ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඌවේ සටන්කරුවන් ආරම්භ කළ අරගලයට හිටපු සත් කෝරළේ දිසාව පිළිමතලව්වේ, හිටපු අදිකාරම් ඇල්ලේපොළ සමඟ හිටපු උඩගබඩා නිලමේ මඩුගල්ලේ ද එකතු වීම නිසා එම අරගලය ශීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භ වුණා. ඉංග්‍රීසින්ට එරෙහි ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් සමඟ 1818 නොවැම්බර් මස 26 දින ජිවිතයට සමුදුන් කැරලි නායකයකු වන්නේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ යි.
ඔහු ජීවත් වූ, වලව්ව අදටත් අපට දැකගත හැකි යි. මේ කවුරුත් වැඩිපුර නොදන්නා මඩුගල්ලේ නිලමේ සහ එම වලව්වේ අතීතය සොයා ගිය ගමනක්.
මඩුගල්ලේ උඩගබඩා නිලමේ
මඩුගල්ලේ නිලමේගේ සම්පූර්ණ නම කරුණාතිලක ජයසුන්දර වික්‍රමසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ යි. ඔහුගේ පියා වන්නකු නිලමේ වන අතර, මව පේරාදෙණිය වලව්වේ අලත්තියේ මුප්පු නිලමේ මහත්මයෝ නම් වුණා. මඩුගල්ලේ විවාහ වුණේ නුවර කලාවිය දිසාවේ වුණු හලංගොඩ නිලමේගේ දියණියක සමඟ යි. ඔහුට දරුවන් සිව් දෙනෙක් සිටියා.
සුද්දන්ට එරෙහි කුමන්ත්‍රණයක්
ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු මස 02 දින ඉංග්‍රීසින් උඩරට අත්සන් තැබු කන්ද උඩරට ගිවිසුමෙන් යම් කොන්දේසි ක්‍රියාත්මක කිරිමට ඉංග්‍රීසින් පොරොන්දු වුණත් ඒවා කපටි ලෙස මඟහැරියා. ඉංග්‍රීසි විරෝධය නිසා මඩුගල්ලේ නිලමේ උඩරට ගිවිසුම අත්සන් කරන්නේත් නැහැ.
ගිවිසුම අත්සන් කෙරී වසරක් ඉක්ම යද්දී ඉංග්‍රීසීන් ගිවිසුමේ වගන්ති කඩකරන බව පළමු ව අවබෝධ කරගන්නේ මඩුගල්ලේ නිලමේ යි. ඔහු ඒ ගැන මල්වත්තේ නායක හිමියන් හමුවී ප්‍රකාශ කළ බව පැවසෙනවා. දළදාව මහනුවරින් රහසිගත ව පිටත් කිරීමත් කළ යුතු බව ඔහු පවසා තිබෙනවා. මඩුගල්ලේ නිලමේගේ මේ රහසිගත කුමන්ත්‍රණය පිළිබඳ ඔත්තුවක් ඉංග්‍රීසි ආණ්ඩුවට ලබා දෙන්නේ එක්නැලිගොඩ නිලමේ යි.
ඒ වර්ෂ 1816 ජූලි මාසයේදි යි. බ්‍රිතාන්‍ය බළඇණිවලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කොට බ්‍රිතාන්‍ය පාලකයන් සෙංකඩගල නුවරින් පන්නා දැමීමට ඉහගම රතනපාල උන්නාන්සේ සහ මඩුගල්ලේ උඩගබඩා නිලමේ ප්‍රමුඛ කිහිපදෙනක් කුමන්ත්‍රණය කරන බව එහි කියැවුණා.
මඩුගල්ලේ උඩගබඩා නිලමේට දඬුවම්
ඉංග්‍රීසින් මේ පිරිස අත්අඩංගුවට ගන්නවා. ඉහගම රතනපාල උන්නාන්සේ ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගිය අතර, මඩුගල්ලේ උඩගබඩා නිලමේට ආණ්ඩුකාරයා දඬුවම් නියම කළා. ඔහු දැරූ සියලු තනතුරුවලින් පහකොට ඔහුගේ සියලු ම චංචල නිශ්චල දේපොල රාජසන්තක කර දෙවසරක සිරදඬුවමකට යටත් කළා. යාපනය සිරගෙදරට ඔහු ඉන් පසු යවා තිබෙනවා.
උඩගබඩා නිලමේ දෙවසරක සිරදඬුවමකට යටත් කළ ද අටමසක් පමණ කාලයක් යාපනයේ සිරගෙදර රඳවා තැබීමෙන් ඉක්බිතිව නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කරනවා. එංගලන්තයේ උපරාජයාගේ උපන් දින උත්සවය සිහිපත් කිරීමට 1817 අගෝස්තු මස 12 දින එසේ නිදහස ලබා දී තිබෙනවා.
1818 කැරැල්ල
උඩගබඩා නිලමේ නිදහස් වී ටික කලකින් ම රටේ තත්ත්වය වෙනස් වෙනවා. ඌවෙන් ඉංග්‍රීසි පාලනයට එරෙහි වෙඩි මුරය පත්තු වෙනවා. ඉංග්‍රිසි ආණ්ඩුවට එරෙහි කැරැල්ල උඩරට, මාතලේ, හත්කෝරළේ සහ ඌව වෙල්ලස්සේ බරපතළ ලෙස පැතිර යනවා. වෙල්ලස්සේ දිසාව වුණු කැප්පෙටිපොළත් එයට එකතු වෙනවා. දුම්බර මඩුගල්ල වලව්වේ පදිංචිව සිටි මඩුගල්ලේ නිලමේත් එහි නායකයකු ලෙස සටන් සංවිධානයට එක් වෙනවා. අවසානයේ උඩරට ප්‍රභූන් ම කැරැල්ල පාවාදීම නිසා එය පරාජයට පත් වෙනවා. හිටපු උඩ ගබඩා නිලමේ වන මඩුගල්ලේ ඇල්ලීමට තාරකා පගෝදි දාහක් ලබාදෙන බව 1818 මාර්තු 19 දා ඉංග්‍රිසි ආණ්ඩුව නිවේදනය කරනවා.
සටන පරාජය වන ලකුණු පහළ වනවිට කැප්පෙටිපොළ, මඩුගල්ලේ, පිළිමතලාවේ ඇතුළු පිරිසක් තමන්කඩුවේ පරවහගම කාහල්ලේ වලව්වේ හැංගෙනවා. පස්සේ ඉංග්‍රීසීන්ට ලැබුණු ඔත්තුවකට අනුව එතැන වටලනවා. එහිදී මඩුගල්ලේ පැනගන්නවා. නමුත් කැප්පොටිපොළයි, පිළිමතලාවෙයි ඉංග්‍රීසීන්ට අසුවෙනවා. එහෙත් ටික දිනකින්ම ඇළහැරට සැතපුම් භාගයක් නුදුරින් පිහිටි ගල්පර්වතයක් අසල සැඟවී සිටි මඩුගල්ලේ අත්අඩංගුවට ගැනෙනවා. කෙටි නඩු විභාගයකින් පසුව 1818 නොවැම්බර් මස 25 වැනි දින උදේ 8.00ට කැප්පෙටිපොළ නිලමේ සහ මඩුගල්ලේ නිලමේගේ හිස ගසා බෝගම්බර දී මරා දමනවා. ඔවුන් මරා දැමූ ස්ථානය දැන් මහනුවර කැප්පෙටිපොළ බෝධිය පිහිටි තැන ලෙස සැලකෙනවා.
ජාතික වීරයෙක්
1818 උඩරට කැරැල්ලට සම්බන්ධ වූ නායක පිරිස, රාජද්‍රෝහීන් ලෙස එවකට ඉංග්‍රීසී ආණ්ඩුව ප්‍රකාශ කළා. කැප්පෙටිපොළ මහඅදිකාරම, මඩුගල්ලේ උඩගබඩා නිලමේ ඇතුළු සටනට නායකත්වය දුන් 49 දෙනකුට ඉංග්‍රීසීන්ගේ යුද අධිකරණයක් මඟින් මරණ දඬුවම නියම කළා. පසුව මෑතක දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සමයේ යළිත් එම පිරිස ජාතික වීරයන් ලෙස නම්ක ර ගැසට් පත්‍රයක් නිකුත් කළා. මඩුගල්ලේ උඩගබඩා නිලමේගේ පිළිරුවක් ද 2018 දී මාතලේ නගරයේ දී විවෘත කළා.
වලව්වේ පිහිටීම
උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුකොහෝගම ගමේ තමයි මඩුගල්ල වලව්ව තියෙන්නේ. මඩුගල්ලේ පරපුරේ නෑදෑයන් තවමත් මේ වලව්ව කේන්ද්‍රකොටගෙන ජීවත්වෙනවා. මහනුවර-මහියංගනය මාර්ගයේ කරලියැද්ද නගරය පසුකර උඩවෙල හන්දියෙන් හැරී රංගල පාරේ කිලෝ මීටර් 6ක් පමණ ගියවිට වලව් බිමට පිවිසිය හැකි යි.
මෙම වලව්වේ මඩුගල්ලේ නිලමේ මිය ගිය පසුව ඔහුගේ සොයුරියක් වුණු ඩිංගිරි අම්මා ජීවත් වුණා. ඇය විවාහ වී සිටියේ මඩුගල්ලේ සළුවඩන නිලමේ සමඟ යි. මහනුවර නගරයේ මඩුගල්ල වලව්ව පිහිටා තිබී ඇත්තේ ඩී. එස්. සේනානායක වීදියේ යි. පසුව අලුත්වැඩියා කළ එම දෙමහල් ගොඩනැගිල්ල දැන් ව්‍යාපාරික ස්ථානයක්. එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශිත යි.
මඩුගල්ල වලව්ව
පුරාණයේ දී මේ පෙදෙසට තිබුණු වරිච්චි බිත්ති බැඳ, සිංහල උළු සෙවිලි කළ එකම නිවහන මෙම වලව්ව යි. එදා වෙල්ලස්සේ දිසාව වූයේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ යි. උඩගබඩා නිලමේ ධූරයට අයත් ව තිබී ඇත්තේ රජුගේ මිල මුදල්, රත්‍රන් ආභරණ, ආයුධ ඇතුළු වටිනා බඩු භාණ්ඩ රැස්කර තබන ගබඩාව භාර ව සිටීම යි.
මේ නිසා එයට පත් කළේ රජුගේ විශ්වාසවන්ත නිලධාරියෙක්. තමන්ට අයත් වසමේ ජනතාවගෙන් ආදායම එකතු කර රජවාසලට රැගෙන යාම ද ඔහුට භාර වුණා. මඩුගල්ලේ උඩගබඩා නිලමේ ජිවත් වු වලව්වේ වත්මන් අයිතිකරු වන්නේ විජේරත්න ගුණතිලක රාජනායක මහ රාලහාමිලාගේ අමුණුගම චන්දන බණ්ඩාර මඩුගල්ලේ යි. ඔහු මඩුගල්ලේ 6 වෙනි පරම්පරාව නියෝජනය කරනවා.
වී බුසල් 300ක්
මෙම වලව්වට ගොඩ සහ මඩ ඉඩම් වී බුසල් 300 ක් වගේ ප්‍රමාණයක් තිබුණ බව සැලකෙනවා. නමුත් මඩුගල්ලේ නිලමේ අනෙක් උඩරට රදලවරුන් මෙන් විශාල ධනවතෙක් වුණේ නැහැ. ඔහු මහනුවර නගරයේ ජීවත් වුණේ කුඩා නිවසකයි. “පරවහගම” නැමති ගම මඩුගල්ලේ පරම්පරාවට අයත් නින්ද ගමක් ලෙස පැවතුණා.
ඉංග්‍රීසින් උඩගබඩා නිලමේ පරම්පරාවට අයත් ඉඩම් රාජසන්තක කළත් පවුල් අනෙක් අයට ජීවත් වෙන්න උඩදුම්බරින් සහ හාලිඇලෙන් වී අමුණු හතර බැගින් දී තිබුණා. දැන් වලව්ව සමඟ අක්කරයක පමණ ගොඩ ඉඩමක් සහ වී බුසල් 5 ක මඩ ඉඩමක් තිබෙනවා.
වලව්ව ගොඩ නඟා තිබෙන්නේ කළු ගල් කුට්ටිවලින් සහ මැටි භාවිතයෙන්. ඉන් පසු මැටියෙන් කපරාරු කර තිබෙනවා. බිත්තිවල ඝනකම අඟල් 18 ක්. එම බිත්ති අඩි 10ක උසකින් යුක්ත යි. ප්‍රධාන දොර උළුවස්සට සවිකර ඇත්තේ සරනේරු හෝ ඇණවලින් නොවෙයි . පුරාණ විහාරවල දැකගත හැකි ආකාරයට කුඩුම්බිවලින්. වලව්වේ දිසා හතරට දොරවල් 4 ක් සවිකර තිබෙනවා. මේ දොරවල් තනා තිබෙන්නේ වල් දෙල් ලීවලින් බව පැවසෙනවා. උළුවස්සත් අඩි 10 ක් උස යි. ජනෙල් උළුවහුවලට භාවිත කර තිබෙන්නෙත් වල් දෙල් ලී. ජනෙල් කූරුවලට කිතුල් පරාල යොදා ගෙන තිබෙනවා.
මඩුගල්ලේ වලව්වට කාමර 5 ක්, ඉස්තෝප්පුවක් , කෑම සාලයක් අයත් වෙනවා. මැද මිදුලක් ද, මුළුතැන්ගෙය සහ මඩුව වෙනම ම සාදා තිබුණා. වහලයට සිංහල උළු සෙවිලි කර තිබෙනවා. වැහිපීලි සඳහා යොදාගෙන ඇත්තේ දැවයෙන් කළ පීලි ලෙස හාරා සකස් කළ දැව කොටස්. උඩගබඩා නිලමේ ආහාරගත් ලොකු පිඟාන සහ ඔහු පරිහරණය කළ ඇඳ, මේස, පුටු, අල්මාරිය, වී අටුව ඇතුළු භාණ්ඩ කිහිපයක් ද වලව්වේ තිබෙනවා. එහි තිබූ පැරණි භාණ්ඩ රාශියක් මේ වන විට අහිමි වී ගිහින්.
ගරාවැටෙන වලව්ව
කාලයාගේ ඇවෑමෙන් මේ පැරැණි උරුමය ගරාවැටෙමින් විනාශ මුඛයට ඇදවැටෙමින් තිබෙනවා. අතීතයේ දී මේ වලව්වට අයිති අලි ඇතුන් පස්දෙනකු සිටි බව කියැවෙනවා. උන් මෙල්ල කිරිම සඳහා භාවිත කළ හෙණ්ඩු කිහිපයක් තවමත් හොඳ තත්ත්වයෙන් පවතිනවා. එක් ඇතින්නක වූයේ “සුරතලී යි”. පසු කලෙක “සුරතලී” දළදා මැදුරට පූජා කළ බව සඳහන් වෙනවා.
වලව්ව වර්ෂා කාලයේ දී දැන් නම් තෙමෙන්නේ පියස්ස අබලන් වීම නිස යි. වලව්වේ ජීවත් වන මඩුගල්ලේ පරපුරේ වර්තමාන සාමාජිකයන් සඳහන් කරන්නේ වලව්ව ආරක්ෂා කර දෙන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙන් ම මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්ටටත් දැනුම් දී තිබුණ ද තව ම කිසිවක් සිදු ව නැති බව යි.