ලෝක සිනමාව සහ එහි කලින් කලට ඇතිවුණු ප්‍රවණතා ගැන කතාබහ කරන කෙනෙකුට ‘ප්‍රංශ නවරැල්ල’ (French New Wave) කියන්නෙ කිසිම විදියකින් මගහරින්න පුළුවන් මං සලකුණක් නෙවෙයි. 50 දශකයේ ආරම්භ වුණු මේ ප්‍රවණතාව ලෝක සිනමාවට කරන බලපෑම සුළුපටු නැහැ. සිනමාවේ ඇතිවුණු, පැවතුණු සහ නැතිවුණු නානාප්‍රකාර රැළි අතරෙ ප්‍රංශ නවරැල්ලට සුවිශේෂී වැදගත්කමක් හිමිවෙන්නෙත් ඒ නිසාමයි. ප්‍රංශ නවරැල්ලේ ආරම්භය, විකාශනය සහ ඒ හරහා ලෝක සිනමාවට දායාද වුණු සුවිශේෂී කෘතීන් ගැනයි මේ සටහ
නව ‘රැල්ලක’ පසුබිම
ප්‍රංශ නවරැල්ලේ ආරම්භය සිද්ධ වෙන්නෙ 1950 දශකයේ අග භාගයේ. මේ කාල සීමාව ලෝකයේ සිනමාව සම්බන්ධයෙන් සෑහෙන වෙනස්කම් සිද්ධ වුණු වකවානුවක්. විශේෂයෙන්ම යුරෝපීය සිනමාවේ. දෙවන ලෝක යුද්ධයට පසු අවධිය කියන කාරණයත් අමතක කරන්නෙ නැතුවයි ඒ වෙනස්කම් බහුතරයක් ගැන අපට තේරුම් ගන්න වෙන්නෙ. මොකද පශ්චාත් යුද තත්ත්වයන් දේශපාලන, සමාජීය සහ ආර්ථික වශයෙන් මනුස්ස ජීවිතවලට බලපාපු ආකාරයත් එක්කයි ඒ යුගයේ කලාව තීරණය වුණේ. කොටින්ම කිව්වොත්, දෙවෙනි ලෝක යුද්ධයේ පශ්චාත් අවධිය කියන්නෙ, යුද්ධයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වුණු හැම රටකම ජන ජීවිතය නන්නත්තාර කරපු කාල සීමාවක්. ඒ වේදනාව සහ ක්ෂිතමය හැඟීම කලාව හරහා ප්‍රක්ෂේපණය වුණු තැනක් විදියටත් ‘ප්‍රංශ නවරැල්ල’ වගේ සිනමා ධාරාවන් අපට හඳුන්වන්න පුළුවනි.
50 දශකයේ අග කෙළවරේ තමන්ගෙ ඇරඹුම සනිටුහන් කරන මේ නවරැල්ල 60 දශකය ආරම්භයේ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. André Bazin ගේ සංස්කරණයෙන් යුතුව පළ කෙරුණු Cahiers du cinema කියන සඟරාව තමයි ප්‍රංශ නවරැල්ලේ පසුබිම සකස් කරන්න මූලිකත්වය ගන්නෙ. පැරණි, යල් පැනගිය සිනමා සංකල්පවලට සහ අදහස්වලට එරෙහිව තමන්ට තිබුණු විවේචන ප්‍රකාශ කරන්න ලොකු පිරිසක් Cahiers du cinema සඟරාව වටා එකතු වෙනවා. ඒ අය තමයි විවේචනයෙන් නොනැවතී නව රැල්ලක් විදියට සිනමාවට පිවිසෙන්නෙ. ‘Cinema de papa’ වගේ හැඳින්වීම් යොදා ගනිමින් ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන්ගේ යල් පැනගිය සිනමා භාවිතාව නිර්දය විදියට විවේචනය කරන්න ඔවුන් පෙළඹෙනවා.
ඊට අමතරව ‘ඉතාලි නව යථාර්ථවාදය’ සහ Film noir වගේ සිනමා ධාරාවන්ගෙන් ලැබුණු උත්තේජනයත් ප්‍රංශ නවරැල්ල බිහි වීමේ දී ඉටු කරන්නෙ සුවිශේෂී කාර්යභාරයක්.
පැරණි සිනමාව උඩු යටිකුරු කිරීම
ප්‍රංශ නවරැල්ල ප්‍රධාන වශයෙන්ම කරළියට අරගෙන එන අදහසක් තමයි සිනමාව කියන්නෙ අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍යයක්ය (auteur theory) කියන කාරණය. ඒ වගේම සමෝධානය (Montage) වගේ සංස්කරණ රීතීන් මත යැපෙනවා වෙනුවට මේ සිනමාකරුවන් තමන්ගෙ රූප සංරචනය සඳහා කැමරාව පෑනක් විදියට (Caméra-stylo) යොදාගන්න පෙළඹෙනවා. ප්‍රංශ නවරැල්ලේ බහුතරයක් සිනමා නිර්මාණවලට යොදාගෙන තියෙන්නෙ සැහැල්ලු, සරල තාක්ෂණික උපකරණ. දර්ශනතල සූදානම් කිරීම වගේ දේවල් වෙනුවෙන් ලොකු කාලයක් වැය නොකිරීම, ආලෝකය, ශබ්දය වගේ කාරණා ගැන අනවශ්‍ය විදියට කරදර නොවීම කියන ලක්ෂණත් මේ සිනමා කෘතිවල දකින්න ලැබෙනවා.
නවරැල්ලේ සිනමා නිර්මාණ සඳහා යොදාගත්ත සංස්කරණ ක්‍රමවේදය ඒ සිනමා භාවිතාවේ තිබුණු විප්ලවීය ලක්ෂණවල කූටප්‍රාප්තියක් විදියට හැඳින්වීමේ වරදක් නැහැ. විසිරුණු, ඒකමිතියක් නැති සංස්කරණ ශෛලියක් සහ දීර්ඝ කාලයක් සහිත රූපරාමු භාවිතය මේ සිනමා කෘතිවල සුලබව දකින්න ලැබෙනවා. ඒ වගේම නොගැලපෙන රූපරාමු එකින් එක පිරිද්දීම (Jump Cuts) හරහාත් නොයෙක් අත්හදා බැලීම් කරන්න නව රැල්ලේ සිනමාකරුවන් පෙළඹුණා. මේ සංස්කරණ ක්‍රමවේදය බහුලව දකින්න ලැබුණු චිත්‍රපටයක් විදිහට Jean-Luc Godard ගේ ‘Breathless’ චිත්‍රපටය හඳුන්වන්න පුළුවනි.
අඛණ්ඩතාවය (Continuity) වගේ කාරණා ගැන තැකීමක් නොකිරීම සහ පැරණි සිනමාව තුළ අනිවාර්ය අංගයන් වුණු ‘හඳුන්වා දීමේ රූප රාමුව’ (Establishing Shot) වගේ දේවල් ප්‍රතික්ෂේප කිරීමත් මෙතනදි අමතක කරන්න බැහැ. මේ සියළුම ගති ලක්ෂණයන් නිසා නවරැල්ලේ සිනමා කෘතිවලට කිසියම් වාර්තාමය ස්වරූපයකුත් එකතුවුණු බව තමයි විචාරකයන්ගේ අදහස.
පුරෝගාමී කෘති සහ චරිත
ප්‍රංශ නවරැල්ලේ පුරෝගාමීන් විදියට ප්‍රධාන වශයෙන්ම අපට හඳුනාගන්න පුළුවන් වෙන්නෙ François Truffaut, Jean-Luc Godard, Claude Chabrol, Louis Malle, Alain Resnais, Jacques Rivette සහ Agnes Varda වගේ චරිත. ඒ වගේම සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවකුත් ප්‍රංශ නවරැල්ල හරහා ලෝක සිනමාවට දායාද වෙනවා. Hiroshima mon amour (1959), 400 Blows (1959), Shoot the Piano Player (1960), Jules and Jim (1962), Breathless (1960), Les Bonnes Femmes (1960), Lola (1961), My Life to Live (1962) සහ Cléo from 5 to 7 (1962) කියන්නෙ ඒ අතරින් කිහිපයක් විතරයි.
ලිංගිකත්වය සම්බන්ධ කරුණු ඉතාම විවෘතව සංවාදයට ගැනීම ප්‍රංශ නවරැල්ලේ දකින්න ලැබුණු කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ වගේම මානව සම්බන්ධතා දවසින් දවස අර්බුදයට යෑම සහ සංකීර්ණ වීම ගැනත් නිතර නිතර මේ චිත්‍රපට ඇතුළෙ කතාබහ කෙරුණා. තවත් විශේෂත්වයක් තමයි ඒ කෘතිවල තිබුණු පුද්ගල කේන්ද්‍රීය බව. විවාහය වගේ සම්ප්‍රදායික, සංස්කෘතික බැඳීම්වලට එරෙහි විවේචනත් නවරැල්ලේ චිත්‍රපටවල හිඟ නැහැ.
ගොඩක් වෙලාවට මේ සිනමා නිර්මාණ කෙළවර වෙන්නෙ ප්‍රේක්ෂකයව නිශ්චිත අවසානයක හිර කරල නෙමෙයි. François Truffaut ගේ ‘400 Blows’ චිත්‍රපටය අවසන් කරන්න යොදාගෙන තියෙන නිශ්චල රූපරාමුව මේ කාරණය වඩාත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන් උදාහරණයක්.
මුල, මැද, අග ගැලපීමක් සහිත, සුමටව ගලාගෙන යන කතන්දර කීමේ රටාව වෙනුවට ඊට හාත්පසින්ම වෙනස් ශෛලියක් අනුගමනය කිරීම නිසා මේ ධාරාවේ සිනමා නිර්මාණ ඉතාම ඉක්මනින් විචාරක අවධානය දිනා ගන්න සමත් වෙනවා. ඒ වගේම ලෝකයේ මුල් පෙළේ සිනමා සම්මානයන්ගෙනුත් නව රැල්ලේ ඇතැම් කෘතීන් පිදුම් ලබනවා. වැදගත්ම දේ තමයි, ලෝකයේ විවිධ රටවල්වල හිටපු තරුණ සිනමා කරුවන් බහුතරයකට ප්‍රංශ නවරැල්ල හරහා ලැබුණු උත්තේජනය.
සිනමාව කියන්නෙ මොන තරම් ප්‍රබල මාධ්‍යයක් ද කියන කාරණය හොඳාකාරවම තේරුම් ගත්ත සිනමා කැරලිකාරයො ගණනාවක් සහ කෘතීන් ගණනාවක් ප්‍රංශ නවරැල්ලේ ආභාසයෙන් ලෝක සිනමාවට දායාද වෙනවා. ඇඳෙන, මැකෙන රැළි අතරෙ ‘ප්‍රංශ නවරැල්ල’ මතක හිටින රැල්ලක් බවට පත් වුණේ එහෙමයි.
Cover Image – theblackandblue.com
මූලාශ්‍ර
www.britannica.com
http://www.newwavefilm.com
http://www.imdb.com