ආහාර පිළියෙල කිරීමේදීත් ආහාර පිළිගැන්වීමේදීත් පුරාතන සිංහලයාටම අවේණික වූ, ආහාර සමඟ බැඳී තිබූ නොයෙකුත් සංස්කෘතික අංගයන් අප රටේ දකින්නට ලැබුනා. මීට සියවසකට පෙර ශ්‍රී ලංකාවේ සියළුම ගම්මාන වල මෙම ආහාර හා බැඳි අපූරු සංස්කෘතික අංග ක්‍රියාත්මක වුණා. මේ පිළිවෙත් හා සිරිත් විරිත් අනුගමනය කරමින්, පිළියෙළ කරන්නා වූ ආහාරයේ පෝෂණීය බව, පිරිසිදු බව හා එහි ගුණ අගුණ පිළිබඳව ඔවුන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. අද ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ අපේ පැරැන්නන්ගේ ආහාර හා බැඳි සම්ප්‍රදාය පිළිබඳව විස්තර ටිකක්. එය වත්පිළිවෙත් වලින් ඔබ්බට ගිය විද්‍යාත්මක බවකින් හා ප්‍රයෝගික බවකින් යුත් බව ඔබට ලිපිය කියවා අවසානයේදී තේරුම් යනු ඇත. මීට අමතරව ආහාර හා බැඳි පුරාණ වත්පිළිවෙත් පිළිබඳව ඔබ දන්නා තවත් දේවල් තියනවනම් comment එකකින් ඒ බව කියන්නත් පුළුවන්.
වන්දනීය ශුද්ධ වස්තුව හෙවත් බුද්ධ භෝගය – සහල්
වී, සහල්, හෝ බත් බිම වැටී ඇත්නම් නොපාගා හෝ කොස්සෙන් ඉවත් නොකර අතින් අහුලා නිසි තැන තැබිය යුතුයි ලෙස අපේ පැරැන්නෝ විසින් චාරිත්‍රයක් ලෙස අනුගමනය කළ අයුරක් දකින්නට පුළුවන්. ඒ තරම් භක්තියකින් සහල් වලට ගරු කළ ඔවුන් වී “බුද්ධ බෝගය” ලෙස හදුන්වනවා.
බත් පිසීමේදී අතින් සහල් මිටක් වෙන් කර එය “මිටි හාල් මුට්ටිය” නම් බදුනට දැමීම අතීතයේ ගෘහණියන්ගේ සිරිතක්. එය හදීසි අවස්ථාවකදී හෝ දානමය කටයුත්තක් සඳහා පසුව භාවිතා කරන්නට ඔවුන් පෙළඹී තිබෙනවා. එසේම රැව්ම්, ගෙරවුම් ශබ්ද නොඇසෙන අවස්ථාවකදී සහල් ලිප තැබීමද පැරණි සිරිතක්. සහල් ලිප තැබීමේදී ශබ්ද වලට නිරාවරණය වුවහොත් එයින් බත් අඩු වන බව ඔවුන්ගේ විශ්වාසය විය. තවද තම පවුලට පිළියෙල කරන ආහාරය ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් පිළියෙල කළ යුතු බව මින් අදහස් වෙනවා. බත් මුට්ටිය තෙවරක් ස්පර්ශ කර ලිප තැබීම මෙන්ම බත් බෙදීමේදී එයට තෙවරක් නමස්කාර කිරීම පානම්පත්තුවේ පැරණි ගැමියන්ගේ සිරිතක් බව මහින්ද කුමාර දළුපොත මහතා ඔහුගේ කෘතියක සටහන් කර තිබෙනවා.
බත් පිසූ බදුන පිටත පිරිසිඳු කිරීමකින් තොරව බත් බෙදීම නොකළ යුතු බවත් පුරාණ සිරිතක්. බත් පිසීමේදී උතුරන බත් කැඳ වේලීමෙන් පසුව නැවත පිරිසිදු කිරීම අපහසු බැවින් හා ආහාරයේ පිරිසිදු බව උදෙසා මෙවැනි චාරිත්‍රයක් අනුගමනය කරන්නට ඇතැයි සිතන්නට පුළුවන්. එකල ආහාර පිසීමේදී නිවැසියන්ට අමතරව තවත් එක අයෙකුට බත් ඇති වන සේ ඉවීම සිරිතක්. වර්තමානයේ මෙන් නොව එකළ ගම් පළාත් වලට ආහාර ගන්නා වෙලාවට අමුත්තන් ගොඩ වැදීම සාමාන්‍ය ආකාරයක් වී තිබුණු බව ඉන් පැහැදිළි වෙනවා. රාත්‍රී කාලයේදී බත් පිසූ බදුනේ ඉතා කුඩා ප්‍රමාණයක් බත් ඉතිරි කිරීම තුළින් නිවසට රාත්‍රියට පැමිණෙන යැයි ඔවුන් විශ්වාස කරන ශ්‍රියා කාන්තාව සතුටු වන බව සදහන්. බත් බෙදීමේදී නිවසේ ස්වාමියට ගරු කිරීමක් ලෙස පළමුව ඔහුට බෙදීම සිදු කරනවා මෙන්ම මව ආහාරය සඳහා බත් බෙදා ගන්නේ සියල්ලට බෙදා අවසන් වූ පසුවයි.
පිසගත් පසු බත් උණුසුම් පිටම පන් වලින් හෝ රම්පේ පත්‍ර වලින් වියූ වට්ටියකට බෙදා උණුසුම මදක් අඩු වන තුරු තබා නැවතත් බත් පිසූ බදුනට දැමීම සිදු කරන්නේ ඒ මගින් බත් ඉක්මනින් නරක් වීම වැළක්විමටයි. රම්පේ බතට එක් කිරීම මගින් ආහාර රුචිය වර්ධනය වන අතර බත නිවීම සඳහා රම්පේ පත්‍ර වලින් වියූ වට්ටියකට එකතු කිරීමෙන් ඒ තුළින් ආහාර රුචිය වඩවන සුවදක් නිකුත් වෙනවා.
විවිධ අවස්ථාවන් වලදී බත් විවිධ ආකාරයෙන් හදුන්වනවා. රාත්‍රියේදී පිසූ බත් පසුදා උදේට හදුන්වන්නේ හීල්බත් ලෙසයි. එයට ජලය එකතු කර තබා ආහාරයට ගන්නා විට හදුන්වන්නේ දියබත් ලෙසයි. කමතට රැගෙන ගිය බත් මුත්තෙට්ටුව ලෙසත්, වෙල් යායට රැගෙන යන බත ඇඹුල ලෙසත්, දේවාල වල පිසින බත් මුරුතැන් බත් ලෙස, හා අවමගුලකට පසු පිළියෙල කරන බත මළ බත ලෙසත් හදුන්වනවා.
දුර ගමනක් යාම සඳහා බත් පිළියෙළ කිරීමේදී එය ඔතනු ලැබුවේ දිග ඇරීමේදී ආහාර රුචිය වඩවන සුවදක් එන නෙලුම් කොළවලය.
බත් ගස හෙවත් කොස් ගස
පාරම්පරික ආහාර තාක්ෂණයේදී කොස් විවිධ ආකාරයට පිළියෙළ කරනවා. කොස් යනු ජීර්ණයට අපහසු ආහාරයක් බැවින් එය පිළියෙළ කිරීමේදී නිතරම අඹ ව්‍යංජනයක් සැකසීමත් සිදු වෙනවා. “කොස් කාලා අඹ මුලක් උඩින් පැන්නත් ඇති” යන ව්‍යවහාරය එක් වුයේ ඒ සමඟයි. කොස්, වරකා, හෝ වැල තනියම ආහාරයට ගැනීම ගැමියන්ගේ සිරිත වුණේ නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන, කොස් බෑ හෙවත් කොස් පලු ලෙස හැදින්වූ ඉතිරිය කොළපතක දවටා අසල්වාසීන්ට බෙදා දීම සිදුකර තිබෙනවා. එසේම ඉදුණු වැල මහාමාර්ග දෙපස එල්ලා තිබු බව සදහන්.
සිරිත් හා බැදි විද්‍යාත්මක භාවය
රාත්‍රී කාලයේදී අඟුණ කොළ හෝ කරවිල පිළියෙල නොකිරීම අතීත සම්ප්‍රදායක් විය. මෙවැනි ආහාර ගෙන සිටීමේදී සර්පයන් දෂ්ට කළ විට විස නැසීම සඳහා ප්‍රතිකාර කිරීම අපහසු බව විෂ වෙදකමේ සදහන් වෙනවා. වත්මනට වඩා අතීතයේදී සර්පයන් බහුලව සිටි අතර රාත්‍රී කාලයේදී රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙන යාමද ඉතා අපහසු වුණා.
රාත්‍රී ආහාරය සඳහා පලා මැල්ලුම් පිළියෙළ නොකිරීමට හේතු වන්නේ රාත්‍රියේදී පලා තේරීමේදී එහි සිටින කුඩා කෘමියන් හා පණුවන් ඉවත් කළ නොහැකි බැවින්. තවද පලා වල බඩ විරේක කරවන ගුණයක් තිබීමද මෙයට එක හේතුවක් විය. පොල් සම්බෝල පිළියෙළ කිරීමේදී මිරිස් ගල මත තිබියදී දෙහි ඇඹුල් එක නොකරන ලදී. පලා තේරීම සඳහා කුල්ල භාවිත නොකරන සිරිතක් විය. කුල්ල සහල් පෙළීමට භාවිතා කරන බැවින් එය වියළි තත්ත්වයෙන් තිබිය යුතුයි යන්න ඊට ඉදිරිපත් කළ හැකි හේතුවයි.
සමහර ක්‍රියාවන් උදෙසා විද්‍යාත්මක පදනමක් තිබුනත් තවත් කරුණු විද්‍යාත්මකව පහදා ගැනීමට නොහැකියි. ඉතින් පැරණි සිංහලයන්ගේ ආහාර හා බැඳි සංස්කෘතිය කොතරම් සරල මෙන්ම කොතරම් අකර්ශණියද යන්න ඔබට දැන් වැටහෙනු ඇත.
මුලාශ්‍ර- වට පිළ – මහින්ද කුමාර දළුපොත
ගැමි ගෙදර මුළුතැන්ගෙය – ගුණසේකර ගුණසෝම
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාර රටාව -පණ්ඩුල ඇඳගම
ලසන්ත කුලරත්න