දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය දා විවෘත කරනු ලැබීමත් සමග දිය යට කෞතුකාගාර පිළිබඳ නව කතිකාවක් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇතිවුණා. මේ ලිපියේ දැක්වෙන්නේ අපට අලුත් දෙයක් වුණත් ලෝකයට අලුත් දෙයක් නොවන දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය පසුගිය ජූනි 17 වන දින ගාලු මුහුදේ දී නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා. මීටර් 15ක් පමණ ගැඹුරු මුහුදු පතුළේ පිහිටා ඇති මෙය, සිමෙන්ති සහ තවත් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කෙරුණු ප්‍රතිමාවලින් සමන්විත අතර, ඒ සියල්ල නාවික හමුදා භටයින් අතින්ම නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

දිය යට පිහිටි කෞතුකාගාරයක් හෝ පුරාවිද්‍යා ස්ථානයක් යනු කලාත්මකබව සහ සංචාරක ආකර්ශනය සඳහාම වෙන්වූවක් නොවන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ලෝකය පුරා දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන, කොරල් පර නිර්මාණයට සුදුසු පරිසරයක් සැකසීම, මත්ස්‍ය අභිජනනය සඳහා උපකාරී වීම, වෙරළ ඛාදනය වැලැක්වීම, අනවසර මත්ස්‍ය දැල් භාවිතය වැලැක්වීම, සහ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම වැනි බොහෝ කාරණාවලට මහත් සේ උපකාරී වනවා.   

බායා පුරාවිද්‍යා උද්‍යානය

බොහෝ අය පොම්පෙයි නගරය ගැන අසා තිබුනත්, ඒ සමීපයෙහි පිහිටා ඇති බායා නගරය ගැන අසා නැහැ. බායා නගරය අට වන සියවසේ දී අත්හැර දැමුනු, ගිනිකඳු ක්‍රියාකාරීත්වය වැනි ස්වාභාවික ආපදාවන් හේතුවෙන් මුහුද යටට කිඳා බසින ලද්දක්. දැන් එය කිරිගරුඬ පිළිම සහ මොසැයික් රටා සහිත බිම් කොටස් සමග දිය යට පිහිටි උද්‍යානයක් ලෙස ඉතාලියේ නේපල්ස් නගරයට නුදුරින් පිහිටා තිබෙනවා.

බායා දිය යට පිහිටි පුරාවිද්‍යා උද්‍යානය (https://commons.wikimedia.org)

හේරෝද්ගේ වරාය – ඊශ්‍රායිලය

ඊශ්‍රායිලයේ සිසේරියාවේ පිහිටි “හේරෝද්ගේ වරාය” කැණීම් කටයුතු රැසකට පසුව 2006 වසරේ දී දිය යට කෞතුකාගාරයක් ලෙස මහජනයාට විවෘත වුණා. මෙය රෝමානු අධිරාජ්‍යයේ පැවති විශාලම වරායක් ලෙස සඳහන් වන අතර, මෙහිදී නරඹන්නන්ට, තමන්ට සැපයෙන දිය කාන්දු නොවන සිතියම් උදව් කරගනිමින් නටඹුන් වූ ප්‍රදීපාගාරය, පැරණි පදනම, නැංගුරම්, හා ආධාරක දැකබලාගත හැකි අතර කිමිදුම් ඇඳුම් ඇඳ දිය යට ඇති සංඥා පුවරු අනුව යමින් වරායේ නටඹුන් අතර සැරිසැරීම ඔවුන්ට අපූරු අත්දැකීමක් ලබා දෙන්නක්.

සිසේරියාවේ හේරෝද් රජුගේ මුහුදුබඩ මාළිගා පරිශ්‍රයේ නටඹුන් (https://commons.wikimedia.org)

මුසෙයො සුබක්වාටිකෝ ඩි අර්තේ (MUSA) – මෙක්සිකෝව 

මෙක්සිකෝවේ කැන්කුන් නාගරය ආශ්‍රිත මුහුද යට පිහිටි මෙම කෞතුකාගාරය පන්සියයකට අධික ප්‍රතිමාවලින් සමන්විත වන්නක්. මෙම කෞතුකාගාරයේ අරමුණ ලෙස, කලාව සහ විද්‍යාව අතර අන්තර් සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් මුහුදුබඩ ජීවීන්ගේ වාසස්ථාන සඳහා කොරල් පර නිර්මාණය කිරීම දැක්විය හැකියි. මෙහිදී නරඹන්නන්ට කිමිදීමට අමතරව වීදුරු පතුල් සහිත බෝට්ටුවල ගමන් කිරීමෙනුත් මෙම කලාකෘතීන් දැකබලා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා.

මුසෙයො සුබක්වාටිකෝ ඩි අර්තේ (www.therivieramayatimes.com)

මුසෙයො අත්ලන්තිකෝ ලන්සරෝතේ – ස්පාඤ්ඤය 

2016 වසරේ දී ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් ආශ්‍රිතව නිර්මාණය කර විවෘත කරනු ලැබූ මෙම කෞතුකාගාරය මෙක්සිකෝවේ MUSA කෞතුකාගාරය උදාහරණයට ගෙන තනනු ලැබූවක්. මෙය යුරෝපයේ ප්‍රථම දිය යට කෞතුකාගාරය වන අතර තුන්සියයකට අධික ප්‍රතිමාවලින් සමන්විත යි. මෙය ද ප්‍රධාන වශයෙන්ම නිමවා ඇත්තේ පරිසර දූෂණය පිළිබඳව ලෝකයේ අවධානය වැඩි කිරීම සහ මුහුදුබඩ ජීවීන්ට වාසස්ථානයන් නිර්මාණය කිරීම යන කරුණු අරමුණු කරගෙන යි.

මුසෙයො අත්ලන්තිකෝ ලන්සරෝතේ ( https://www.tripadvisor.com )

තර්කන්කුත් තුඩුවේ දිය යට කෞතුකාගාරය – ක්‍රිමියාව 

වසර පහළොවකට පමණ පෙර නිර්මාණය කෙරුණු මෙම දිය යට කෞතුකාගාරය සෝවියට් සංගමයේ සමාජවාදී සටන පුරාවට සිටි කොමියුනිස්ට් නායකයන්ගේ උඩුකය ප්‍රතිමාවලින් සමන්විත  වන අතර ඒ හේතුවෙන්ම “නායකයින්ගේ මංපෙත” යන විරුදාවලිය ලබා තිබෙනවා. ව්ලැද්මීර් බ්‍රොමෙන්ස්කි නැමති කිමිදුම්කරු, ඔහු විසින් එක් රැස් කරන ලද ලෙනින්, ස්ටාලින්, සහ මාක්ස් වැනි කොමියුනිස්ට් නායකයින්ගේ උඩුකය ප්‍රතිමා තර්කන්කුත් තුඩුව වෙරළ තීරයට මීටර් සියයක් පමණ ඈත මුහුදේ තැන්පත් කිරීමෙන් ආරම්භ කළ මෙම කෞතුකාගාරය අද වන විට විශාල කෞතුක භාණ්ඩ එකතුවකින් සමන්විත වනවා.

තර්කන්කුත් තුඩුවේ දිය යට කෞතුකාගාරයේ ඇති කොමියුනිස්ට් නායකයින්ගේ උඩුකය ප්‍රතිමා (www.the moscow times.com)

ශිප්රෙක් ට්‍රේල් දිය යට කෞතුකාගාරය – ෆ්ලෝරීඩා කීස්

සුන්බුන් වූ නැව්වලින් සෑදුණු මංපෙතක් බඳු ශිප්රෙක් ට්‍රේල් දිය යට කෞතුකාගාරය ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දකුණු දිග වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. මෙහි ඇතැම් කොටස් නොගඹුරු දියේ පිහිටා ඇති අතර ඇතැම් කොටස් ගැඹුරු මුහුදේ පිහිටා තිබීම නිසා මෙය නැරඹීම විවිධත්වයක් සහිත අත්දැකීමක් ලබාදෙනවා.

මෙහි ඇති පැරණිම නැව වන්නේ 1733 වසරේ දී කියුබාවේ හවානා නගරයෙන් පිටත්වූ “සන් පේද්රෝ” නම් නෞකාව යි. එය මෙක්සිකානු රිදී කාසි සහ චීන පෝසිලේන් භාණ්ඩ රැගෙන යමින් තිබූ අතර, කුණාටුවකට හසුවීම නිසා මුහුදුබත් වුණා. 1960 දී සොයාගත් මෙම නැව වර්ථමානයේ ශිප්රෙක් ට්‍රේල්හි ඇති ආකර්ශනීය කෞතුක වස්තුවක්.

දෙවන ලෝක යුද්ධ සමයේ නිශ්පාදනය කරනු ලැබූ “තන්ඩර්බෝල්ට්” නමැති නෞකාව මෙම කෞතුකාගාරයේ ලාබාලතම සාමාජිකයා යි. යුධ කටයුතු සඳහාම නිමවනු ලැබූවත් මෙය කිසිදිනක නිල වශයෙන් යුධ කටයුතු සඳහා යොදා නොගත් අතර, පසුව විදුලි බලය හා අකුණු සම්බන්ධ පර්යේෂණ සඳහා යොදාගනු ලැබුවා. පසුකාලීනව ශිප්රෙක් ට්‍රේල් කෞතුකාගාරයට පරිත්‍යාග කරනු ලැබූ මෙම නෞකාව 1986 වසරේ දී කෞතුක භාන්ඩයක් ලෙස ගිල්වනු ලැබුවා.

ශිප්රෙක් ට්‍රේල් දිය යට කෞතුකාගාරය (www.narcity.com)

Related Articles

Exit mobile version