බෙල්ජියානු කාටූන් ශිල්පී ජෝර්ජ් ප්‍රොස්පර් රෙමීගේ ටින්ටින් චිත්‍රකතා පෙළ මුලින්ම පළ වුණේ 1929 ජනවාරි 10 වන දා ය. එතැන් පටන් වසර 50ක පමණ කාලයක් තිස්සේ රෙමී හෙවත් අර්ජේ ඔහුගේ චිත්‍රකතා මාලාව පවත්වාගන ගියා. ඔහු පොත් 23ක් අවසන් කළ අතර මිය යන විට 24 වන පොත අඩක් නිම කර තිබුණා. එම චිත්‍රවල ශෛලිය සහ විටින් විට මතුවන හාස්‍යය, ත්‍රාසය ආදී රසයන් හේතුවෙන් ඒවා අදට ද ජනප්‍රිය නිර්මාණයන් ලෙස පවතිනවා.
ටින්ටින් චරිතයක් ලෙස ගුප්ත, විස්තර කළ නොහැකි පුද්ගලයෙකු බව පෙනෙනවා. ඔහුගේ පවුලේ විස්තර පිළිබඳ කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඔහු වාර්තාකරුවෙකුයැ යි පැවසුණ ද එම කාර්යයේ යෙදී සිටිනු දක්නට ලැබෙන්නේ කතා එකක හෝ දෙකක හෝ පමණ යි. එයින් ද ඔහු විසින් ලියන ලද පුවත්පත් වාර්තා හෝ වෙනත් මාධ්‍ය වාර්තා හෝ පිළිබඳ කිසිවක් එම කතාවල දී කියැවෙන්නේ නැහැ.
නමුත් ටින්ටින් කතා මාලාවේ දේශපාලනය පිළිබඳ අදහස් ඇතුළත් වෙනවා. ටින්ටින් ඔස්සේ එහි නිර්මාණකරුවා ලෝක දේශපාලනයේ වෙනස්වීම් පෙන්නුම් කරන බව පෙනෙනවා. නමුත් ටින්ටින් මෙන්ම අර්ජේ ද එක්තරා විදියක වැසුණු චරිතයක් නිසා ඔහුගේ සත්‍ය අදහස් ඉන් පිළිබිඹු වුණි ද, එසේත් නැති නම් ඒවා නිර්මාණ පමණක් වූයේ ද යන්න හරියට පැහැදිලි කිරීමට අපහසු යි.
මුල් කාලීන ටින්ටින් කතා
ටින්ටින් කතා මාලාව මුලින්ම පළ වුණේ සම්ප්‍රදායානුකූල දේ ගරු කරන කතෝලික පුවත්පතක යි. අර්ජේ ද එකල එවන් අදහස් දැරූ බව පිළිගත් කරුණක්. මෙම කතා මාලාව ඇරඹෙන්නේ ටින්ටින් සෝවියට් දේශය වෙත යන ගමනකින් (Tintin in the Land of the Soviets). එය ඉතාම විවෘතව සෝවියට් දේශය විවේචනය කළ නමුත් ඒ සඳහා භාවිතා කළේ සාමාන්‍ය සෝවියට් විරෝධී තේමාවන් මිස නිර්මාණාත්මක යමක් නොවේ.
මෙම කතාව පිළිබඳ අර්ජේ ද නොසතුටින් සිටි බව සඳහන් වෙනවා. ඔහු බොහෝ කල් යන තුරු එය යළි මුද්‍රණයකට ඉඩ තැබූයේ නැහැ. එමෙන්ම මෙහි වර්ණ පොතක් නිකුත් වූයේ ද ඉතා මෑතක දී යි.
නමුත් ටින්ටින් කතා ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක කතාව වුණේ Tintin in the Congo (ටින්ටින් කොංගෝවේ) නම් වූ දෙවැනි ටින්ටින් කතාව යි. කොංගෝව එවකට බෙල්ජියානු යටත් විජිතයක් වුණා. එම කතාව තුළ කොංගෝවේ කළු ජාතික වැසියන් මෝඩ මිනිසුන්යැ යි ද, සුද්දන්ගේ උපදෙස් නොමැතිව ඔවුනට යමක් කරගත නොහැකියැ යි ද ආදී වශයෙන් විවාද සම්පන්න කරුණු ඉදිරිපත් වුණා. මෙය කෙතරම් ආන්දෝලනාත්මක වී ද යත් 1991 වනතුරු එහි ඉංග්‍රීසි පරිවර්තනයක් නිකුත් කෙරුණේ ද නැහැ.
අර්ජේ පසු කලෙක සඳහන් කළේ තමන් කළ මුල්කාලීන නිර්මාණ තරුණ කාලයේ අත්දැකීම් අඩුකමින් කළ ඒවා බව යි. තව ද එකල බෙල්ජියානු සමාජයේ මුල්බැසගෙන තිබුණු අදහස් තමන්ට ද කාවැදුණ බව ඔහු පිළිගත්තා. කොංගෝව බෙල්ජියානු යටත් විජිතයක් වූ අතර එහි ජනතාව කෙරේ බෙල්ජියානුවන් තුළ වූයේ පහත් හැඟීමක්. වර්තමානය වන විට බෙල්ජියම එම ඉතිහාසය සිය මතකයෙන් අමතක කිරීමේ උත්සාහයන්හි නිරත වෙනවා.
ඒකාධිපතිත්වයට එරෙහිව
1930 දශකය ෆැසිස්ට්වාදීන් බලයට පත්වීම පිළිබඳ කාලයක් වූ අතර ආසියාවේ ජපන් යුධවාදී ක්‍රියාකාරකම් වර්ධනය වූ සමයක් වුණා. මේ අතර දකුණු ඇමෙරිකාවේ දී තෙල් සමාගම්වල බලපෑම යටතේ යුද්ධ පවා ඇති වූ පසුබිමක් නිර්මාණය වෙමින් තිබුණා. මේ කාලයේ අර්ජේ ටින්ටින් කතාවලින් නිතර ඒ පිළිබඳ සාකච්ඡා කරනු දක්නට තිබුණා.
ටින්ටින් කතාවලට අර්ජේගේ පිවිසීමෙහි පැහැදිලි වෙනසක් දකින්නට ලැබුණේ “බ්ලූ ලෝටස්” කතාව සමග යි. එයට හේතු වූයේ ඔහුට හඳුන්වා දෙන ලද චීන ජාතික චිත්‍ර ශිල්පියෙක්. චෑංග් චොංග්රෙන් නම් වූ ඔහු චීනය පිළිබඳ අර්ජේ නොදත් බොහෝ දෑ පිළිබඳ ඔහු දැනුවත් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම කතාව ඉතා තාත්වික විස්තරයක් පරිද්දෙන් නිර්මාණය කිරීමට අර්ජේ සමත් වුණා. වසර කිහිපයකට පෙර අන්ත ජාතිවාදී දෘෂ්ටියකින් කොංගෝ වැසියන් දෙස බැලූ අර්ජේ “බ්ලූ ලෝටස්” මඟින් චීන ජාතිකයන් පිළිබඳ බටහිර ජාතීන් අතර වූ දුර්මත පිළිබඳවත්, චීනයේ ජාත්‍යන්තර ජනාවාසවල බටහිර ජාතිකයන් චීනුන්ට සලකන ආකාරය පිළිබඳත් සාකච්ඡා කරනවා. ඊටත් වඩා ප්‍රබල ලෙස ඔහු ජපානය විසින් මැන්චූරියාව ආක්‍රමණය කළ අයුරු පිළිබඳ විවේචනයක් සිදු කරනවා.
තම අලුත් මිත්‍රයාට ස්තූති කිරීමක් ලෙස අර්ජේ විසින් චෑංග් චොංග්-චෙන් නම් චරිතයක් මෙම කතාවට ඇතුළත් කළා.
ඉන්පසුව අර්ජේ විසින් ලියන ලද The Broken Ear කතාවෙහි ඔහු දකුණු ඇමෙරිකාවේ චැකෝ යුද්ධයට සමාන යුද්ධයක් පිළිබඳව විස්තර කරනවා. ටින්ටින් කතාවෙහි යුද්ධය දියත් වූයේ රටවල් දෙකක් අතර වූ ඛනිජ තෙල් නිධි ඇතැ යි සැක කළ ප්‍රදේශයක් අල්ලාගැනීම සඳහා තෙල් සමාගම් දෙකක් විසින් අදාළ රටවල් දෙක පෙළඹවීම මත යි. බොලිවියාව සහ පැරගුවේ අතර වූ චැකෝ යුද්ධය ද එවැන්නක් වූ බව සාමාන්‍ය විශ්වාසය යි.
මෙම යුද්ධය අතරතුර එකම ආයුධ වෙළෙන්ඳා රටවල් දෙකටම සමාන අවියකින් සමාන ප්‍රමාණයක් විකිණීමේ සිදුවීම, යුද්ධය සහ අවි වෙළෙඳාම පිළිබඳ සියුම් උපහාසයක් ද වෙනවා.
1938 දී ලිවීම අරඹන ලද කතාව පැහැදිලිවම ඇඩොල්ෆ් හිට්ලර් විසින් ඔස්ට්‍රියාව අල්ලාගත් ආකාරය පිළිබඳ බරපතල විවේචනයක් වුණා. එහි දී සිල්ඩේවියාව නම් වූ රාජ්‍යය අසල්වැසි බොඩෝරියාව විසින් අල්ලාගැනීම වළකාලන්නේ ටින්ටින්.
නට්සි සමය
දෙවන ලෝක යුද්ධය ආරම්භ වී මාස කිහිපයකට පසු ජර්මනිය විසින් බෙල්ජියම යටත් කරගනු ලැබුණා. ඉන්පසු බොහෝ පුවත්පත් වසා දමන ලද අතර නට්සි රජය හා එක්ව කටයුතු කළ පුවත්පත් පමණක් දිගටම පළ කිරීමට ඉඩ ලැබුණා. මෙහි දී “ලෙ සොයර්” නම් වූ පුවත්පතකට අර්ජේ චිත්‍ර ඇඳීම සිදු කළා. මෙසේ නට්සින් හා කටයුතු කළ ආයතනයක් වෙනුවෙන් සිය නිර්මාණකරණයෙහි යෙදීම හේතුවෙන් අර්ජේගේ කීර්තියට තරමක හානියක් සිදු වුණා. නමුත් ඔහු ඍජුවම නට්සීන්ට සහය දුන්නේයැ යි ඔප්පු වූයේ නැහැ.
එකල ඔහු විසින් නිර්මාණය කරන ලද කතාවෙහි දුෂ්ටයා ලෙස බ්ලූමන්ස්ටයින් නම් වූ විශාල නාසයක් සහිත යුදෙව්වෙකු නිර්මාණය කිරීම නට්සි රජයේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිවලට අනුකූලව කෙරුණක් බව යි විශ්වාස කෙරෙන්නේ. පසු කලෙක අර්ජේ එම චරිතයෙහි නාසය මඳක් කුඩා කර, ඔහුගේ නම ද බොහ්ල්වින්කල් ලෙස වෙනස් කළා.
මින්පසුව අර්ජේ සමකාලීන පසුබිම් හැකි පමණ මඟහරිමින් ඓතිහාසික කතා ද ඈඳන ලද ටින්ටින් කතා නිර්මාණය කළා. ඒ අනුව මීළඟ කාලය තුළ ඔහු සියවස් කිහිපයකට පෙර ජීවත් වූ මුහුදු කොල්ලකරුවන් පාදක කරගත් The Secret of the Unicorn සහ Red Rackam’s Treasure යන කතා ද, සැඟවුණ ඉන්කා රාජ්‍යයක් පාදක කරගත් Seven Crystal Balls සහ Prisoners of the Sun කතා ද නිර්මාණය කළා. මෙම දෙවැනි කතාව ඉන්කාවරුන් පිළිබඳ සානුකම්පිත ස්ථාවරයකින් අවසන් වුණා. Prisoners of the Sun කතාව පළ වූයේ දෙවන ලෝක යුද්ධය නිමා වූ පසුව යි. නමුත් එය Seven Crystal Balls කතාවේම දිගුවක් නිසා අර්ජේ එම කතා දෙක පිළිබඳවම සංකල්පය එකවර ගොඩ නගන්නට ඇතැ යි සිතිය හැකි යි.
පසුකාලීන කතා
1950 දශකයේ මැද භාගයේ දී The Calculus Affair කතාව මඟින් ඒකාධිපති රටක සමාජය පවතින ආකාරය පිළිබඳ සහ රහස් ඔත්තු සේවාවන්හි කටයුතු පිළිබඳ විස්තර කෙරෙන අතර, එය ස්ටාලින් යටතේ සෝවියට් දේශයේ ස්වභාවය පිළිබඳ පිළිබිඹුවක්යැ යි සිතිය හැකියි. එමෙන්ම යම් අඩුපාඩු තිබුණ ද, එය මුල්කාලීනව Tintin in the Land of Sovietsහි සිදු කළ විවේචනයට වඩා ඉතා නිර්මාණාත්මකව සිදුකරන ලද්දක්.
මේ අතර ලතින් ඇමෙරිකාවේ විවිධ හමුදා පාලකයන් පිළිබඳව ද අර්ජේගේ විවේචනය 1975-76 සමයේ පළ වූ Tintin and the Picaros නම් කතාවෙන් පළ කෙරුණා. එහි දී ජෙනරල් ටැපියෝකා සහ ජෙනරල් අල්කසාර් යටතේ එකම පැල්පත් ජනාවාසයක ජනතාවගේ ජීවන තත්ත්වයේ වෙනසක් නොමැති බවත්, ජනාවාසයේ නම සහ පොලීසියේ නිල ඇඳුම පමණක් වෙනස් වී ඇති බවත් අර්ජි පෙන්වා දෙනවා. සමකාලීන ලතින් ඇමෙරිකාව හමුදා පාලකයන් ගෙන් පිරිණ සමයක මෙය පළ වූ බව මෙහි දී සිහිපත් කළ හැකියි.
1950 දශකයේ දී පළ වූ Red Sea Sharks නම් ටින්ටින් කතාවෙහි මැදපෙරදිග දේශපාලනය පිළිබඳව මෙන්ම වහල් වෙළෙඳාම පිළිබඳව ද සාකච්ඡා කරනවා. එහි එක්තරා නැවක සඟවාගෙන යන අප්‍රිකානු මුස්ලිම් ජාතිකයන් පිරිසක් අනුසාරයෙන් එම විස්තරය පෙන්නුම් කෙරෙනවා. එහෙත් එහි ද අර්ජේගේ සුදු ජාතික මමත්වය ඉස්මතු වන බව කිව හැකියි. මක් නිසා ද යත් ඉහත කී මුස්ලිම් අප්‍රිකානුවන් ඉතා අහිංසක සහ “මෝඩ පහේ” අය ලෙස පෙන්නුම් කිරීමෙන්.
ආපසු හැරී බලද්දී ටින්ටින් කතාන්දර මෙන්ම එහි නිර්මාණකරු පිළිබඳව ද මිශ්‍ර හැඟීම් ඇති වීම ස්වාභාවික යි. එහෙත් එහි ජනප්‍රියත්වය පිළිබඳ නම් කිසිදු සැකයක් නැති බවත් නොබියව කිව හැකියි.
Cover Image: Cigars of the Pharaoh චිත්‍රකතා පොතෙහි කවරය (Hergé)
මූලාශ්‍රයයන්:
- Tintin, Human Rights and Politics (The Conversation)
- Happy Birthday to Tintin, Comics’ Problematic Fave (Comics Alliance)
- Tintin’s Forgotten Friend (China Daily)