Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම්

කලාව ගැන කතා කිරීමේ දී වඩාත් ම අඩුවෙන් අවධානයට ලක්වන, එසේ ම වඩාත් ම ආන්දෝලනාත්මක කලා ක්ෂේත්‍රයක් වන්නේ පච්චා හෙවත් ටැටූ රූ කලාව ය. ටැටූ කලාවට කෙණෙහිලිකම් කරන රටවල් අතර පෙරමුණ ගන්නා එක් රටක් වන්නේ දකුණු කොරියාව ය. 1992 දී එරට සම්මත කරගත් නීතියට අනුව වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකට යටත් කිරීමටත් පුළුවන. ඒ දකුණු කොරියානු නීතියට අනුව බලපත්‍රලාභී වෛද්‍යවරයකුට හැර අන් අයකුට ටැටූ කෙටීමේ නිරතවීම තහනම් බැවිනි.

දකුණු කොරියානු ටැටූ කලාකරුවන් මුහුණ දී සිටින මෙම ඛේදනීය තත්වය ගැන ජාත්‍යන්තරයේ කතිකාවතක් ඇතිවුණේ පසුගිය මාසයේ දී එරට නම ගිය ටැටූ කලාකරුවකු අධිකරණය හමුවට පැමිණවීමත් සමඟ ය. ඔහු සාමාන්‍ය වෘත්තීය ටැටූ කලාකරුවකු නොව, ලොව සතර දිග් භාගයේ ම  නම ගිය ප්‍රකට ටැටූ නිර්මාණ ශිල්පියකු වීම ජාත්‍යන්තරය උණුසුම්වීමට බලපෑ හේතුවක් විය.  වෛද්‍ය සභා නීතිය උල්ලංඝණය කිරීමේ වරදට සියෝල් නුවර අධිකරණයට පමුණුවා වොන් මිලියන පහක (අමෙරිකා ඩොලර් හාරදහස් දෙසියපහක්) දඩයක් නියම කෙරුණු  ‘ඩු යොන් කිම්‘, හොලිවුඩ් ශීල්පීන්ගේ පවා ඇගයුමට ලක්වූවකු වීම මෙම සිදුවීමේ විශේෂත්වය යි.

bbc
ටැටූ කලාව වෙනුවෙන් කැපවු  ඩොයි – yo-tengo.squarespace.com 

 

හොලිවුඩ් කලාකරුවා – කොරියාවේ දි අපරාධකරුවා

දකුණු කොරියාවේ සිටින ප්‍රමුඛ පෙළේ  ප්‍රසිද්ධ ම ටැටූ නිර්මාණ ශිල්පියකු වන ‘ඩොයි‘ හෙවත් ඩු යොන් කිම්ගේ යශෝරාවය හොලිවුඩය දක්වා ම පතළවූවකි. සුපිරි හොලිවුඩ් නළු නිළියන් වන බ්‍රැඩ් පිට්, ලිලී කොලින්ස්, ස්ටීවන් යූන් වැන්නවුන් පවා සිය සිරුරු පච්චා රටාවලින් හැඩ කර ගෙන තිබෙන්නේ ඩොයි ලවා ය. එලෙස නොමඳ සම්භාවනාවට පාත්‍රවන ඩොයි ඔහුගේ මව් රටේ දී සැලකුම් ලබන්නේ අපරාධකරුවෙක් ලෙසිනි.

ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවූයේ ප්‍රකට දකුණු කොරියානු නිළියකට ටැටූ රටාවක් නිර්මාණය කරදීමේ ‘සාපරාධී වරදට ය‘. ඩොයි යනු එරට නීතියට මුවාව, දැඩි අවදානමක් ගෙන මෙම කලාවේ නිරත වන පච්චා වෘත්තීකයන් දෙලක්ෂයක් වූ පිරිස අතරින් එක් අයෙකි. ඔහු එරට නීතියෙන් වරදකරුවකු කිරීමේ මෙම සිද්ධිය, සමස්ත දකුණු කොරියානු ටැටූ නිර්මාණ ශිල්පීන්ගේ ඉරණම ජාත්‍යන්තරය හමුවේ නිරාවරණ කළේ ය.

“ මං පිටරටවලදී බ්‍රැඩ් පිට් වගේ හොලිවුඩ් නළුවන් එක්ක වැඩකරනකොට එයාලා මාව හඳුන්වන්නේ කලාකරුවෙක් කියලා. නමුත් මගේම මව් රටට ආවම මට සලකන්නේ නීතිය කඩකරපු අපරාධකරුවෙක් විදිහටයි.“  

ඩොයි කරන එම ප්‍රකාශයට ප්‍රධාන ම හේතුව නම් දකුණු කොරියාව තුළ ටැටූ කලාවට හිමි ව තිබෙන අවමානය මුසු පහත් තත්වය යි. අතීතයේ දී මෙම තත්ත්වය කෙතරම් දරුණු ලෙස පැවතියාද යත්, ටැටූ රටාවලින් සිරුර හැඩ කර ගත්තවුන් සැලකුණේ රස්තියාදුකාර කල්ලි සාමාජිකයන් හා අපරාධකරුවන් ලෙසට ය. තත්ත්වය වඩාත් ම බරපතළ වූයේ එවැන්නන් රැකියාවලට බඳවා නොගැනීම හා සමාජයෙන් කොන්කිරීම වැනි කාරණා නිසා ය. අදට ද ටැටූ සහිත නළු නිළියන් රැගත් දර්ශන එරට රූපවාහිනියෙන් විකාශය කෙරෙන්නේ ටැටූ රටා නොපෙනෙන පරිදි බොඳ කිරීමන් පසු ය.

actress
දකුණු කොරියානු නිළි බේ සූසි ගේ  ටැටූ රූ  සටහනක් – www.preview.ph 

 

ටැටූ කලාවේ අයිතිය 

1992 දී සම්මත කෙරුණු නීතියකට අනුව දකුණු කොරියාවේ දී ටැටූ කලාව සැලකෙන්නේ වෛද්‍ය වෘත්තිකයන් සිදු කළ යුතු, වෛද්‍යමය ක්‍රියාවලියක් ලෙස ය. එයට හේතුව ලෙස දකුණු කොරියානු බලධාරීන් පෙන්වා දෙන්නේ ටැටූ කෙටීම යනු ආගන්තුක රසායනික සමට යටින් ඉඳිකටු ආධාරයෙන්  ඇතුළු කිරීමේ ආක්‍රමණශීලී ක්‍රියාවලියක් වීම ය. මින් විවිධ ආසාදන හටගැනීමේ අවදානමක් ද පවතී. මේ සියලු කාරණා නිසා දකුණු කොරියාව තුළ ටැටූ කෙටීම වෛද්‍ය වෘත්තිකයන් සිදු කළ යුත්තක් ලෙස නම් කෙරුණ ද, එරට ටැටූ කෙටීම සිදුකරන වෛද්‍යවරුන් සිටින්නේ අතළොස්සකි.

ඔවුන් ද ඇහිබැමි ස්ථීර ලෙස සකස් කරන රූපලාවන්‍ය ක්‍රමවේදයක් වන මයික්‍රෝබ්ලේඩින් (ත්‍රිමාණ ඇහිබැමි එම්බ්‍රොයිඩර් ක්‍රමය) නමැති අර්ධ ටැටූ ක්‍රමය පමණක් අනුගමනය කරන්නන් ය. එය ද කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ රූපලාවන්‍ය ක්‍රමවේදයක් ලෙස ය. ටැටූ කලාව නීතියෙන් වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් සීමා කෙරුණ ද, අවදානමක් ගෙන නීතියේ ඇස් වසා, එය වෘත්තියක් ලෙස කරගෙන යන දකුණු කොරියානුවන් එමට ය. සෞඛ්‍ය හා සමාජ කටයුතු සඳහා වූ කොරියානු ආයතනය සිදු කළ සමීක්ෂණයට අනුව එම පිරිස සංඛ්‍යාත්මක ව දෙලක්ෂය ඉක්මවයි.

artist
අනතුරුදායක බව මැද වුව ද ටැටූ නිර්මාණ වෘත්තියේ යෙදෙන දකුණූ කොරියානු නිර්මාණ ශිල්පිණියක් – hedgersabroad.com

 

ටැටූ කලාකරුවන් සක්‍රීය ලෙස සොයා යමින්, වටලමින් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූව ද, එවැන්නකු පිළිබඳ වාර්තා වුවහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය බැඳී සිටියි. මේ නිසා දකුණු කොරියානු ටැටූ රූ ශිල්පීන් බහුතරයක් සිය වෘත්තීය හොර රහසේ කරගෙන යාමට පෙලඹී සිටින්නේ සිය පෞද්ගලික ආරක්ෂාව තකා ය. නීතියේ පිළිසරණක් නොමැතිකම හේතුවෙන් ම ටැටූ නිර්මාණ ශිල්පීන් තවදුරටත් අවදානමට ලක්වන්නේ ඇතැම් පාරිභෝගිකයන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසාවෙනි.

ටැටූ නිර්මාණ ශිල්පියාගේ සේවය ලබා ගෙන, ඊට නිසි ලෙස ගෙවීම් නොකරන පාරිභෝගිකයන් සේ ම, ඒ ගැන විමසීම් කළ විට පරුෂ වදනින් ප්‍රතිචාර දක්වන පාරිභෝගිකයන් ද නිසා නිර්මාණ ශිල්පියා පත් වන්නේ දැඩි අසීරුතාවකට ය. ඇතැම් පාරිභෝගිකයන් ටැටූ නිර්මාණ ශිල්පියාගේ සේවය ලබා ගෙන ඔහු පිළිබඳ පොලීසිය දැනුම්වත් කරන බවට කරන තර්ජන ද විරළ නොවේ. මේ සියලු කාරණා නිසා මීට වසර පහළොවකට පමණ එපිට දී ඩොයි ද ටැටූ රැකියාවට අවතීර්ණ වුයේ හිතේ කිසියම් චකිතයක් ඇති ව ය.

bbc
සීරු මාරුවට  ටැටූ නිර්මාණයේ  යෙදෙන  ඩොයි  – bbc.com 

 

පාරිභෝගිකයන්ගෙන් පවා තර්ජන ඝර්ජන

“ පාරිභෝගිකයන්ගේ රළු හැසිරීම්වලට මුහුණ දෙන්නට වෙනවා කියන බියටත් වඩා මට තිබුණු ලොකු ම බිය තමයි මේක නීති විරෝධි රැකියාවක් වීම. එනිසා පාරිභෝගිකයන් තෝරා ගැනීමේ දි මගේ රහස්‍යභාවය ආරක්ෂා කරන ආකාරයේ පාරිභෝගිකයන් තෝරා බේරා ගන්න මං ක්‍රමයෙන් පුරුදු වුණා. මගේ වෘත්තීය පරිසරය වඩාත් ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්න ඒක උදව්වක් වුණා. “

එලෙස කියන හතළිස් එක් හැවිරිදි ඩොයි පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට භාවිත කරන්නේ ‘කැකෝ‘ හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ය. ටැටූ යනු රස්තියාදුකාර ජීවිතයක සංකේතයක් නොවන බව සමාජගත කිරීමට ඩොයි උත්සාහ කරන්නේ ප්‍රමාණයෙන් වඩාත් කුඩා, සියුමැලි පෙනුමින් හා මෘදු පැහැයන්ගෙන් යුතු ටැටූ රූ රටා නිර්මාණය කිරීමෙනි. ඔහුගේ නිර්මාණවල සුලබ ව දැකිය හැක්කේ සතුන් හා ශාක වැනි සොබාදහමට වඩාත් සමීප රූසටහන් ය. ටැටූ කලාවේ අහිංසකත්වය එමඟින් ඉස්මතු කර දැක්වීම ඩොයිගේ අපේක්ෂාවයි.

අධිකරණය හමුවේ වරදකරුවකු වී, තම නමට අපරාධ වාර්තාවක් ඈඳී තිබීම, ඩොයි සිය වෘත්තීය අඛණ්ඩ ව කරගෙන යාමට බාධාවක් කර ගත්තේ නැත.  ඔහු වැඩි දුරටත් පවසන්නේ ටැටූ නිර්මාණය යනු නිර්මාණ ශිල්පියා හා සේවාදායකයා අතර සදාතනික බැඳීමක් ඇතිකරන කලාවක් බව යි. සිය සේවදායකයන් සම්බන්ධයෙන් ලත් අත්දැකීම් අතරින් ඩොයිට හිතට වඩාත් ම දැනුණු සංවේදී අවස්ථාවක් වන්නේ අතක් මුළුමනින් ම පිළිස්සී ගිය තරුණියකගේ එම පිළිස්සුම් කැළල වැසෙන පරිදි ටැටූ රටාවක් නිර්මාණය කිරීමට සිදුවූ අවස්ථාව යි.

tatoo
දකුණු කොරියානු තරුණ ප්‍රජාව අතර ටැටූ කලාව මේ  වන විට අතිශයින් ම ප්‍රකට ය – hedgersabroad.com

 

පිළිස්සුම් කැළල මකන්නට ඇඳි ටැටූ රටාව

“ මගේ නිර්මාණයකින් සේවාදායකයාට අර්ථාන්විත අත්දැකීමක් ලැබෙනවා නම් එයයි මගේ තෘප්තිය. මට මතකයි ටැටූ රටාවක් ඇඳගන්නට මා ළඟට ආපු එක්තරා තරුණියක්. එයාට වයස අවුරුද්දෙ දී  එයාගේ මුළු අතක් ම පිළිස්සිලා ගිහිං තිබුණා. එයා මං ළඟට ආවේ ඒ අත පුරා ම විහිදුණු අවලස්සන පිළිස්සුම් කැළල වැහෙන විදිහටටැටූ රටාවක් නිර්මාණය කරගන්නයි. මං අවස්ථා පහකදි විවිධ රටා ගණනාවක් ඇගේ මුළු අත ම වැසෙන සේ නිර්මාණය කළා. පස්සෙ මට දැනගන්න ලැබුණා ඒ තරුණිය එයාගේ අතේ ටැටූ රටාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරලා තිබුණා කියලා. ඒ ඡායාරූපවලට යටින් එයා කියලා තිබුණේ ඒ අවුරුද්දේ එයා කරපු හොඳ ම දේ තමයි ඒක කියලයි. කලාකරුවෙක් ලෙස මට ලැබුණු හොඳ ම ඇගැයීමක් විදිහට ඇගේ ඒ ප්‍රකාශය හැමදාට ම මගේ මතකයේ තියෙනවා. “  ඩොයි එම සංවේදී අත්දැකීම වචනයට පෙරළන්නේ එලෙසය.

tools
ටැටූ නිර්මාණයට යොදා ගන්නා  මෙවලමක් – yo-tengo.squarespace.com

 

දකුණු කොරියානු සමාජය තුළ ටැටූ කලාව කෙරෙහි මුල් බැස ගත් ගතානුගතික ආකල්ප මේ වන විට ධනාත්මක අයුරින් වෙනස් වෙමින් තිබේ. එය වඩාත් සුලබ තත්ත්වයකට පත්වීමත් සමඟ කලාත්මක හැඟීම් දැනවිය හැකි අපූර්ව මාධ්‍යයක් ලෙස ද බහුමානයට පාත්‍රවීම වීම සුබ ලකුණකි. පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ දකුණු කොරියානුවන්ගෙන් හතරෙන් එකක් පමණ ස්ථිර හෝ තාවකාලික ටැටූ රටාවලින් සිය සිරුර සරසා ගැනීමට ඉදිරිපත් ව ඇති බව යි. සමීක්ෂණයට සහභාගි වූ දහසක පිරිසකගෙන් 70%ක් ම  දැරූ මතය වූයේ රූපවාහිනී විකාශවල දී ටැටූ රටා දැක්වෙන රූපරාමු බොඳ කිරීමේ අවශ්‍යතාවක් නැති බව යි.

ටැටූ නිර්මාණ ශිල්පීන්ගේ සංගමයක් ඩොයි 2020 වසරේ දී පිහිටුවා ගන්නේ ද මෙම ආකල්පමය වෙනස සවියක් කර ගනිමිනි. ටැටූ කලාව නිත්‍යනුකූල වෘත්තීයක් බවට පත් කර ගැනීමේ පළමු අදියර ලෙස පිහිට වූ එම සංගමයේ සාමාජිකත්වය දරන්නන්ගේ සංඛ්‍යාව අද වන විට හයසිය පනහකි. මීට පෙර ටැටූ කලාව නිසා  වරදකරුවන් වූවන් අට දෙනකුත්, සිර ගත වූවන් දෙදෙනකුත් ඊට ඇතුළත් ය. කෙසේවුව ද දකුණු කොරියාවේ  දැවැන්ත ම වෛද්‍ය සංගමය වන ‘කොරියානු වෛද්‍ය සංගමය‘ තවමත් ටැටූ කලාවේ මෙම ප්‍රගතිය දෙස බලන්නේ වපරැසිනි.

doy
ටැටූ නිර්මාණය සඳහා සැලසුමක් පිළියෙළ කරන ඩොයි – yo-tengo.squarespace.com

 

ටැටූ කලාවටත් වෛද්‍ය විද්‍යාත්මක මාර්ගෝපදේශ

“ ටැටූ සටහනක් තමන්ගේ සිරුරේ ඇඳ ගන්නවා කියන්නේ කිසියම් රසායනිකයක් සමට එන්නත් කිරීම හා සමාන දෙයක්. ඒ වගේ ආක්‍රමණශීලී ක්‍රියාවලියක්, සාමාන්‍ය වෘත්තීයක් ලෙස කරගෙන යන්න ඉඩදීම ගැටලු සහගතයි“ යනුවෙන් කොරියානු වෛද්‍ය සංගමයේ උපදේශකවරයකු වන වෛද්‍ය ජී හ්වාන් හ්වැන් පවසයි.

ඩොයි කියන්නේ වෛද්‍යමය වශයෙන් ටැටූ කලාවේ පවත්නා ගැටලුවලට පිළියම් යෙදිය හැකි බව යි. මේ වන විට ටැටූ රටා නිර්මාණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යමය මාර්ගෝපදේශ මාලාවක් රෝහල් හා ඒකාබද්ධ ව සකස් කිරීමට ඩොයිගේ ටැටූ කලාකරුවන්ගේ සංසදය පියවර ගෙන තිබේ. මෙම මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පච්චා කලාකරුවන් දැනුම්වත් කිරීම ද මෙම සංගමය සිදු කරයි.

studio
ඩොයිගේ  ටැටූ  නිර්මාණ  චිත්‍රාගාරය – yo-tengo.squarespace.com 

 

ඩොයි පවසන්නේ තමා අධිකරණය හමුවේ වරදකරුවකු ලෙස හංවඩු ගැසීම මෙම ක්ෂේත්‍රයට එල්ල වූ දැවැන්ත අතුල් පහරක් බව ය. ඩොයිට එරෙහි නඩුව, දකුණු කොරියානු ටැටූ කලාවේ උන්නතියට හේතු වන්නට ද බැරි නැත. ඩොයි සිය අභියාචනය ඔස්සේ පෙනී සිටින්නේ තමා පමණක් නොව දකුණු කොරියානු ටැටූ කලාකරුවන් සියලු දෙනා ම වෙනුවෙන් වන නිසා ය. තමාට ලැබුණු අධිකරණ තීන්දුව නිසා, බලාපොරොත්තු බිඳ වැටුණු දකුණු කොරියාවේ ප්‍රකට ටැටූ කලාකරුවන් රැසක්ම රට හැරදා යමින් සිටින බව ඩොයි පෙන්වා දෙයි. අමෙරිකාව හා කැනඩාව වැනි රටවල ටැටූ නිර්මාණය සඳහා වන චිත්‍රාගාරවලින් මෙවැනි කලකරුවන්ට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

inside a studio
ටැටූ නිර්මාණය සඳහා භාවිත කිරීමට සකස් කළ රූ සටහන්  – roadsandkingdoms.com 

 

“ ටැටූ කලාකරුවා හා සාමාන්‍ය චිත්‍ර ශිල්පියකු අතර වෙනසක් මං නම් දකින්නේ නැහැ. දවස අවසානයේ දී දෙදෙනා ම කරලා තියෙන්නේ චිත්‍රයක් නිර්මාණය කරන එකයි. චිත්‍ර ශිල්පියෙක් කැන්වසය ප්‍රකාශන මාධ්‍යය ලෙස යොදා ගන්නකොට ටැටූ නිර්මාණ ශිල්පියා භාවිත කරන්නේ මිනිස් සිරුර යි. මට ඕනෑ කරන්නේ අනෙක් ඕනෑම වෘත්තියක යෙදෙන කෙනෙකුට වගේ ම, පච්චා කලාකරුවෙකුටත් තමන්ගේ වෘත්තීය ගරුත්වයකින් යුතුව කළ හැකි වාතාවරණයක් සකස් කරලා දෙන එකයි“ යනුවෙන් ඩොයි පවසයි.  

කවරයේ ඡායාරූපය - පච්චා රටාවක් නිර්මාණය කිරීම ඉතාම සීරුවෙන් කළ යුත්තකි - roadsandkingdoms.com

මූලාශ්‍ර:

South Korea: The celebrity tattooist criminalised for his art  - bbc.com

Tattooist Hongdam & Tattooist Doy (Inkedwall, South Korea) –  www.yo-tengo.squarespace.com

South Korean tattoo artist who inked Brad Pitt and K-pop stars lead a campaign to have profession legalised in his country - scmp.com

Related Articles