වල්ඩෝර්ෆ් නිදහස් අධ්‍යාපනය සහ අපේ අධ්‍යාපනය

1919 දී ජර්මනියේදී රුඩොල්ෆ් ස්ටයිනර් විසින් පටන් ගන්නට යෙදුන වල්ඩෝර්ෆ් අධ්‍යාපන ක්‍රමය මේ වන විට ලෝකයේ රටවල් 65ක පාසැල් 1080ක ක්‍රියාත්මක වන වැඩසටහනක්. නිදහස්  ක්‍රියාශීලි පුද්ගලයෙක් බිහිකරන ප්‍රායෝගික වැඩපිලිවෙලක් සහිත මෙම වල්ඩෝර්ෆ් ක්‍රමය වර්ථමානයේ ඇමරිකාවේ ගූගල්, මයික්‍රොසොෆ්ට් ආදී ආයතන වල සේවයේ නිතර දෙමාපියන් සිය දරුවන් සඳහා වැඩියෙන්ම යොදාගන්න අධ්‍යාපන මාදිලියක් වෙලා. සාමාන්‍යයෙන් යුරෝපයේ බොහෝ රටවල අධ්‍යාපනය කියන්නේ දරුවන්ගේ මනස සහ විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් කරන දරුවා දැනුමින් වගේම මනසින් ශක්තිමත් පුද්ගලයකු කරන මෙවලමක්. යුරෝපා රටවලදි දරුවා වැඩිහිටියෙක් බවට පත්වනවිට සමාජීය හැසිරීම් කුශලතා, නිර්මාණශීලි හැකියාව, බුද්ධිමය හැකියාව පුළුල් දැක්මක් සහිත අයෙකු කිරීම අාදී ඉලක්ක ගනනාවකට නිසි ලෙස ප්‍රායෝගිකවම මෙහෙවලා තිබෙනවා.

ලංකාවේ අධ්‍යාපනයට අදාල විශය නිර්දේශ ඉලක්ක වල මේ ආදී ළමයාගේ මනස මූලික සමාජයට වැඩදායි ළමයෙක් බිහිකරන අධ්‍යාපනයක් ගැන දාර්ශනික මත ලියවිලා තිබෙනවා. නමුත් ප්‍රායෝගික භාවිතය ගතහොත් බොහෝවිට තවමත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ අතීතයේ සුදු ජාතිකයින් ස්වදේශිකයින් වෙනුවෙන් දායාද කල ක්‍රමයේ නශ්ඨාවශේෂ සහිත පැරණි මාදිලියේ අධ්‍යාපනික රාමුවක්.  ටියුෂන්, විභාග, ඇගයීම්, වලින් සමන්විත ඉලක්ක හඹා යන්නට ලාංකික සිසුන්ට නිරන්තරයෙන් සිදු වෙනවා.

අප සිසුන්ගේ දිශාවෙන් මේ වල්ඩෝෆ්  නැමැති යුරෝපීය ක්‍රමය සහ අපේ රටේ ක්‍රමය අතර වෙනස පොඩ්ඩක් සලකා බලමු.

(berlin-enjoy.com)

(berlin-enjoy.com)

ප්‍රාථමික පන්ති වලදී දරුවන්ට සමාජය ගැන කියාදීම

ලංකාවේ දරුවන් සිටින ගෙදරකට කෑම කන වෙලාවකදි ගොඩ වුනොත් ලොකු කුඩා ලමයින්ට කෑම කැවීමට පොරකන දෙමාපියන් සහ වැඩිහිටියන් ඔබට දැකගන්නට ලේසියෙන්ම පුලුවන්. ඒ වගේම ලංකාවේදී ආහාර සහ ඒවායේ පවතින පෝශ්‍යගුනය ගැන සැලකිලිමත් වීම අඩුයි. යුරෝපීය රටවල 1-2 වසරවලදී දරුවන්ට තනිව ආහාර ගන්නට පුරුදු පුහුනු කරනවා. එසේම ආහාර සකසාගන්නට ප්‍රායෝගික දැනුම සහ එක් එක් ආහාරවල අඩංගු පෝශ්‍ය පදාර්ථ ගැන සරල දැනුමක් දරුවාට ලබා දෙනවා.

බොහෝවිට ඒ පාසැල වල දරුවන් විනීතව ආහාර ගන්නට කුඩා කලදීම හුරුවන අතර පෝශ්‍ය ගුණය අනුව ආහාර ලබාගන්නටත් යම් හුරුවක් කුඩාකලදීම ඇතිකරගන්නවා. කෑම පමණක් නොවෙයි, පොදු ස්ථාන භාවිතා කිරීම, අනික් මිතුරන් සහ කන්ඩායම ගැන අවධානයෙන් සිටීම, බස් දුම්රිය ආදියේ ගමන් කිරීම වගේ සමාජානුයෝජනයේදී දරුවන්ට අවශ්‍ය කුශලතා කුඩා පන්තිවලදීම දරුවන්ට කියාදෙන්නට ඒ පාසල් වලින් උත්සාහ ගන්නවා.

කලාවට තැන

අපේ රටේ නම් මියුසික් හෝ ඩාන්සින් චිත්‍ර කරන දරුවෙක්ට ඒ ගැන හොද කුශලතාවයක් පාසැල හරහා ලබාගන්නට ලැබෙන්නේ බොහෝ ප්‍රමාද වෙලා. ප්‍රාථමික පන්ති වල සිටම කලාවට නැඹුරු කර සංගීත භාන්ඩ වාදනය නර්ථනය ඉගැනීම ආදී බොහෝ කාරණා යුරෝපා සිසුන්ට මුල සිටම ඔවුන්ව යොමු කරනවා. මෙහිදී සිද්ද වෙන්නේ ඔවුන්ගේ සිලබස් වලට කලා විශයන් ඇතුලත් කිරීම නොවෙයි..ගුරුවරුන් ඒ සිසුන් දක්ශ කලා කුශලතාවන් දියුනු කරගන්නට ඔවුනට මග පෙන්වනවා. එසේ නොමැතිව දරුවන් අකමැති කලා විශය ධාරා ඔවුනට හදාරන්නට බලෙන් යොමු කිරීමක් දකින්නට අඩුයි.

(prweb.com)

(prweb.com)

ක්රීඩා හා වෙනත් කටයුතු

වඩු වැඩ, ලී වැඩ, වගා කිරීම, ඉවුම් පිහුම් ආදිය ලංකාවේදී සලකන්නේ බොහෝ පැරණි විශයයන් විදියට. නමුත් වල්ඩෝෆ් ක්‍රමයේදී දරුවන් සවකීය හැකියාවන් භාවිතයෙන් ලී කැටයම්, වගාවන්, ඉවුම් පිහුම් ආදිය සාර්ථකව සිදු කිරීමට යොමු කරනවා. ඒ වගේම මානසිකව දරුවා යමක් ඉගැනීමට නම් ශාරීරිකවද ඔහුගේ යෝග්‍යතාවය වැදගත් බව නවතම සමාජ/මනෝ විද්‍යා මූලධර්ම වලින් සොයාගෙන තිබෙනවා. ඒ නිසා තෝරාගත් සිසුන් පමණක් නොව සියලුම සිසුන් ක්‍රීඩා වලට යොමු කිරීමක් වල්ඩෝෆ් සහ යුරෝපීය අධ්‍යාපනය තුල සිදු වෙනවා.

විභාග බිය සහ එලවීම

ඉහත සඳහන් කල ක්‍රීඩා, හසුරු කුශලතා, කලා කටයුතු දියුනු කරද්දී එම අධයාපන ක්‍රමයේදී සෑම අවස්ථාවකදීම දරුවන්ගේ දැනුම මැන බලන්නට ඔවුන්යොමුවන්නේ නෑ. එමනිසා විභාග ගැන විශාල බයක් වල්ඩෝෆ් අධ්‍යාපනය හදාරන සිසුන්ට නෑ. ඔවුන් මුලසිටම හුරුකරන්නේ ඉගැනීමට ආශා හිතෙන විදියට.

ඉන් පසුව කලා කටයුතු කෘෂිකර්මය, ඉවුම් පිහුම් ක්‍රීඩා ආදී බොහෝ දේ ඔවුන් කරන්නේ විභාගයට ඇති බියක් නිසා නෙ‍ාවෙයි. එය ඉගැනීම කල යුතු නිසා වෙන්. සරලවම හිතුවොත් ඔබ මොන්ටිසෝරි ගිය සමයේදී හඩනගා ගීත ගායනය කරන්නේ ගුරුතුමිය කියන නිසාම නෙමෙයි එය ඔබටත් විනෝදයක්. වැඩිහිටි වූ පසු ඔබ කැමති ක්‍රීඩාවක් පුහුනු වන අවස්ථාවකදී හෝ සරල ඡායාරූපයක් සකස් කරගැනීමේදී ඔබ එය කරන්නේ විභාගයකට මුහුන දීමට නෙමෙයි. එය කරන්නේ ඔබේ අභ්‍යන්තර මෙහෙවීමක් නිසා. මෙහිදී ඇතැම් විට අපිට සිතාගන්නටත් නොහැකි වුවත් යථාර්තය නම් ඒ රටවල සිසුන් බොහෝ විට ටියුෂන් අමතර පන්ති වලට යන්නේ නෑ. ඒ වගේම පාසැල් වෙලාවට පසුව සිසුන්ට ක්‍රියාකාරීව පාසැලේ ගත කිරීමට පැය කිහිපයක් ඇති මුත් ‍එයිනුත් පසුව පාසැලේ දී ගෙදර ගොස් කිරීමට ගෙදර වැඩ ළමුන්ට ලැබෙන්නේම නැති තරම්.

(chicagowaldorf.org)

(chicagowaldorf.org)

නිර්මාණශීලිත්වය සහ බුද්ධිමය කුශලතා වැඩිදියුනු කිරීම

නිසරු පොලවක යමක් වගාකිරීමට අපහසුයි. එමනිසා අපි නිසරු පස මුලින් සරු කිරීමට අවශ්‍යයි. යුරෝපා අධ්‍යාපන ක්‍රම සකස් වී තිබෙන්නේම මුලින් දරුවාගේ නිර්මාණශීලිත්වය සැඟවුනු දක්ෂතාවයන් ආදිය ඔප මට්ටම් කරගන්න. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේම දරුවාට ලැබෙන්නේ නිර්මාණශිලිත්වය ස්වකීය හැකියාවන් වැඩිදියුනු කරන සරල ක්‍රියාකාරකම්. ඉන් පසුව ඔවුන් ඉගෙන ගන්නා දෙවනි පෙල (අවු7-14) මට්ටමට පැමිණි කල දරුවන් වඩාත් ඉක්මනින් ඉගෙනගන්නා දරුවන් බවට නිරායාසයෙන්ම පත්වෙනවා.

වල්ඩෝර්ෆ් අධ්‍යාපන ක්‍රමයේදී දරුවන්ට ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය කුඩා පංතිවලදී අනුමත කරන්නේ නෑ. දෙමාපියන්ටත් පාසැලෙන් බොහෝවිට උපදෙස් දෙන්නේ රූපවාහිනිය ජංගම දුරකථන ලැප්ටොප් ආදිය දරුවාගෙන් ඈත්ව තබාගන්නා ලෙස. මධ්‍ය මට්ටමට සහ උසස් පාඨශාලීය මට්ටමට පැමිණි පසු ඔවුන්ට ලැප්ටොප් සහ තාක්ෂණය ඉගෙනගන්නට එයින් වැඩගන්නට අවස්ථාව  ලැබෙනවා. නමුත් කුඩාකලදී දරුවන්ගේ මනසේ පවතින ඉමක් සිතී‍මේ ඉඩකඩ අහුරන ඇබ්බැහියක් විදියට තමයි ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික රූපවාහිනී මාධ්‍යයන් වල්ඩෝෆ් ක්‍රමයේදී දකින්නේ.

භාෂා හැකියාව වර්ධනය සහ ආගම ජාතිය අඩුවෙන් ඉගැන්වීම

වල්ඩෝර්ෆ් ක්‍රමයේදී වගේම යුරෝපීය බොහෝ ක්‍රමවලදී දරුවන්ට ආගම උගන්වන්නේ නෑ. ඔවුන්ට ඒ වෙනුවට විශාල ආගම් ගනනාවක දාර්ශනික‍ කොටස් ගැන බොහෝවිට ඉගෙනගන්නට ලැබෙනවා. යුරෝපයේ පවා සියල්ලෝ ඉංග්‍රීසි කතා කල හැකි අය නෙමෙයි. එම නිසා බොහෝ රටවලදී අඩුතරමේ සිය යාබද රටවල බාෂා දෙකක් වත් ඉගෙන ගැනීමට දරුවන් යොමු කරනවා. ඇතැම් විට ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂාවකින්ද දරුවන් සන්නද්ධ කරන්නට පාසැල් වග බලාගන්නවා. අවසානයේ දරුවා සිය බසද සමගින් භාෂා 3-4ක නිපුන පුද්ගලයෙක් ලෙස තමයි බොහෝවිට පාසලෙන් එලියට එන්නේ.

මේ මගින් අනෙක් බස කතාකරන අයගේ සිතුම් පැතුම් අවබෝධ කරගන්නට හැකිවීම, විවිධ බසින් ලියැවුනු කියවුනු පොත් පත් භාවිත කිරීමට හැකිවීම සහ භාෂා කිහිපයකින්ම දක්ෂ සන්නිවේදකයකු වීමට හැකිවීම දරුවාට ලැබෙන මහාර්ඝ දායාදයන් වනවා. ඇතැම් විට ලංකාව ඉන්දියාව වැනි රටවල දක්ෂයින් බිහිවුනත් ඔවුනට සිය දක්ෂතා ලෝකය කරා ගෙනයෑමට භාෂා සහ සන්නිවේදන කුශලතා මඳ බව හේතුවක් වනවා. අපේ රටේ නම් බොහෝවිට පාසැලෙන් එලියට එන සිසුන් ආසන්නතම බස වන දෙමල බස සිංහල බස වත් බොහෝවිට වචන කිහිපයකට වඩා හසුරුවන්නට දන්නේ නෑ.

ඕව කරල දරුවොන්ට ගනන් පුලුවන් වෙයිද?

“ඔය වගේ නැටුං නටල දරුවොන්ට උගන්වන්න පුලුවනෑ” සත්‍ය වශයෙන්ම මෙවැනි දරුවා මූලික ක්‍රියාකාරකම් අවසානයේ කලාවට ලැදි ක්‍රීඩාවට දක්ෂ ලමයි ඇතිවුවත් විශය දැනුමට කුමක් වේදැයි බොහෝදෙනාට ඇත්තේ ගැටළුවක්. නමුත් වල්ඩෝෆ් ක්‍රමයේදී ගණිතය විද්‍යාව භූගෝලය උගන්වන්නට ‍ගන්නේ දරුවාට වයස 12-13 වනවිට වුවත් පෑ 1.5-2 දීර්ඝ කාලච්‍චේද සහිත නවීන උගැන්වීමේ ක්‍රමවේද නිසා දරුවන් ගණිතයට සහ විද්‍යා විශයන්ට දක්ෂයින් බවට පත් වෙනවා. දරුවන්ගේ ගණිතය සහ විද්‍යාව දැනුම මැන බලන අන්තර්ජාතික පරීක්ෂණ වලදී වල්ඩෝෆ් පාසැල් දරුවන් සාමාන්‍ය පැරණී ක්‍රමයේ පාසැල් දරුවන්ට වඩා දක්ෂතා පෙන්වන බවක්ද සඳහන් වෙනවා.

මෙය සැබැවින්ම බොහෝ කලක් කටපාඩම් විභාග අධ්‍යාපනයටත් ටියුෂන් දෙවිදේවතාවුන්ට හුරුවුනු අපිට තරමක් වෙනස් අත්දැකීමක්. එමනිසා ඇතැම්විට ඉතාලිය වැනිරටවලට සේවයට යන අය සිය දරුවන් එහි සිට ලංකාවට එවන්නේ ලංකාවේ අධ්‍යාපනය ඔවුන්ට ලබා දෙන්නට. නමුත් වර්ථමානයේ මේ තරඟය නිසාම සිය දරුවන්ට මුහුන දෙන්නට වන කළකිරීම් සහිත බලුපොරය දකින ඇතැම් දැනුමෙන් ‍පොහොසත් දෙමාපියන් සිය දරුවන් යුරෝපීය අධ්‍යාපන ක්‍රම වලට විශාල මුදලක් වියදම් කර හෝ යොමුකරන්නට උත්සාහ ගන්නවා.

ඇතැම් විට බැලූ බැල්මට සුදුපාට නිල ඇඳුම් වලින් තොරව, දැඩි විනය නීති වලින් තෙරපීමක් නැතුව, නිදහසේ නැටුං ගැයුම්, ක්‍රීඩා වලින් කෙලෙිදෙලෙන් ගතකරන සිසුන් සපිරි යුරොපා අධ්‍යාපන ක්‍රම අපේ එහේ වැඩකරන අයට විහිළුවක් විදියට පේනවා ඇති. ඒත් විෂ්‍ය දැනුමින් විතරක් පිරුනු ඇවිදින මතක ගබඩාවකට වඩා ඉදිරියට යන ලෝකයේ සමාජය සමග ඉදිරියෙන්ම යන පුද්ගලයෙක් ඒ අධ්‍යාපන ක්‍රමවලින් එලියට එනවා ඇති.

මීට වසර සියයකට පමණ පෙර අපට ආසන්න ඉන්දියාවේ බංගලිදේශ සීමාවේ සිටි ලෝ ප්‍රකට විද්වතෙක් අධ්‍යාපනය යනු නිදහස් වටපිටාවක දරුවාගේ මනස සංවේදීව දියුනු කරන ක්‍රමවේදයක් විය යුතුයි කියලා විශ්වාස කරමින් සිටියා. ඔහු තමයි ආසියාවේ ‍පළමු නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභි රබීන්ද්‍රනාත් තාගෝර්.

තාගෝර් වරක් පැවසුවා “අප සිසුන් මහපොළවෙන් උගුල්වලා ඔවුන්ට භූගෝලය උගන්වන්නට යනවා. එසේම ව්‍යවහාර භාෂාවෙන් දරුවා ගලවලා ඔහුට වියරණ උගන්වන්නට යනවා “ කියලා.

ශාන්තිනිකේතන ශ්‍රී නිකේතන හරහා එක් ආගමක් මූළික කොට නොගත් සාහිත්‍යය, කලාව, විද්‍යාව  නවීන තාක්ෂණය භාෂාවන් ඇතුලත් නවීන අධ්‍යාපනික ක්‍රමයක් දකුනු ආසියාවේද ඇතිකරන්නට තාගෝර් මූලිකත්වය ගත්තා.

ලෝකය දියුනු වෙද්දී දියුනු වන්නේ උපකරණ පමණක් නොවෙයි. ක්‍රමවේදත් ඒහා සමානව දියුනු වෙනවා. වඩාත් කරදරකාරී දරුවන්ට වද දෙන ඉපැරණි යල් පැනගිය ක්‍රමවේද වෙනුවට නවීන ක්‍රමයේ අධ්‍යාපනයක් අපේ දරුවන්ටත් අවශයයි. ඒ සඳහා ඔබේ අවධානය යොමු වේවි කියලා අපි කල්පනා කරනවා. මේ ගැන ඔබේ පක්ෂ විපක්ෂ අදහස් තිබෙනවා නම් කමෙන්ට් එකක් විදියට ලිපියට එකතු කරලා යන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: journey2waldorf.blogspot.com

 

Related Articles

Exit mobile version