Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සදාචාරය හා සංස්කෘතිය අතර හිරවෙන ලිංගිකත්වය

ඇරස්ටෝටල් ප්‍රකාශ කරන පරිදි; මිනිසාට උපතින්ම හිමි වන ප්‍රධාන ආශාවන් ත්‍රිත්වයකි. එනම් ධනය, බලය සහ ලිංගිකත්වය ළඟා කර ගැනීම යි. මින් ධනය හා බලය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කළ ද, තෙවන අවශ්‍යතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා නොකරයි. බොහෝ විට ලිංගිකත්වය අප්‍රසිද්ධ, අප්‍රකට මාතෘකාවක් බවට පත් වී ඇත. ඉන් ලිංගිකත්වය පිළිබඳ ආශාවක් හෝ අවශ්‍යතාවයක් පුද්ගලයාට නොමැති බව ප්‍රකාශ නොවේ.

ලිංගිකත්වය ඉගැන්වීම

ලිංගිකත්වය පිළිබඳව අවබෝධය සහ දැනුම ලබාදීම අතිශයින්ම වැදගත් ය. විශේෂයෙන්ම, නව යොවුන් වියේ පසුවන දරුවන් මේ කාල පරාසය තුළ දී ශාරීරික වශයෙන් විශාල වෙනස්කම් ප්‍රමාණයක් අත්විඳී. අනාගතයේ දී දරුවකු වැදීම සඳහා ශරීරය සූදානම් වේ. ශාරීරික වෙනස්කම් සමග ඔවුනට තම ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව කුතුහලයක් ඇති වීම ස්වභාවික ය. එලෙස ඇති වන කුතුහලය සංසිඳුවා ගනු වස්, ලිංගිකත්වය පිළිබඳව කරුණු, දැනුම සොයා යනු ලබයි. නමුත්, එලෙස කරුණු සොයා යාම සඳහා විශ්වසනීය සහ විධිමත්  මූලාශ්‍ර පවතින්නේ ඉතා අවම වශයෙනි. එලෙස කරුණු ලබා ගත හැකි විශ්වසනීය මූලාශ්‍ර ලෙස පාසල සහ දෙමව්පියන් හඳුනාගත හැකිය.

නමුත්, දෙමාපියන් බොහෝ විට සදාචාරය මත පදනමව ලිංගිකත්වය පිළිබඳව තම දරුවන්ට අවබෝධ කර දීමට ඉදිරිපත් නොවේ. පාසලේ ගුරුවරු ද බොහෝ විට සදාචාරය හා සංස්කෘතිය මතට මුවා වෙමින් ලිංගිකත්වය පිළිබඳ පාඩම් මඟ හරිමින් හෝ අතපසු කරමින් ඉදිරියට යනු දැකගත හැකිය. මෙලෙස මවුපියන් හා ගුරුවරුන් යන දෙපාර්ශ්වයම තමාගෙන් ඉටුවිය යුතු වගකීම් මඟ හැරීම හෝ අතපසු කිරීම හරහා තරුණ පරම්පරාවට ලිංගිකත්වය පිළිබඳව විධිමත් දැනුමක් ලැබීමේ ඉඩකඩ අහිමි වේ. බොහෝ යෞවනයන්ට ළමා වියෙන්, වැඩිහිටි වියට සංක්‍රමණය වන අවස්ථාවේ දී ලිංගිකත්වය පිළිබඳව ව්‍යාකූල හා විසංවාදී තොරතුරු ලැබේ. යෞවනයින්ට ආරක්ෂාකාරී, ඵලදායි හා පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමේ දැඩි අවශ්‍යතාවයක් මේ නිසාම උද්ගත වෙයි. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම හරහා යෞවනයන්ට ඔවුන්ගේ සමාජ සම්බන්ධතා, ලිංගිකත්වය පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට, යහපැවැත්මට අවදානම් ඇති කරන්නා වූ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, අසමානතාව, අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගික සම්ප්‍රේෂණ රෝග වැනි අවදානම්වලින් මිදී යහපත් ජීවන රටාවකට පියනැගීමට එය මනා පිටුවහලක් වේ.

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන විට;

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් තරුණ ප්‍රජාව නොයෙකුත් ලිංගික රෝග සහ මානසික, කායික, සමාජීය ගැටළුවලට මුහුණ දෙන ආකාරය දැකගත හැකිය. ලංකාවේ තරුණ ජනගහනය මිලියන 4.4ක් පමණ වේ. ඉන් 50%කට පමණ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති බව කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත. නිසි අධ්‍යාපනයක් නොලැබීම හරහා අනවශ්‍ය ලෙස නව යොවුන් වියේ දී සිදුවන ගැබ් ගැනීම, ලිංගික සම්ප්‍රේෂණ රෝග ව්‍යාප්ත වීම, කායික මානසික පීඩනයට සහ අවහිරතාවයට මුහුණ දීම යනාදී ඛේදවාචකයන් අපට දැකගත හැකිය.

ලංකාව තුළ අවුරුදු 20ට අඩු ගැබිණි මාතාවන් 20,000ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. 2018 UNICEF සංවිධාන වාර්තාවකට අනුව, 2016 ලංකාවේ ගර්භනී කාන්තාවන් අතරින් 4.6%ක් නව යොවුන් වියේ පාසල් දරුවන් ය. ඇතැම් පළාත්වල 5%ත් 8%ත් අතර අගයක් ගනී. මීට අමතරව ඒත් සමගම ලංකාව තුළ වාර්තා වන නීති විරෝධී ගබ්සා කිරීම් ද ඉහළ යමින් පවතී. මෙලෙස නව යොවුන් වියේ දී සිදුවන ගැබ් ගැනිම් (අනපේක්ෂිතව) නිසාම අදාළ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නතර වීම, සමාජීය වශයෙන් පීඩනයට ලක් වීම සහ මන්ද පෝෂණයෙන් යුතු දරුවන් බිහි වීම ආදී ප්‍රතිඵල දැකගත හැකිය. මෙලෙස නව යොවුන් වියේ ගැබ් ගැනීමට ප්‍රධාන හේතුව ලෙස නොදැනුවත්භාවය, උපත් පාලන පෙති සහ කොපු භාවිතා නොකිරීම හඳුනාගෙන ඇත.

ඊට අමතරව, අවදානම් සහ අවිධිමත් ලෙස සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් හරහා ලිංගික සම්ප්‍රේෂණ රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතියි. 2015 දී වාර්තා වුණු ඒඩ්ස් රෝගීන්ගෙන් 75 දෙනෙකුම වයස අවුරුදු 15ට වඩා අඩු නව යොවුන් වියේ දරුවන් වීම කනගාටුවට කරුණකි.

මේ ආකාරයට නව යොවුන් වියේ ගැබ් ගැනීම් හෝ ලිංගික රෝග ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව බවට පත් වන්නේ, මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම උදෙසා නව යොවුන් වියේ දරුවන්ට පවතින අවබෝධය සහ දැනීමේ පවතින අවම බව යි. 2018 දී UNICEF සංවිධානය නිකුත් කළ වාර්තාවක තවදුරටත් දක්වන්නේ ගැහැනු දරුවන්ගෙන් සියයට හැට හයක් (66%) තමන් වැඩිවියට පත් වන තුරුම අදාළ ක්‍රියාවලිය පිළිබඳව කිසිවක් නොදන්නා බව ය. එසේම කොන්ඩම් එකක් භාවිතයෙන් බොහෝ ලිංගික රෝග වළක්වා ගත හැකි බවට තරුණ පරම්පරාවට අවබෝධයක් ඇත්තේ 48%ක පිරිසකට පමණි. ඒ අනුව බහුතරයකට කොන්ඩම් භාවිතය පිළිබඳ අවබෝධයක් නොමැති බව ද පැහැදිලි වේ. මෙය අනවශ්‍ය ගැබ් ගැනීමට මෙන්ම ලිංගික රෝග ව්‍යාප්ත වීමට ද හේතුවකි.

ලිංගිකත්ව අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීම උදෙසාම 2016 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. ඒ හරහා පාසල් දරුවන්ගේ ලිංගික නැඹුරුව සහ අධ්‍යාපනය පිළිබඳව අවධානයට ලක් වීය. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කරුණාතිලක මහතා ය. මෙහි වාර්තාව 2019 මාර්තු මාසයේ දී නිකුත් විය. මෙම පරීක්ෂණය සඳහා අහඹු ලෙස දිවයිනම ආවරණය වන පරිදි පාසල් 294ක් තෝරාගෙන ඇත. 2776ක් දරුවන් පරීක්ෂණයට භාජනය කර ඇති අතර, එහි පිරිමි දරුවන් 1065ක් ගැහැණු දරුවන් 1707 ද වේ. විදුහල්පතිවරුන් 176ක් ද, ලිංගික අධ්‍යාපන විෂය භාර ගුරුවරු 276ක් ද, මීට අමතරව දෙමාපියන් 990ක් ද මේ සමීක්ෂණය සඳහා දායක කර ගෙන ඇත. මෙම පරීක්ෂණ වාර්තාවට අනුව දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමේ ප්‍රමුඛතම කාර්යභාරය පැවරෙන්නේ පාසලක ගුරුවරුන්ට ය.  දෙමව්පියන්ට ද ඒ වගකීමෙන් වියුක්ත විය නොහැකි ය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගිය විසි වන දින (සැප්:20) කොළඹ දී පැවැත්වුණි. එහි දී ද පාසල් දරුවන්ට පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම අවධාරණය කළහ.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යනු; ලිංගිකත්වය පිළිබඳ ඥානමය, නෛතික හා සමාජ සාධක සම්බන්ධයෙන් විෂය මාලාවක් ඔස්සේ සිදුකරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකි.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීම තුළින්;

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා චර්යාව සම්බන්ධ නව යොවුන් වියේ දරුවන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය වීම.
  • පාසල තුළ හෝ බාහිරව ලබා දෙන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය නිසා අවදානම් සහගත ලිංගික හැසිරීම් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධය වර්ධනය වීම.
  • එවැනි අවදානම් සහගත ක්‍රමයන්ගෙන් දුරස් වී සිටීමට හැකියාව ලැබීම.
  • ලිංගිකත්වය පිළිබඳව පවතින ගැටළු අවම කර ගැනීමට හැකි වීම.

වැනි සාධනීය ප්‍රතිඵල ගණනාවක් ළඟා කරගත හැකිය.

ලිංගිකත්වය යන්න තවදුරටත් රහසක් නොවිය යුතු ය. ලිංගිකත්වය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් යෞවන,  තරුණ ප්‍රජාවට ලබා දීම අතිශයෙන්ම වැදගත් ය. යමක් රහසක් වූ පමණින් තරුණයන් එය සොයා යාමට දක්වන රුචිකත්වය ඉහළ ය. නමුත් අදාළ කාරණා ප්‍රසිද්ධියේ උගන්වන්නේ නම්, අදාළ කාරණා පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්නේ නම් රහසිගත, අවිධිමත් මාර්ග හරහා එම කරුණු ගවේෂණය කිරීමට යොමු නොවේ. සදාචාරය හෝ සංස්කෘතියට මුවා වෙමින් තවදුරටත් ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම අතපසු නොකළ යුතු ය. එලෙස අතපසු කරන මොහොතක් පාසා තරුණයෙකුගේ හෝ තරුණියකගේ ජීවිතය විනාශ වීමට හැකි බව ද අමතක නොකළ යුතු ය.

Related Articles