Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්මිත ඇම්බැක්කේ ලී කැටයම්වල අසිරිය

‘ඇම්බැක්කේ දේවාලය’ යන නම ඇසුණු සැනින් අපට ක්ෂණයකින් මතකයට නැගෙන්නේ ඇම්බැක්කේ දේවාලය තුළ දක්නට ලැබෙන අලංකාර ලී කැටයම් පෙළ යි. ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක දී දක්නට නොලැබෙන ආකාරයේ කැටයම් ඇති ඇම්බැක්කේ දේවාලය ඉදි වුණේ ගම්පොල යුගයේ දී යි. ගම්පොල යුගයේ  රජකම් කළ තෙවන වික්‍රමබාහු රජතුමාගේ කාල සමයේ නිර්මාණය වුණු මෙම දේවාලය මුල් යුගයේ දී හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය නමින්. නමුත් වර්තමානයේ එය හඳුන්වනු ලබන්නේ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලය ලෙස යි. 

ගමන් මාර්ගය 

කොළඹ සිට ඇම්බැක්කේ දේවාලය නැරඹීමට එන සංචාරකයෙකු කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ පිළිමතලාව නගරයට පැමිණිය යුතු යි. ඉන් පසුව පිළිමතලාව නගරයෙන් දවුලගල මාර්ගයේ කිලෝමීටර් 8ක පමණ දුරක් ගිය පසුව ඇම්බැක්කේ දේවාලය වෙත ළඟාවන්නට පුළුවන්. එසේම ගම්පොල සහ පේරාදෙණිය අතර පිහිටි ගෙලිඔය නගරයේ සිට ඇම්බැක්ක හරහා වැටී ඇති මාර්ගයේ කිලෝමීටර 7ක පමණ දුරක් ගමන් කළ විට ද  ඇම්බැක්කේ දේවාලය වෙත ළඟා විය හැකියි. 

ඉතිහාසය

ගම්පොල රාජධානිය පාලනය කළ තෙවන වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි මෙම දේවාලය ආරම්භ වුණු ආකාරය පිළිබඳව රසවත් පුරාවෘත්තයක් තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම ප්‍රදේශයේ සිටින පැරැන්නන් අදටත් විශ්වාස කරන එම පුරාවෘත්තය පිළිබඳව යි. 

ඇම්බැක්ක ග්‍රාමයට ආසන්නව පිහිටි රංගම ග්‍රාමයේ සිටි එක් බෙර වාදකයෙකුට වැළඳී තිබුණු  කුෂ්ඨ රෝගය සුව කරදෙන ලෙසට රුහුණු කතරගම මහා දේවාලයට ගොස් භාරයක් වුණා. එහි දී කතරගම දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් රෝගියා සුවය ලැබුවා. එලෙස රෝගය සුවපත් වීම නිසා සතුටට පත්වුණු රෝගියා වාර්ෂිකව රුහුණු කතරගම දේවාලයට ගොස් බෙර වයා එයට කෘත ගුණ සැලකුවා. නමුත් ඔහු වියපත් වුණු පසුව එම සත්කාරය ඉටු කිරීමට නොහැකි වන නිසා ඒ පිළිබඳව දුක් වුණු බෙර වයන්නා කතරගම දේවාල භූමියේ වැතිර නිදන්නට වුණා. එදින රාත්‍රියේ එම ස්ථානයට වැඩම කළ කතරගම දෙවියන් ඔහුට ආපසු ගමට යන ලෙසත් නුදුරු දිනයක දී වෘක්ෂයකින් ලකුණු පෙන්වා දේවිදුන්ගේ අනුහස් පාන බවත් පවසා සිටියා. එවිට බෙර වයා පෙර සේම බුහුමන් දක්වන මෙන් බෙර වයන්නාට කතරගම දෙවිඳු වැඩිදුරටත් පවසා සිටියා. ඉන් සෑහීමකට පත් වුණු බෙර වයන්නා ආපසු ගමට ගියා. තෙවන වික්‍රමබාහු රජතුමාගේ බිසව වුණු හෙණකඳ බිසෝ බණ්ඩාර දේවියගේ මල් උයන පිහිටා තිබුණේ ඇම්බැක්ක ග්‍රාමයේ යි. දිනක් එම උයන පිරිසිදු කරමින් සිටි උයන්පල්ලා එහි තිබුණු කඳුරු ගහකට කැත්තෙන් කෙටූ විට විශාල උසකට රුධිර ධාරාවක් පිට වුණා. ඒ පිළිබඳව දැනගත් බෙර වාදකයා වහාම එහි පැමිණ උයන්පල්ලාට සියළු විස්තරය පවසා සිටියා. ඉන් පසුව ඔවුන් දෙදෙනා එම කඳුරු ගස වෙත පුදපූජා පවත්වනු ලැබුවා. එම විස්තරය ආරංචි වීමෙන් පසුව වික්‍රමබාහු රජතුමා එම ස්ථානයේ දේවාලයක් කරවනු ලැබුවේ කතරගම දේව රූපයක් තැන්පත් කරමින්. අද බොහෝ දෙනෙකු නරඹන ඇම්බැක්කේ දේවාලය ආරම්භ වීම සම්බන්ධ කතා පුවත එසේයි.

ඇම්බැක්ක දේවාලය (gettyimages)

දේවාලය පිළිබඳව

ඇම්බැක්ක දේවාල සංකීර්ණය ප්‍රධාන ගොඩනැගිලි අටකින් සමන්විත යි. ප්‍රධාන මාර්ගයෙන් දේවාල සංකීර්ණයට ඇතුළු වන්නේ වාහල්කඩ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල හරහා යි. උසින් අඩි 2.5ක් පමණ  පාදමක් මත ඉදි වුණු අඩි 23ක් පමණ දිග, අඩි 19ක් පමණ පළල එම ගොඩනැගිල්ලේ වහල දැව කණු 10ක් මත සාදා තිබීම සුවිශේෂී සිදුවීමක්. වාහල්කඩ තුලින් ඇතුළු වුණු විට මහා දේවාලය හෙවත් වැඩ සිටින මාලිගය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල හමුවනවා.  එම ගොඩනැගිල්ල පහත දැක්වෙන කොටස් පහෙන් සමන්විත වනවා.

1) හේවිසි මඩුව හෙවත් දික් ගෙය

2) අන්තරාලය හෙවත් මැද දික් ගෙය

3) වැඩ සිටින මාලිගාව හෙවත් ගර්භ විමානය යනුවෙනි.

4) සඳුන් කුඩම

5) පිරිත් කියන ගේ

හේවිසි මඩුව හෙවත් දික් ගෙය

අඩි 2.5 ක් පමණ උස පාදමක් මත ඉදිකොට ඇති මෙය අඩි 53ක් පමණ දිගකින් සහ අඩි 26 ක් පමණ පළලකින් යුක්ත වනවා. එසේම මෙහි වහලය දැව කණු 32ක් මත ඉදිකර තිබීම සුවිශේෂී ලක්ෂණයක්. ගම්පොල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ පමණක් නොව සමකාලින දැව නිර්මාණ අතර ඉතා විශිෂ්ඨ නිර්මාණ මෙම ශාලාවේ දී දක්නට ලැබෙනවා. 14 – 15 සියවස්වල දී මෙය ගම්පොල රජවරුන්ගේ මඟුල්  මඩුව ලෙසින් භාවිතා කළ බව ද ඉතිහාස කතාවල දැක්වෙනවා. මෙය දෙල්මඩ මුලාචාරි නම් ශිල්පියෙකු අතින් නිම වුණු බව කියවෙනවා. මෙහි කණු ඉදිකිරීමේ දී  යොදාගෙන තිබෙන්නේ ගම්මාලු, පිහිඹියා වැනි කැටයම් කිරීමට පහසු ලී වර්ග යි.  එම නිසාම කණු සියල්ලම අලංකාර  කැටයම් වලින් සරසා තිබෙන බව දැකිය හැකියි. 18 වැනි සියවස අග භාගයේ දී මහනුවර රජකම් කළ රාජාධි රාජසිංග රජතුමා මෙම ශාලාව තවත් අලංකාර කළ බව වංශ කතාවල සඳහන්.

හේවිසි මඩුව හෙවත් දික් ගෙය (gettyimages)

ඉතිරි ගොඩනැගිලි පිළිබඳව

හේවිසි මඩුව කෙළවර ඇති සිංහ රුප දෙක සහ මකර තොරණ අතරින් වුණු දොරටුවෙන් ඇතුළු වන්නේ සඳුන් කුඩමට යි. එසේම පිරිත් කියන ගේ භාවිතා කරන්නේ ඇසළ පෙරහැර අවසන් වීමෙන් පසුව පිරිත් දේශනා කිරීමට යි. මෙහි ඇති වැඩ සිටින මාලිගාව හෙවත් ගර්භ විමානයට ඇතුල් විය හැක්කේ කපු මහතුන්ට පමණ යි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි  මුදුන් වහළ පල හතරක් සිටින සේ සෙවිලි කර එහි මුදුනේ සතර වරම් දේවරූප සවි කළ කොතක් පළඳවා තිබෙනවා. එසේම උළුවස්ස හා මුදුන් වහලේ කොත් කැරැල්ල රජ මාලිගාවෙන් ගෙන ආ බව ද පැවසෙනවා.

වැඩ සිටින මාලිගාව (NH Samarasinghe)

ඇම්බැක්ක ලී කැටයම් 

හේවිසි මඩුව හෙවත් දික් ගෙයට අලංකාරයක් එක් කර තිබෙන්නේ එහි ඇති කුළුණු 32 යි. කුළුණු හිසේ මුතුදැල් මෝස්තරයක් ද, කුලුනේ අටපට්ටම් හැඩය චතුරස්‍රාකාර ලෙස වෙනස් කෙරෙන ස්ථානයේ නාග බන්ධන හා ගැටලියපත් මෝස්‌තර යොදා තිබෙනවා. එසේම කුළුණු 32හි එක් කුළුණක 4 බැගින් වන හතරැස් හැඩයක් ගන්නා මුහුණත් 128 තුළ විවිධාකාර කැටයම් නිර්මාණය කර තිබීමෙන් එය අලංකාරයක් එක්ව තිබෙන බව දැකිය හැකියි. මෙම කැටයම් අල්ප උන්නත ශිල්පීය ක්‍රමය යොදාගෙන නිමවා තිබෙනවා. එසේම සෑම කැටයමක් වටාම අරිම්බුව සහ කුන්දිරක්කන් යන සිංහල සැරසිලි මෝස්තර දෙක යොදා තිබෙන ආකාරය දැකිය හැකියි. එසේම මෙහි දැක්වෙන කැටයම් ප්‍රධාන වශයෙන් වර්ග හතරකට අයත් වනවා. පහත දක්වා ඇත්තේ එම කැයටම් වර්ග හතර පිළිබඳව යි.

මිනිස් රූප ඇතුළත් කැටයම් 

ඇම්බැක්ක දේවාලය තුළ නිර්මාණය කර ඇති කැටයම් අතර මිනිස් රූප දැක්වෙන කැටයම් රැසක් දක්නට ලැබෙනවා. අශ්වාරෝහකයා, මව සහ දරුවා, මල්ලවපොරය, ලී කෙළි, නළඟන, යෝගියා, හේවායා වැනි කැටයම් එම මිනිස් රූප කැටයම් අතරට අයත් වනවා.

මනඃකල්පිත මිනිස් රූප 

හෙළ කලා ශිල්පීන් විසින් සිදුකර ඇති නිර්මාණයන් සඳහා මනඃකල්පිත මිනිස් රූප යොදා ගැනීම සුලභව සිදු වුණු දෙයක්. ඇම්බැක්ක දේවාලයේ කැටයම් නිර්මාණ කර ඇති ශිල්පියාත් කිඳුරු කින්නර සහ නාරිලතා යන මනඃකල්පිත මිනිස් රූප මෙහි කැටයම් කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.

මනඃකල්පිත සත්ත්ව රූප 

මෙහි ඇති කැටයම් අතර මනඃකල්පිත සත්ත්ව රූප දැක්වෙන කැටයම් රැසක් තිබෙනවා. මකරා, ගජසිංහ, භේරුණ්ඩ පක්ෂියා, හංස පූට්ටුව, සැරපෙන්දියා, ඇත්කඳ ලිහිණියා, කිහිඹි රූපය, වෘෂභ කුඥ්ජරය, හස්තිකුම්භ විදාරණය වැනි කැටයම් එම මනඃකල්පිත සත්ත්ව රූප කැටයම් අතරට අයත් වනවා.

ජ්‍යාමිතික සැරසිලි මෝස්තර 

ජ්‍යාමිතික සැරසිලි මෝස්තර හෙළ කලාකරුවා නිර්මාණ අලංකාර කිරීම සඳහා සුලභව භාවිතා කරනු ලැබුවා. ඇම්බැක්කේ කැටයම් තුළත් බිනර මල්, නෙළුම් මල්, බෙරලිය මල්, ලියපත් ගැටය වැනි ජ්‍යාමිතික සැරසිලි මෝස්තර දක්නට ලැබෙනවා. 

මල්ලවපොරය කැටයම (gettyimages)

කවරයේ ඡායාරූපය- ඇම්බැක්කේ කැටයම් (gettyimages)

Related Articles