ලෝකයේ කොයි රටේ වුණත් කුඩා දරුවන් කවුරුත් සහජයෙන්ම ඝණ ආහාර ගැනීම ආරම්භ කරන්නේ තමන්ගේ අත් යොදාගෙනයි. කොහොම නමුත් පසුව ඇතැම් රටවල්වල ආහාර ගැනීම සඳහා විවිධ උපකරණ පාවිච්චි කිරීමට දරුවන්ව හුරු කෙරෙනවා. මේ උපකරණ යොදාගෙන ආහාර කැබලි කිරීම, එක්රැස් කිරීම, ආහාරය උපකරණයේ අමුණාගෙන හෝ දවටාගෙන සමබරව කට තුළ රුවා ගැනීම වගේ නානා ප්‍රකාර දේවල් කරන හැටි කුඩා දරුවන්ට හුරු කිරීමට ලැබෙන්නේ පොත පතේ අධ්‍යාපනය වගේම වැදගත්කමක්. බටහිර රටවල් සියල්ලේම පාහේ භාවිතයට ගන්නා හැඳි, ගෑරුප්පු, පිහි වගේම නැගෙනහිර ආසියාතික රටවල්වල පාවිච්චියට ගැනෙන ලී කූරු (chopsticks) ඇතුළු ආහාර ගැනීමේ උපකරණ කියපු පමණින් කවුරුත් හඳුනනවා.
කොහොම වුණත් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ තවත් රටවල්වල වයසින් වැඩි වීමත් එක්ක ආහාර ගැනීම සඳහා විශේෂ උපකරණ පාවිච්චියක් සිදු වෙන්නේ නැහැ. අතුරුපසක් හරි, සමහරවිට කැඳ වැනි පානයක් ගැනීමට හරි හැන්දක් උපයෝගී කර ගත්තත් අනෙක් බොහෝ අවස්ථාවල අපි ආහාර ගන්න පාවිච්චි කරන්නේ අත් සහ ඇඟිලි විතරමයි.
අතින් අනාගෙන කෑම කන එක සුවිශේෂී වන්නේ ඇයි?
ඊළඟ පාර කෑම කනකොට ඔබ එය උපකරණ භාවිතයෙන් එය කරන්න උත්සාහ කළොත් (උපකරණ පාවිච්චි කරන කෙනෙක් නම් එහෙම නැතිව අතින් ආහාර ගන්න උත්සාහ කළොත්) ඇති වෙන වෙනස්කම් මොනවාද කියලා හිතලා බැලුවොත් මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න අමාරු වෙන එකක් නැහැ.
‘අපි කන ආහාරය කටට දාගන්නත් පෙර ඒ ගැන සංවේදන ඇසුරින් වඩාත් හොඳින් හඳුනා ගන්නට අතින් අල්ලා කෑම ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වෙනවා’ කියලා කිව්වොත් ඔබ එයට එකඟ වෙනවාද? තමන්ගේ අතේ ඇඟිලිවලින් අල්ලලා ආහාරයක් ගන්න හදනකොට අපි කවුරුත් වැඩිය නොහිතා පාවිච්චි කරන පෙනීම සහ සුවඳ කියන සංවේදන දෙකට අමතරව ස්පර්ශය කියන සංවේදනයත් රස දැනෙන්න කලින් පාවිච්චි වෙනවා. මේ නිසා කන්න හදන කෑම එක මොන වගේද කියන දේ දැකලා සහ සුවඳ බලලා පමණක් දැනගන්නවාට වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ තුළින් ලාවට හැපුවත් ගිලින්න පුළුවන් දේවල්, වැඩිපුර හපන්න පුළුවන් දේවල්, දිවට රළුවට දැනෙන දේවල් ඇතුළුව ආහාරයේ තියෙන දේවල් ගැන හොඳට දැන කියාගෙන කෑම ගන්න ඒක උදව්වක් වෙනවා. කන්න කලින්ම කන දේ මොන වගේද කියා හඳුනාගෙන එයට සූදානම් වෙන්න එවිට ඔබේ මනසටත් පුළුවන්.
සරලව කිව්වොත් ශ්‍රී ලංකාවේ බොහෝ පවුල්වල සාමාජිකයන් එකට එකතු වෙලා ආහාර ගන්නකොට උපකරණ පාවිච්චියක් තියෙන්නේ නම් හරිම කලාතුරකින්. (කෑම බෙදා ගන්න නම් හැඳි ඇතුළු උපකරණ ඇති තරම් පාවිච්චි වෙනවා) නමුත් උත්සවයකට සහභාගී වෙනකොට, සමහරවිට අමුත්තන් පිරිසක් ගෙදරට ආවම, සමහර රැකියා ස්ථානවල සහ කෑමක් සඳහා භෝජනාගාරයකට ගියාම හැඳි ගෑරුප්පු ඇතුළු උපකරණ භාවිතය නිතර දකින්න ලැබෙනවා. අපේ සංස්කෘතිය යටතේ නම් කෑම වේලකට තවත් කෙනෙක් එක්ක සහභාගී වෙනකොට හැඳි ගෑරුප්පු පාවිච්චියක් නැතිව අතින් කෑම කන්නේ බොහෝ වෙලාවට ඒ කෙනා හොඳින් දන්නා හඳුනන, සුහද සම්බන්ධයක් ඇති කෙනෙක් නම් තමයි. අපි වැඩිය හඳුනන්නේ නැති අමුත්තෙක් විදිහට ගෙදරකට යනකොට කෑම මේසයේ හැඳි ගෑරුප්පු තියලා හෝ තිබුණත් ළඟම මිතුරෙක්ගේ ගෙදරකට ගියාම කෑම කන්න ඒ කිසි දෙයක් පාවිච්චි නොකෙරෙන්නේ මේ නිසයි.
කන්නේ තනියම වුණත් අතින් අනාගෙන කෑම කනකොට තමන් ගන්නා ආහාරය ගැන වඩාත් හොඳින් අවබෝධ කරගන්න වගේම අනන වෙලාවට හා කෑම කටට දා ගන්නා වෙලාවට හැඳි ගෑරුප්පු පාවිච්චි කරනවාට වඩා රසවත් හැඟීමක් ඇත්තටම දැනෙනවා.
අතින් අනාගෙන කෑම කන එකේ සැබෑ වාසි තියෙනවාද?
අතින් අනලා කෑම කන එක ගැන “සෞඛ්‍යයට හිතකරයි” කියලා කියවෙන කතා බොහොමයක් තිබෙනවා. ඒ අතරින් කිහිපයක් ගැන මේ ලිපියෙදීත් කතා කෙරෙනවා. කොහොම නමුත් මේවා කියන තරම් වැදගත් වෙනවාය කියලා තහවුරු කරන්න පුළුවන් මූලාශ්‍ර අපට ඒ තරම් හමු වුණේ නැහැ කියන එකත් මුලින්ම කියන්න අවශ්‍යයි.
වාසිය #1 – කෑම හොඳින් දිරවීම
අනන අවස්ථාවේ අපේ ඇඟිලිවල ආහාර ස්පර්ශ වෙමින් පවතිනකොට ඇඟිලි තුඩුවල තියෙන ස්නායු සංවේදකවලින් අපේ මොළයට පණිවිඩ යවලා අදාළ ආකාරයේ ආහාර දිරවන්න වඩාත් සුදුසු වෙන එන්සයිම සහ ජීරක ද්‍රාවණ ආමාශය තුලට මුදා හැරෙන බවත්, ඒ නිසා අතින් කෑම ගන්නකොට කෑම වඩාත් හොඳින් දිරවන බවටත් කතාවක් තියෙනවා.
අපේ ඇඟිලිවල ස්වභාවික බැක්ටීරියා ස්ථරයක් තිබෙන බවටත් කතාවක් තියෙනවා. මේ නිසා අතින් අනාගෙන කෑම ගන්නකොට එම ක්ෂුද්රජීවීන් ආහාර සමග ආමාශයට ගිහින් ආමාශයේ තියෙන හිතකර, ජීර්ණක බැක්ටීරියාවලට ආහාර ජීර්ණය වඩාත් පහසු කරන්න උදව් කරන බවටත් මතයක් තියෙනවා.
ආහාර ජීර්ණය වඩාත් හොඳින් සිදු වෙන්න හේතු වෙන තවත් දෙයක් විදිහට දැක්වෙන්නේ අතින් අනාගෙන ආහාර ගන්නකොට ඒ සඳහා ගත වෙන කාලයයි. කෑම වැඩි ප්‍රමාණයක් එක දිගට ගැනීම වගේම කෑම කාලා ඉවර වුණු ගමන් වෙනත් වැඩකටයුතුවල යෙදෙන එකත් උපකරණ පාවිච්චි කරනකොට වඩාත් පහසු වෙනවා අත හෝදන්න අවශ්‍ය නැති නිසා. අතින් අනාගෙන ආහාර ගන්නකොට ස්වාභාවිකවම එයට වැය කෙරෙන කාලය ඉහළයි. එක කෑම කටක් කෑවාට පස්සේ ඊළඟ වරට කෑම කටට දා ගන්න කලින් අනන්න යම් වෙලාවක් යන නිසා අපේ ස්වභාවික රිද්මයට අනුකූලව පහසුවෙන් ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙනවා.
අතින් අනලා කනකොට ආහාර කටට එන්න කලින්ම හොඳින් තෙරපිලා මිශ්‍ර වෙන නිසා එය රසයෙන් ඉහළ බවත් වැඩි දෙනා පිළිගන්නවා. ඉතින් කැමැත්තෙන් ආහාර ගන්නකොට ජීර්ණයත් හොඳින් සිදු වෙනවාලු.
මේ දේවල් බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් මතයන් වුණත් ඒවා විද්‍යාත්මකව තහවුරු කරපු තැනක් අපිට හොයා ගන්න නොලැබුණු බවත් විශේෂයෙන්ම කියන්න ඕනේ.
වාසිය #2 – එක දිගට කෑම කන එක අඩු වීම.
කෙනෙක් අතින් අනලා කෑම කනකොට තමන් කන දේ ගැන වගේම තමන් කන විදිහ ගැනත් වඩාත් හොඳින් අවබෝධ කරගන්න පුළුවන් බවටත් සමහරු අතර මතයක් තියෙනවා. ඒ නිසාම බඩගිනි දැනීම, බඩ පිරීම වගේ දේවල් වඩාත් හොඳින් සංවේදනය කරගන්නත් ඔවුන්ට හැකියාව පවතින බව කියවෙනවා. මේ නිසා නිතර එක දිගට ආහාර ගැනීම සිදු වෙන්න තියෙන ඉඩ අඩු වෙන බවත් සඳහන්.
ප්‍රායෝගිකව බැලුවාමත් මේක සෑහෙන දුරට ඇත්ත කියලා හිතෙනවා. අපි අතින් අනාගෙන කෑම ගන්නකොට අපේ අත් සහ ඇඟිලි ඒ වැඩේටම යොදා ගන්න වෙනවා. ඒ නිසා එකවර වැඩ කිහිපයක් සිදු කිරීම ටිකක් මාරි වෙනවා. අනිත් දේ තමයි අතින් ආහාර ගන්නකොට නිතරම අත හෝදන්න වෙන එක: තමන් අත් අපිරිසිදු වෙන වැඩක් කර කර ඉන්නවා නම් කෑම ගන්න යන්න කලින් ඒ වැඩේ ඉවර කරලා ඉන්න වෙනවා, නමුත් හැන්දකින් කෑම කනවා නම් අත් නොසෝදා වුණත් එය කරන්න පුළුවන්. අතින් කෑම ගැනීමේදී තියෙන මේ ප්‍රායෝගික අපහසුව නිසා වෙලාව අවේලාව නොබලා සැරින් සැරේට, හිතුණු හිතුණු වෙලාවට කෙටි ආහාර ගැනීම වගේ සෞඛ්‍යයට අහිතකර පුරුදු අපෙන් ඈත් වෙන්න පැහැදිලි ඉඩක් තියෙනවා.
මේ ගැනත් අපිට විද්‍යාත්මක පරීක්ෂණ මොනවත් හමු වුණේ නැතත් සාමාන්‍ය කෙනෙකුගේ පැත්තෙන් බැලුවාම එහි යම් ඇත්තක් තිබෙන බව නම් පෙනෙන්න තියෙනවා.
වාසිය #3 – පෞද්ගලික පිරිසිදුකම
කෑම කෑමට පෙර සහ කෑම කෑමෙන් පසුව අත් සේදීමට පුරුදු වෙන එක කෙනෙක්ගේ පෞද්ගලික පිරිසිදුකමට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් දෙයක් නිසා අතින් අනාගෙන කෑම කන්න හුරු වෙන එක සෞඛ්‍යයට හිතකරයි කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් ඒකෙම අනිත් පැත්ත විදිහට අතින් කන්න කලින් සහ කෑමෙන් පස්සේ අත් නොසේදීම (පාන් වගේ අතේ නොගෑවෙන දේවල් කන්න කලින් වගේම කෑවට පස්සේත් අත් හෝදන්නේ නැතිව පිස දමාගෙන විතරක් ඉන්න එක බොහෝ දෙනාගේ පුරුද්දක්) නිසා උපකරණ පාවිච්චි කරන අයට වඩා සෞඛ්‍ය ගැටළු මතු වෙන්නත් ඉඩ තියෙන බව මතක තියා ගන්න අවශ්‍යයි.
වාසිය #4 – කෑමවල උණුසුම කලින් දැන ගැනීම
කෑමක් අතින් අරගෙන කටට දාගන්නකොට සහ අතින් අනනකොට එහි උෂ්ණත්වය හඳුනා ගන්න වඩාත් පහසුයි. මේ නිසා කෑමක් කන්න ගිහින් කට පුළුස්සා ගන්න තියෙන ඉඩකඩ අතින් අනාගෙන කෑම නිසා අවම වෙනවා.
අනිත් අතට විශේෂයෙන්ම කෘත්‍රීම සීතල කරපු කාමරයක් තුළ ආහාරවලින් දුම් නැගෙන එක අඩු නිසා කෑමක් උපකරණ පාවිච්චි කරලා කට ඇතුලට දා ගන්නා තුරුම එහි තියෙන උෂ්ණත්වය ගැන හැඟීමක් නැති වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා කට පිලිස්සෙන්න තියෙන ඉඩකඩත් ඉහළයි.
අතින් කන එක වඩාත් සුදුසුයි කියන ආගමික විශ්වාස තියෙනවාද?
ශ්‍රී ලංකාව තුල විවිධ ජාතීන් සහ විවිධ ආගම්වලට අයත් බොහෝ දෙනෙක් වාසය කරන නිසාත්, ඒ හැම කෙනෙක්ම වගේ කිසිම වෙනසක් නැතිව හැමදාමත් අතින් අනාගෙන කෑම ගන්නා නිසාත් විවිධ ආගම්, සංස්කෘතීන් හා ආධ්‍යාත්මික විශ්වාසයන් තුල කෑම අතින් අනාගෙන ගැනීම විග්රහ කෙරෙන හැටි ගැනත් හොයලා බලන එක වටිනවා.
ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා ඉන්දියාවෙන් අපට ලැබුණු බෞද්ධ සහ හින්දු යන ආගම් / විශ්වාස අනුගමනය පිරිස් නිසා ඉන්දියාවේ සංස්කෘතියෙන් ඇති වුණු බලපෑම අමතක කරන්න බැහැ. බුදු දහම තුළ අතින් අනාගෙන ආහාර ගැනීම ගැන විශේෂයෙන් සඳහනක් නොතිබුණත් හින්දු ආගමේ නම් එයට සුවිශේෂ තැනක් හිමි වෙනවා.
ඉතාම පැරණි ඉන්දියානු දහමක් වූ හින්දු ආගමේ බොහෝ ලේඛන “වේදය” කියන සංස්කෘත ලියැවිලි ඇසුරින් සකස් වුණු ඒවා. වේදයට අනුව කෙනෙකුගේ අතින් අනාගෙන ආහාර ගැනීම “මුද්‍රාවන්”ගෙන් (හස්ත සංඥාවලින්) බිඳී ආපු දෙයක්. යෝගා ව්‍යායාම, භාවනාව සහ ඉන්දියානු නර්තන බොහෝමයකුත් මේ මුද්‍රාවන් පදනම් කරගෙන බිහි වුණු ඒවායි. වේදයට අනුව අතේ ඇඟිලි පහෙන් නිරූපණය වෙන්නේ අග්නි (ගින්දර), වායෝ (වාතය), ආකාශ් (අවකාශය), පඨවි (පොළොව) සහ ජල (ජලය) යන පංච මහා ප්‍රාණ ශක්තීන්. ආයුර්වේද ලේඛනවලත් මිනිස් සිරුර සෑදී තිබෙන්නේ ඉහත කී පංච මහා ප්‍රාණ ශක්තීන්ගෙන් (ජීව ශක්තීන්ගෙන්) කියා කියවෙනවා.
මේ නිසා අපි අතේ ඇඟිලි පාවිච්චි කරලා කෑම අනාගෙන කනකොට ඒ ඒ ඇඟිල්ලෙන් සංකේතවත් වන ප්‍රාණය ආහාරයට ඇවිත්, එහෙමත් නැතිනම් එකතු වෙලා ආහාරයේ තියෙන ඍණාත්මක දේවල් හා දෝෂ එයින් ඉවත් කරලා කෑමට සුදුසු තත්ත්වයට පත් කරන්න උදව් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා. ආයුර්වේදයේ දැක්මට අනුව මේ යම් ප්‍රාණ ශක්තියක් හෝ අඩුවෙන් මුසු වීම රෝගී වීමට හේතුවක් විදිහටත් විශ්වාස කෙරෙනවා. මේ නිසා ඇතැම් හින්දු ජාතිකයන් ආහාර ගන්නකොට ඇඟිලි පහම උවමනාවෙන් භාවිත කර අනා ගැනීම මගින් ප්‍රාණ ශක්තීන් මුසු වීම සමබරව කර ගන්නත් උත්සාහ කරනවා.
අතින් අනාගෙන ආහාර ගැනීමේ සුවිශේෂී ක්‍රමයක් ඉස්ලාම් ආගමේ දකින්න පුළුවන්. මුස්ලිම් ජාතිකයන් අතර පවතින සාමාන්‍ය ගති පැවැත්මක් වන්නේ ආහාර ගන්න ඇඟිලි තුනක් පමණක් පාවිච්චි කිරීමයි. යම් ආහාර කොටසක් අතින් අරගෙන කටට දමා ගන්නට ඇඟිලි තුනකට වඩා පාවිච්චි කිරීමට අවශ්‍ය නැති නිසා ඇඟිලි තුනකට වඩා ආහාර ගන්න පාවිච්චි කරන එක පෙරේතකම සහ හැදියාවක් නැති කම දැක්වෙන දෙයක් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඇඟිලි පහම පාවිච්චිය සුදුසු වන්නේ සැහැල්ලු සහ ඇඟිලි තුනකින් ගත නොහැකි ආහාර සඳහා පමණක් බව ඔවුන් විශ්වාස කරනවා.
ක්‍රිස්තියානි ආගම බටහිරින් ලැබුණු නිසා එහි අතින් කෑම ගැනීම ගැන විශේෂ සඳහනක් නැහැ.
ශ්‍රී ලංකාවේ බෞද්ධ හා ක්‍රිස්තියානි/ කතෝලික බහුතරයක් ජනතාව වගේම සමහරවිට හින්දු සහ ඉස්ලාම් ජාතිකයන්ට වුණත් මේ ආධ්‍යාත්මික කාරණා ගැන එතරම් දැනුමක් නැතිව ඇති. නමුත් මේ වගේ ලිපියකින් හරි ඒ ගැන හොයලා බලන එක වැදගත් වේවි කියලා හිතුණේ අපි හැමදාමත් කරන දේකට ඒ තුළින් යම් අරුතක් ගෙන එන නිසායි.
අතින් අනාගෙන කනකොට අනුගමනය කළ යුතු පිළිවෙත්
අතින් කන එක නම් ශ්‍රී ලංකාවේ හැමෝම වගේ කිසිම අපහසුවකින් තොරව ඉගෙන ගන්නවා. කාලයක් තිස්සේ හැමදාම කරන දෙයක් නිසා කෑම ගන්නකොට ඒ ගැන විශේෂයෙන් හිතන්න දේකුත් නැහැ. කොහොම නමුත් සමහර අයට වඩාත් හොඳට පුරුදු විවිධ උපකරණ පාව්ච්චි කරලා ආහාර ගන්නා එක වෙන්නත් පුළුවන්. දූපතක් විදිහට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඉතාම විවෘත මනසකින් යුතු අයයි. විදේශීය රටක කෙනෙක්ට අතින් ආහාර ගන්න කියා බල නොකරන්නත්, ඔවුන් අතින් ආහාර ගන්න උත්සාහ කරනකොට ඒකට උපදෙස් ලබා දෙන්නත් ඔවුන් උවමනාවෙන්ම ඉදිරිපත් වෙනවා. විදේශීය අයත් එක්ක එකට ආහාර ගන්නකොට ඔවුන්ගේ ආහාර ගන්නා උපකරණ (හැඳි, ගෑරුප්පු, පිහි හෝ ලී කෝටු) භාවිතයටත් ඔවුන් මැලි වෙන්නේ නැහැ. කොහොම වුණත් විදේශීය කෙනෙක් අතින් කන්න උත්සාහයක් ගන්නවා නම් ඒ අය සාමාන්‍යයෙන් අනුගමනය කළ යුතු දේවල් විදිහට පහතින් තියෙන කාරණා කියලා දුන්නොත් අපහසුතා ඇති වෙන එක අවම වේවි.
- කෑම කන්න කලින් වගේම කෑම ගැනීමෙන් පසුවත් අත් සෝදා ගන්න. (ශ්‍රී ලංකාවේ කොතැනින් කෑම කන්න ගියත් අත් සෝදා ගන්න තැනක් වගේම සබන් හෝ වෙනත් සේදුම් ද්‍රව්‍යයකුත් නිතරම තියෙන බවත් ඔවුන්ට කියා දෙන්න)
- දකුණු අත පාවිච්චි කරන්න. (වමත්කරුවන්ට යම් වෙනසක් තිබුණත් දැන් ශ්‍රී ලාංකීය වමත්කරුවන් නම් බොහෝ දෙනෙක් කෑම කන්න කෙසේ හෝ දකුණු අත පාවිච්චි කරනවා)
- ඇඟිලිවල දෙවැනි පුරුකෙන් ඉහළට කෑම තැවරෙන එක අඩු කර ගන්න උත්සාහ කරන්න. (අල්ල පාවිච්චි කිරීම සහ මිරිකීම අප්රියත්වයක් ඇති කරනවා)
- ඇඟිලි ලෙව කෑමෙන් වළකින්න. (මෙය ඉතාම නුසුදුසු ක්‍රියාවක් කියලා සැලකෙනවා)
විදේශිකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආහාරවලට කැමැත්තක් දක්වනවා වගේම ඒවා අපි කන විදිහටම ආහාරයට ගන්නත් ගොඩක් උනන්දුයි. ඒවා බොහොම රසවත් වගේම පෝෂණයෙනුත් ඉහළ බව ඔවුන් පිළිගන්නවා. ලෝකය පුරාම දැන් සංචාරක කර්මාන්තයේ දියුණුවත් එක්ක විවිධ රටවලට, සංස්කෘතීන්වලට ආවේණික අත්දැකීම් සොයා යන පිරිස වැඩි වෙලා තියෙනවා. අතින් අනාගෙන කෑම කන එකත් විදේශිකයන් බොහෝ දෙනෙක් අලුතෙන්ම අත්හදා බලන්න උත්සාහ කරන දෙයක්. අනිත් අතට බටහිර ජාතීන් පවා විශාල උපකරණ ප්‍රමාණයක් පාවිච්චි කරලා ගන්නා ආහාර වේල්වලට වඩා පහසුවෙන් සහ නිදහසේ ආහාර ගන්නා ක්‍රමවලට ටිකෙන් ටික හැරෙන්න පටන් අරන්.
ඉතින් සමහර විට අතින් අනාගෙන ආහාර ගන්නා එකටත් ලෝකය පුරා තැනක් හිමි වේවි. අපේ රටේ ආහාර නම් අතින් අනන්නේ නැතිව කෑවාට ඒවායේ ආවේණික රසය දැනෙන්නේ නැති බව බහුතරයක් විදේශිකයන් පවා පිළිගන්නවා. මේ නිසා තමන් අඳුනන විදේශිකයෙක් අතින් කෑම කන්න කැමැත්තක් දක්වනවා නම් කලින් කියපු උපදෙස් හතරත් මතක් කරලා, ඔවුන්ට නිවැරදිව කෑම අනාගෙන කන හැටි කියලා දෙන්නත් පසුබට වෙන්න එපා.
රුක්ෂානි වීරසූරිය විසින් රචිත ලිපියේ සිංහල පර්වර්තනයකි.