිරියානු හා බහරේන් විරෝධතාකරුවන් මර්දනය කිරීමට එම රටවල පාලකයන් කටයුතු කරනවා.

ජෝර්දානය හා මොරොක්කෝව වැනි රටවල සිදු වූ ව්‍යවස්ථා සංශෝධන මෙන්ම සෞදි අරාබිය හා සූඩානය වැනි රටවල ඇති වෙමින් පවතින ජනතා විරෝධතාවන්, මීට අමතර ව බෂාර් අල් අසාද් ප්‍රමුඛ සිරියාව අද මුහුණ පා සිටින සිවිල් යුද්ධය, කුවේට්, ලෙබනන්, හා ඕමාන් වැනි රටවල ඇති වූ ජනතා විරෝධතා හේතුවෙන් ආණ්ඩුවල ඇති වූ වෙනස්කම් ආදී මේ සියල්ල අරාබි වසන්තයේ ප්‍රතිඵලයන් වෙනවා.

මල් නොපිපුණු අරාබි වසන්තය

යේමනයේ හුතී කැරලිකරුවන් (www.alaraby.co.uk)

මෙලෙස රටවල්වල ඇති වූ  ජන නැඟිටීම්වලට මූලික ව ම දායකත්වය දක්වන්නේ  එම රටවල තරුණ ප්‍රජාව යි. වැඩිහිටි ජනගහනයට වඩා තරුණ ප්‍රජාව වැඩි වීම. විරැකියාව, ආගමික මතවාද, හා තාරුණ්‍යයට නිදහසක් නොමැති වීම, මානව හිමිකම් උල්ලංඝනය වීම වැනි හේතූන් නිසා දීර්ඝ කාලයක් තිස්සේ පිඩා විඳීම එයට මුලික ව ම බලපා තිබෙනවා. ගැටුම් වර්ධනය වීම් බොහෝමයකට මුල් වූයේ සමාජ ජාලා මාධ්‍යයන් බව ද සඳහන් වෙනවා.

ISIS ත්‍රස්තයන් (Signature Reads)

අරාබි වසන්තයේ සිදු වූ මහජන නැඟිටීම්වල ඵලය නොලැබුණ බව යි බොහෝ දෙනක් සඳහන් කරන්නේ. එයට උදාහරණ ලෙස දක්වන්නේ මහජන නැඟිටීම්වලින් ආණ්ඩු නෙරපා දැමූවත් ඉන් අනතුරුව එම රටවලට මැදිහත් වූ බටහිර රටවල් හා අයි. එස්. අයි. එස්. වැනි සටන්කාමී කැරලි කණ්ඩායම් එම රටවල මේ වන තුරු ස්ථාවරත්වයක් නිර්මාණය නොකර ඇති බව යි.

බෂාර් අල් අසාද්ගේ පාලනය යටතේ ඇති සිරියාවේ පවතින නිමා නොවන යුද්ධය, හුතී කැරලිකරුවන් විසින් යේමනයේ සිදුකරනු ලබන ගැටුම්, අයි. එස්. අයි. එස්. ත්‍රස්තයන් විසින් මෙම රටවලටත් බටහිර රටවලටත් දිගින් දිගටම සිදුකරන පහරදීම් තවමත් නතර වී නෑ.

දූෂිත පාලකයන් එළවා දැමු පසුව විකල්පයක් නොමති වීමෙන් මේ වන විට අරාබි වසන්තයට හසු වූ බොහොමයක් රටවල් අරාජික වී තිබෙනවා.
මෙය ආරාබියෙන් ඇති වූ නැඟිටීමක් නොවන බවත්, ඇමෙරිකාව ප්‍රමුඛ තවත් බටහිර රටවල් කිහිපයක බලලෝභී කුමන්ත්‍රණයක අවසන් ප්‍රතිඵලය බවත් තවත් විචාරකයන් අර්ථ දක්වා තිබෙනවා.

කවරයේ පින්තූරය: www.history.com

මූලාශ්‍රයයන්:

history.com

bbc.com

theguardian.com

nytimes.com

Related Articles

Exit mobile version