ආරම්භයේ දී විශ්වය අමුතු සහ ගුප්ත වස්තූන්ගෙන් පිරී පැවති බව යි තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ. මහා පිපුරුමෙන් කෙටි කලකට පසු ව වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන තාරකා බවට පත් වෙනවා වෙනුවට විශ්වය පුරා විසිරී පැවති ද්‍රව්‍යමය වලාවන්, එකට එක් ව කළු කුහර බවට පරිවර්තනය වී තිබෙනවා. සම්පූර්ණයෙන් ම අඳුරේ ගිලුණු විශ්වයේ තැනින් තැන එක් වූ ද්‍රව හයිඩ්‍රජන්, ෆෝටෝන (photons), නිදහස් කරමින් ව්‍යාජ මන්දාකිනි (pseudo-galaxies) නිර්මාණය කර ඇත්තේ ආලෝකය උත්පාදනය කරමිනුයි. ඒ අතරතුර දී හයිඩ්‍රජන් සහ හීලියම් එක් වීමෙන් පමණක් සැදි කෙටි ආයු කාලයක් සහිත තාරකාවන්, ක්ෂණික දීප්තියකින් රාත්‍රිය ඒකාලෝක කර මියගොස් තිබෙනවා.
එයින් වසර බිලියන 13කට පසුව, විශ්වය සතු වූ පදාර්ථයන් නොයෙක් ආකාරයට මුසු වීම හේතුවෙන් විවිධ ප්‍රමාණයෙන්, දීප්තියෙන්, සහ ආයු කාලයන්ගෙන් යුතු තාරකා බිහි වූ බව යි සැලකෙන්නේ. නමුත්, විශ්වයට දැරිය හැකි සියලුම ආකාරයේ තාරකාවන්, වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ තවත් වසර බිලියන හෝ ට්‍රිලියන ගණනාවක් ගත වීමෙන් පසුව නිර්මාණය වන ආකාශ වස්තූන්, අද දැක ගැනීමට ලැබෙන තාරකාවන්ට වඩා හාත්පසින් ම වෙනස් සහ සංකීර්ණ වන බව යි. එවැනි ආකාශ වස්තූන් බිහි වන තෙක් විශ්වය නොනැසී පැවතුණහොත් දැක ගැනීමට ලැබෙන තාරකාවන් කිහිපයක් ගැන තොරතුරු යි මේ.
නිල් වාමන තාරකා
ක්ෂීරපථය සතු සුලබ ම තාරකා වර්ගය ලෙස සැලකෙන්නේ රතු වාමන තාරකා යි. ප්‍රමාණයෙන් කුඩා (සාමාන්‍යයෙන් යෝධ වායු ග්‍රහලෝකයක් පමණ වන) රතු වාමන තාරකාවන් හි ස්කන්ධය සහ උෂ්ණත්වය අඩු අගයක් ගන්නවා. අනෙක් තාරකාවන්ට සාපේක්ෂ ව කුඩා සහ ශීතල තාරකාවන් වන රතු වාමන තාරකාවන්, සෙමින් සෙමින් වෙනස් වෙමින් පවතින බව පැවසීමේ වරදක් නැහැ. තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ හයිඩ්‍රජන්, හීලියම් බවට පරිවර්තනය කරන රතු වාමන තාරකාවක ආයු කාලය වසර ට්‍රිලියන කිහිපයක් විය හැකි බව යි. උදාහරණයක් ලෙස හිරුගේ ස්කන්ධයෙන් 10%ක ස්කන්ධයක් හිමි රතු වාමන තාරකාවකට වසර ට්‍රිලියන 6ක ආයු කාලයක් හිමි වෙනවා.
ආයු කාලය අවසන් වීමෙන් පසුව රතු වාමන තාරකාවක්, එය සතු අවසන් හයිඩ්‍රජන් සංචිතය දැල්වීම නතර කිරීමට කටයුතු කරන අතර, ඒ කාල සීමාව තුළ දී අධික උෂ්ණත්වයකින් යුතු වන එය දිස් වන්නේ දීප්තිමත් නිල් පැහැයෙන්. සාමාන්‍ය තාරකාවන් මෙන් ප්‍රසාරණය නොවන රතු වාමන තාරකා, ඇතුළට හැකිලිය හැකි බව යි තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ. ‘නිල් වාමන අවධිය’ අවසන් වීමෙන් පසු ව එය සුදු පැහැ වාමන තාරකාවක් ලෙස පවතිනු ඇත. කෙසේ වුව ද, විශ්වය නිර්මාණ වීමෙන් පසු ව තවමත් ගත වී ඇත්තේ වසර බිලියන 13.8ක් පමණක් නිසා රතු වාමන තාරකාවක්, නිල් වාමන අවධියට ළඟා වන ආකාරය නැරඹීමට තවත් වසර ට්‍රිලියන කිහිපයක් බලා සිටීමට සිදු වන බවට නම් සැකයක් නැහැ.
කළු වාමන තාරකා
සුදු වාමන තාරකාවක් බවට පත් වූ තරුවක ආයු කාලය එයින් අවසන් නොවන අතර, එය සතු කාබන්, ඔක්සිජන්, සහ නිදහසේ චලනය වන ඉලෙක්ට්‍රෝන දිගින් දිගට ම භාවිතා කරමින් දැල්වීමට උත්සාහ ගන්නා සුදු වාමන තාරකාවක්, ක්‍රමයෙන් කළු වාමන තාරකාවක් බවට පරිවර්තනය වෙනවා. පරිහානියට පත් ඉලෙක්ට්‍රෝන පදාර්ථ මඟින් නිර්මාණය වන මෙවැනි කල්පිත තාරකාවන්, අතිශය මලානික දීප්තියක් පිට කරන අතර, එය තරුවක සත්‍ය මළගම ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. හිරු වැනි තාරකාවන්ගේ අනාගත ඉරණම එය වන අතර, කළු වාමන තාරකාවක් බවට පත් වීමේ ක්‍රියාවලිය ඇරඹීම සඳහා පමණක් තරුවකට වසර බිලියන කිහිපයක් අවශ්‍ය වෙනවා.
සාමාන්‍යයෙන් හිරු වැනි ප්‍රධාන-අනුක්‍රමික තාරකාවක්, වසර බිලියන 10ක් පමණ ගත වීමෙන් අනතුරු ව (හිරුගේ වයස තවමත් වසර බිලියන 4.6ක් පමණ යි) රතු දැවැන්තයෙකු බවට පත් වන්නේ පිටතට ප්‍රසාරණය වීම හේතුවෙන්. වසර බිලියන කිහිපයක් ගත වන තුරු රතු දැවැන්තයෙකු ලෙස සිටින එය, සුදු වාමන තාරකාවක් බවට පත් වෙනවා. නාසා ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ හිරු, වසර බිලියන 10ක පමණ කාලයක් සුදු වාමන තාරකාවක් ලෙස පවතිනු ඇති බව යි. ඉන් අනතුරු ව කළු වාමන තාරකාවක් බවට පත් වන එය, අවසානයේ දී ප්‍රෝටෝන ක්ෂය වීම හේතුවෙන් අනිජ හයිඩ්‍රජන් විශේෂයකට පත් ව වාෂ්ප වී යනු ඇතැ යි සැලකෙනවා.
මිදුණු (හිමායිත) තාරකා
යම් හෙයකින් අනාගතයේ දිනක දී විශ්වයේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රමාණයට පදාර්ථ නොමැති වුවහොත් වර්තමානයේ දී අධික උණුසමකින් යුතු ව දැවෙන තාරකාවන්, හිම මිදෙන තරමට ශීතල විය හැකි බව යි තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ. මෙවැනි මිදුණු තාරකාවක උෂ්ණත්වය කෙල්වින් අංශක 273 (සෙල්සියස් අංශක 0)ක් වන අතර, විශ්වයේ හයිඩ්‍රජන් සහ හීලියම් මදකම හේතුවෙන් එය වෙනත් බරැති මූලද්‍රව්‍යයන්ගෙන් පිරී පවතිනු ඇත. නමුත් ෆ්‍රෙඩ් සී. ඇඩම්ස් සහ ග්‍රෙගරි ලොෆ්ලින් වැනි තාරකා භෞතික විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මිදුණු තාරකා බිහි වීම සඳහා තවත් වසර ට්‍රිලියන ට්‍රිලියනයක් පමණ ගත විය හැකි බව යි. මිදුණු තාරකාවක් සතු වන අඩු උෂ්ණත්වය හේතුවෙන් එයට බැබළීමට නොහැකි වුව ද, සීමිත න්‍යෂ්ටික විලයනයක් පවත්වා ගැනීමට අවැසි තරම් ස්කන්ධයක් එය සතු වනු ඇති බවට විශ්වාස කරනවා.
යකඩ තාරකා
වර්තමානයේ දී සිදුවන අන්දමට විශ්වස දිගින් දිගට ම පිටතට ප්‍රසාරණය වුවහොත් අවසානයේ දී එය ‘තාප මරණය’ කරා ළඟා වනු ඇත. එහි දී පරමාණු ඔවුන් විසින් ම බිඳ වැටීමට පටන් ගන්නා අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යකඩ තාරකා බිහි විය හැකි බව යි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් තාරකා විසින් සැහැල්ලු මූලද්‍රව්‍ය උණු කර, ඒවා බරැති මූලද්‍රව්‍ය බවට පත් කරනවා. දිගු කල් පැවැත්මක් සහිත ස්ථායී මූලද්‍රව්‍යයක් වන යකඩ සමස්ථානික නිර්මානය වන්නේ ඒ හේතුවෙන්. මෙය දිගින් දිගට ම සිදුවීම හේතුවෙන් යකඩ තාරකා නිර්මාණය වන බව යි පවතින මතය.