ලංකා ඉතිහාසය දෙස නැවතත් හැරී බැලීමේ දී බලය ලබාගැනීම සඳහා කළ කුමන්ත්‍රණ, පාවාදීම් සහ ඝාතන රැසක් හමුවනවා. එලෙස හමුවන සිදුවීම් අතුරින් විජයබා කොල්ලයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ, එහි දී පුතුන් තිදෙනා එක්ව පියා මරා දමමින් රජකම ලබාගත් නිසා යි. එදා 6 වැනි විජයබාහු රජතුමා ඔහුගෙන් පසුව ඔහුගේ පරිවාර බිසවකගේ පුතෙකු වුණු දේවරාජ නම් කුමාරයාට රජකම ලබාදීමට පොරොන්දු වීම නිසා මෙම කොල්ලය සිදුවුණා. එලෙස ක්‍රි.ව 1521 වසරේ දී විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය කොටස් 3කට වෙන් වී ගියා.
කෝට්ටේ බලකොටුවක් ඉදිවුණු හැටි
ගම්පොළ රාජධානියේ රජකම් කළ තෙවන වික්‍රමබාහු රජුගේ අගමැතිවරයා වුණේ, රයිගම ප්‍රදේශයේ ප්‍රභූ පවුලකින් පැවතගෙන ආ නිශ්ශංක අලගක්කෝණාර නම් පුද්ගලයා යි. එම අවදිය වන විට උතුරේ පාලනය ගෙන ගිය ආර්ය චක්‍රවර්තී නම් පරපුර වඩාත් බලවත්ව සිටියා. එම නිසාම මීගමුව, හලාවත, කොළඹ, සහ වත්තල වැනි තොටුපොළවල වෙළඳ කටයුතු ආර්ය චක්‍රවර්තීවරුන් විසින් පාලනය කළා. ඒ අනුව, එම වෙළඳාම් කටයුතුවලින් ආර්ය චක්‍රවර්තීවරුන් විශාල ලාභයක් ලබන විට ගම්පොළ රජුට කිසිදු ආදායමක් නොලැබී ගියා. එලෙස ගම්පොළ රජුට වෙළඳාමෙන් ආදායම නොලැබී යාම නිසා උරණ වුණු අගමැති නිශ්ශංක අලගක්කෝණාර, බටහිර වෙරළේ ආර්ය චක්‍රවර්තී බලය බිඳ දැමීම සඳහා උපායක් කල්පනා කළා. එහි දී ඔහු කෝට්ටේ ප්‍රදේශයේ බලකොටුවක් ඉදිකරනු ලැබුවේ, එය සිය සතුරාට පහරදීම වඩාත් ආසන්න ස්ථානයක් නිසායි. එලෙස කෝට්ටේ ඉදිවුණු බලකොටුවේ තුන් පැත්තක් දියවන්නා ඔයෙන් වට වන විට ඉතිරි පැත්ත මඩ වගුරුවලින් යුක්ත වුණා. එම නිසාම කෝට්ටේ බලකොටුව ඉතාමත් ආරක්ෂිත ස්ථානයක් වුණා. ඉන්පසුව, සෑහෙන කාලයකට සරිලන ආහාර කොටුව තුළ ගබඩා කරගත් අලගක්කෝණාර බටහිර වෙරළේ බදු එකතු කළ ආර්ය චක්රවර්තීගේ නිලධාරීන් පන්නා දැමුවේ බටහිර වෙරළේ වෙළඳාම අත්පත් කර ගනිමින්. එම සිද්ධිය ඇසීමෙන් පසුව වඩාත් උරණ වුණු ආර්ය චක්රයක්වරුන් යළි බටහිර වෙරළේ වෙළඳාම අල්ලාගැනීම සඳහා සේනාවක් එවනු ලැබුවා. එලෙස පැමිණි සේනාව පරාජය කළ නිශ්ශංක අලගක්කෝණාරගේ සේනාව බටහිර වෙරළේ වෙළඳාමේ අයිතිය තහවුරු කරගනු ලැබුවා.
කෝට්ටේ රාජධානියේ ස්වර්ණමය යුගය
ක්‍රි.ව. 1415 වසරේ දී 6 වන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ සිය රාජධානිය වශයෙන් තෝරාගන්නා විට, ලංකාවේ ප්‍රාදේශිය රාජ්‍යයන් කිහිපයක් තිබුණා. ඒ අනුව ආර්ය චක්‍රවර්තී පරපුර යාපනය පාලනය කරන විට, ජෝතිය නම් පුද්ගලයෙකු උඩරට රාජධානිය පාලනය කරනු ලැබුවා. එදා සපුමල් කුමරු යවා යාපනයේ ආර්ය චක්‍රවර්තී පරපුරේ බලය බිඳ දැමූ 6 වන පරාක්‍රමබාහු රජතුමා අම්බුළුගල කුමරු යවා ජෝතිය සිටුවරයාව පරාජය කළේ මුළු රටම එක්සේසත් කළ අවසන් රජතුමා ලෙස ඉතිහාසගත වෙමින්. කෝට්ටේ රාජධානියේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ආර්ථික, සාමාජීය, සහ සාහිත්‍ය දියුණුවක් ඇති වුණු බව පැරණි වංශ කතාවල සඳහන් වනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ හිමි, වීදාගම මෛත්‍රී හිමි වැනි හිමිවරුවන් අතින් ලියැවුණු සංදේශ කාව්‍ය සහ පොත් පත් කෝට්ටේ යුගයේ සාහිත්‍ය පෝෂණය කරනු ලැබුවා. එලෙස කෝට්ටේ ප්‍රබල රාජධානියක් බවට පත් කළ 6 වන පරාක්‍රමබාහු රජතුමා ක්‍රි.ව. 1467 දී අභාවයට පත් වීමත් සමගම රාජධානියේ පරිහානිය ආරම්භ වුණා.
6 වන විජයබාහු කෝට්ටේ රජ වීම
ක්‍රි.ව. 1477 දී අම්බුළුගල කුමරු 8 වන වීර පරාක්‍රමබාහු ලෙසින් කෝට්ටේ රාජධානියේ රජකම උරුම කරගනු ලැබුවා. නමුත්, ක්‍රි.ව. 1489 වන විට රජතුමා රෝගී තත්ත්වයෙන් පසු වුණු නිසා ඔහුගේ පුත් 9 වන ධර්ම පරාක්‍රමබාහු රාජධානියේ පාලන කටයුතු භාරගනු ලැබුවා. පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට කෝට්ටේ රජු 8 වන වීර පරාක්‍රමබාහු බව සමහර මූලාශ්රවල සඳහන් වන විට, තවත් මූලාශ්රවල 9 වන ධර්ම පරාක්‍රමබාහු කෝට්ටේ පාලනය කළ බව සඳහන්ව ඇත්තේ ඉහත සිදුවීම නිසා යි. එලෙස 9 වවන ධර්ම පරාක්‍රමබාහුට රාජ්‍යය භාරදෙන විට ඔහුට තවත් බාල සහෝදරයන් 4ක් සිටියා. ඔවුන් පහත ආකාරයට ප්‍රාදේශිය පාලකයන් ලෙස කටයුතු කළා.
ශ්‍රී රාජසිංහ කුමරු- මැණික්කඩවර
සකලකලා වල්ලභ- උඩුගම්පොළ
තානියවල්ලභ- මාදම්පේ
විජයබාහු කුමරු- රයිගම
එදා 9 වන ධර්ම පරාක්‍රමබාහු රජතුමා සිය යුවරජ පදවියට ශ්‍රී රාජසිංහ කුමරු පත් කරගනු ලැබුවා. නමුත්, ටික කලකින් ඔහු මියගිය නිසා සකලකලා වල්ලභ යුවරජ තනතුර සඳහා පත් කර ගත්තා. එම කාල සමයේ දී කෝට්ටේ රාජධානියට සම්බන්ධ බොහෝ ගැටුම්වල දී සේනා මෙහෙයවනු ලැබුවේ සකලකලා වල්ලභ සහ තානිය වල්ලභ යි. එලෙස 9 වැනි ධර්ම පරාක්‍රමබාහු පාලන කටයුතු කරමින් සිටින අතරතුර මරණයට පත් වුණු නිසා සකලකලා වල්ලභ රජකම සඳහා පත් කිරීමට තීරණය වුණා. නමුත්, එම මොහොතේ දී සකලකලා වල්ලභ සිය බාලම සොයුරා වුණු විජයබාහු ඒ සඳහා නියම සුදුස්සා බව ප්‍රකාශ කිරීමෙන් පසුව, විජයබාහු කුමරු 6 වන විජයබාහු නමින් කෝට්ටේ රජකම භාරගනු ලැබුවා.
විජයබා කොල්ලය
6 වන විජයබාහු රජුගේ පුතුන් තිදෙනා වුණේ බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ යන කුමාරවරුන් තිදෙනා යි. මෙම කුමාරවරුන් සිටිය දී රජුගේ වෙනත් බිසවක්, ඇයගේ පුත්‍රයා වුණු දේවරාජ කුමාරයට රජකම ලබාදීම සඳහා කුමන්ත්‍රණය කළා. එම කුමන්ත්‍රණය සඳහා රජුගේ ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනා වුණු කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි සහාය ලබාදුන්නා. එහි දී රජතුමා දේවරාජ කුමරුට රජකම ලබාදීමට එකඟවීමත් සමගම රජුගේ පුතුන් තිදෙනා මාලිගයෙන් පලා ගියා. ඉන්පසුව, එවකට උඩරට රජු ලෙස කටයුතු කළ ජයවීර බණ්ඩාරගේ උදව් ලබාගත් මෙම කුමාරවරුන් තිදෙනා සිය පිය රජතුමාට එරෙහිව සටන් කිරීමට සේනාවක් සමග පැමිණ කැළණියේ කඳවුරු බැඳගනු ලැබුවා. එලෙස සිය පුතුන් තිදෙනා සටනට පැමිණ සිටින බව ආරංචි වීමෙන් බියට පත් වුණු විජයබාහු රජතුමා සාමදාන වන ලෙසින් හඟවා දූතයන් යවනු ලැබුවා. එලෙස දූතයන් යැවීමේ යටි අරමුණ වුණේ කුමාරයන් තිදෙනා හිර භාරයට ගැනීම යි. එම අවස්ථාවේ කුමාරවරුන් සිය පියාට දන්වා සිටියේ සිය පියාගේ ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනා පාවාදීමට කැමති නම් සමාදාන වීමට කැමති බව යි. ඒ අනුව ඔවුන් දෙදෙනා රජ අණින් කැළණියට එවනු ලැබුවත්, ඒකනායක මුදලි කැළණි විහාරයට ගොස් සැඟවුණු නිසා මරණයෙන් බේරීමට සමත් වුණා. කුමාරවරුන් තිදෙනා කඳුරේ බණ්ඩාර මරා දැමීමෙන් පසුව හොර රහසේම කෝට්ටේ මාලිගය වටලනු ලැබුවා. විජයබාහු රජතුමාත් කුමාරවරුන් අල්ලාගන්නා අරමුණෙන් සේනාව මාලිගයෙන් පිටත තබා මාලිගයේ සැඟවී සිටියා. මේ අතර රජකම පවරාදීමට සිටි දේවරාජ නම් සත් හැවිරිදි කුමාරයා විජයබාහු රජු කුමාරවරුන් තිදෙනා මරා දැමීමට සූදානමින් සිටින බව මායාදුන්නේ කුමරුට පවසනු ලැබුවා. ඉන්පසුව, මායාදුන්නේ කුමරු සිය සහෝදරයන්ට ඒ බව දන්වා සේනා මෙහෙයවා රජ මාලිගය කොල්ල කා සිය පියා ද සලමන් නම් පුද්ගලයා ලවා මරා දැම්මා. එලෙස ක්‍රි.ව. 1521 වසරේ දී සිදුවුණු සිදුවිම විජයබා කොල්ලය ලෙසින් හඳුන්වනු ලබනවා.
විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය කොටස් 3කට කැඩෙයි
විජයබා කොල්ලය සිදුවීමෙන් පසුව රාජධානිය කොටස් 3කට වෙන් වුණා. එහි දී වැඩිමහල් පුත් බුවනෙකබාහු 7 වන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජවන විට, රයිගම් බණ්ඩාර රයිගම පාලකයා වුණා. ඔවුන් දෙදෙනාට වඩා රණශූරයෙකු ලෙස ප්‍රසිද්ධ වුණු බාලම පුත් මායාදුන්නේ කුමරු සීතාවක පාලකයා බවට පත් වුණා. ටික කලක් ගත වන විට පෘතුගීසින් කෝට්ටේ රජුගේ සහාය ලබාගෙන කෝට්ටේ රාජධානිය තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළා. මෙයට උරණ වුණු මායාදුන්නේ රජතුමා කෝට්ටේ රාජධානියට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ බුවනෙකබාහු රජතුමා, මායාදුන්නේ කුමරුගේ සේනාවලට පහරදුන්නේ පෘතුගීසින්ගේ සහාය ලබාගෙන යි. එම අවස්ථාවේ දී කැලිකට්වල විසූ සැමෝරින් නම් මලබාර් රජුගේ සහාය ලබාගත් මායාදුන්නේ කොළඹ කොටුව වටලනු ලැබුවා. එම අවස්ථාවේ දී පෘතුගීසින් ගෝවෙන් ආධාර ලබාගෙන මායාදුන්නේ කුමරුගේ සේනාවලට පහර දී එළවා දැමුවා. එලෙස එම කාල සමයේ මායාදුන්නේ රජතුමා නිතර කෝට්ටේ රාජධානියට පහරදීමට උත්සාහ කළා. ක්‍රි.ව. 1538 දී රයිගම් බණ්ඩාර මියයාමත් සමගම එම රාජධානියත් සීතාවකට ඈඳාගත් මායාදුන්නේ රජතුමා පසුකලෙක සීතාවක රාජධානිය එම අවදියේ ප්‍රබලම රාජධානිය බවට පත් කරනු ලැබුවා. එසේම, ක්‍රි.ව. 1551 දී 7 වන බුවනෙකබාහු රජතුමා මරණයට පත් වීමත් සමගම කෝට්ටේ රජකමට පත් වුණු දොන් ජුවන් ධර්මපාල රජතුමා, අවසානයේ දී තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට පවරාදුන් බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.