Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රීසියෙන් ලොවට විවර වුණු ස්පා සැලොන් දොර

ස්පා -Spa – යන වචනය නොඇසූ නොදන්නා කිසිවෙක් මෙකල ඉන්නවාය කීවොත් කාගේ වුවත් ඇස් පුදුමයෙන් උඩ යනවාට කිසිම සැකයක් නැහැ. පාරක යන විටත් ස්පා බෝඩ් හත අටක් හමු වන තරමට මෙරටත් මේ වන විට ස්පා බහුලයි. මේ උත්සාහය ස්පා සංස්කෘතියේ අක්මුල් සොයා යාමටයි.

ඇතමකුගේ මතය අනුව ස්පා වචනයට බැබිලෝනියානු කඳුවැටි හරහා ඓතිහාසික ග්‍රීක ශිෂ්ටාචාරය තෙක් දිවෙන ඉතිහාසයක් තියෙනවා. තවත් මතයකට අනුව ස්පා යන්න ජලයෙන් සුවය (health  through water)  යන තේරුම ඇති Sanus Per Aquam යන ලතින් යෙදුමේ වචනවල මුල් අකුරු එකතුවෙන් සැදුණු ඇක්රනිම් එකක් (acronym) හෙවත් කෙටි යෙදුමක්.

පුරාණ රෝම සේනාංකවල තුවාල ලත් සෙබළුන් තම තුවාලවල වේදනාව සමනය කර ගන්නටත්, තුවාල සුව කර ගන්නටත් ස්වාභාවික උණු දිය  භාවිත කළා. රෝම භාවිතය තුළ නාන ස්ථාන (baths) ‘aquae’යන නමින් හැඳින් වූ අතර ප්‍රතිකාර ‘ sanus per aquam’ යනුවෙන් හැඳින්වුණා. ඒ අතර තව කෙනකු විශ්වාස කරන්නේ, ස්පා යන වචනය රෝම යුගයේ පටන්  නාන තොටවලට ප්‍රකට ස්පා නමැති බෙල්ජියන් නගරයේ නමින් ඇති වූවක් බවයි.

එංගලන්තයේ සමර්සෙට් හි ලෝක උරුම අඩවියක් වන බාත්

 

උණු වතුර ස්නානය සහ උණු වායු ස්නානය 

දුර අතීතයේ පටන් ම ස්පා සහ ජලය අතර විශේෂ බැඳියාවක් තිබුණා. බොහෝ ශිෂ්ටාචාරවල නෑම යනු තනිව ම කරන හුදෙකලා කටයුත්තක් වුවත්, පුරාණ රෝම, මෙසපොතේනියානු, ඊජිප්තු, මිනෝවානු මෙන් ම ග්‍රීක ශිෂ්ටාචාරවලත්  සමූහ ස්නානය (social bathing) ආගමික චාරිත්‍රයක් මෙන් ම සංස්කෘතියේ කොටසක් බවටත් පත් ව තිබුණා. සමූහ ස්නානය සඳහා තටාක (baths) භාවිත කළ පුරාණතමයන් වශයෙන් සැලකෙන්නේ ග්‍රීක ජනතාවයි.

 එංගලන්තයේ බාත්හි රෝම ස්නාන (ඇක්වා සුලිස්) සංකීර්ණය තුළ ඇති ‘ද ග්‍රේට් – කිංග්ස් බාත්’ – getty images

 

උණු දිය නෑමේ සහ උණු වායු නෑමේ ස්ථාන සංකල්පය එනම් laconica ලොවට හඳුන්වා දුන්නේ ග්‍රීකයන්. ග්‍රීකයන්ගේ laconica රෝම වැසියන් රෝමයේ දී balonium බවටත් පසුව thermae (උෂ්ණය යන්නට ග්‍රීක වචනය) බවටත් අනුවර්තනය කළා. අලුතින් බලයට පත්වන සෑම අධිරාජයකු ම වඩ වඩාත් විශාල සහ වැඩි වැඩියෙන් සුව පහසු නාන තටාක  ඉදි කළා.

ඉන් සමහරක් එකවර 6000කට නෑමට හැකි තරම් විශාලත්වයෙන් යුතුයි. රෝම අධිරාජ්‍යය බිඳ වැටීමත් සමඟ ස්පාවල ජනප්‍රියත්වයත් බිඳවැටුණු බව සැබෑ වුවත්, රෝග සුව කිරීමට ජලයට ඇති බලය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණේ නැහැ.

එංගලන්තයේ සමර්සෙට් හි ලෝක උරුම අඩවියක් වන බාත් හි ඇති ‘කිංග්ස් බාත්’ – bathworldheritage.org.uk 

ස්වාභාවික ජලාශ බහුල නගර

පුනරුද යුගයත් සමඟ බෙල්ජියමේ Spa, ස්විස්ටර්ලන්තයේ Paeffers, ජර්මනියේ Baden- Baden එංගලන්තයේ Bath වැනි සුවකිරීමේ ගුණය සහිතයැයි විශ්වාස කළ ස්වාභාවික ජලාශ බහුල නගර,  ස්පා ගමනාන්ත බවට ක්‍රමයෙන් පත්වන ආකරය දක්නට ලැබුණා.

එංගලන්තයේ සමර්සෙට් හි ලෝක උරුම අඩවියක් වන බාත් හි ඇති ‘කිංග්ස් බාත්’ වෙත දිය උල්පත් හරහා දිනකට උණු දිය ගැලුම් 250,000 ක් ගලා යනවා. එයට දිය සපයන්නේ ප්‍රධාන උණු දිය උල්පත් තුනකින්. බාත් නගරයේ දියුණු අවධියේ දී උණු දිය උල්පත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර සුව කිරීම සහ විනෝදය සඳහා ජලය කේන්ද්‍රීය අද්විතීය සමාජ ඉතිහාසයක් සහ සංස්කෘතියක් එහි වූ බව සඳහන්.

මොරොක්කෝ Volubilis හි රෝම ස්නානාගාරයක් – getty images

 

වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් හේතුවෙන් විසිවන සියවසේ ඖෂධ (medicine),  සුවතාව (wellbeing ) සම්බන්ධ සියලු අංගෝපාංග  ඇලෝපති (allopathy) හෙවත් බටහිර වෛද්‍ය ක්‍රමය පවරා ගත්තා. ස්වාභාවික ජලාශවල සුව කිරීමේ කටයුත්තට විකල්ප වශයෙන් බෙහෙත් ශාලා (dispensary) සහ මහජන රෝහල් ආරම්භ කෙරුණා.

ස්පාවල ආරම්භක අරමුණ වෙනස් වී ඒවා ධනවතුන්ට පමණක් සේවා සපයන නිවාඩු නිකේතන බවට පත්වීමට රෝහල් සහ ඩිස්පැන්සරි  බලපෑවා. ඒ අතරම, තවත් අතකින් ෆිට්නස් (fitness) සහ රූපලාවන්‍ය සේවා එකවර සපයන ඩේ ස්පා (Day Spa) යන නමින් හඳුන්වන ආයතන පද්ධතියකුත් ඇති වී තිබෙනවා. 

පෘතුගාලයේ පැරණි රෝම නගරයක් වන කොයිම්බ්‍රිගා හි නාන නිවසක නටබුන් – getty images

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය 

ස්ලෝපා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය නම් සෞඛ්‍යය යනු රෝගාබාධවලින් හෝ දුබලතාවන්ගෙන් හෝ මිදීම පමණක් නොව පරිපූර්ණ කායික, මානසික, සහ සමාජ යහ පැවැත්ම බවයි. සෞඛ්‍යය පිළිබඳ යහපත් අවධානය නිසා වත්මන් සමාජය විවේකය යනු  යහ පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් බව සිතනවා. ස්පා සංස්කෘතියේ පුනර්ජීවයට එයත් හේතුවක්.

නූතන ස්පා ප්‍රතිකාර පරාසය තෙත්, වියළි, සුවතා ප්‍රතිකාර; රූපලාවන්‍ය ආදී පුළුල් පරාසයක පැතිරී තිබෙනවා.  යෝගා, ආයුර්වේද ෆ්ලොටින් තෙරපි, වාස්තු, වෝටර් ඩාන්ස්, යුරෝපියන් ෆේෂල්, අකුපන්චර්, ඇරොමාතෙරපි, රිෆෙක්සොලොජි,රාසුල්, තායි චි ආදි තවත් බොහෝ දෑ නූතන ස්පාවලට ඇතුළත් ව පවතිනවා.

ඉතාලියේ ෆියෙසෝල් හි රෝම නාන ගෙයක නටබුන් – gettyimages

ගුරු Deepak ගේ අදහස

මනස් කාය ගුරු (mind-body guru) Deepak Chopra පෙන්වා දෙන ආකාරයට මනස සහ සිරුර සමගාමී විශ්ව දෙකක් හා සමානයි. මනස් විශ්වයේ සිදු වන ඕනෑම දෙයක් සිරුරු විශ්වයටත් සම්බන්ධ වෙනවා.

ආසියානු ස්පා ප්‍රතිකාර නවෝදයට ගුරු Deepak ගේ අදහස අදාළ වන්නේ, ආසියානු ස්පා අධ්‍යාත්මික, මානසික, සහ ශාරීරික යහ පැවැත්ම පිළිබඳ පෞරාණික සංකල්ප සමඟ සම්බන්ධතාවක් දක්වන නිසයි. පෞරාණික ආසියානු දැනුමින් පැහැදිලි කරන්නේ, පරම රූප සොබාව ඇති වන්නේ මනසේත් සිරුරේත් සංකලනයෙන් බවයි.

 එංගලන්තයේ ව්රොක්ස්ටර්හි Viroconium Cornoviorum පොදු ස්නානාගාරයක පිවිසුම – getty images 

 

ආසියාවේ භාවිත වන ස්වභාවික ප්‍රතිකාර, සාම්ප්‍රදායික පිළිවෙත්, ඔසු පැළ, තායි චි, කි ගොන්ග් ආදියෙහි අක්මුල්, දාහත් වන සියවසේ ජාවා හි ඇතැම් ස්ථාන දක්වා පැතිර පවතිනවා. මැලේසියානු  සුවකිරීමේ ප්‍රතිකාර එරට ස්වදේශික ඔරැන් අස්ලි (Orang Asli) ජනතාවගෙන් පැවැත එන ඖෂධ පිළිබඳ පාරම්පරික ඥානය සමඟ සම්බන්ධ යි. එරට නූතන ස්පාවලින් ලොව වෙනත් කිසි තැනක නොමැති  අසමසම සේවයක් සැපයෙන්නේ පෙර කී සම්ප්‍රදායික දැනුම සංකලනය වී ඇති නිසා යි.

එංගලන්තයේ කෙන්ට් හි රිච්බරෝ රෝමානු බළකොටුවේ තාප ස්නානය සහිත නිවසක නටබුන් – getty images

 

ප්ලාස්ටික් සැත්කමට ස්පා හි දොර ඇරීම 

ස්පා සංස්කෘතියේ නවත ම අංගය හඳුන්වන්නේ මෙඩි ස්පා (medi-spa) යන නමින්. ප්ලාස්ටික් සැත්කම් නූතන මෙඩි ස්පා හි එක් අංගයක්. එහි අනෙක් අංගය වන්නේ රෝගී ව සුවය ලැබූවන් රැක බලා ගැනීම සහ පෝෂණය කිරීම.  

මේ වන විට සුවය සලසන ප්‍රතිකාර සහ ප්ලාස්ටික් සැත්කම් ඇතුළත් නිවාඩුවක් ගත කරන්නත් එනිසා ඔබට පුළුවන්කම තියෙනවා.

සියලු ම නාන කාමර කොටස් ලතින් බසින් නම් කළ රෝම තාප ස්නානය පිළිබඳ පෞරාණික නිදර්ශනයක් – getty images

 

නොනවතින දිවීමේ තරගයකට මුහුණ දී සිටින නූතන මිනිසාට, ආහාර පාලනයෙන්, ව්‍යායාම මගින් සහ  සැහැල්ලු වීමේ  ශිල්පක්‍රම මගින් තමන්ගේ වේගය පාලනය කර ගැනීමේ සහ තම ආරක්ෂාව සලසා ගැනීමේ වැදගත්කම වසංගත සමය තුළ හොඳින් දැනෙන්නට පටන් අරං.

රෝගයක් වැලඳුණු පසු ව වෛද්‍යවරයකු හමුවනවාට වඩා මනසත් සිරුරත් හොඳින් පවත්වා ගැනීම වැදගත් බව වත්මන් සමාජය දැන් අත්දැකීමෙන් ම දන්නවා.

එංගලන්තයේ සිරෙන්ස්ටර් අසල තිබූ රෝම විලාවක නාන කාමරයක කොටසක් – getty images

මනසත් සිරුරත් නීරෝගී ව පවත්වා ගන්නට ස්පාවලට ඇති හැකියාව නිසාත්, කුමන දේ තිබුණත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නැතිනම් ඒ කිසිවකින් පලක් නොමැති බව ජනතාව දන්නා නිසාත් ග්‍රීසියෙන් ඇරඹුණු ස්පා හි ගමන තවත් සියවස් ගණනකින් වත් නතර නොවන බව  නම් අපට පැහැදිලියි.

කවරය: 2 වන සියවසේදී රෝමවරුන් ඉදි කළ තුර්කියේ යොස්ගාට් හි රෝම ස්නානාගාරය - getty images

මූලාශ්‍ර :

bathworldheritage.org.uk 

lithub.com

thaispa.ca

Related Articles