Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“නිශ්ශබ්ද මිනීමරුවා”- අධික රුධිර පීඩනය (පළමු කොටස)

අධික රුධිර පීඩනය යනු?

හෘදය නමැති ස්වභාවික පොම්පය මඟින් රුධිරය රුධිර නාල තුළට තල්ලු කිරීමේදී රුධිර නාල මත ඇති කරන පීඩනය ‘අධික රුධිර පීඩනය’ ලෙසින් හඳුනාගත හැකියි. එනම් රුධිර පීඩනය අධික නම් එයින් අදහස් වන්නේ හෘදයට ලැබෙන ආතතිය වැඩි බවයි.

රෝග ලක්ෂණ

බොහෝ විට ‘අධික රුධිර පීඩනය’ රෝග ලක්ෂණ වලින් තොර වූවක්. මේ නිසා බොහෝ දෙනෙක් අධික රුධිර පීඩනයෙන් පෙලුනත්, ඒ බව නොදැන සිටී. සමහර විට රෝගියෙක් අධික රුධිර පීඩනය ඇතිව, නමුත් ඒ පිළිබඳව නොදැන වසර 10ක් 15ක් පමණ කාලයක් වුව ද සිටින්නට පුළුවන්. මේ නිසාමයි මෙය ‘නිශ්ශබ්ද මිනීමරුවා (Silent Killer)’ නමැති අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන්නේ.

බොහෝ විටෙක වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත ගිය විටෙක දී, රුධිර පීඩනය මැන බැලුවහොත් අධික රුධිර පීඩනය සහිත රෝගීන් හමු වේ. එසේ නොමැතිව අධික රුධිර පීඩනය ඇති විටෙක දී විශේෂ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි.

මේ නිසා අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නේ යයි සොයා ගැනීමට නම් රුධිර පීඩනය මැන බැලිය යුතුයි. ඔබ වයස අවුරුදු 40ට වැඩි නම්, අනිවාර්යයෙන් වසරකට වරක්වත් තම රුධිර පීඩනය පරික්ෂා කර බැලිය යුතුයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියෙක් නම් අවම වශයෙන් මසකට වරක්වත් රුධිර පීඩනය පරික්ෂා කරවාගත යුතු වේ.

අධික රුධිර පීඩනයට විශේෂ වූ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත්, සාමාන්‍ය  රෝග ලක්ෂණ නැතුවාම නොවේ.

හිසරදය

food.ndtv.com

රුධිර පීඩනය ඉහළ ගිය විටෙකදී ඉතා කලාතුරකින් මේ තත්ත්වය ඇති විය හැකි අතර හිසේ මද රිදීමක් හෝ ගෙල හා හිස පිටුපසින් දරුණු වේදනාවක් ලෙසින් ඇති විය හැකියි.

කරකැවිල්ල

මේ තත්ත්වයේදී අවට පරිසරය කරකවෙන්නාක් මෙන් දැනීම වැනි ලක්ෂණ දැක ගත හැකි වේ.

පීඩාව

කම්මැලි ගතිය හා අලස බවෙන් යුතුව සිටීම මෙහි ලක්ෂණයන් වේ.

පෙනීම අඩු වීම

ඇස් වල පෙනීම අඩු වීම හා පෙනීම බොඳ වීම මෙහි රෝග ලක්ෂණයන් වේ.

මීට අමතරව අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ අවයව හානි වීමක් හෝ දුර්වල වීමක් ද දැකගත හැකි වේ. මූලික වශයෙන්,

  • හෘදයාබාධ
  • හෘදය අකර්මන්‍ය වීම
  • වකුගඩු අකර්මන්‍ය වීම
  • අංශභාගය
  • ශරීරයේ කිරීටක නොවන අනෙකුත් ධමනි හීනි වීම

දැකගත හැකි වේ.

අධික රුධිර පීඩනයට හේතු

අධික රුධිර පීඩන තත්ත්වය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් හඳුනාගත හැකි වේ. එසේ බෙදා වෙන් කරන්නේ සමහර අධික රුධිර පීඩන රෝගීන්ට රෝගය සඳහා විශේෂ හේතු කාරණා නොතිබීමත්, සමහර අධික රුධිර පීඩන රෝගීන්ට රෝගය සඳහා විශේෂිත හේතු කාරණා තිබීමත් මතය. ඒ අනුව මෙය,

  1. Primary or Essential Hypertension
  2. Secondary Hypertension

වශයෙන් බෙදා දක්වයි.

Primary or Essential Hypertension හිදී අධික රුධිර පීඩන රෝගීන්ගේ රෝගය සඳහා විශේෂිත හේතුකාරක සොයාගත නොහැකි වේ. 90%ක් පමණ අධික රුධිර පීඩන රෝගීන් මේ ගණයට අයත් වේ. නමුත් 5% ක් 10% පමණ වන Secondary Hypertension තත්ත්වයේ සිටින රෝගීන්ගේ අධික රුධිර පීඩන තත්ත්වයට හේතු සාධක පවතී. මෙසේ ඇතිවන සමහර හේතු නම්,

  • අධිවෘක්ක ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ගෙඩි
  • වකුගඩු ආශ්‍රිත ආබාධ
  • පිටියුටරි ග්‍රන්ථියේ සහ අධිවෘක්ක ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන හෝර්මෝන වල දැඩි ක්‍රියාකාරිත්වය
  • පවුල් සැලසුම් සඳහා ගන්නා එන්නත් සහ පෙති
  • අධික මත්පැන් භාවිතය
  • තයිරොයිඩ් ග්‍රන්ථි ඌණතාව

රුධිර පීඩන රෝගීන්ගෙන් 90% ක් පමණ වන Primary or Essential Hypertension තත්ත්වයට විශේෂිත හේතු නොමැති වුවත්, වක්‍රාකාර හේතු කිහිපයක් හඳුනාගෙන ඇත. මෙය ද ආකාර දෙකකි.

 

  • වෙනස් කළ නොහැකි සාධක (Non-modifiable Factors)
  • වයස

 

වයස්ගත වීමේදී පුද්ගලයෙකුට අධික රුධිර පීඩන තත්ත්වය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින අතර මෙය වයස්ගත වීමේදී සිදුවන රුධිර නාල ඝන වීම නිසා සිදු වේ.

 

  • පරම්පරානුගත

 

පවුලේ කෙනෙකුට අධික රුධිර පීඩන තත්ත්වය පවතින්නේ නම්, පවුලේ අනෙක් අයට ද මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතී.

 

  • වෙනස් කළ හැකි සාධක (Modifiable Factors)
  • මානසික ආතතිය

 

health.usnews.com

නිතර මානසික ආතතියට බඳුන් වීම අධික රුධිර පීඩනය ඇති කරයි. ඒ හේතුවෙන් හැකි සෑම විටෙකම මානසික ආතතියෙන් මිදීමට උත්සහ ගත යුතු අතර සංගීතයට සවන් දීම ආදී ක්‍රියා තුළින් මානසික ආතතිය සංසිඳුවා ගත හැකි වේ.

 

  • අධික තරබාරුව

 

ස්ථුලතාවට ප්‍රධාන හේතුව පමණ ඉක්මවා ආහාර අනුභවයයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තරබාරු යයි සලකන්නේ නියමිත උස හා වයසට අනුව තිබිය යුතු බරට වඩා 30% බර ප්‍රමාණයකින් ශරීර බර ඉහළ ගිය විටයි. සෑම කිලෝග්‍රෑම් 10 කටම රුධිර පීඩනය රසදිය මිලි මීටර 3කින් ඉහළ යන බව සොයාගෙන ඇත. ඒ අනුව ශරීර බර අඩු කරගත් සැනින් රුධිර පීඩනය ද අඩු වේ.

 

  • දුම්පානය

 

health.com

දුම්පානය අධික රුධිර පීඩනයට සෘජුවම බලපායි. දුම් වල ඇති නිකොටින් රුධිරයට උරාගත් විට අධිවෘක්කග්‍රන්ථි උත්තේජනය වී රුධිර පීඩනය වැඩි කරන හෝර්මෝනශ්‍රාවය වැඩි කරයි. මීට අමතරව දුම්පානයේදී රුධිර නාල බිත්ති මත කොලොස්ටරෝල් වර්ග තැන්පත් වී රුධිර නාල ඝන වීම ඉක්මන් කරන අතර මෙය ද රුධිර පීඩනය ඉහළ දැමීමට සමත් වේ. එක් සිගරට්ටුවකට රුධිර පීඩනය රසදිය මිලි මීටර 10කින් පමණ ඉහළ දැමිය හැකි බව සොයාගෙන ඇත.

 

  • අධික ලෙස ලුණු භාවිතය

 

අධික ලෙස ලුණු භාවිතය අධික රුධිර පීඩනයට තවත් හේතුවකි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට නිර්දේශ කර ඇති ලුණු ප්‍රමාණය දිනකට ග්‍රෑම් 6ක් පමණි. ලුණු භාවිතය අවම කිරීමෙන් සුළු වශයෙන් ඇති රුධිර පීඩන තත්ත්වය අවම කරගත හැකි වේ. දවසකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණයෙන් 25% – 33% ක් පමණ ප්‍රමාණයක් අඩු කළ විට රුධිර පීඩනයෙන් පෙලෙන්නෙකුගේ රුධිර පීඩනය රසදිය මිලි මීටර 4 සිට 6 දක්වාත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය රසදිය මිලි මීටර 1% -2% දක්වාත් අඩු වන බව සොයාගෙන ඇත.

 

  • මත්පැන් භාවිතය

 

අධික ලෙස මත්පැන් භාවිතයෙන් ශරීරයේ ස්නායු උත්තේජනය වීම නිසා රුධිර පීඩන තත්ත්වය ඇතිවිය හැක. තව ද මත්පැන් පානය කරන විට අධික රුධිර පීඩනය පාලනය කිරීමේ දුෂ්කරතා ඇති වේ. සාමාන්‍යයෙන් පිරිමි අයෙකුට නිර්දේශ කරන මත්පැන් ප්‍රමාණය වන්නේ මිලි ලීටර් 30ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් වන අතර ගැහැණු අයට හෝ ශරීර බරින් අඩු පිරිමින්ට මෙම ප්‍රමාණය මිලි ලීටර් 15කි.

 

  • උපත් පාලන පෙති සහ එන්නත් භාවිතය

 

උපත් පාලන පෙති හෝ එන්නත් වර්ග භාවිතා කරන කාන්තාවන් හට රුධිර පීඩනය වැඩි වීමේ හැකියාවක් පවතින නිසා නිතර ඔවුන් තම රුධිර පීඩනය පරික්ෂා කළ යුතු වේ. එහි වැඩිවීමක් පවතී නම් එම ක්‍රම අත්හළ යුතුයි. ගැබිණි කාන්තාවන්ට ද මේ සමයේ රුධිර පීඩනය ඉහළ යාමක් දැකගත හැකි නිසා මේ පිලිබඳ නිරන්තර සැළකිල්ලෙන් සිටිය යුතු වේ.

 

  • සමහර ඖෂධ වර්ග

 

සමහර ඖෂධ වර්ග, විශේෂයෙන් වේදනා නාශක භාවිතා කිරීමේදී අධික රුධිර පීඩනය වැළඳිය හැකියි. මේ හේතුවෙන් ඖෂධ වර්ග භාවිතයේදී නිතරම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු අතර එකම බෙහෙත් වට්ටෝරුව වෛද්‍ය අනුමැතියකින් තොරව නිතර නිතර භාවිතය අනතුරුදායක වේ.

අධික රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා

express.co.uk

අධික රුධිර පීඩනය පාලනය නොවී ටික කලක් පැවතුන හොත් ශරීරයේ ඉතාම වැදගත් අවයව වලට හානි විය හැකියි. මොළය, ඇස, හා වකුගඩු යන අවයව වලට සදාකාලිකව හානි වීමේ හැකියාවක් ඇත.

අධික රුධිර පීඩනය නිසා විශේෂයෙන්ම අක්‍රිය වන්නේ මොළයයි. රුධිර පීඩනය අධික ලෙස කාලයක් පැවතුනහොත් මොළයේ ඇති ඉතා සියුම් ධමනි හදිසියේම පුපුරා යයි. මෙවිට මොළය තුළට ලේ ගැලීමක් සිදුවී අංශභාග තත්ත්වයක් ඇති විය හැකියි.

අධික රුධිර පීඩනය වකුගඩු වලට ද හානි පමුණුවයි. රුධිර පීඩනය වැඩි වීම නිසා හොඳින් ක්‍රියාත්මක වකුගඩු අක්‍රියභාවයට පත්වන අතර ඒ මත තව තවත් රුධිර පීඩනය අධික වී පාලනය කිරීමට අපහසු වේ.

පාලනය නොවී පවතින අධික රුධිර පීඩනය නිසා ඇසට ද හානි වන අතර ඇස් පෙනීම දුර්වල වීමේ සිට සම්පූර්ණයෙන් අන්ධභාවය දක්වා හානි ඇති විය හැකිය.

කවරය – healthline.com

මූලාශ්‍ර

https://www.medicalnewstoday.com/articles/159283.php

https://www.webmd.com/hypertension-high-blood-pressure/guide/blood-pressure-causes

https://www.healthline.com/health/high-blood-pressure-hypertension

https://www.emedicinehealth.com/high_blood_pressure/page3_em.htm

https://www.fitnessmagazine.com/health/conditions/high-blood-pressure/what-causes-high-blood-pressure/

Related Articles