මාතර නගරයේ ලන්දේසි සිහිවටන කිහිපයක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැන ගන්නා මාතර කොටුව සංචාරකයන්ගේ ද ජනප්‍රිය ගමන්නාන්තයත්.
කොටුව ඇතුළෙ තියෙන වැදගත් ම ලන්දේසි ස්මාරකය තමයි ඕලන්ද පල්ලිය කියන්නේ. කොටුවට යන කවුරුත් දැකබලාගත යුතු අවුරුදු තුන්සියයකට වඩා පැරණි ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ගැන ඔබ දැනුම්වත් කරන්න ගත් උත්සාහයක් තමයි මේ.
මාතර ලන්දේසි සිහිවටන
ලන්දේසින් පෘතුගීසින්ගෙන් මාතර බලය අල්ලාගත්තේ 1645 දි යි. ඉන්පසු ව ලන්දේසින් 1658 දී ලංකාවේ මුහුදුබඩ පළාත් සියල්ල අල්ලා ගත් අතර ඔවුන්ගේ වැදගත් දිසාවනියක් විදිහට මාතර පාලනය කර තිබෙනවා.
මාතර පාලනය වුණේ ගාල්ල අණදෙන නිලධාරිවරයා යටතේ යි. මාතරට උඩරට රාජධානියෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීමට මුහුදට මායිම්ව ශක්තිමත් බළකොටුවක් වගේ ම පසුව ගොඩබිමේ තාරකා කොටුවත් ඉදිකළා.
ඊට අමතර ව ලන්දේසීන් මාතර දිස්ත්‍රික්කයේ රට ඇතුළට වන්නට හක්මන, කොටපොළ, අකුරැස්ස ආදී ප්‍රදේශවල ද බළකොටු ඉදි කළා. ලන්දේසීන්, මාතර ඉදි කළ ප්‍රධානත ම ලන්දේසි ගොඩනැඟිල්ල මාතර කොටුව යි.
මාතර අවට සිටි ලන්දේසින්ට සහ රෙපරමාදු ආගම වැලඳගත් අයට ආගමික කටයුතු සඳහා වගේ ම ආගම ප්‍රචාරය කිරීමේ කටයුතු සඳහාත් කොටුවට ඇතුළුවන විට ම පෙනෙන සේ රෙපරමාදු දේවස්ථානය තනවා තිබෙනවා.
ඕලන්ද පල්ලිය
මාතර කොටුවේ පැරණිත ම ගොඩනැඟිල්ල මේ පල්ලිය යි. වර්තමානයේ මෙය ඕලන්ද පල්ලිය ලෙස හඳුන්වනවා. එය වෙනත් ඕලන්ද පල්ලිවලට වඩා සරල ආකාරයකින් ඉදි කර තිබෙනවා. එය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබෙන අතර උඩරට ගොඩනැඟිලි සිහිපත් කරවන කැණිමඩලක් සහිත පියස්ස මෙහි ඇති විශේෂ ලක්ෂණයක්. දේවස්ථානය ඉදිකර ඇත්තේ 1706 දී බව සැලකෙනවා. එය වක්‍රාකාර කුලුනු සහ වැරැන්ඩා ආදියෙන් යුක්ත යි.
ලන්දේසි කොටුව තුළ රාජකාරි කළ නිලධාරීන් හා හමුදා සෙබළුන් ආගමික කටයුතු සිදු කළේ මෙම පල්ලියේ යි. මෙහි පළමු පූජකවරයා ලෙස කටයුතු කර ඇතැයි සඳහන් වන්නේ ඕලන්ද ජාතික ඊ. එච්. සිල්වියස් නම් පියනමක්. පල්ලිය මූලික වශයෙන් ලන්දේසීන් සඳහා තිබුණත් මෙහි ආගමික දේශන සිංහලෙනුත් පවත්වා තිබෙනවා.
දිවුරුම් දෙන තැනක්
මාතර සේවයට ආ ලන්දේසි ආණ්ඩුකාරවරුන් සහ නිලධාරින් පළමුව දිවුරුම් දී ඇත්තේ මෙහි දී යි. ලන්දේසි සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් රෙපරමාදු දේව මෙහෙයන් මුල් කාලයේ සිදු කෙරුණා. බැතිමතුන් 250 දෙනකුට පමණ වාඩිවී යාඥා මෙහෙයන්වලට එක්වීමේ පහසුකම සලසා තිබෙනවා.
අලංකාර ගොඩනැඟිල්ල
පල්ලියේ ඉදිරිපස මුහුණත සහ අභ්‍යන්තරය ඉතා සරල යි. ප්‍රවේශ දොරටුව ආරුක්කු හැඩැති යි. බිත්තියේ සරල ලතාකර්ම සැරසිලිත් දැකගත හැකි යි.
ගොඩනැඟිල්ලේ සෑම පැත්තකින් ම වාතය පැමිණීම සඳහා වටකුරු කවුළු තබා තිබෙනවා. දොර හා ජනෙල්, කවුලු සවිමත් දැවවලින් තනා තිබෙනවා. සමහර බිත්ති මේ වනවිට පුපුරා යමින් පැවතීම කනගාටුවට කරුණක්.
දේවස්ථානය වර්ෂ 1767 වනවිට අබලන් ව පැවති අතර ඒ අවුරුද්දේදී එය ප්‍රතිසංස්කරණයකට ලක්ව තිබෙනවා. පල්ලියේ ප්‍රවේශ දොරටුවට ඉහළින් පුවරුවක සඳහන් කර ඇත්තේ මෙම ගොඩනැඟිල්ල 1767 දී ප්‍රතිසංස්කරණය කොට ඇති බවත් එය ඩැනියල් බර්නන්ට නමැති දිසාව විසින් සිදු කරන ලද බවත් ය.
අද දකින්නට ලැබෙන්නේ එසේ ප්‍රතිසංස්කරණයට ලක්වූ ගොඩනැඟිල්ල යි. ආලින්දයේ කුලුනු සම්බන්ධ කරමින් මිටි බිත්තියක් හා ගේට්ටුවක් 1950 වර්ෂයේ දී එයට එකතු කොට තිබෙන බව සඳහන්.
සුසාන බිමෙන් ගෙනා පුවරු
ලන්දේසීන් සුසාන භූමිය ලෙස භාවිත කර ඇත්තේ ද මාතර නගරයේ කොටසක්. අද මාතර බස් නැවතුම්පොළට වම්පසින් මෙම සුසාන භූමිය පිහිටා තිබුණා. රෙපරමාදු ආගම ඇදහූ ජනතාවගේ දේහ මිහිදන් කෙරුණේ එතැන යි. මාතර වෙරළ පාරේ රණවිරු ස්මාරකය පෙනෙන දුරින් බස් නැවතුම්පොළට වම්පසින් එහි කොටසක් අදත් දැක ගත හැකි යි.
නගරය පැතිරීමත් සමඟ එම භූමිය ජනාකීර්ණ වී ගොඩනැඟිලි ඉදිවුණා. ඉන්පසු ව එහි තිබූ සොහොන් ගල් ගලවා ඕලන්ද දේවස්ථානයට ගෙනවිත් තිබෙනවා.
රෙපරමාදු දේවස්ථානයේ සොහොන් ගල්වල මිනී ඔළුව සලකුණු කොට ඇත්තේ යුද්ධයෙන් මිය ගිය අය බව සිහිපත් කිරීමට යි. රාජාලියකු සහ දෙකඩ කරන ලද රාජාලියන්, කඩුවක් හා පලිහක් අතින් ගත් සොල්දාදුවකු ආදී රූප සංකේතත් ඒවායේ කැටයම් කර තිබෙනවා.
පැරණි සොහොන් කොත්
ගාල්ල කොටුවේ පල්ලියේ මෙන් මෙහි ද පල්ලිය ගෙබිමට අල්ලා ඇති සොහොන් ගල් පුවරු කිහිපයක් ම දැක ගත හැකි යි. මේ සොහොන් ගල්වල ඒ කාලයේ මාතර ජීවත් වූ ලන්දේසි, ඉංග්‍රීසි මෙන්ම සිංහලයන්ගේ ද ඇතැම් තොරතුරු සදහන් කර තිබෙනවා. යුද්ධවලදී මිය ගිය තරුණයන්ගේ සොහොන්, මියගිය ළමයින්ගේ සොහොන් සහ දරු ප්‍රසූතියේ දී මිය ගිය කාන්තාවන්ගේ සොහොන් ගල් ද මෙහි තිබෙනවා. රෙපරමාදු ආගමට ගොස් ලන්දේසීන්ගෙන් වරප්‍රසාද ගත් එකල සිටි මහ මුදලිවරුන්ගේ ද තොරතුරු ඇතැම් සොහොන් පුවරුවලින් හෙළිවෙනවා.
දේවස්ථානයේ ගෙබිමෙහි සහ බිත්තිවලට තබා සවි කළ ශෛලමය සොහොන් ස්මාරක සංඛ්‍යාව 22ක් පමණ වෙනවා. ඉන් සමහරක් අඩි 7 – 8 දිගැති විශාල පුවරු යි. සමහර සොහොන් පුවරු අඩි 3 – 4 ක පළලින් යුක්තයි. මෙහි 1959 දක්වා වූ කාලවලට අයත් සොහොන් ස්මාරක ද තිබෙනවා. මෙම සොහොන් ස්මාරක බොහොමයක් ඉංග්‍රීසියෙන් ලියා ඇති අතර තවත් සමහරක් ලන්දේසි භාෂාවෙන් ද ලියා තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ තනතුරු, නම, උපත, විපත ආදි තොරතුරු රැසක් ඒවායේ සඳහන්. මෙහි දක්නට ලැබෙන පැරණිත ම සොහොන් ගල 1686 දී වෛද්‍ය ලැම්බර්ට්ගේ බිරිය වන බාබරා ජොංගලින් වෙනුවෙන් තනා තිබෙන්නක්. ඩෙසව්ස් ෆ්‍රාන්ස් විලම් ෆැල්ක්, ආණ්ඩුකාර ඉමාන් විලියම් ෆැල්ක්ගේ පියා සහ ජොහැන්නස් ෆර්නැන්ඩිනස් ක්‍රිජටස්මන් පිළිවෙළින් 1737 සහ 1758 දී මිය ගොස් තිබෙන බව සොහොන් ගල්වල සඳහන්.
සිංහල සොහොන් ගල්
දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ ධුරය සහ තෝල්ක මුදලි ධුරයක් දැරූ ඩැනී ආබ්‍රහම් දිසානායක ගේ සොහොන් ගල ද මෙහි තැන්පත් කර තිබෙනවා. ඔහු 1782 දෙසැම්බර් 24 ඉපදී 1850 පෙබරවාරි 10 වැනිදා මිය ගිය මුදලිවරයෙක්. ඔහු රෙපරමාදු දහම වැලඳගෙන සිටි බව පැහැදිලියි.
මාතර ඉලංගකෝන් වලව්වේ සිටි දොන් ඩේවිඩ් අබේසිරිවර්ධන ඉලංගකෝන් මහමුදලිගේ සොහොන් ස්මාරකයද මෙහි දැකගත හැකි යි. ඔහු ඉංග්‍රීසි සමයේ මාගම්පත්තුව ඇතුළු ප්‍රදේශ රැසක ගජනායක මහ මුදලි ධුරය දරා තිබෙනවා. ඉලංගකෝන් මහ මුදලි 1772 අගෝස්තු 5 වැනිදා ඉපදී 1848 සැප්තැම්බර් මාසයේ දී මිය ගොස් තිබෙනවා.
තංගල්ලේ දී මිය ගිය කැප්ටන් ඇලෙක්සැන්ඩර් මැක්පිලසස් නමැති යුද හමුදා නිලධාරියකුගේ සොහොන් කොත ද මෙහි දැකගත හැකි යි. ඔහු ඉංග්‍රිසින් මුහුදුබඩ පළාත් පාලනය කළ කාලයේ, 1813 මැයි මස 21 වැනිදා පැවති යුද්ධයක දී මියගොස් තිබෙනවා.
පුරාවිද්‍යා ස්මාරකයක්
පැරණි ඕලන්ද රෙපරමාදු පල්ලිය 2016 ජූලි 7 දින රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කොට තිබෙනවා.
රෙපරමාදු පල්ලිය 2004 දෙසැම්බරයේ ඉන්දියන් සාගරයේ ඇතිවූ වූ සුනාමි ව්‍යසනය හේතුකොටගෙන සුළු හානියකට ලක් වුණා. ප්‍රධාන ගොඩනැඟිල්ලේ සැලැස්මට හානියක් සිදු නොවූ නමුත් පෞරාණික ගෘහ භාණ්ඩ බහුතරයක් මුහුදු රළට හසුව විනාශයට පත් වුණා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය ප්‍රතිසංස්කරණයට ලක් කළේ වුල්වෙන්ඩල් පදනමේ මූල්‍යමය සහයෝගය ඇතිව යි. මෙහි අලුත්වැඩියා කටයුතු වසර දෙකක් තුළ අවසන් කර තිබෙනවා. අදත් මෙහි සාමාන්‍ය පරිදි දේව මෙහෙයන් පවත්වනවා.