දළදා වහන්සේට රජ කල සිට පුද සත්කාර කරන නිලදරුවෝ

දළදා වහන්සේ ජීවමාන බුදුන් ලෙස සැලකීම නිසා රජවරුන් හැම විටක ම විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබුණා. මේ නිසා රජ කාලේ රජ මාලිගයට යාබද ව තිබුණු දළදා මාලිගයේ කටයුතු විධිමත් ව පවත්වාගෙන යාමට රජු වි‍ශේෂ කාර්ය මණ්ඩලයක් පත් කළා. කුරුණෑගල යුගයේ එසේ පැවති දළදා රාජකාරි ගැන දළදා සිරිත පොතේ සඳහන් වෙනවා. උඩරට රජ කල සිට පැවත එන දළදා මාලිගයේ සේවා නිලයන් අදත් අපට දැකගත හැකියි. අද දක්වාත් සුළු වෙනස්කම් සහිත ව එම කාර්ය මණ්ඩලය සේවයේ යෙදෙනවා. දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාර කිරීමේ දී භික්ෂූන් වහන්සේට සහාය වන්නේ මෙම කාර්ය මණ්ඩලයයි. මෙම කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ දියවඩන නිලමේවරයායි.
පුරාණයේ පටන් පැවතගෙන එන නිල නාමවලින් ම තමයි ඔවුන් අදත් හැඳින්වෙන්නේ. ඒ නම්වල තේරුම අද සමාජයේ වැඩි දෙනෙක් දන්නෙත් නැහැ. ඔවුන්ගෙන් බොහෝ දෙනකු එම රාජකාරියට පත් වනුයේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ සඳහා හිමි වන උරුමය අනුවයි. එම නිල රාජකාරි කිරීම විශේෂ ගෞරවයක් ලෙස ඔවුන් සලකනවා. දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාරවල දී සායකත්වය සපයන මෙම කාර්ය මණ්ඩලය ගැන යි ලිපිය වෙන් වන්නේ.

කරඬුව රැගත් ඇතාට ඉදිරිපසින් ගමන් කරන කාරියකරවන කෝරාළ-facebook

කාරියකරවන කෝරාළ

දියවඩන නිලමේවරයාට පසු දළදා මාලිගාවේ සිටින ඊළඟ ඉහළ ම නිලධාරියා කාරියකරවන කෝරාළ හෙවත් කාරිය කෝරාළයි.
දළදා මාලිගාවේ ඇතුළු කොටසේ ( ඇතුළු කට්ටලය) හා පිටත කාර්ය මණ්ඩලය ලවා නියමිත රාජකාරි කරවීම තමයි ඔහු සතු ප්‍රධාන වගකීම. දළදා තේවාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරවීම හා අඩු පාඩු සොයා බැලීමත් ඔහුට අයත් සේවයක්. කාරියකරවන තනතුර සෑම දිනක ම දළදා මාලිගයේ සේවයට කැපවූ තනතුරක්. සෑම සෙනසුරාදා දිනක ම මාලිගාවේ මුර සේවයත් ඔහුට අයත් රාජකාරියක් වෙනවා. ඇත්තටම මාලිගාවේ ඕ. අයි. සී. වගේ නිලයක් තමයි මේක.

 දළදා කරඬුවේ පැරණි සේයාරුවක්- sridaladamaligawa.com

දළදා මාලිගයෙහි මුළුතැන්ගෙයි ආහාර ආදිය නිසි ආකාරයට සකස් කෙරෙනවා ද යන්න විමසා බලමින් මාලිගයට අවශ්‍ය සියලු දෑ සපයා ගැනීමත් කාරියකරවන කෝරාළ කළ යුතුයි. පෙරහර මංගල්‍යයට අදාළ නින්දගම්වලින් නිල කාරයන් ගෙන්වා ගෙන ඔවුන්ගේ සේවය සිරිත් පරිදි ඉටු කරවා ගැනීම හා මාස් පතා මුරට යෙදවීමත් ඔහු කළ යුතු වෙනවා. ඇසළ පෙරහරේ කරඬුව වැඩම කරන හස්තියාට ඉදිරිපසින් ගමන් කිරීමේ අයිතිය ද කාරියකරවන කෝරාළට හිමිවෙනවා.

 ගන්ධ කුටියෙහි තැන්පත් කර ඇති දළදා කරඬුව- sridaladamaligawa.com

 

වට්ටෝරු රාළ

වැඩසිටින මාලිගයේ උඩ මහලයේ ගන්ධ කුටියෙහි තේවාවට ගන්නා වටිනා රන් භාණ්ඩ ඇතුළු උපකරණ රාශියක් තැන්පත් කර තිබෙනවා. ගන්ධ කුටියේ තිර ඇතුළු පිළි හා ඇතිරිලිත් තිබෙනවා.
ඒවායේ සුරක්ෂිතභාවය රැක ගැනීමත් එම කුටිය පවිත්‍ර ව තබා ගනිමින් දළදා වහන්සේගේ තේවා කටයුතු සිදු කරන හිමිවරුන්ට ඒ සඳහා සහාය වීමත් වට්ටෝරු රාළට හිමි වන රාජකාරිවලට අයත්. තේවා කරන භික්ෂුන් වහන්සේ සමඟ දවසට තෙවරක් යතුරු රැගෙන විත් දළදා මාලිගාවේ දොරවල් විවෘත කිරීම හා වැසීම කරන්නෙත් වට්ටෝරු රාළයි. ඒ අනුව යතුරු කට්ටල තුනක් දිනපතා උරහිස මත තබාගෙන හේවිසි මණ්ඩපය හරහා ගෙන යාම හා ආපසු ගෙන ඒම ඔහු සිදු කරනවා. දියකැපුම් පෙරහරේ දියවඩන නිලමේ හා කාරියකරවන කෝරාළ ගමන් නොකරන අතර එම පෙරහරේ ගෙඩිගේ විහාරය දක්වා වට්ටෝරු රාළ ගමන් කරනවා. ගන්ධ කුටියේ පහන් දැල්වීම ද බිම අතුගා පිරිසුදු කිරීම ද ඔහු කළ යුතුයි.

 ගන්ධ කුටියෙහි සිටින තේවාකාරක භික්ෂුන් වහන්සේ- sridaladamaligawa.com

 

තේවාකාරක භික්ෂුන් වහන්සේගේ ද ආධාර ඇතිව ගඳකිළියේ තැන්පත් කර ඇති රන්රිදී ආදී වටිනා භාණ්ඩ ආරක්ෂා කිරීම ද අවශ්‍ය විටෙක ඒ පිළිබඳ විස්තර සැපයීම ද පැවරී ඇත්තේ වට්ටෝරු රාළටයි. ඔහු මංගල්‍යවලට හා පෙරහරට රාජකාරි කළ යුතුයි ( දළදා ඉතිහාසය සහ සංස්කෘතිය- කඹුරුගමුවේ වජිර හිමි).

ගෙපරාළ

දළදා වහන්සේ වැඩ සිටින තැන වන ගන්ධ කුටියට යාබද ගෙපලුම් බරාඳය භාර ව රාජකාරී කිරීම තමයි ගෙපරාළ නිලයේ ප්‍රධාන වගකීම වන්නේ. එම නිලය ගෙබලන රාළ යන වචනයෙන් බිඳී ආපු වචනයක් විය හැකියි. හඳුන් කූඩමේ තිබෙන රිදී පහන්, පිංපෙට්ටි හා තිරපිළි ආරක්ෂා කිරීමත් ගෙපරාළට පැවරී තිබෙනවා.

 ගන්ධ කුටිය ඉදිරිපිට ගෙපලුම් බරාදය – sridaladamaligawa.com

 

එමෙන් ම කවිකාර මඩුව සතු රිදී උඩැක්කි, පන්තේරු ආදී භාණ්ඩ ආරක්ෂා කිරීමද මොහුට අයත් වගකීමක්. තේවා කටයුතු සඳහා උණු පැන් ගෙන යාම ද, දහවල් බුද්ධ පූජාව මුළුතැන්ගෙයි සිට කත්තියන බරාඳය දක්වා ගෙන යාම ද මොහු සිදුකරනවා. වට්ටෝරු රාළගේ සහයකයා සේ ක්‍රියා කරන ගෙපරාළ තුන්මස ඉක්මවූ දරුවන් දන්ත ධාතූන් වහන්සේට පූජා කිරීම සඳහා වන කාර්යයත් මෙහෙයවනවා.
ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහරේ දෑල ගමන් කරන හස්තියකු පිට නැග මල් ඉසීම ද මොහු ඉටුකරන තවත් සේවයක්. සතියේ අඟහරුවාදා දිනවල රාත්‍රී මාලිගයේ මුර සේවයත් ඔහුට අයිතියි.

කත්තියන රාළ

කත් තබා තිබෙන ස්ථානය යන අරුත තමයි මේ නිලයෙන් අදහස් වන්නේ. මුළුතැන්ගෙයි පිළියෙළ කරන දානය පාත්‍රවල තැන්පත්කර හේම කදෙහි තබා ගෙන උඩමාලයේ කත්තියන බරාඳයට ගෙන ඒම සිදු කරන්නේ කත්තියන රාළ යි. ඔවුන් ගණනින් දෙදෙනෙක් සිටිනවා. දියවඩන නිලමේ කත්තියන රාළලා පත් කරන්නේ කාරියකරවන රාළගේ උපදෙස් මතයි. දවසට තෙවරක් පූජා භාණ්ඩ කටයුතු කිරීම ද කාරියකරවන රාළගේ භරයේ පවතින රන්, රිදී ආදී තේවා භාණ්ඩ උපරකණ පරිස්සම් කිරීමත් ඔවුන්ගේ වගකීමක්. දානයට යොදා ගන්නා පූජා කරන භාණ්ඩ පිරිසුදු කර ඒවා නිසි පරිදි තැන්පත් කිරීම ආදිය ද මොහු සිදු කරනවා.

 ගන්ධ කුටියේ දළදා වහන්සේ – facebook

 

තේවා කටයුතු අවසන් වී දොර වැසූ පසු හේවිසිකරුවන්ගේ මුර ඇසීම ද මොහුට අයත් රාජකාරියක්. වැඩසිටින මාලිගාවේ දොරවල් විවෘත කළ බව සලකුණු කරමින් හා බුද්ධ පූජාව ආරම්භ කළ බව පවසමින් ද බුද්ධපූජාව අවසන් වූ බව හා වැඩසිටින මාලිගාවේ දොර වැසූ බව සංකේතවත් කරමින් ද ඝණ්ඨාරය නාද කිරීම ද කත්තියන රාළ සතු රාජකාරියක්. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මාරුවෙන් මාරුවට මාලිගාව මුර කිරීමත් ඔවුන් කළ යුතුයි.

දළදා මාලිගයේ පැරණි සේයාරුවක්- lankapura.com

 

හක්ගෙඩි අප්පු

හක්ගෙඩි අප්පු නොහොත් හක්ගෙඩි මුහන්දිරම් පත්කරන්නේ කාරියකරවන කෝරාළ යි. මේ නිලය මාසයෙන් මාසයට මාරු වෙනවා. නානුමුර මංගල්‍යය හා පෙරහර මංගල්‍යය කරඬුව වැඩම කිරීම කරන් අවස්ථාවලදීත් පොහෝ දින ආදි සුවිශේෂ දිනවලදීත් හක්ගෙඩිය පිඹීම මොහුට අයත් ප්‍රධාන වගකීමයි. එයට අමතර ව මුළුතැන්ගෙයි තනන දානය පාත්‍රාවලින් කත්තියන බරාඳයට ගෙන යාම හා තේවාව අවසන් ව එම පාත්‍රා යළි ගෙන ඒම ද හක්ගෙඩි රාළට පැවරී තිබෙනවා. හැමවිටම සුවඳ දුම්මල කබලට අඟුරු ගෙන ආ යුත්තේ ද හක්ගෙඩි අප්පුයි.
දොරකඩ ආරච්චි
වැඩසිටින මාලිගාවේ දොරවල් මුර කිරීම දොරකඩ ආරච්චි හෙවත් දොරේ ආරච්චිට පැවරී තිබෙනවා. ඔහු නිතර ම දොර ඉදිරිපිට සිටන්නේ ඒ සඳහායි. මෙවැනි තනතුරක් රජ වාසල නොපැවති බවත්, එය දළදා මැදුරට අතිරේක ව එක් වූ නිලයක් බවත් ආචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් සඳහන් කරනවා. පාත මාලයේ රිදී දොර අසල සිට වටිනා භාණ්ඩ ආරක්ෂා කිරීම මොහුට පැවරී තිබෙන තවත් රාජකාරියක්. මෙයට අමතරව උඩ මාලයට යන අය පිළිබඳ විමසිලිමත් ව සොයා ඔහු සිදුකරන සේවයක් වෙනවා.
පල්ලේමාල රාළ

 පල්ලෙමාලේ රාළ- alamy.com

 

දළදා වහන්සේ වැඩසිටින මාලිගයේ පහළ මාලය හඳුන්වන්නේ පල්ලේමාලය කියලයි. එම කොටසේ වගකීම ඇත්තේ පල්ලේමාලේ රාළටයි. පල්ලෙමාලේ පවිත්‍ර කොට නියමිත වෙලාවල පහන් දැල්වීමත් ඔහු කළ යුතුයි. ඒ වගේම පල්ලෙමාලේ කුටිය තුළ තැන්පත් කර ඇති වටිනා භාණ්ඩ සහ තිර ආදියේ ආරක්ෂාවත් බාර වන්නේ ඔහුටයි. බදාදා දිනවල මුර සේවයත් ඔහුට අයත් රාජකාරියක්. පල්ලේමාලේ තේවා කටයුතු භාර ස්වාමින් වහන්සේලාට ඒ සඳහා සහාය වන මොහු යතුරු පයිංඩ කරන විට සඳගල අසලදී පල්ලේමාලයේ යතුරු භාර ගෙන පල්ලේමාලය දක්වා රැගෙන එනවා. රන්දෝලි පෙරහර මංගල්‍ය දෑල ඇතකු පිට නැග එක් පසකින් මල් ඉසීම ද මොහුට පැවරී ඇති තවත් රාජකාරියක්. අවසන් රන්දෝලි පෙරහරින් පසු පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ පසු එහි තේවා කටයුතු සඳහා සහය වීමද පල්ලේමාල රාළ සිදු කරනවා.

 පල්ලෙමාලේ -wikipedia.org

 

මුළුතැන්ගෙයි රාළ

දිනපතා බුද්ධ පූජාව සකස් කරන මුළුතැන්ගෙයි කටයුතු බාර ව ඇත්තේ ඔහුටයි. අලුයම බුද්ධ පූජාව, දහවල් මුළුතැන් පූජාව (ව්‍යංජන 32 ක් සහල් සේරු 32 කින් දානය සැකසීම) හා සවස ගිලන්පස සූදානම් කිරීම ඔහු සිදු කරනවා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කාරියකරවන කෝරළ මගින් ලබා ගැනීම ඔහු සතු වගකීමක්.

නැකත් මොහොට්ටාල

පෙරහර මංගල්‍ය ඇතුළු සතර මංගල්‍ය සඳහා මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ අනෙකුත් සුබ කටයුතු ඉටු කරන්නේ සුබ නැකත් හෝරාවලිනුයි. ඒ සඳහා නැකත් සකස් කරන්නේ නැකත් මොහොට්ටාල යි. එසේ සකස් කරන නැකත් ඔහු දියවඩන නිලමේවරයාට භාර දෙනවා.

හේවිසිකරුවන්

අලුයම, දහවල් හා සවස කාලයේ හේවිසි මණ්ඩපයේ හේවිසි වැයීම දළදා මාලිගයේ දී දැකගත හැකි තවත් පුරාණ සිරිතක්. දළදා තේවාවට හේවිසි වයන හේවිසිකරුවන් පුරාණයේ සිට උඩවෙල, මාලගම්මන, ඉහළවෙළ, මොලගොඩ යන පරම්පරා හතරට අයත් වෙනවා.

 කවිකාර මඩුව හස්තියා දෙපස ගමන් කරමින්- sridaladamaligawa.com

 

කවිකාර මඩුව

නානුමුර හා පොහෝ දිනවල කවි ගායනා කරමින් ප්‍රශස්ති ගැයීම සිදු කරන කවිකාර මඩුව පෙරහර මංගල්‍යයේදී දළදා කරඬුව රැගත් හස්තියා ගමන් කරන ස්ථානයට පිටු පසින් කවි ගායනා කරමින් ගමන් කරනවා. මේ පිරිස අපිට හමුවෙන්නේ බදාදා හා පෝය දවස්වලයි. දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයට තබන අවස්ථාවේදිත් මේ කවිකාර මඩුව දකින්න පුළුවන්. කවිකාර මඩුවේදි කෙරෙන්නේ බුදුගුණ ගායනා කිරීමයි. උඩැක්කි, පන්තේරු, තාලම්පට වගේ වාද්‍ය භාණ්ඩත් එක්කර ගෙන තමයි මේ කවි කියන්නේ. කවිකාර මඩුවට කලා ශිල්පින් පස්දෙනෙක් අයත් වෙනවා
මෙයට අමතරව දළදා මාලිගාවට අයත් මේ ප්‍රදේශ සඳහා විදානේවරුන් දස දෙනෙක් ද රාජකාරී කටයුතු කරනවා. එම ප්‍රදේශවල මාලිගාවට අයත් නින්දගම් ඉඩම්වල රාජකාරී කොටස් මාලිගාවට ගෙනැවිත් දීම ඔවුන් සතු වගකීමක්. මාලිගාව මගින් නිකුත් කරන නියෝග එම ගම් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම ද විදානේවරුන් දස දෙනාට පැවරී තිබෙනවා. අලදෙණිය, කළුගමුව, පිටිගොඩ, දොරලියද්ද, අලපලාවල, රදාගොඩ, පිලිගල්ල, අංගොඩ, මුංවතුගොඩ, ඒ දඬුවාව, ආදි ගම් නියෝජනය කරන විදානේවරු දස දෙනා ඇසළ පෙරහරේ දී දියවඩන නිලමේ වරයාට පිටුපසින් ගමන් කරනවා.

කවරයේ ඡායාරූපය- දළදා මාලිගයේ පැරණි ස්වරූපය දැක්වෙන චිත්‍රයක් -curiushistorion.com 

මූලාශ්‍ර:
දළදා ඉතිහාසය සහ සංස්කෘතිය- කඹුරුගමුවේ වජිර හිමි

dinamina.lk
sridaladamaligawa.com

Related Articles

Exit mobile version