Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා ගැන නොදත් කරුණු රැසක්

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව යටත් විජිතයක් කොටගෙන එහි පැමිණි විට ඔවුන් මුහුණ දුන් විශාල කරදරයක් වූයේ මදුරුවන්ගෙන් පැමිණි උවදුර ය. ඒ නිසා බ්‍රිතාන්‍යයෝ එම උවදුර මැඩලීම සඳහා, ඉන්දියානු සාම්ප්‍රදායික දැනුම භාවිත කොට ඉන්දියාවේම බහුල වශයෙන් වැවෙන ශාඛයක් ඔවුන්ගේ වාසස්ථාන සහ බංගලා වටා රෝපණය කලහ. ඔවුන් ඒ ශාකය ඉංග්‍රීසි බසින් “Holy Basil”ලෙස හැඳින්වූහ. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය (Ocimum sanctum)“ඔසිමම් සැන්ක්ටම් ” වන අතර ඉන්දියානුවෝ එය “තුල්සි” ලෙස හැඳින්වූහ. ඉන්දියාවට ආවේණික ශාකයක් වන මෙය අප රටට පැමිණියේ ද ඉන්දියාවෙන් ම විය හැකි ය.

තුල්සි ශාකයක් – www.ynotpics.com

ශ්‍රී ලංකාව තුළ මෙම ශාකය පැරැන්නන් “තලා” යන පොදු නමින් හඳුන්වා ඇති අතර රට තුළ ද ඒ ඒ කලාපවලට ආවේණික ලක්ෂණ සහිතව සුවඳතලා, ගස්තලා, හීන්තලා, ඕංතලා ආදී වර්ග කීපයක් දක්නට ඇත.

මෙහි ඇති මදුරු මර්දන ගුණය සහ සෙසු ගුණාත්මක ඖෂධ ගුණය පිළිබඳ ව දැන සිටි අපේ අතීත හෙළදිව මුතුන්මිත්තෝ “මදුරුතලා”, “හීන් මදුරුතලා” යන පොදු නාමයන්ගෙන් ඒ ශාකය හැඳින්වූහ. වර්තමානයේ දී ලංකාවේ නම් පහසුවෙන් දක්නට නොලැබෙන මෙම දිව්‍යමය ශාකය මින් පෙර යුගවල දී බහුල වශයෙන් ලඳු කැලෑ සහ ගෙවතු ආදියෙහි සුලබ ව දක්නට ලැබිණි.

ගෘහ අලංකාර පිණිස යොදාගත් තුල්සි පැළයක් – housing.com

 

තුල්සි හෙවත් මදුරුතලා යනු කුමක්ද?

ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජීයය හින්දු සංස්කෘතිය තුළ තුල්සි හෙවත් මදුරුතලා පිළිබඳ ව විවිධ ආගමික මතිමතාන්තර මෙන් ම එහි ඇති ඖෂධීය ගුණය සහ ආයුර්වේදික වටිනාකම පිළිබඳ ව විශිෂ්ට ඇගයීමක් අදටත් පවතී. සන්ධ්‍යා ගුග්නානි නම් සුප්‍රසිද්ධ ඉන්දියානු පෝෂණවේදිනියක සඳහන් කරන පරිදි, තුල්සිවල ඇති ගුණාත්මක වටිනාකම තුළ බැක්ටීරියා සහ දිලීර නාශකයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් අන්තර්ගත ය. එය මිනිස් සිරුරේ ලේ ධාතුව පිරිසුදු කිරීමට ද විශාල හැකියාවක් ඇති බැව් පවසන්නී ය.

හිස්කෙස් සහ සම නිරෝගීමත් ව, දීප්තිමත් ව තබා ගැනීමට එය උපකාරයක් වන අතර, ප්‍රතිශක්තිය වඩාත් ඉහළ නංවමින් සිරුර ජරාවට පත්ව වයසට යාමේ ප්‍රවණතාව ද අඩුකරයි. සන්ධ්‍යා ගුග්නානි පවසන පරිදි මෙහි ඇති විශේෂ ගුණය නම් තුල්සි හෙවත් මදුරුතලා ශාක සාරය මිනිස් සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කර ශරීරගත සීනි ප්‍රමාණය අඩුකරමින් දියවැඩියා රෝගයට පිළියමක් ලෙස ක්‍රියා කරයි.

හින්දු සම්ප්‍රදායයට අනුව මියගිය කෙනකුගේ මළ සිරුරේ මුඛයට තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර කීපයක් දැමීම සාම්ප්‍රදායික සිරිතකි. එය හුදු ආගමික සංස්කෘතික චාරිත්‍රයක් පමණක් නොව එහි ඇති විද්‍යාමක පසුබිම නම්, මදුරුතලා හෙවත් තුල්සිවල ඇති ප්‍රති බැක්ටීරියාකාරක ගුණය නිසා මෘත දේහයයක් පිට කරන විෂබීජ මර්දනය වේගවත් බව සොයා ගෙන තිබීම ය.

ක්‍රිෂ්ණ තුල්සි ශාකයක් – www.indiamart.com

 

ශාකයේ ස්වභාවය

හොඳින් සරුවට වැඩී පරිපූර්ණ වූ මදුරුතලා හෙවත් තුල්සි ශාකයක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 75 සිට 90 දක්වා උසින් යුක්ත වේ. මෙහි කොළ දිගින් සෙන්ටිමීටර පහක් පමණ වන අතර පත්‍රය වටා දාරය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් දැති සහිත වේ. රතුපාට පත්‍ර සහිත ප්‍රභේදය “ක්‍රිෂ්ණා තුල්සි” ලෙසින් ද, පත්‍ර කොළ පැහැති වර්ණයක් ගන්නා “රාම තුල්සි” තවත් ප්‍රභේදයක් ද වශයෙන් වර්ග දෙකකින් දක්නට ලැබේ.

ශාකයේ හටගන්නා මල්, ළා රත් පැහැයට හුරු දම් පාටකින් යුක්ත වන අතර, දිගටි සිලින්ඩාකාර කෙමිය මත රතු හෝ කහ පැහැ බීජ හට ගනි යි. ශාකයේ පත්‍ර වාෂ්පශීලී තෙල් සංයුතියකින් යුක්ත වන අතර එම වාෂ්පශීලී ස්වභාවය නිසා කිසියම් ආකර්ණීෂය ගන්ධයක් පවතින අතර එය මදුරුවන්ට සහ වෙනත් කෘමීන්ට එරෙහි බලයක් පතුරුවයි. මෙම ශාකය හින්දු ආගමික පසුබිම තුළ පූජනීය වස්තුවක් වන අතර, සාමාන්‍ය ජනතාව අතර ආයුර්වේදයට අයත් ගෘහස්ථ ඖෂධ පැළෑටියක් සේ සැලකෙ යි.

ශ්‍රී විශ්ණු සහ මහාලක්ෂ්මී – in.pinterest.com

 

ආගමික විශ්වාසය

හින්දු ඇදහීම තුළ එන ප්‍රධාන දෙවියකු වන විෂ්ණු දෙවියන්ගේ භාර්යාව වූ ලක්ෂ්මී දේවිය ,”තුල්සි” නමින් ද හඳුන්වයි. හින්දු ආගමික පුරාවෘත්ත සහ විශ්වාසයන්ට අනුව සුර අසුර මහා සංග්‍රාමය පැවැති සමයේ “ධන්වන්තරී” දෙවියා කිරි මුහුද කැලැඹූ බවත්, එහි දී ඔහුට අමෘතය පහළ වූ බවත්, ඒ හමු වූ අමෘතය සෙසු දෙවියන් අතර බෙදාදීමේදී එක් බිංදුවක් පොළොවට වැටුණු අතර, තුල්සි හෙවත් මදුරුතලා ශාකය පොළොවෙහි හටගත්තේ ඒ අමෘත බිංදුවෙන් බවත් කියැ වේ. ඒ නිසා ම හින්දු ආගම දැඩි ව අදහන, උර්දු බස කථාකරන ඉන්දීය සමාජය ද, විශේෂයෙන් කේරළයේ මලයාලම් ජාතිකයෝ ද ඉතාමත් පූජනීය වන්දනීය ආකාරයෙන් තුල්සි ශාකයට ගරු බුහුමන් දක්වති.

ඔවුන්ගේ විශ්වාසය අනුව ගෙවත්තෙහි පැළ කරන මෙම පූජනීය ශාකවලට දිනකට දෙවරක් පැන් ඉසීම පවා විෂ්ණු දෙවියන්ට කෙරෙන උපහාරයක් සේ සලකති. විශ්ණු දෙවියන්ගේ රැකවරණය ද, ස්වකීය වාසස්ථාන කෙරෙහි ඇති අමනුෂ්‍ය දෝෂ වලක්වා ගැනීම ද එමඟින් සිදුවෙතැයි ඔවුහු විශ්වාස කරති. ඊට අමතර ව,විෂ්ණු ගේ එක් අවතාරයක් වන ක්‍රිෂ්ණා දෙවියන්ගේ ගෙල බැඳි මල්මාලයට අමුනා ඇත්තේ තුල්සි ශාකයේ පත්‍රයැයි ඔවුහු අදහති. එම නිසා ගෙවත්තේ හතරෙ කොනේ ම මෙම ශාක සිටුවා ඇති අතර, කාන්තාවන් මෙම ශාකයට ඇප උපස්ථාන කිරීමෙන් ලක්ෂ්මී දේවියගෙන් නිදුක් නිරෝගීකම ද,සෞභාග්‍යය ද ලබා ගත හැකි බවට විශ්වාස කෙරේ.

තුල්සි හෙවත් මදුරුතලා ශාකයේ වැදගත්කම

ඉන්දියාවේ සායනික මෙහෙයුම් සම්බන්ධීකරණ කළමනාකරුවකු වන වෛද්‍ය ආචාර්ය අශුතෝෂ් ගෞතම් පවසා සිටින්නේ තුල්සිවල අඩංගු වාෂ්පශීලී සුගන්ධ තෙල් මිනිසාගේ ස්වසන පද්ධතිය මත වඩාත් සාධනීය ලෙස ක්‍රියාත්මක වන බව ය. එහි ඇති ප්‍රතිඔක්සිකාර ගුණය මගින් අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ එහි සංකූලතා නිසා ඇතිවන ආතතිය සමනය කරන්නට සමත් වන බව ඔහුගේ අදහස යි. තුල්සිවල ස්වාභාවිකව ම අඩංගු “ලිනොලෙයික් අම්ලය”ට මිනිස් සම පෝෂණය කිරීමට ඇති හැකියාව ද හඳුනා ගෙන ඇත.  ගෘහස්ථ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සාමාන්‍ය උණ තත්වයේ සිට මාරාන්තික විය හැකි බැක්ටීරියා වෛරස් ආසාදන ගනනාවකට යම් ආකාරයකට මර්දනය කොට  සමනය කිරීමේ හැකියාව තුල්සි සතු වේ.

උණ,හිසරදය, උගුරේ ආසාදනය සහ උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන ආබාධ, කැස්ස, ඇදුම, ආදී රෝග සහ රෝග තත්ත්ව සඳහා ප්‍රතිශක්තිය ඇතිකිරීමට තුල්සි ශාකය සමත් වන බැව් සොයා ගෙන ඇත. එය වකුගඩුවල ගල් ඇතිවීමේ අවදානම අවම කරන අතර, ඉන්දියාවේ ලක්නව් හි මධ්‍යම ඖෂධ පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව තුල්සි ශාරීරික ආතතිය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ද උපකාර කරයි. දන්ත රෝග සහ විදුරුමස් දියවීමේ අවදානම ද, හෙපටයිටිස්, මැලේරියා, ඩෙංගු, ක්ෂය රෝග තත්ත්ව ද සම්බන්ධ ව එය ප්‍රශස්ත මට්ටමේ ක්‍රියාකාරිත්වයක් දක්වන බව විශ්වාස කෙරේ.

තුල්සි ශාකයේ මුල්වල කුඩු ගිතෙල් සමඟ මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් එය ලිංගික උත්තේජනයක් සහිත වාජීකරණ ඖෂධයක් ලෙස ද ක්‍රියාත්මක වන බැව් පැවසේ.

තුල්සි හෙවත් මදුරුතලා තේ පානයක් –  www.24mantra.com

 

තුල්සි හෙවත් මදුරුතලා විවිධ භාවිතාවන්

කිසියම් සර්ප දෂ්ටනයක දී වෛද්‍යවරයකු වෙත රැගෙන යන තෙක් විස අවදානම අඩු කිරීමට එම දශ්ට මුඛය මත තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර යුෂ තැවරීම පූර්ව ප්‍රතිකාරයක් ලෙස කළ හැක. දරුවන්ගේ හා ළමයින්ගේ ප්‍රතිශ්‍යාව, පීනස, කැස්ස වැනි රෝගී තත්ත්වයන්ට අමු තුල්සි පත්‍ර ගෙන කොටා, එයට සීනි එක්කොට උනුකර පැණියක් සාදා ගෙන, කල් තබා ගෙන දිනපතා දීමෙන් සාධනීය ප්‍රතිඵල ලැබෙන බැව් සඳහන් ය. මැලේරියා රෝග තත්ත්වය සඳහා තුල්සි සමඟ විෂ්ණුක්‍රාන්තිය සහ අමු ඉඟුරු ගෙන සිඳුවා සකස් කරගත් කෂාය දිනපතා දීමෙන් රෝග තත්ත්වය සමනය වන බව ආයුර්වේදයේ සඳහන් ය.

තුල්සි හෙවත් මදුරුතලා පත්‍ර එළඟි තෙල්වලින් අඹරා ගෑමෙන් සැර ව ගෙඩි සහ කුෂ්ට රෝග සුවපත් වන අතර, ආහාර අරුචිය, බඩේ දැවිල්ල වැනි රෝග තත්වයන් සඳහා තුල්සි බීජ සහ වියළි ඉඟුරු යොදා සකස් කළ බෙහෙත් ගුලි බීමෙන් සුවය ලැබිය හැකි බැව් පිළි ගැනේ. මදුරුතලා පත්‍ර ඇල්දියෙන් අඹරා පත්තුවක් සාදා ගැනීමෙන් හෝ කොළ,කඳ, මුල් යොදා ගෙන සකස් කරන ඖෂධයකින් ශරීරයේ අස්ථි සහ හන්දි වේදනා සමනය කරන්නට සමත්වන බැව් හෙළි වී තිබේ.
මෙහි පත්‍ර එනසාල් සමඟ තම්බා බීමෙන් හෝ, කොත්තමල්ලි සමග තම්බා බීමෙන් උණ ගතිය අඩුවන බව සඳහන් වේ. ලංකාවේ සමහර ඈත ගම්බද ප්‍රදේශවල ගැමියන් බුලත් විට සැපීමේ දී බුලත් වෙනුවට මදුරුතලා පත්‍ර භාවිත කරයි.

ඉන්දියාවේ තුල්සි හෙවත්ව මදුරුතලා වගාවක් – sanskarnetwork.in

මෙම පත්‍ර වියළා තේ කොළ ආකාරයට සකස් කරගෙන තේ පානය වෙනුවට පානය කිරීමෙන් මුඛය සහ අක්මාව ඇතුළු ඉන්ද්‍රියයවල විවිධ පිළිකා තත්ත්වයන් ඇතිවීම අවම කරයි. එය පිළිකා සෛල අවම කිරීමේ මහඟු ගුණයකින් යුක්ත ශාකයකි.  ඉවුම්පිහුම් කටයුතුවල දී ආහාර රසවත් කිරීමට මෙන් ම ගුණාත්මක බව වැඩිකර ගැනීමට ද උචිත ය. කරපිංචා යෙදී ම මෙන් ම ආහාරයට තුල්සි කොළ කිහිපයක් යෙදීමෙන් ආහාරයේ රසවත්භාවය මෙන් ම ගුණාත්මක භාවය ද වැඩිකර ගත හැකි ය. සරල ව සාදා ගත හැකි ඖෂධීය ගුණ ඇති තුල්සි තේ පානය ඉතාම රසවත් ය. කැබලිවලට ඉරා ගත් තුල්සි හෙවත් මදුරුතලා කොළ දහයක් පහළොවක් පමණ, ඉගුරු කැබලි තේ හැඳි භාගයක් පමණ, එනසාල් කුඩු තේහැඳි කාලකට මිශ්‍ර කර වතුර කෝප්ප තුනක ප්‍රමාණයකට දමා විනාඩි දහයක් පමණ රත්කර, ලෙමන් යුෂ සහ මීපැනි සමඟ පානය කළ හැකි ය. එය රසයෙන් ද, ගුණයෙන් ද ඉතාම පොහොසත් පානයකි.

 

කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ එතරම් සැලකිල්ලට ලක් නොවන තුල්සි හෙවත් මදුරුතලා ශාක තමන්ගේ ගෙවත්තේ, මිදුලේ හෝ පෝච්චි ආධාරයෙන් නිවස තුළ හෝ රෝපනය කර ගැනීමෙන් ගෘහ අලංකාරණය මෙන් ම ඖෂධීය ශාකයක ගුණාත්මකබව අත්දකින්නට ඔබටත් හැකි වනු ඇත. මෙම ශාකය ශ්‍රීලංකාවේ ඕනෑම පළාතක ඉතා ම පහසුවෙන්න පැළ කරගන්නට හැකියාවක් ඇත. තුල්සි ශාකයේ මල් රේණු සමඟ තිබෙන අතිශය කුඩා බීජ මඟින් එකවර පැළ රාශියක් ඉතා ම පහසුවෙන් ලබාගත හැකි ය. ඕනෑම ගෙවත්තක, මිදුලක, නිවසේ සාලයේ තිබිය යුතු ම ශාකයක් හැටියට තුල්සි හෙවත් මදුරුතලා ශාකය නම් කළ හැකි ය.

කවරයේ ඡායාරූපය - තුල්සි ශාකය - www.wallpaperflare.com

මූලාශ්‍ර:

food.ndtv.com

timesofindia.indiatimes.com

www.britannica.com

helarahas.lankaonline.info

www.dailynews.lk

Related Articles