Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විසි දෙහැවිරිදි ව සිටිය දී මියගිය ලොව උස ම මිනිසා

ලොව විවිධ ජාතීන්ගේ සාමාන්‍ය උසෙහි යම් යම් වෙනස්කම් තිබෙනවා. සමස්ථයක් ලෙස ගත් කල්හි යුරෝපියයන් ආසියාතිකයින්ට වඩා උසින් වැඩිවෙනවා.  ලොව සාමාන්‍ය උස වැඩි ම රට ලෙස වාර්තා වී ඇත්තේ නෙදර්ලන්තය යි. කෙසේ නමුත් එහි දී ද යමෙකු අඩි 7කට වඩා උසින් වැඩි වුවහොත් එය යම් කිසි දුර්ලභ අවස්ථාවක් ලෙස සලකනවා.

ලොව අඩි 8කට වඩා උසින් වැඩි පුද්ගලයින් වාර්තා වී ඇත්තේ ඉතා ම අතලොස්ස යි. එයිනුත් 20 වන සියවස මුල් භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ රොබර්ට් පර්ෂිං වොඩ්ලෝ විශේෂිත වන්නේ ඔහු අද වන තුරුත් ‘තහවුරු වූ සාක්ෂි සහිත ව’ ලොව වාර්තා වූ උස ම මිනිසා වන නිසා යි.

වොඩ්ලෝ පිළිබඳ හැඳින්වීම

1918 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලද රොබට් පර්ෂිං වොඩ්ලෝ සම්පූර්ණයෙන් වැඩුණු පසු අඩි 8 අඟල් 11ක් තරම් උස් වුණා. වෝඩ්ලෝ 1940 දී හදිසියේ මියයන විට පසුවූයේ විසි දෙහැවිරිදි ව යි.

වෝඩ්ලෝගේ සැබෑ උසට අනුරූප ව සාදන ලද අනුරුවක්- Lyle Scott/flickr.com

සාමාන්‍ය දරු උපතක්

1918 පෙබරවාරි මස 22 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ජීවත් වූ හැරල්ඩ් ෆ්‍රෑන්ක්ලින් වොඩ්ලෝට දාව ඔහුගේ 21 වියැති බිරිය වන ඇඩී වොඩ්ලෝට පුත්‍ර සම්පත්තියක් ලැබුණා. උපතින් නිරෝගී හා සාමාන්‍ය ප්‍රමාණයේ දරුවෙකු වූ ඔහුට රොබට් පර්ෂිං වොඩ්ලෝ යන නාමය තැබුණා.

උපත ලබා කෙටි කාලයක් ගත වන තුරු කිසිදු දරුවෙකුගෙන් නොවෙනස් ව රොබට් වැඩුණු අතර වයස මාස කිහිපයක සිට එක්වර ම ඔහුගේ වයසේ අනිත් දරුවන්ට වඩා වේගයෙන් රොබට් වැඩෙන්නට වුණා. මුල දී ඔහුගේ දෙමව්පියන් මෙහි අසාමාන්‍ය බවක් දුටුවේ නැහැ.

වයස 8 දී පියාටත් වඩා උසින් වැඩි වෙයි.

සිය පළමුවන උපන්දිනය සමරන විට රොබට් වොඩ්ලෝ අඩි 3 කුත් අඟල් 3.5ක් උස් ව සිටි අතර බරින් ද රාත්තල් 45ක් පමණ වුණා. මුල දී ඔහුගේ දෙමව්පියන්, අනෙක් දරුවන් අභිබවා සිය දරුවාගේ කර දඬු උස් මහත් වෙද්දී ඒ දෙස සතුටින් බලා සිටියා. නමුත් ඔහු අන් දරුවන් සමග සැසඳීමේ දී අසාමාන්‍ය ලෙස උස් ව පෙනෙන්නට වැඩි කල් ගත වූයේ නැහැ.

රොබට්ගේ දෙමව්පියන් ඔහු ව වෛද්‍ය පර්යේෂණයකට භාජනය කරන්නේ මේ අතර යි. එහි දී අනාවරණය වන්නේ ඔහුගේ පිටියුටරි ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයක් ඇති බව යි. එය නවත්වාලීමට සමත් තත්ත්වයක එකල වෛද්‍ය ප්‍රතිකාර නොතිබූ අතර උසින් වැඩීම හැර වෙනත් ආබාධ පෙනෙන්නට නොතිබූ හෙයින් රොබට්ට නිදහසේ වැඩෙන්නට හරින්නට ඔහුගේ දෙමව්පියන් තීරණය කරනවා.

රොබට් වොඩ්ලෝ පවුලේ උදවිය සමග- Screen grab/businessinsider.com

සිය 8 වැනි උපන්දිනය වන විට රොබට් ඔහුගේ පියාගේ උස අභිබවා යනවා. ඔහුගේ වයසේ අනෙක් දරුවන්ට ලබාදෙන මේස පුටු ඔහුට මදි වූ නිසා ඔහුට සරිලන වෙන ම ඒවා සපයන්නට ඔහු ඉගෙනගත් පාසලට සිදුවෙනවා.

තව තවත් වැඩෙයි

වයස අවුරුදු 10 පසු වූ විට ද රොබට්ගේ වැඩීමේ වේගයේ වෙනසක් වූවේ නැහැ. වයස අවුරුදු 13 වන විට ඔහු අඩි 7කුත් අඟල් 4ක් තරම් උස් වූ අතර එකල ලොව සිටි උස ම බාලදක්ෂයා බවට ද පත් වුණා.

රොබට්ගේ උසට හේතුව ජානමය එකක් නොවූ අතර පිටියුටරි ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා අසාමාන්‍ය ලෙස වර්ධක හෝමෝන ජනනය වීම මෙයට හේතු වුණා. මෙය උස මෙන්ම ශරීරයේ අනෙකුත් වර්ධනය වීම් වලට ද හේතු වන හෝමෝනයක් වුවත් වැඩිමනක් ම එය රොබට් හට ක්‍රියා කර තිබුණේ උසින් වැඩි වීමට යි.

සෞඛ්‍යමය ගැටළු සහිත ගැටවරයෙකු ලෙස

අසාමාන්‍ය ලෙස උසින් වැඩි වීම නිසා වැඩිවිය පැමිණීමත් සමග සෞඛ්‍ය ගැටලු රොබට් වොඩ්ලෝ කරා පැමිණෙන්නට පටන් ගත්තා. දිගින් ඉතා වැඩි පාද වල සංවේදනය ක්‍රම ක්‍රමයෙන් අඩු වූ අතර විශාල පතුලක් ද පිහිටීම නිසා ඇවිදීම ද ඔහුට අපහසු වුණා. මේ කාලයේ දී ඔහු උසින් අඩි 8 ද පසු කරනවා.

සාමාන්‍ය පාවහනක් සමග වොඩ්ලෝගේ පාවහනක් (දකුණේ)- historyrundown.com

නව යොවුන් තරුණයෙකු ලෙස ගිටාරය වාදනය කිරීමට හා ඡායාරූපකරණයට රොබට් කැමැත්තක් දැක්වූවා. කෙසේ නමුත් ඒ ද්විත්වයට ම ඔහුගේ දෑත් විශාලත්වයෙන් වැඩි බැව් අවබෝධ වීමත් සමග ඒවා අත්හැර දමන්නට ඔහුට සිදු වුණා. දිනෙන් දින ඇවිදීමට අපහසු වීමත් සමග රෝද පුටුවක් භාවිත කරන්නට ඔහුට වෛද්‍ය උපදෙස් ලැබුණු නමුත් සිත් දැඩි කරගත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ‘ජීවත් වන තුරාවට කෙසේ හෝ දෙපයින් සිටගෙන සිටිමි’යැ යි අධිෂ්ඨාන කරගෙන යි. කෙසේ නමුත් මේ වන විට සාමාන්‍යයෙන් විශාල දෙපතුලක් හිමි අයෙකුට මෙන් තුන් ගුණයක් පමණ විශාල පාවහන් පළඳින්නට ඔහුට සිදු වූ අතර බස්තමක් හෝ කිහිළිකරුවක් ආධාරයෙන් ඇවිදින්නට වුණා.

වෘත්තීමය ජීවිතය

1937 වන විට රොබට් වොඩ්ලෝ 19 වියැති යෞවනයෙකු ව සිටි අතර උසින් අඩි 8කුත් අඟල් 4ක් හෙවත් ලොව උස ම පුද්ගලයා වී සිටියා. රොගී බව මධ්‍යයේ වුව ද හැකිතාක් ක්‍රියාකාරී තරුණයෙක් ව සිටි රොබට් කලක් සර්කස් කණ්ඩායමකට සම්බන්ධ වී කටයුතු කළ අතර එහි දී තමන්ට ‘ආබාධිතයෙකු’ ලෙස සැලකීම නිසා ඉන් ඉවත් වූවා. කෙසේ නමුත් ඒ නිසා ඔහු රට පුරා ජනප්‍රියත්වයට පත් වුණා. 1938 දී ඔහු ව පාවහන් සමාගමක ප්‍රවර්ධන කටයුතු සඳහා බඳවාගැනෙන අතර ඉන් ඔහුගේ ආර්ථික තත්ත්වයත් සරු වෙනවා.

අවසාන කාලය හා දිවියෙන් සමුගැනීම

සිය දිවියේ අවසන් සමය වන විටත් රොබට් වොඩ්ලෝ උසින් වැඩෙමින් සිටියා. අවසාන වතාවට ඔහුගේ උස නිර්ණය කරනු ලැබුවේ ඔහුගේ මරණයට සති කිහිපයක් පමණක් ඉතිරි ව තිබිය දී යි. එහි දී ඔහුගේ උස දැක්වුණේ අඩි 8 කුත් අඟල් 11.1ක් ලෙස යි.

රොබට් වොඩ්ලෝගේ අවමංගල්‍යය- Steve Cox/ stltoday.com

1940 ජූලි මස මුල දී රොබට් වොඩ්ලෝ හදිසියේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ගිලන් වෙනවා. ඔහුට එම විෂබීජය ආසාදනය වී තිබුණේ සිටගෙන සිටීම සඳහා භාවිතා කළ ආධාරකයකිනුයි. බලවත් ආසාදනයක් වුව ද එය ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරාවියැ යි කිසිවෙකුත් සිතුවේ නැහැ. කෙසේ නමුත් 1940 ජූලි මස 15 වැනි දා නින්දේ දී ම රොබට් වොඩ්ලෝ මියැදෙනවා. ඔහු වෙනුවෙන් විශේෂිත මිනී පෙට්ටියකුත් නිෂ්පාදනය කරන්නට නෑදෑ හිතවතුන්ට සිදුවෙනවා.

රොබට් වොඩ්ලෝ මිය යන විට 22 හැවිරිදි ව සිටියත් ඒ වන විටත් ඔහුගේ වර්ධනය වීම නැවතී තිබුණේ නැහැ. තවත් ටික කාලයක් ජීවතුන් අතර සිටියා නම් අඩි 9ක් උස් වන බවට තහවුරු කරන ලද ලොව පළමු හා එකම පුද්ගලයා බවට පත් වීමට වොඩ්ලෝට හැකියාව තිබුණු බව විචාරක මතය යි.

කවරයේ පින්තූරය: Getty Images/New York Daily News Archive

මූලාශ්‍රයයන්:

Thevintagenews.com

Allthatsinteresting.com

thehumanmarvels.com

Related Articles