ලෝ ප්‍රකට “ශ්‍රී පාදස්ථානය”

සමනල කන්ද, එසේත් නොමැති නම් ශ්‍රී පාදය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ලෝ ප්‍රකට සිද්ධස්ථානයකි. මීටර් 2,243 ක් (අඩි 7,359) ක් උස්වූ මේ කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේයි. ලංකාවේ ජීවත් වන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, සහ කතෝලික යන සියලුම ආගමිකයන් වන්දනාමාන කරන මෙහි ඇති සිරි පතුල කාගේද යන්න පිළිබඳව අදටත් ඇත්තේ ගැටලුවකි. බෞද්ධයන් එය බුදුන්ගේ බව ද, හින්දුන් එය ශිව දෙවියන්ගේ බව ද, ඉස්ලාමිකයන් සහ කතෝලිකයන් එය ආදම්ගේ හෝ ශාන්ත තෝමස් ගේ බව ද විශ්වාස කරති. කෙසේ වුවත් ශ්‍රී පාදය ශ්‍රී ලංකාවේ සියලුම ආගමිකයන්ගේ වැඳුම් පිදුම් ලබන පුජ්‍ය ස්ථානයක් වේ.

භූගෝලීය තත්ත්වය

ශ්‍රී පාදස්ථානය ලංකාවේ පළාත් ගණනාවකටම ආසන්න වන සේ පිහිටා තිබේ. එක් පසෙකින් සබරගමුව පළාතේ රත්නපුරයේ මධ්‍යම උස් බිමෙහි දකුණට වන්නටත්, අනෙක් පසින් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය දෙසටත් මෙය පිහිටයි. ඒ අනුව සබරගමු පළාතේ රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 40ක් ඈතිනුත්, මධ්‍යම පළාතේ හැටන් නගරයේ සිට කිලෝමීටර් 32ක දුරකිනුත් ශ්‍රී පාද කන්ද දැකගත හැකියි. වටපිටාවේ මේ සා විශාල අන් කන්දක් නොතිබෙන නිසා වන ගහණය වූ සුවිසල් ගලක් සේ මේ කඳු පන්තිය දිස් වෙයි. ශ්‍රී පාද කන්ද අවට ප්‍රදේශය වන ජීවී රක්ෂිතයක් වන අතර අලි ඇතුන්, දිවියන් වැනි බොහෝ ඒකදේශීය වන සතුන්ගෙන් මෙම භූමිය ගහණය වී තිබේ.

ඉතිහාසය

srilankatailormade.com

ලංකාවේ දැනට හඳුනාගෙන ඇති පැරණිම පාලි ග්‍රන්ථය වශයෙන් සැලකෙන දීපවංසය “සමන්තකූට” යන නමින් මෙම ස්ථානය හඳුන්වා තිබෙන අතර ඉන්පසු ඉතිහාසයක ලියවෙන මහාවංසය ද බුදුන් එහි වැඩම කර ඇති බවක් සඳහන් කරයි. රාජාවලිය දක්වන ආකාරයට බු.ව. 01 වන සියවසේදී වළගම්බා රජු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් බේරීමට ශ්‍රී පාද කන්දේ සැඟව සිට ඇත. ඔහු අනුරාධපුරයට පැමිණ ඇත්තේ ඉන්පසු කාලයකයි. මහාවංසය ද එලෙසම, එනම් වළගම්බා රජු එහි සැඟව සිට ඇති බවක් සඳහන් කරයි.

ඉතාලි ජාතික වෙළෙන්දෙක් වන මාර්කෝ පෝලෝ ඔහුගේ චාරිකාවන් විස්තර කරද්දී ශ්‍රී පාදස්ථානය වැදගත් ස්ථානයක් ලෙසින් හඳුනාගෙන ඇතත් එහි ඇති පා සලකුණක් පිළිබඳව නම් සඳහන් කොට නැත. අරාබි ජාතික සංචාරකයෙක් වන ඉබන් බතුතා දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ සෙරන්ඩිබ් හි කඳු මුදුනකට නැගි  බව වාර්තා වී තිබෙන අතර එම ගමනේදී ඔහුට එහි තිබූ යකඩ දම්වැල් සහ රුකුල් කණු උදව් වූ බව ද සඳහන් කර ඇත. රසායනඥයෙකු වන සර්. හම්ප්ටි ඩේවිගේ සහෝදරයෙකු වන ජෝන් ඩේවි වර්ෂ 1817 දී ශ්‍රී පාදය සංචාරය කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගල මත තිබූ පිත්තල තීරයකින් සහ මැණික් වලින් හෙබි විශාල පා සලකුණක් ඔහු දුටු බවයි.

ජනප්‍රවාද

all.lk

බෞද්ධයන්ට අනුව ශ්‍රී පාදස්ථානයේ ඇති පා සලකුණ බුදුන්ගේය. ඔවුන් සඳහන් කරන්නේ එය බුදුන්ගේ වම් පා සලකුණ බවයි. සමන් දිව්‍යරාජයාගේ ආරාධනාව මත බුදුන් ලක්දිවට වැඩි අවස්ථාවේ සංකේතයක් ලෙස එය එහි තබා ගොස් ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

හින්දුන්ට අනුව එම පා ලකුණ ශිව දෙවියන්ගේ ය. එමෙන්ම ජනප්‍රවාදයේ එන රාමායණ සමයේ රාවණාගේ ත්‍රිකූට පව්ව ලෙසින් හැඳින්වූයේ ද මෙම ස්ථානය බව ඔවුන් විශ්වාස කරයි.

සමහර ඉස්ලාම් භක්තිකයන් සහ කතෝලික භක්තිකයන් මෙම පා සලකුණ ආදම්ගේ බවට විශ්වාස කරති. ඔවුන්ට අනුව ඒදන්ගේ උයනේ සිට පැමිණි ආදම් එහි පා සලකුණ තබා ගොස් ඇත. මුස්ලිම් භක්තිකයන් විශ්වාස කරන පරිදි ආදම් යනු අඩි 30ක් උසැති පුද්ගලයෙකි.

වන්දනා සමය

ශ්‍රී පාද කරුණා සමය ආරම්භ වන්නේ වසරේ අග, එනම් දෙසැම්බර් මාසයේ වන අතර ඊළඟ වසරේ මැයි මස වන විට වන්දනා සමය අවසන් වෙයි. වසරේ අනෙක් මාස වලදී ශ්‍රී පාද ගමන දුෂ්කරය. ඒ තද වර්ෂාව, දැඩි සුළං සහ මීදුම් සහිත කාලගුණය නිසයි. සිරිපා කරුණා කිරීමට සුදුසුම කාලය වන්නේ අප්‍රේල් මාසයයි. කඳු මුදුනට හොඳින් හිරු එළිය වැටෙන්නේ මේ කාලයේ වන අතර ඉර සේවාව හොඳින් දැකබලා ගැනීමට ඉන් මඟ පෑදේ.

ඉර සේවාව

srilankatraveladventures.wordpree.com

ඉර සේවාව යනු කෙටියෙන්ම රාත්‍රී කළුවර කපාගෙන ලොවම එළිය කරමින් ඉර නැඟ ඒමයි. සිරිපා කඳු මුදුනේ සිටින විට එය හොඳින්ම දැකගත හැකි බවයි සියල්ලන්ගේම විශ්වාසය. සාමාන්‍යයෙන් උදෑසන ඉර සේවාව දැක ගැනීමට කැමති බැතිමතුන් ශ්‍රී පාද කරුණා කිරීම ආරම්භ කරන්නේ සවස් යාමයේ ය. ඒ අනුව රාත්‍රිය එළි වන්නට කඳු මුදුනට නැඟ ගන්නා ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ උදෑසන ඉර සේවය දැක ගැනීමයි. ඇත්තෙන්ම රාත්‍රියේ කන්ද තරණය කිරීම අතිශය අපූර්ව අත්දැකීමක්. මඟ දිගට ඇති ආලෝක පහන් සිරිපා කරුණා කිරීමට මඟ පෙන්වයි. අතරමඟ ආහාර ගැනීමට මෙන්ම මඳක් ගිමන් හැරීමට හැකි ස්ථාන ද නැතුවාම නොවේ.

ශ්‍රී පාදයට සුදුසුම මඟ

ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට මාර්ග සය (06) කි.

 

  • රත්නපුර- පලබැද්දල මාර්ගය
  • හැටන්- නල්ලතන්නි මාර්ගය
  • කුරුවිට- එරත්න මාර්ගය
  • මුරේවත්ත මාර්ගය
  • මූකුවත්ත මාර්ගය
  • මාලිම්බොඩ මාර්ගය

 

ඒ අතර වේ.

මෙයින් මුරේවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ මාර්ග භාවිතා කරන්නේ නැති තරම් ය. කුරුවිට- එරත්න මාර්ගය ඉඳහිට භාවිතා කරනු දැකිය හැකි වුවත් බොහෝ බැතිමතුන් භාවිතා කරන්නේ රත්නපුර- පලබැද්දල මාර්ගය සහ හැටන්- නල්ලතන්නි මාර්ගය යි. මෙයිනුත් හැටන්- නල්ලතන්නි මාර්ගය අධික බෑවුම් සහිත වුවත්, එය අන් මාර්ග වලට වඩා කෙටිය. එම මාර්ගයෙන් යන විට මුළු දුර වන්නේ කිලෝ මිටර් 5ක් පමණි.

කවරයේ කතාව- srilankadaytours.com 

Related Articles

Exit mobile version