
ලෝකෙ හැම දේකටම ආරම්භයක් තියෙනවා. තමන් ආසා කරන දෙයක්, උනන්දුවක් දක්වන සිදුවීමක් මුලින්ම සිදු වුණේ කවදාද, කොයි විදියටද කියලා දැනගන්න ඔබත් කැමති ඇති. මේ ලිපියෙන් ඒ වගේ තොරතුරු ටිකක් කතා කරන්නයි අද සූදානම.
ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය

www.pinterest.com
ඔබ කෑම බීමත් එපා කියලා, සියළු වැඩ නවත්තලා ක්‍රිකට් මැච් බලන කෙනෙක්ද? ඒත් ඉතිං පළවෙනි අන්තර්ජාතික ක්‍රිකට් මැච් එක ගැන දන්නෙ නැත්නම් ඒකත් අඩුවක්. ඇමරිකාව සහ කැනඩාව අතර තමයි ලොව මුල්ම ක්‍රිකට් තරඟය පැවැත්වුණේ. ඒ 1844 සැප්තැම්බර් 24 සහ 25 දිනවල නිව්යෝක්හි බ්ලූමින්ඩේල් පිටියේදීයි. එංගලන්තය අැතුළු රටවල දේශීය කණ්ඩායම් අතර එ් වන විටත් තරඟ පැවැත්වුණත් මේක තමයි රටවල් දෙකක් අතර පැවති මුල්ම තරඟය වුණේ.
අයහපත් කාලගුණය නිසා තරඟය දින දෙකක් පවත්වන්නට සිදු වුණා. පළමු ඉනිමේදී ලකුණු 82ක් රැස් කළ කැනඩා කණ්ඩායම දෙවන ඉනිමේදි ලකුණු 63ක් ලබා ගත්තා. පළමු ඉනිමේදී ඇමරිකාවට රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 64ක් පමණයි. ඔවුන් දෙවන ඉනිමේදී ලකුණු 58ක් ලබා ගත්තා. ලකුණු 145ක් රැස් කරගත් කැනඩාව ලකුණු 23කින් ඇමරිකාව පරාජය කළා. ඇමරිකාව ලබා ගත්තේ ලකුණු 122ක් පමණයි.
ලොව පළමු මෝටර් රථ අනතුර
අද කාලේ වාහන අනතුරු කීයක් නම් වෙනවද? මුල්ම මෝටර් රථ අනතුර සිදු වුණේ 1891 ඔහියෝ නගරයේදීයි. මේ විදියට අනතුරට ලක් වුණේ ඇමරිකානු ජාතික ජේම්ස් විලියම් ලැම්බට් නැමැත්තායි. ස්වෝව්ලන්ඩ් වෙත එන අතරමඟදී ගසක හැපී රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. නමුත් මෙයින් විශාල හානියක් වෙලා නැහැ.
ලොව පළමු මෝටර් බයිසිකලය

pursuitist.com
ජර්මානු නිපැයුම්කරුවන් දෙදෙනෙකු වන ගොට්ලිබ් ඩයැම්ලර් සහ විල්හෙල්ම් මැබාක් විසින් 1885දී ලොව පළමු මෝටර් බයිසිකලය හඳුන්වා දුන්නා. පෙට්‍රෝලියම් යොදාගෙන බලගැන්වුණු ලොව පළමු වාහනය වන්නේත් මෙයයි.
ලොව පළමු රියදුරු නවාතැන්පොළ – “මොටෙල් ඉන්”

www.wikiwand.com
රියදුරන් සඳහා වන හෝටල් (motorists’ hotel) යන්නෙන් බිඳී අාව motel වර්ගයේ නවාතැන්පොළවල් අැමරිකාව වගේ විශාල රටවල වැදගත් තැනක් හිමි කරගෙන තිබෙනවා. දවසක් අැතුළත ගමන නිමා කරන්න බැරි නිසා රාත්‍රිය ගත කරන්න අඩු මිල නවාතැන්පොළවලට ලොකු ඉල්ලුමක් ඇති වුණා.
කැලිෆෝනියාවේ පිහිටි මෙම වර්ගයේ මුල්ම නවාතැන්පොළ වාස්තු විද්‍යාඥ ආතර් හයින්මන් විසින් නිර්මාණය කළ අතර 1925 දෙසැම්බර් 12 වැනිදා විවෘත කෙරුණා. මොටෙල් ඉන් නවාතැන්පොළ ගොඩනැඟීමට ඩොලර් 80,000ක් වැය වී තිබෙනවා. මෙහි එක් රාත්‍රියක නවාතැන් ගැනීමට ඩොලර් 1.25ක් අය කර තිබෙන බවයි පැවසෙන්නේ.
ලොව පළමු ගීත ඇල්බම් කවරය

www.youtube.com
1938දී 23 හැවිදිරි සැලසුම් නිර්මාණකරුවෙක් ප්‍රථම වතාවට Columbia Records වෙනුවෙන් ඇල්බම් කවරයක් නිර්මාණය කළා. මෙම හඳුන්වාදීමට පෙර ඇල්බමයන් විකුණනු ලැබුවේ දුඹුරු පැහැ කඩදාසිවල එතීමෙනුයි. “Smash song hits by Rodgers and Hart” ලොව පළමු ඇල්බම් කවරයයි.
ලොව පළමු නවකතාව

www.pinterest.com
ඔබ පොත් කියවන්න ඇබ්බැහි වුණු කෙනෙක් නම් ලෝකේ පළවෙනි නවකතාව මොකක්ද කියලා දැනගන්නත් කැමති ඇති. ක්‍රිස්තු පූර්ව 1007දී ජපන් ජාතික රචිකාවක් වන මුරාෂාකි ශිකිබු විසින් රචිත “Tale of Genji” ලොව මුල්ම නවකතාව ලෙස සැලකෙනවා. චරිත 350කට වඩා ඇතුළත් මෙයින් ප්‍රේමය සොයා යන අධිරාජ්යෙයකුගේ පුත්‍රයෙක් ගැන කියැවෙනවා. ජීවිත කාලය තුළදී ඔහුට මුණගැසෙන කාන්තාවන් පිළිබඳවත්, එහි එන සිදුවීම් වලට අදාල සුන්දර කවිත් මෙහි අඩංගුයි.
ලොව පළමු සඟරාව

www.otago.ac.nz
දැන් කියන්න හදන්නෙ ලොව මුල්ම සඟරාව ගැනයි. 1731 වසරේ ජනවාරියේ ලන්ඩනයේදී ප්‍රකාශයට පත් කළ “The Gentleman’s Magazine” ලොව පළමු සඟරාවයි. මෙය ලන්ඩන් පුවත්පත සමඟ ලබාදෙන කුඩා සඟරාවක් ලෙස ආරම්භ වුණු අතර අවසානයේදී පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.
රිචඩ් සැවේජ්, ආචාර්ය ජොන්සන්, එළිසබෙත් කාටර් සහ මාක් අකෙන්සයිඩ් යන අය මේ සඳහා ලිපි සපයා තිබෙනවා. එඩ්වඩ් කේව් නමැත්තා සිල්වනස් අ’බ්න් යන අන්වර්ථ නාමයෙන් මෙහි සංස්කරණ කටයුතු කරනු ලැබුවා.
ලොව පළමු හරස්පද ප්‍රහේලිකාව

www.suggest-keywords.com
දැනුම වර්ධනය කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි හරස්පද ප්‍රහේලිකා (crossword puzzle) පිරවීම. පුංචි කාලේ හරස්පද ප්‍රහේලිකා පිරෙව්වට ලෝකෙ මුල්ම හරස්පද ප්‍රහේලිකාව ගැන නිකමටවත් අදහසක් තිබුණෙ නෑ නේද? 1913 දෙසැම්බර් 21 වැනිදා New York World පුවත්පතේ තමයි මුලින්ම හරස්පද ප්‍රහේලිකාවක් පළ වුණේ. අද දකින්න තියෙනවට වඩා වෙනස් හැඩයකින් (දියමන්තියක හැඩය) තමයි මෙය දකින්න ලැබෙන්නේ. බලන්න ඔබට මේ ප්‍රහේලිකාව විසඳන්න පුළුවන්ද කියලා.
ලොව පළමු ඩිජිටල් කැමරාව

ස්ටීව් සැසන් ලොව පළමු ඩිජිටල් කැමරාව සමඟ (www.earthlymission.com)
1975 දෙසැම්බරයේ Kodak සමාගමේ ඉංජිනේරුවෙක් වන ස්ටීව් සැසන් මුල්ම ඩිජිටල් කැමරාව ලොවට හඳුන්වා දුන්නා. ටෝස්ටරයක ප්‍රමාණයේ එම කැමරාවෙන් කළු-සුදු ඡායාරූප පමණයි ලබාගත හැකි වුණේ. පවුම් 8ක (කිලෝග්‍රෑම් 3.6) බරකින් යුතු මෙහි විභේදන බලය පික්සල් 10,000ක් විතරයි. (අද කාලෙට ගැළපෙන විදිහට කිව්වොත් මෙගා පික්සල් 0.01ක්!)
පළමු ඡායාරූපගත කිරීම සඳහා මෙයට තත්පර 23ක් ගතවුණා. මෙම ඡායාරූප කැසට් පටයක ගබඩා වන අතර කැමරාව රූපවාහිනියකට සම්බන්ධ කිරීමෙන් ඒවා රූපවාහිනී තිරය මත දර්ශනය කරගත හැකියි.
ලොව පළමු ඡායාරූපය

en.wikipedia.org
1826දී ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන ජෝසප් නිකපෝ ලබාගත් “View from the window at Le Gras” නම් ඡායාරූපය ලොව පළමු ඡායාරූපය ලෙස වාර්තා වෙනවා. නිවසේ උඩුමහලේ ජනේලයකින් බැලූ විට ගෙමිදුල සහ අවට පරිසරයේ තිබූ ගොඩනැගිලි ආදිය දිස් වන ආකාරය මෙහි සටහන් වී තිබෙනවා.
ලොව පළමු එක්ස් කිරණ පිටපත

ඇනා රොන්ට්ජන්ගේ අතෙහි එක්ස් කිරණ පිටපත (nyamcenterforhistory.org)
ජර්මනියේ වර්බර්ග් සරසවියේ සේවය කළ විලියම් රොන්ට්ජන් නම් භෞතික විද්‍යා මහාචාර්යවරයා රික්තයක් තුළදී විද්‍යුත් විසර්ජකවල ක්‍රියාකාරීත්වය පිළිබඳ පර්යේෂණ කරමින් සිටියා. 1895 වසරේ එක් දිනක රාත්රියේදී පර්යේෂණාගාරය තුළ තනිව පර්යේෂණ කරමින් සිටි ඔහුට බිත්තියේ දිලිසීමක් දකින්න ලැබුණා. ඒ ප්‍රතිදීප්ත ආලෝකය හෝ දෘෂ්‍ය ආලෝකය නොවන බවට තහවුරු කරගත් මහාචාර්ය රොන්ට්ජන් එක්ස් කිරණ ලෙස මෙය නම් කළේ ඉන්පසුවයි.
මාස ගණනක් මේ නව කිරණ වර්ගය සමඟ පර්යේෂණ කළ රොන්ට්ජන් අපූරු නිරීක්ෂණයක් කළා. මේ කිරණවල ගමන් මඟේ තබන වස්තුවක අභ්‍යන්තර ව්‍යුහය පෙනෙන රූපයක් බිත්තියේ සටහන් වන බව ඔහු දුටුවා. ඉන්පසු තම බිරිය පර්යේෂණාගාරයට කැඳවාගත් රොන්ට්ජන් ඡායාරූප තහඩුවක් යොදාගෙන ඇගේ අතේ එක්ස් කිරණ සටහනක් ලබා ගත්තා. ලොව පළමු එක්ස් කිරණ පිටපත වන්නේ මෙයයි. 1901දී භෞතික විද්‍යාව සඳහා ලබා දුන් පළමු නොබෙල් ත්‍යාගය මෙම සොයාගැනීම වෙනුවෙන් විලියම් රොන්ට්ජන්ට හිමිවුණා.
ලොව පළමු පරිගණක මවුසය

invention.si.edu
1964දි ලොව පළමු පරිගණක මවුසය නිර්මාණය කළේ ඩග්ලස් එංගල්බාට් විසින්. පහසුවෙන් භාවිත කළ හැකි හැඩයක් සහිතව මෙය නිර්මාණය කර තිබුණේ ලී වලින්. මෙහි එකම අක්ෂයක් ඔස්සේ චලනය වීමට ඉඩ ලබා දෙන එකිනෙකට ලම්භක දැති රෝද දෙකක් තිබෙනවා.
කවරයේ පින්තූරය – www.emaze.com
මූලාශ්‍ර:
- acidcow.com
- www.sportsknowhow.com
- www.cricketcountry.com
- www.ohiohistorycentral.org
- www.sportskeeda.com
- www.wikiwand.com
- www.otago.ac.nz
- pursuitist.com
- silodrome.com
- www.businessinsider.com
- www.earthlymission.com