ලෝකයේ විවිධ විෂම පරිසර තුළ වෙනස් වෙනස් ආකාරයේ ජෛව පරිසර පද්ධති පිහිටා තිබේ. ඒවා දෘශ්‍යමය වශයෙන් අයස්කාන්ත මනරම් දර්ශන උපදවනසුලු වූවත්, එම පරිසර උපරිම කටුකත්වයෙන් මෙන් ම සෙසු ප්‍රදේශවලට සාපේක්ෂ ව නිසරු බවින් ද යුක්ත වේ. පරිසර පද්ධතියක් යනු කිසියම් පරිසරයක ජීවී හා අජීවී දේවල අන්තර් ක්‍රියාකාරිත්වයයි. කෙසේ වෙතත්, ජෛව පද්ධතියක් යනු පරිසර පද්ධතිවලින් සමන්විත නිශ්චිත භූගෝලීය ප්රදේශයකි. මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ මූලික වශයෙන් ගොඩබිමේ පවතින ටුන්ඩ්‍රා ජෛව පාරිසරක පද්ධතිය පිළිබඳ ව නිසා ටුන්ඩ්‍රා යනු කුමක්දැයි මුලින් ම විමසා බැලීම වැදගත් ය.
ටුන්ඩ්‍රා යනු කුමක්ද?
tundra යන පදය රුසියානු වචනයකි.එහි අර්ථය “උඩුබිම”හෙවත් “ගහ කොළ නැති කඳුකර මාර්ගය”යන්න යි. භූගෝල විද්‍යාවේ දී, ටුන්ඩ්‍රා යනු අවුරුද්දේ වැඩි කාලයක් අධික සීතල පවතින භූමි කලාපයකි. එම නිසා මෙය සතු ව ඇත්තේ කෙටි වර්ධන සමයක් නිසා කලාපයේ ශාක සරුවට, උස් ව බහුල වශයෙන් නොවැඩෙයි. සතුන් ඔවුන්ගේ පැවැත්ම සඳහා කටුක තත්ත්වයන් යටතේ විශේෂ අනුවර්තන ජීවිතයක් ගත කරයි. ටුන්ඩ්‍රා පද්ධති දෙකක් ලෝකයේ වර්ගීකරණයට බඳුන් ව ඇත.
1.ආක්ටික් ටුන්ඩ්‍රා ජෛව පරිසර පද්ධතිය
2.ඇල්පයින් ටුන්ඩ්‍රා ජෛව පරිසර පද්ධතිය
ටුන්ඩ්‍රා ජෛව පරිසර පද්ධතියේ ශාක සහ සත්තු
සීතල දේශගුණය සහ කෙටි වර්ධන සමය හේතුවෙන් ටුන්ඩ්‍රා හි බොහෝ වෘක්ෂලතාදිය වේ. වාමන විලෝ වැනි ටුන්ඩ්රාවල වැවෙන දැවමය ශාක සාපේක්ෂ වශයෙන් මිටි වන අතර, ඒවා බිම පුරා පැතිර ඇත. මෙම ජෛවගෝලයේ බහුල ව දක්නට ලැබෙන අධික සුළං වලට අනුවර්තනය වීමක් ලෙස එසේ සිදුව ඇත. දිගු ශීත ඍතුවේ දී මෙම ජෛවගෝලයේ ශාක ද නිද්‍රාශීලී වී බිමට නැඹුරු වේ.
කෙටි ගිම්හානයේ දී මෙම ජෛවගෝලයේ ශාක සාපේක්ෂ ව ඉහළ වර්ධන වේගයක් අත්කර ගනියි. කැරිබෝ, හිම වලසුන්, ආක්ටික් හිවලුන් සහ කස්තුරි ගවයන් වැනි විශාල ක්ෂීරපායින් බොහොමයක් මෙම ජෛවගෝලයේ දක්නට ලැබෙයි. විශාල ක්ෂීරපායින්ට ගොදුරු වන ලෙමන් හා ආක්ටික් හාවා වැනි කුඩා ක්ෂීරපායි වර්ග කිහිපයක් එහි සිටිති. ටුන්ඩ්‍රා ජෛව පරිසර පද්ධතිය වෙන ම සීතල සහ වියළි කලාප දෙකක් සාදයි. ආක්ටික් ටුන්ඩ්රාව ආක්ටික් කවයට ඉහළින්, ඇලස්කාව, කැනඩාව, රුසියාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්කැන්ඩිනේවියාව වැනි ඉහළ අක්ෂාංශ ගොඩබිම්වල හෝ ඇන්ටාක්ටිකාව වැනි ඈත දකුණු ප්‍රදේශවල දක්නට ලැබේ.
ඇල්පයින් ටුන්ඩ්රාව කඳු මුදුන්වල ඉතා ඉහළ උන්නතාංශයක පිහිටා ඇති අතර එහි රාත්‍රි උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටේ. තුන්ඩ්රා ප්‍රදේශවලට සාමාන්‍යයෙන් වාර්ෂිකව සෙන්ටිමීටර 25 (අඟල් 10) ට වඩා අඩු වර්ෂාපතනයක් පමණක් ලැබෙන නිසා මෙම ප්‍රදේශ කාන්තාර ලෙස ද සැලකේ. ඒවාට අධික සුළං සහිත දිගු, සීතල ශීත සෘතු සහ වසරේ මාස හයේ සිට දහය දක්වා හිමාංකයට වඩා අඩු සාමාන්‍ය උෂ්ණත්වයක් උරුම ව ඇත. සාමාන්‍යයෙන්, ශාක වර්ධනය සඳහා ප්‍රමාණවත් තරම් උණුසුම් උෂ්ණත්වයක් සහ දිගු දින ඇත්තේ වසරේ සති හයේ සිට දහය දක්වා පමණි.
ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ
ආක්ටික් ප්‍රදේශයේ පස බොහෝ දුරට නිත්‍ය හිම තුහින සහිත හෝ වසර පුරා ශීත තෙත් පසකි. ග්‍රීෂ්ම ඍතුවේ දී ශාක මුල් වර්ධනය සඳහා තුනී පස් තට්ටුවක් පමණක් ඉතිරි වේ. ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් තුන්ඩ්රා පසෙහි විරළ ය. මෙම තත්ත්වයන් ටුන්ඩ්‍රා බයෝමයේ වඩාත් ම වෙනස් ලක්ෂණවලට තුඩු දෙයි. ඒවා බොහෝ දුරට ගස් රහිත ය.
ඒ වෙනුවට, ටුන්ඩ්‍රා සතුව කුඩා පඳුරු, තෘණ, පාසි, අතු සහ ලයිකනවලින් සමන්විත කුඩා, පහත් බිම් සහිත වෘක්ෂලතාදිය ඇත. ටුන්ඩ්රාවල සතුන් ද ආන්තික තත්වයන්ට අනුවර්තනය වී ඇත.
ආක්ටික් තුන්ඩ්රාව ආක්ටික් කවයට උතුරින් ධ්‍රැවීය අයිස් තට්ටුව දක්වා වූ භූමි ප්‍රමාණයක් ආවරණය කරයි. එය කැනඩාවේ හඩ්සන් බොක්ක ප්‍රදේශයේ සිට සහ අයිස්ලන්තයේ උතුරු කොටස දක්වා දකුණට ළඟා වේ. එය ආසන්න වශයෙන් කිලෝමීටර මිලියන 11.5 ක් පමණ වෙයි. කඳුකරයේ, ඇන්ටාක්ටිකාවේ සහ අවට ඇන්ටාක්ටික් දූපත්වල දක්නට ලැබෙන ඇන්ටාක්ටික් ටුන්ඩ්‍රා ල දක්නට ලැබෙන ඇල්පයින් ටුන්ඩ්‍රා ද ඇත.
උතුරු අමෙරිකාව, උතුරු ඇලස්කාව, කැනඩාව, ග්‍රීන්ලන්තය, උතුරු යුරෝපය – ස්කැන්ඩිනේවියාව, උතුරු ආසියාව, සයිබීරියාව වැනි ප්‍රදේශවල ඇන්ටාක්ටික් ටුන්ඩ්‍රා පද්ධතීන් පිහිටා ඇත. උතුරු අමෙරිකාව, ඇලස්කාව, කැනඩාව, එක්සත් ජනපදය, සහ මෙක්සිකෝව, උතුරු යුරෝපය,ෆින්ලන්තය, නෝර්වේ, රුසියාව සහ ස්වීඩනය,ආසියාව – දකුණු ආසියාව (හිමාලයානු කඳු), සහ ජපානය (ෆුජි කන්ද), අප්‍රිකාව – කිලිමන්ජාරෝ කන්ද, දකුණු අමෙරිකාව – ඇන්ඩීස් කඳු,ඇල්පයින් තුන්ඩ්රාවට ඇතුළත් ය.
ටුන්ඩ්‍රා ජෛව කලාපයේ දේශගුණික විපර්යාස බලපෑම
ආක්ටික් ටුන්ඩ්‍රා ජෛව කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 34 සිට ඍණ 6 දක්වා (ෆැරන්හයිට් අංශක -30 සිට 20 දක්වා) ය. එහි සත්ත්ව විශේෂ වශයෙන් ආක්ටික් හිවලුන්, හිම වලසුන්, අළු වෘකයන් ඇතුළු විවිධ සත්ව විශේෂ ජීවත්වෙති. කඳුකර එළුවන්, බැටළුවන්, මාමොට් සහ කුරුල්ලන් කඳු ආශ්රිත ඇල්පයින් ටුන්ඩ්රාවල ජීවත් වන අතර එම පරිසරය පහත් බිම්වල ඇති ශාක හා කෘමීන් පෝෂණය කරයි.
දැඩි වෘක්ෂලතා කඳුකර කලාපවල වැඩෙන්නේ පාෂාණ අවපාතවල ය. එය උණුසුම් වන අතර ඒවා සුළඟින් ආරක්ෂා වේ. ටුන්ඩ්‍රා හි කටුක තත්වයන් තුළ ජීවත් වන ශාක හා සත්ව විශේෂ ස්වල්පයක් පමණක් එහි ජීවිතය පවත්වා ගනියි. හිම ආවරණය අඩු වීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන උණුසුම් උෂ්ණත්වය වැනි පාරිසරික තත්ත්ව තුළ ඔවුන් ඉතා අවදානමකට ලක් වේ. ආක්ටික් ටුන්ඩ්රාවල නිත්‍ය හිම තුහින, උණුසුම් ගෝලීය දේශගුණය සමඟ පිරිහෙමින් පවතී. ගෝලීය උණුසුම ඉහළ යාම නිත්‍ය හිම තුහින දිය වී යාම පිණීස ඍජු ව ම දායක වෙයි.
ටුන්ඩ්‍රා ජෛව කලාපය සමඟ මිනිස් සබඳතා
පෘථිවියේ ටුන්ඩ්‍රා ජෛව කලාපය කටුක බවින් සහ සෙසු ලෝකයා සමඟ සම්බන්ධතා අතින් දුරස්ථ බැවින් අනෙකුත් පරිසරවලට වඩා එහි පදිංචි වී සිටින්නේ අඩු මිනිසුන් ප්රමාණයකි. එසේ ජීවත්වන මිනිස් වර්ගයා අතිශය සීතල, දැඩි හිමපතනය සහ ගස්කොළන් රහිත කාන්තාර වැනි හුදෙකලා භූමියක ඔවුන්ට ම ආවේණික ජීවන රටාවක වසති. කෙසේ වෙතත්, මිනිසුන්ට ටුන්ඩ්‍රා තුළ දිගු ජීවන ඉතිහාසයක් ඇත. වසර 20,000 කට පෙර ආසියාවේ සිට උතුරු අමෙරිකාවට පැමිණි පළමු පිරිස් මහාද්වීප දෙකෙහි ම විශාල ටුන්ඩ්‍රා හරහා ගමන් කළහ. එතැන් සිට ටුන්ඩ්‍රා පරිසර පද්ධතිවල මානව ක්‍රියාකාරකම් වැඩි වී ඇත.
මෙම ක්‍රියාකාරකම් පරිසරය දූෂණය කර ඇති අතර ටුන්ඩ්‍රා පරිසර පද්ධතිවල වන සතුන්ට තර්ජනයක් වී ඇත. පරිසර විද්‍යාඥයන් කනස්සල්ලට පත් ව සිටින්නේ, මෙම ක්‍රියාකාරකම්වල අඛණ්ඩ ව්‍යාප්තිය, ඕසෝන් ස්ථරය ක්ෂය කරන වායු දූෂක සහ දේශගුණික විපර්යාස වේගවත් කරන හරිතාගාර වායූන් මුදා හැරීමත් සමඟ ආක්ටික් සහ ඇල්පයින් ටුන්ඩ්‍රා පරිසර පද්ධතිවල අඛණ්ඩතාවට සහ තිරසාරභාවයට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බව යි. අයිස් කඳු දියවීම, පසෙහි ඇති කාබන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වායුගෝලයට වාෂ්ප වීම සහ දේශගුණික විපර්යාස සිදු වීම නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ටුන්ඩ්‍රා විශේෂවලට විශාල තර්ජනයක් වී ඇත.
ඛණිජ තෙල් සහ ගෑස් කැණීම
ආක්ටික් ප්‍රදේශය තුළ ලොව විශාලත ම ගෑස් සංචිත සහ එහි විශාලත ම තෙල් සංචිත පවතින බවට ඇස්තමේන්තු කර ඇත. මෙම සංචිතවලට මිනිසා මහා පරිමාණයෙන් අවතීර්ණ වුවහොත් ගෝලීය දේශගුණයට සහ ආක්ටික් පරිසරයට සුවිශාල බලපෑම් ඇතිකරවනු ඇත. තෙල් කාන්දුවීම්, පිපිරීම්, නළ කාන්දුවීම් හෝ නැව් අනතුරු ආක්ටික් පරිසර පද්ධතිවලට දැවැන්ත අවදානමක් ගෙන දේ. කාන්දු පිරිසුදු කිරීම කළ නොහැක්කකි. අයිස් සහිත ජලයේ තෙල් කාන්දුවක් පිරිසුදු කිරීම සඳහා නිශ්චිත ව අත්හදා බලා සම්මත කර ගත් ක්‍රමයක් තවමත් නොමැත. මෙය ටුන්ඩ්‍රා ආශ්රිත සමුද්‍ර පරිසර පද්ධතිවලට ද එකසේ තර්ජනයක් එල්ල කරයි.