කොරෝනා සමග යලි කරළියට ආ දශකයක් පැරණි චිත්‍රපටය

මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගත රැල්ලක් යලි නිර්මාණය වී තිබෙනවා. දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව දෙස බැලීමේ දී මෙවර තත්ත්වය වඩාත් බැරෑරුම් සහ අවදානම් බව සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිරතුරුවම සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවා. වසරකට අධික කාලයක් තිස්සේ මෙම වසංගත තත්ත්වයත් එක්ක අපි ජීවත් වෙනවා. එමෙන්ම ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් පැනවෙන සංචරණ සීමා නිසා අද වන විට අපේ ජීවන රටාවේ සැලකිය යුතු වෙනසක් සිදුවී තිබෙනවා. වසංගත තත්ත්වයත් සමග මිනිසුන්ට විඳින්නට සිදුවුණේ රෝග බිය පමණක්ම නොවේ. ආර්ථික දුෂ්කරතා, මානසික නිදහස ඇහිරී යාම, අනාගතය වෙනුවෙන් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම හෝ කල් දැමීමට සිදුවීම වැනි පසුබිම් ගැටලුවලටත් අපට මුහුණ දෙන්න සිදුවුණා. 

ඒ අතර, සංචරණ සීමාවලට යටත් වී සිටින ඇතැමුන් නිකරුණේ ගත වන කාලය තමාගේ විනෝදාංශ වෙනුවෙන් හෝ අමතර හැකියාවක් වර්ධනය කිරීම වෙනුවෙන් යොදවන ප්‍රවණතාවයකුත් තිබෙනවා. උදාහරණයක් ලෙස සිනමාවට කැමති උදවිය මෙම කාලය සිනමා නිර්මාණ වැඩි වැඩියෙන් නැරඹීමට යොදා ගත්තා. ඉතින් මෙම ලිපිය වෙන් වන්නේත් සිනමා නිර්මාණයක් වෙනුවෙන්. ඒ තමයි “Contagion”. වසංගත සමයේ දී හදිසියේම නැවත කරළියට පැමිණි මෙම චිත්‍රපටය වසර දහයක් විතර පැරණි නිර්මාණයක්.

චිත්‍රපටයේ නිල ප්‍රචාරක දැන්වීමක්/un.org/

සැලකිය යුතු යි.

ඔබ දැනටමත් මෙම චිත්‍රපටය නරඹා නැතිනම්, Spoilers ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම්, මෙම ලිපිය පසුව කියවීම සඳහා Bookmark කර තබාගත හැකි යි.

යථාර්තයත් සමග බැඳුණු Contagion

ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ මුළු ලෝකයම විනාශ වී යෑම හා සම්බන්ධ නිර්මාණ සිනමාව තුළ ඕනෑ තරම් බිහිවී තිබෙනවා. නමුත් එවැනි නිර්මාණ බොහෝවිට රෝගකාරකයක් ආසාදනය වීමෙන් ඇතිවන සොම්බීකරණය, දරුණු සාහසික හැසිරීම් හෝ ප්‍රේක්ෂකයාගේ අවධානය නොඅඩුව ලබා ගැනීම උදෙසා යොදාගත් වෙනත් ආකර්ෂණීය කල්පිත හේතුවක් සමග බැඳී පවතිනවා. නමුත් Contagion චිත්‍රපටය ගෝලීය වසංගතයක් හමුවේ මහජන සෞඛ්‍යයට එල්ල වෙන බලපෑම, විද්‍යාවේ ප්‍රතිචාරය, මාධ්‍ය ආයතනවල හැසිරීම, දේශපාලන සහ ව්‍යාපාර ක්ෂේත්‍රවල භූමිකාව ගැන අතිශය යථාර්තවාදී රාමුවක් තුළ සිටිමින්  නිර්මාණය වූ අපූරු චිත්‍රපටයක්.

Contagion චිත්‍රපටය සිනමා ශාලාවලට නිකුත් වන්නේ 2011 වර්ෂයේ සැප්තැම්බර් මස 9 වැනිදා යි. ඒ අනුව මෙම චිත්‍රපටය දශකයක් පමණ පැරණි චිත්‍රපටයක්. නමුත් වර්තමාන ගෝලීය වසංගතය සහ චිත්‍රපටය ගෙන එන කතාව මනා ලෙස ගැලපෙන නිසා 2020 වර්ෂයේ රටවල් බොහෝමයක සංචරණ සීමා පැනවෙන විට Contagion චිත්‍රපටය නැවතත් කරළියට පැමිණෙනවා. ඒ අනුව මෙම චිත්‍රපටය අන්තර්ජාලය හරහා සැළකිය යුතු පුද්ගලයන් පිරිසක් නැරඹීමට පෙළඹුණු අතර සමාජ මාධ්‍ය ජාලා තුළ චිත්‍රපටය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා.

වසංගත තත්ත්වය හමුවේ ඇමරිකා එක්සත් ජනපද රජය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසු iTunes හරහා වැඩිම ඉල්ලුමක් ලැබූ චිත්‍රපට අතර Contagion සිව්වන ස්ථානයට පත්වුණා. වෝනර් බ්‍රදර්ස් සමාගමේ චිත්‍රපට නාමාවලියේ 270 වැනි තැනට ලැයිස්තුගත වී තිබූ Contagion, මෙම කාලය ඇතුළත දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණුනා.

ස්ටීවන් සොඩ(ර්)බර්ග්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක/insidehook.com/

“වසර දහයක් පැරණි චිත්‍රපටයක් වෙනුවෙන් මම ඩොලර් 12.99ක් ගෙව්වා. මම කවදාවත් එහෙම කරලා නැහැ”

ඇකඩමි සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක් වූ බැරී ජෙන්කින්ස් චිත්‍රපටය සම්බන්ධයෙන් එලෙස අදහස් දක්වා තිබුණා.

ස්ටීවන් සොඩ(ර්)බර්ග් නමැති අධ්‍යක්ෂකවරයා යටතේ නිර්මාණය වූ මේ චිත්‍රපටය වර්තමාන COVID-19 වසංගත තත්ත්වය සමග ගැලපුණේ කොහොම ද? අපි සොයා බලමු.

රෝග ලක්ෂණවල සමාන බව

Contagion චිත්‍රපටයේ එන කල්පිත MEV-1 වෛරසය, වර්තමාන  කොරෝනා වෛරසයට බොහෝ සෙයින් සමාන යි. MEV-1 වෛරසය ආසාදනය වීමෙන් රෝගී වූ අයට උණ, අධික ලෙස දහඩිය දැමීම, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස සහ මරණාසන්නයේ දී වලිප්පුව ඇතිවී මුඛයෙන් පෙණ දැමීම වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. COVID-19 රෝගී තත්ත්වය නිසා වලිප්පු ගතියක් ඇතිවීම සියලු දෙනාටම සිදු නොවුණත් අනෙකුත් රෝග ලක්ෂණ අතරින් උණ, කැස්ස, උගුරේ වේදනාව COVID-19 ආසාදිතයෙකුට රෝග ලක්ෂණ වශයෙන් ඇතිවිය හැකි යි. 

සම්ප්‍රේෂණය

COVID-19 මෙන්ම, චිත්‍රපටයේ එන කල්පිත MEV-1 වෛරසය ආසාදනයෙන් වැළඳෙන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක්. එය කිවිසුම් යාමෙන් හෝ කැස්සකින් හෝ කතාබහ කිරීමේ දී පිටවන බිඳිති මඟින් නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වෙනවා. මේ නිසා චිත්‍රපටය තුළත් සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් උපදෙස් දෙන ආකාරය දැකිය හැකි යි. MEV-1 වෛරසය පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් පවා පැතිරෙන නිසා “Don’t touch anyone” ලෙසින් මිනිසුන්ට උපදෙස් දෙන ආකාරය අපට චිත්‍රපටය නරඹන අතරතුර හමුවෙනවා.

ගෝලීය වසංගතයක් හමුවේ සාමාන්‍ය පුරවැසි‍යෙකුගේ ප්‍රතිචාරය චිත්‍රපටය තුළින් නිරූපණය කරන්නේ මැට් ඩේමන්/variety.com/

වර්තමාන COVID-19 වසංගතය හමුවේ මේ හා සමාන උපදෙස් අපට ඇති තරම් අහන්න ලැබෙනවා.  චිත්‍රපටය අද තත්ත්වයත් සමග පුදුමාකාර ලෙස ගැලපෙන්නේ, විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය ගැන සාකච්ඡා කිරීම සහ පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් පවා සම්ප්‍රේෂණය වන රෝගකාරකයක් ලෙස කල්පිත MEV-1 වෛරසය හැඳින්වීම නිසා යි.

සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට දහස් වාරයක් පමණ තමාගේ මුහුණ ස්පර්ශ කරන බව Contagion චිත්‍රපටයේ එක තැනක පැවසෙනවා. ඒ අතර එම පුද්ගලයා විසින්ම දිනකට දොර අඟුළු, ATM යන්ත්‍ර භාවිතය, සෝපාන බොත්තම් ආදී දහසක් වූ පෘෂ්ඨ දවසකට ස්පර්ශ කරනවා. ස්පර්ශයෙන් සිදුවන මේ පැතිරීම ඉතා භයානක බව චිත්‍රපටය තුළින් ඉස්මතු කරනවා. එලෙසම COVID-19 හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස පොදු ස්ථානවල පෘෂ්ඨ ස්පර්ශ කොට තමාගේ මුහුණ ස්පර්ශ කිරීමේ භයානකම අවධාරණය කරනවා.

Contagion චිත්‍රපටයේ එන පහත දෙබස දෙස බලන්න. 

-“මගේ නෝනා ගරාජ් එක ඇතුලෙදිම මගේ ඇඳුම් ගලවන්න කියනවා. ඊළඟට එයා උණු වතුර බාල්දියකුයි සබන් කැටේකුයි එතැනින් තියනවා. මම ඇඟ හෝදගෙන ගියාට පස්සෙ එයා එතන හැමතැනටම සනීපාරක්ෂක දියර ඉහිනවා. මම කියන්නේ, එයා ඕනෑවට වඩා කලබල වෙලා. එහෙම නේද?”

-“කොහෙත්ම නෑ. ඔයා ඔයාගේ මූණ අල්ලන එක නවත්තන්න ඩේව්”ඉතින්, දශකයකට පසු Contagion චිත්‍රපටය නැවතත් ප්‍රේක්ෂකයා වැළඳ ගැනීම පුදුමයක් නොවෙයි.

වෛරසයේ සම්භවය

චිත්‍රපටයේ එන ගැඹුරු අර්ථයක් සහිත කොටසක් අද පවතින වසංගත තත්ත්වය සමග ගැලපෙන ආකාරය පිළිබඳව විග්‍රහයක් කිරීමට යි මේ සූදානම් වෙන්නේ.

වසංගතවේදය පිළිබඳ ප්‍රවීණයෙකුගේ චරිතය කේට් වින්ස්ලට් විශිෂ්ඨ ලෙස නිරූපණය කරනවා/stern.de/

Contagion චිත්‍රපටයේ අවසාන දර්ශනයෙන් හෙළිදරව් වන ආකාරයට කල්පිත MEV-1 වෛරසය පැමිණෙන්නේ වවුලෙක් මාර්ගයෙන්. වනගත ප්‍රදේශයක සිදුවන විනාශයක් නිසා වාසස්ථානය අහිමි වෙන වවුලෙක් එයින් බේරී පැමිණ එක්තරා සත්ත්ව ඝාතකාගාරයක නවාතැන් ගන්නවා. එහිදී එම වවුලාගේ මුවින් ගිලිහී වැටුණ කෙසෙල් ගෙඩි කැබැල්ලක් ආහාරයට ගන්නා ඌරෙකු හරහා එම වෛරසය මිනිසා වෙත පැමිණෙනවා. වාසස්ථානය අහිමි වූ වවුලෙකු මාර්ගයෙන් මිනිසා කරන විනාශයට එදිරිව සොබාදහම දඬුවම් දෙන ආකාරය ඒ කුඩා ජවනිකාව හරහා Contagion චිත්‍රපටය මැනවින් පෙන්වා දෙනවා.

සත්ත්ව විද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින් සහ රෝග පිළිබඳ විශේෂඥයින් පවසන ආකාරයට, මානව අවශ්‍යතා වෙනුවෙන් ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීමෙන් මෙවැනි රෝගකාරක මිනිස් සමාජය තුළට ඇතුළු වීමේ හැකියාවක් තිබෙනවා. වාසස්ථාන විනාශ කිරීම නිසා වවුලන් වැනි සතුන් ආතතියට ලක්වන අතර, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ඒ සමගම අවදානමට ලක් වෙනවා. එමඟින් ඔවුන් කලින් සාර්ථකව සටන් කළ ඇතැම් රෝගකාරක ඉදිරියේ අසරණ වී ආසාදිතයන් බවට පත් වෙනවා. පසුව එම රෝගකාරක විවෘත පරිසරයට පැමිණීම වැළැක්විය නොහැකි යි. 

නමුත් ලෝකයම බියට පත්කළ නව කොරොනා වෛරසයේ සම්භවය ගැන තවමත් විද්‍යාඥයින්ට පැහැදිලි චිත්‍රයක් නැහැ. චිත්‍රපටයේ දී ප්‍රේක්ෂකයාට MEV-1 වෛරසය වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ ආකාරය පෙන්වූවත්, Contagion සිනමා විශ්වය තුළ ජීවත් වන අයටත් එය නොවිසඳුණු අභිරහසක්. වෛරසයේ සම්භවය සොයාගත හැකි එකම ආකාරය වන්නේ සැක සහිත ජීවි වීශේෂයකින් සජීවි වෛරසය වෙන්ව ලබාගත හැකි නම් පමණ යි. නමුත් එය දුෂ්කර කර්තව්‍යක් වන අතර චිත්‍රපටයෙන් ද එම දුෂ්කරතාවය මනා ලෙස පෙන්නුම් කරනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර/youtube.com/watch?v=3WO3Cxm2OZY

නව කොරෝනා වෛරසයේ සම්භවය පිළිබඳ සෙවීමේ දී වවුලන් වෛරසයේ සැක සහිත ප්‍රභවයක් විය හැකි බව පැවසෙනවා. වෛරසයේ ආරම්භක කේන්ද්‍රය චීනයේ වුහාන් හි සත්ත්ව වෙළඳපලක් විය හැකි බව තවත් න්‍යායකින් කියවෙනවා. එවැනි වෙළඳපලක් තුළ, ආසාදිත හා ආතතියට ලක්වී ඇති හැකි සතුන් එකට තබා ආහාර හෝ සුරතල් සතුන් ලෙස විකුණනු ලබන අතර, එවිට බොහෝ විශේෂවලට වෛරසය නිරාවරණය වන්නට පුළුවන්. මෙම කාරණාවල දීත් Contagion චිත්‍රපටය මනා ලෙස වර්තමානය සමග ගැලපෙනවා.

විශිෂ්ඨ අධ්‍යයනයක ප්‍රතිඵලයක්

මෙවැනි ගෝලීය වසංගතයක් හමුවේ චිත්‍රපටයෙන්  ඉස්මතු කරන අනෙකුත් සමාජ ගැටලු ව‍ර්තමානයේ අප මුහුණ දෙන තත්ත්වය සමග සැසඳෙන අයුරු විශ්මයජනක යි. සාමූහික හා සමාජීය හැසිරීමකට පුරුදු වූ මිනිසුන් සමාජ දුරස්ථකරණයත් සමග ප්‍රතිචාර දක්වන අයුරු, තොරතුරු නොමැතිකම හා බැඳුණු අවුල් සහගත භාවය, බ්ලොග් අඩවි සහ වෙනත් අන්තර්ජාල මාධ්‍ය හරහා කුමන්ත්‍රණකරුවන් වැරදි තොරතුරු හා බිය ද, අසාර්ථක බෙහෙත් වර්ග ද මිනිසුන් අතර පතුරවන අන්දම, පූර්ණ අනාවරණයක අවශ්‍යතාවය තිබුණත්, අනිසි කලබලයක් මිනිසුන් අතර ඇතිවීමට ඉඩ නොතබමින් තත්ත්වය කළමණාකරණය කිරීමේ දී දේශපාලකයන් සහ සෞඛ්‍ය අංශ මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා, වැනි සෑම දිශානතියකින්ම Contagion වර්තමාන තත්ත්වයට බොහෝ සෙයින් සමාන්තරව ගමන් කරනවා. ඒ අතරම සමකාලීන සමාජයේ පවතින කෑදරකම, ආත්මාර්ථකාමිත්වය සහ කුහකත්වය සමග වසංගතය සමයක මිනිසුන් ක්‍රියා කරන අන්දම සහ එයින් සිදුවිය හැකි අනපේක්ෂිත ප්‍රතිවිපාක මෙම චිත්‍රපටය වක්‍රව විවේචනය කරනවා.

චිත්‍රපටයේ එන සමුහ මිනී වළක දර්ශනයක්/https://www.covid19facts.ca/en/fact-checked/an-image-from-the-film-contagion-used-to-show-covid-19-victims

Contagion චිත්‍රපටය වර්තමාන COVID-19 තත්ත්වයත් සමග බොහෝ දුරට ගැලපුණේ විශිෂ්ඨ අධ්‍යනයක ප්‍රතිඵලයක් නිසා යි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ස්ටීවන් සොඩ(ර්)බර්ග් සියලු කටයුතු සිදු කළේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගේ උපදේශකත්වය ලබා ගෙනයි. ඒ අතරින් ආචාර්ය ඉයන් ලිප්කින්, සහ ලෝරන්ස් ලැරී බ්‍රිලියන්ට් චිත්‍රපටයට සම්බන්ධ වූ එවැනි විද්වතුන් කිහිපදෙනෙක්. ලිප්කින් යනු කොලොම්බියා විශ්වවිද්‍යාලයයට අනුබද්ධිත ආසාදන හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා යි. ඔහු මෑතක දී නව කොරෝනා වෛරසයේ පරීක්ෂණ කටයුතු උදෙසාත් සම්බන්ධ වුණා. “The coming plague” කෘතිය රචනා කෙරූ ලෝරී ගැරට් ද චිත්‍රපටයට උපදේශකයෙකු ලෙස දායක වී තිබෙනවා. මීට අමතරව මෑත කාලයේ දී ලෝකයේ තැනින් තැන ඇතිවූ වසංගත තත්ත්වයන් සහ කැත්‍රිනා සුළි කුණාටුව වැනි ස්වභාවික ආපදාවල දී ඇමරිකානු බලධරයින් ක්‍රියා කළ අන්දම ගැන අධ්‍යයනයන් සිදුකොට උකහාගත් දැනුම, චිත්‍රපටය උදෙසා භාවිතා කර තිබෙනවා.

කේට් වින්ස්ලට්, මැට් ඩේමන්, ජූඩ් ලෝ, ලෝරන්ස් ෆිෂ්බර්න් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩවී ඇති Contagion, කාලීන වැදගත්කම අතින් ඉතා ඉදිරියෙන් සිටින නිර්මාණයක්.

Cover photo: youtube.com/watch?v=ChNL7RA8mhQ

මූලාශ්‍රයයන්: edition.cnn.com/

nytimes.com/

imdb.com/

youtube.com/watch?v=qoKj5gDTsOc

theconversation.com/

Related Articles

Exit mobile version