එකල ලංකාවේ ගමක කන්දක් මුදුනක හෝ වෙල්යායේ කෙළවර ගමටම පෙනෙන පරිදි පන්සල තිබුනා. පන්සලේ ඝන්ටා නාදය අනුව බැතිමතුන් පිංකම් ආදිය පිළිබඳ විස්තර දැනගත්තා.
ඝන්ටා නාදයේ රිද්මය අනුව කරදරයක්ද, සාමාන්‍ය තත්වයක්ද කියා තීරණය කරන්නට ගැමියන් පුරුදු වී සිටියා. ඝන්ටා නාදය ඇසෙන්නේ සුළු ප්‍රෙද්ශයකට පමණයි. විදුලි සංදේශ ක්‍රමවේද පැමිනෙන්ට පෙර පැවති පණිවුඩ හුවමාරු ක්‍රම රැසක එවන් සීමාවන් රැසක් තිබුන අතර කලක් තිස්සේ සිදු වූ ටෙලිකොම් ක්ෂේත්‍රෙය් දියුනුව නිසා අපිට අද මේ මොහොතේ ලෝකයේ ඈත කෙළවරක වුවද වන සිදුවීමක් අනතුරක් එවෙලේම වීඩියෝ මාර්ගයෙන් පවා දැනගන්නට අවස්ථාව ලැබි තිබෙනවා.
යන්ත්‍ර ක්‍රියාකිරීමට අවශ්‍ය බලශක්තිය විදුලිය මාර්ගයෙන් තැනකින් තවත් තැනකට ප්‍රචාරනය කිරීමට හැකිවීමත් සමග ලෝකයේ කාර්මීකරණය එතෙක් පැවතියාට වඩා ඉක්මනින් දියුනු වන්නට වුනා. එක් තැනකදී නිපදවන විදුලිය ඈත දුර තව තැනකදී චලනය වීමට අවශ්‍ය ශක්තිය, ආලෝකය නිපදවීමට අවශ්‍ය ශක්තිය, තාප ශක්තිය ආදී විවිධ ශක්තීන් බවට පහසුවෙන් පරිවර්ථනය කරගන්නට හැකිවුනා. මේ විදුලිය මගින් පහසුවෙන්ම සංඥා යැවීමේ හැකියාව තිබෙනවක්ද විද්‍යාඥයින් සොයාගනු ලැබුණි.
ටෙලිග්‍රාෆ් යුගය
විදුලි රැහැන් දිගේ ගෙන යන විද්‍යුත් ධාරා මගින් පණිවුඩ හුවමාරුව හෙවත් ටෙලිග්‍රාෆ් ක්‍රමය මුලින්ම වාණිජව හඳුන්වාදෙන්නේ 1837 දීය.
ඉන් වසර 20කට පසුව එවකට සිලෝන් ලෙස හඳුන්වනු ලැබූ අප රටේ මුල්ම ටෙලිග්‍රාෆ් පද්ධතිය ස්ථාපනය කෙරිණි. 1850 කාලයේදී වේගවත් ලෙස පණිවුඩ හුවමාරු කරගන්නට ලංකාවේ යටත්විජිත පාලකයින් පරවියන් භාවිතා කළහ. එංගලන්තයේ ටෙලිග්‍රාෆ් මගින් පණිවුඩ හුවමාරුව ජනප්‍රිය වූ කල එවකට ලංකාවේ ආන්ඩුකාර හෙන්රි වෝඩ් විසින් ඉන්දියාවේ තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්ථමේන්තුවට අනුබද්ධව සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්ථමේන්තුව ආරම්භ කරන ලදී.
එවකට ලෝකයේ ප්‍රධානකොටම මුහුදු ගමනාගමනය සිදු වූයේ රුවල් නැව් ආශ්‍රයෙනි එබැවින් කුඩා රුවල් නැව් රැසක් නවතාලිය හැකි ගාලු වරාය ලංකාවේ ප්‍රදානතම වරායක් විය. වාණිජමය නුවරක් වූ ගාල්ල සහ පරිපාලනමය අගනුවර වූ කොළඹ අතර පණිවුඩ හුවමාරුවේ වැදගත්කම එකල යටත්විජිත පාලකයිනට නිබදවම දැනෙන්නට ඇත.
සැතපුම් 74ක් දිගට තඹ කේබල් ඇද ටෙලිග්‍රාෆ් පණිවුඩ පද්ධතියක් ගාල්ල සහ කොළඹ අතර ස්ථාපනය කරන්නටත් එවකට ලක් රජය උත්සුක විය.
එකල තත්වයේ හැටියට රැහැන් කනු වෙනුවට දකුණු වෙරළ තීරයේ ප්‍රචලිතව තිබූ පොල්ගස් පවා සම්බන්ධ කරගෙන අදින ලද කේබලයෙන් යම්තාක් දුරකටත සතුටුදායක සේවාවක් ලබාගන්නට හැකිවිය. නමුත් ඒ සියල්ල ධාරානිපාත මෝසම් වැසි සහ සුළං පැමිණෙන තෙක් පමනි, නිරිත දිග මෝසම රටට පිවිසෙන මෙම දකුණු වෙරළ තීරයේ දැඩි ප්‍රවාහයන්ට හසුවුනු පොල් ගස් සහ ගස් කඩාවැටීම් නිසා කේබල නිතරම විසන්ධි වන්නට විය.
කෙසේ වුවද ටෙලිෆෝන පද්ධති ජනප්‍රිය වන තෙක් අඩසියවසක කාලයක් තිස්සේ මෙම ටෙලිග්‍රාෆ් කේබල හරහා විවිධ ක්‍රමවේද ඔස්සේ පණිවුඩ හුවමාරු විය. 1893 වනවිට සැතපුම් 3300ක් දිග කේබල් ජාලයක් ටෙලිග්‍රාෆ් පද්ධතිය සතු විය.
මුහුදු කේබලය ඇදිම
එවකට ලංකාව සහ ඉන්දියාව වෙනමම පාලනය වුවද අයිති වූයේ එකම බ්‍රිතාන්‍ය කිරීටයකටය. මුහුද යටින් යෙදු කේබල් මගින් ටෙලිග්‍රාෆ් පණිවුඩ හුවමාරුව මුලින්ම වාණිජ වශයෙන් සාර්ථක වූයේ එංගලන්තය සහ ප්‍රංශය අතර 1850 දී ඇදි මුහුදු කේබලයක් මගිනි.
1858 දී අත්ලාන්තික් සයුර තරණය කොට එංගලන්තය සහ ඇමරිකාව ටෙලිග්‍රාෆ් තඹ කේබලයකින් එකිනෙක සම්බන්ධ විය. 1857 දී පෝක් සමුද්‍ර සන්ධිය හරහා රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා ටෙලිග්‍රාෆ් කේබලයකින් ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ විය. තලෙයිමන්නාරමට සම්බන්ධ වූ ටෙලිග්‍රාෆ් මුහුදු කේබලය හා එකතුවන්නට කොළඹ සිට තලෙයිමන්නාරම කරාද ගොඩබිමින් කේබලයක් ඇදුනි.
1870 වනවිට සෞදි අරාබිය හා ඉන්දියාව මුහුදු ටෙලිග්‍රාෆ් කේබල වලින් සම්බන්ධ විය. ඒ හරහා එවකට බ්‍රිටිෂ් ඉන්දියාවට මහා බ්‍රිතාන්‍ය සමග 1872 දී ටෙලිග්‍රාෆ් පණිවුඩ හුවමාරු කරගන්නට හැකි විය. ඒ කාලයේ තිබූ අවශ්‍යතාවය වැඩිවීම නිසාදෝ ලංකාව සහ ඉන්දියාව අතර පෝක් සමුද්‍ර සන්ධියෙන් 1882 දී තවත් කේබලයක් එකතු විය. මේ සමගම ලංකාවටද කෙලින්ම මහා බ්‍රිතාන්‍ය සමග පණිවුඩ හුවමාරුව ආරම්භ කරන්නට හැකිවිය.
මුල් යුගයේ ටෙලිකොම් අභියෝග
මුල් කාලයේ තිබූ මූලික කේත ක්‍රමයක් වූ ටෙලිග්‍රාෆ් වෙනුවට 1860 දී මෝස් කේත ක්‍රමය ලංකාවේද භාවිතයට ගැනුනි. කණු මත සිටවූ රැහැන් මත වැසි සුලං නිසා ගස් කඩා වැටී සම්බන්ධතා හිටිවනම අඩපන වන්නට විය.
එදා ලංකාවේ අලි ඇතුන් වර්ථමානයේ මෙන් වනෝද්‍යාන වලට පමණක් සීමා නොවූ අතර අලි ලංකාව පුරාම විහිදී පැතිරී නිදහසේ දිවි ගෙවූහ. අදද වනෝද්‍යාන අසබඩ පිහිටුවා ඇති ටෙලිෆෝන් කනු වල පිටකැසීමට පැමිණෙන අලින් නිසා ටෙලිකොම් කණු කැඩී බිඳී යෑම් නිතරම අලි වාසය කරන පලාත්වලින් වාර්ථා වේ.
එකලද ඉපැරණි වාර්ථාවන් ආදියෙහි අලි හිරිහැර නිසා ටෙලිකොම් රැහැන් වලට දැඩි බාධා එල්ල වූ බවට ආනෝල්ඩ් වේට් විසින් පලකල 20 වන සියවසේ ලංකාව නැමැති පොතේ පලවී තිබේ.
පසුකාලීනව ටෙලිකොම් ජාලය ව්‍යාප්ත කිරිම දුම්රිය මාර්ගය දිගේ ඇදි කේබල භාවිත කරන්නට විය. අදද දුම්රිය ධාවනයේදී සංඥා පද්ධති සඳහා විදුලි සංදේශ පද්ධති භාවිතයට ගැනේ.
ටෙලිෆෝනයේ බිහිවීම
ශබ්ධ තරංගයක් එක් අන්තයක සිට තවත් අන්තයකට විදුලිය හරහා සම්ප්‍රේශනය කොට මුලින්ම එය අත්හදා බලා තිබෙන්නේ ජර්මන් ජාතික පිලිප් රෙයිස් විසිනි. ශර්ලොක් හෝම්ස් කථාන්දරයේදී හෝම්ස් ගේ අසහාය සහායකයා වන්නේ වොට්සන්ය. එසේම ග්‍රැහැම් බෙල්ද 1876දී ටෙලිෆෝනය සොයාගෙන මුල්ම ඇමතුම ලබාගන්නේ සිය සහායකයා වූ වොට්සන් වෙතටය.
එම දිනවලම වාගේ එලිෂා ග්‍රේ (Elisha Gray) නැමැති අමරිකානු ජාතිකයෙකුද දුරකථනය සොයාගත්තේ යැයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගේ දුරකථන පේටන්ට් පත්‍රයට අභියෝග කලේය. නමුත් අවසානයේ මුලින්ම පේටන් පත ලබාගත් ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ටම දුරකථනයේ මුල් අයිතිය හිමි විය.
1890 දී එරික්සන් සමාගම විසින් මුල්ම ටෙලිෆෝනය සොයාගෙන එය වාණීජව නිපදවන්නට පටන් ගත්තා වුවද වඩා ප්‍රචලිත වීමට කලක් ගතවිය. එක් අන්තයකින් යන හඩ පණිවුඩයක් කම්බියක් දිගේ යවන්නට හැකි වුවද එක් ටෙලිෆෝනයකින් ග්‍රාහකයින් කිහිප දෙනෙකු ඇමතීමට නම් ටෙලිකොම් ජාලයේ මැද ස්විචිකරන පද්ධතියක් තිබිය යුතුය. එක් ටෙලිෆෝනයකින් තවත් ටෙලිෆෝනයක් සම්බන්ධ කිරීම මුල් කාලයේදී අතරමැද සිටි සහායිකාවක් (Manual Board Operator) හරහා සිදුවිය.
සිරිලකට ටෙලිෆෝන්
1880 දී ඔරියන්ටල් ටෙලිෆෝන් සමාගම විසින් ලංකාවට හඳුන්වා දුන් දුරකථන ඇමතුම් පද්ධතිය, 1896 වනවිට සැතපුම් 150ක දිගින් යුතු කේබල් සහිතව පාරිභෝගිකයින් 96 දෙනෙකුට සේවා සපයන ආයතනයක් විය. ටෙලිෆෝනයේ ආරම්භක අවධියේදී ටෙලිෆොන් සේම රාජකාරි කටයුතු සඳහා ටෙලිප්‍රින්ටර් සහ ටෙලෙක්ස් වැනි පහසුකම් භාවිත කරන ලදී. එහිදී එක් අන්තයකින් කේතනය කරන ලද පණිවුඩයක් අනෙක් අන්තයෙන් ලබාගැනීමේ හැකියාව තිබුනි.
මුල් යුගවලදී විදුලි බලයෙන් ක්‍රියාකළ ට්‍රෑම් රථ කොළඹ කොටුවේ හතරදිග්බාගයට ම විහිදී තිබුනි. එ‍් හේතුවෙන් අමතර අනවශ්‍ය සංඥා ඇති වී ටෙලිෆෝන් පණිවුඩ වලට නිතර බාධා ඇති විය. එහෙත් පසුව ඒ සදහා විසඳුම් ඉදිරිපත් කිරීමට එවකට විදුලි ඉංජිනේරුවෝ සමත් වූහ.
1910
ප්‍රථම වරට භූගතව ටෙලිකොම් කේබල ඇදීම ආරම්භ වූයේ පොටවල් යුගල 25ක කේබලයක් සැතපුම් නවයක් දුරට කොළඹ සිට ඇදීමෙනි.
1911
එතෙක් කොටුවේ ප්‍රධාන තැපැල් කන්තෝරුවේ පැවති මධ්‍යම ටෙලිකොම් හුවමාරුව වර්ථමානයේ ටෙලිකොම් මූලස්ථානය පිහිටි ස්ථානයට රැගෙන එන ලදී.
1920
පාරිභෝගිකයින් 2300කට ටෙලිෆෝන් සබඳතා තිබූ අතර පොරොත්තු ලේඛනයේ තවත් 540 දෙනෙකු ටෙලිෆොන් ලබාගන්නට මග බලා සිටියහ.
එකල හැඩරුව
1920 වනවිටත් එක් දුරකථනයකින් තවත් දුරකථනයකට ඇමතීම සිදු වූයේ සම්පූර්ණයෙන්ම පාහේ මිනිසුන් මගිනි. එනම් වර්ථමානයේ මෙන් දුරකථනයෙන් කෙලින්ම අංක ඔබා ඇමතීමක් නොවීය. සිදුවූයේ ටෙලිකොම් හුවමාරු මධ්‍යස්ථානය ඇමතීමත් මධ්‍යස්ථානය හරහා ඇමතුම සම්බන්ධ කරගැනීමත් ය.
පසුකාලීනව එම තත්වය වෙනස් වී අංක යොදා එකිනෙකා ඇමතිය හැකි මට්ටමට දුරකථන පද්ධති දියුනු විය.
එවකට සිලෝන් වූ ශ්‍රී ලංකාව වර්ථමානයේ දියුනු වී ඇති මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව, තායිලන්තය වැනි අග්නිදිග ආසියාතික බොහෝ රටවලට වඩා තාක්ෂණික අතින් එදා ඉදිරියෙන් සිටීමට එක් හේතුවක් වූයේ බ්‍රිතාන්‍ය පාලකයින් ලංකාවට එවකට එංගලන්තයේ පැවති නව නිපැයුම් ආදිය කෙලින්ම හඳුන්වාදීම නිසාය.
මුල් කාලයේ ලංකාවේ ටෙලිකොම් වගතුග ගැන ඔබට මේ හරහා කාරණා කිහිපයක් දැනගන්නට ලැබෙන්නට ඇති. ඔබටත් මේ ගැන කියන්නට යමක් ඇතොත් කමෙන්ට් එකක් ලෙස කියා යන්න අමතක කරන්නට එපා.
පිංතුර ලබාගත්තේ ටෙලිකොම් සමාගම විසින් මුද්‍රනය කර ඇති ටෙලිකොම් ඉතිහාසය නැමැති පොතකිනි.