අම්මඩුව දෙවොලේ රන් හීයේ කතාව

අප රටේ කතරගම දේවාල අතර ඉතා සුන්දර පිටිසර වටපිටාවක පිහිටි වැඩි දෙනෙක් නොදන්නා පුදබිමක් තමයි අම්මඩුව කුඩා කතරගම දේවාලය. අපේ බොහෝ දේවාල ගොඩනැඟිලි නවීකරණය නිසා වෙනස් වුණත්, අම්මඩුව දේවාලයේ පැරණි ගොඩනැඟිලි වෙනසකට ලක්ව නැහැ.

බැතිමතුන් අදහන්නේ මෙහි කතරගම දෙවියන්ගේ රන් හීය තැන්පත් කර ඇති බව යි.

 දේවාලය ඈතට පෙනෙන අයුරු – Irosh K. Rathnakumara – facebook.com

පිහිටීම

වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්මඩුව ග්‍රාම නිලධාරී වසමට අයත් මෙම ඓතිහාසික පුදබිම රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගොඩකවෙල නගරයෙන් හැරී අම්මඩුව මාර්ගයේ කිලෝ මීටර 08 ක් පමණ දුර ගමන් කළ විට වෙලගපොළට ආසන්න ව පිහිටා තිබෙනවා. අටකලන් කෝරළයේ කඳු අතර උස්බිමක තමයි දේවාලය ඉදිකර තිබෙන්නේ.

කෝට්ටේ යුගය දක්වා ඈත අතීතයකට දිව යන ඉතිහාසයක් සහිත මෙම දේවාලය පිහිටා තිබෙන්නේ ද ඉතා සුන්දර පරිසරයක යි.  1940 දශකයේ දේවාලයට වාහන ගමන් කළ හැකි මාර්ගයක් නොතිබූ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් සිය ‘සබරගමුවේ පැරණි ලියවිලි’ ග්‍රන්ථයේ සඳහන් කරනවා.

අද නම් දේවාල බිමටම මාර්ග පහසුකම් තිබෙනවා.

 දේවාලයට ඇතුළුවන පියගැට පෙළ සහ සඳකඩ පහණ- කටාරම facebook  page

ඉතිහාසය

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රවලට අනුව ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසට අයත් ලෙස සැලකෙනවා. මේ දේවාලය දේවාලය ක්‍රිස්තු වර්ෂ 1452 දී ආරම්භ කර ඇතැයි සැලකෙනවා. වර්ෂ 1410 සිට 1467 දක්වා කෝට්ටේ රජ කළ හය වැනි  පරාක්‍රමබාහු පාලන සමයේ දී මෙම කතරගම දේවාලය මෙන්ම අලුත්නුවර, බොල්තුඹේ සහ නිවිතිගල යන තැන්වලත් කතරගම දේවාල ඉදිකර තිබෙනවා‍.

මෙම පුජනීය ස්ථානය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර ඇත්තේත් එහි පුරාවිද්‍යා අගය නිස යි.

 දේවාල බිමේ සිංහාසනය ගොඩනැඟිල්ල – Ammaduwa Dewalaya facebook page

දේව කතා

දේවාලයේ උපත ගැන සඳහන් ජනප්‍රවාදයක මෙසේ කියවෙනවා:

ඒ කාලයේ කොලොන්න සහ අටකලන් දෙකෝරළ වැසියෝ භාරහාර ඔප්පු කිරීම හා දේවාශිර්වාද ලබාගැනීම සඳහා උග්ගල් – අලුත්නුවර දේවාලයට යෑමට පුරුදු ව සිටියා.  මෙම දෙකෝරළයේ ගම්වැසියන්ට දේවාල භූමියෙහි වෙන ම වීදියක් වෙන්කර තිබුණා. ඔවුන් එම වීදියෙහි නවාතැන්ගෙන පුද පූජා පවත්වා නැවත ආපසු පැමිණීමයි සිරිත වුණේ. මේ වන්දනා නඩයට නායකත්වය දුන්නේ අටකලන් කෝරළේ ඇමිටියගොඩ පදිංචිව සිටි රාමගිරි බ්‍රාහ්මණ රාළ සහ දේවගිරි බ්‍රාහ්මණ රාළ යන දෙදෙනා යි.  

 දිගන් ශාලාව නම් ගොඩනැඟිල්ල – weligepolaps.gov.lk

 

වර්ෂ 1452 අවුරුද්දේ අලුත්නුවර පෙරහර තිබෙන කාලයේ කොලොන්න, අටකලන් දෙකෝරළයේ වැසියෝ බ්‍රහ්මණයන් දෙදෙනා සමඟ පුද පඬුරුත් ගෙන අලුත්නුවර දේවාලය කරා පෙරහරින් ගියා. ඔවුන් එම ස්ථානයට ළඟා වන විට වෙනදා ඔවුන් වෙනුවෙන් වෙන් කරන වීදියෙහි වෙනත් කණ්ඩායමක් පදිංචි වෙලා. මේ අය වෙනුවෙන් වෙනත් වීදියක් වෙන් කර නොතිබුණෙන් එකල පැවති චාරිත්‍ර අනුව පුද පඬුරු ගෙන ආපසු ඒමට සිදුවුණා.  

ඔවුන් කණ්ඩායම කහටපිටි තොටින් එගොඩට ආපසු එන අතර එක්තරා සමතලා භූමි භාගයක් සහ ඒ අසල පිරිසුදු වතුර පිරි ඇළක් දැක එතැන මෙම පිරිස රාත්‍රී නවාතැන් ගත්තා. ගෙනගිය ආහාර මෙහි දී පිස අනුභව කර රාත්‍රිය ගත කළා. නායක බ්‍රාහ්මණයන් දෙදෙනා එම සමතලා භූමිය මැද කපක් සිටුවා පිරිස ගෙන ගිය පුද පඬුරු සියල්ල එහි ගැට ගසා තමන්ට සිදු වූ අභාග්‍ය සම්පන්න සිද්ධිය කතරගම දෙවියන්ට සැළ කළා.  තමන්ට නිදහසේ දෙවියන් යැදීම සඳහා දෙවියන් සතු කිසියම් වස්තුවක් (පූජා භාණ්ඩයක්) ලබාදෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියා.  

 දේවාලයට අයත් ගොඩනැගිල්ලක්- කටාරම – Ammaduwa Dewalaya facebook page

 

පසුදා උදෑසන පුදපඬුරු එලෙස ම තිබිය දී එම ස්ථානයෙන් සියලු දෙනා පිටත් ව ගම්වලට ආපසු  ගියා. බ්‍රාහ්මණයන් දෙදෙනා ඇමිටියගොඩ පදිංචි නිවෙස්වලට ආවා. තම නිවෙස්වලට පැමිණි බ්‍රාහ්මණයන් අතරින් රාමගිරි රාත්‍රීයේ නින්දේ සිටි අවස්ථාවේ  ඔහු වෙත සිහිනෙන් පැමිණි කිසියම් අයකු ඔබ ගමන් කළ මාර්ගය අසල දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත් එය රැගෙන තමන්ට රිසි පරිදි පුද පූජා පවත්වන ලෙසත් කියා නොපෙනී ගියා.  

පසුදා උදෑසන නින්දෙන් අවදිවූ රාමගිරි මෙම සිද්ධිය දේවගිරි බ්‍රාහ්මණ රාළට පවසා ස්ථානය සෙවීම සඳහා ආ මඟ දෙපස පරික්ෂා කරමින් ගමන් කරමින් සිටියා. එවිට එක්තැනක දෙල්ගසක අත්තක් මුදුනේ රන් ඊතලයක් දැවටී තිබෙනු දුටුවා. විගස එම ගස මුලට ගොස් ගසමුල සිට දෙවියන්ට යාච්ඤා කළවිට රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණරාලගේ ජටාව මතට වැටී තිබෙනවා.

ඒ ස්ථානය වර්තමාන දේවාල බිම යි. දේවාභරණය වත්මන් දේවාල බිමේ තැන්පත් කර තාවකාලික ව දේවාලයක් තනා තිබෙනවා. ඉන් පසුව මේ සිද්ධිය අහලගමුවේ මුදියන්සේ රාළහාමිට දැන්වූ විට ඔහු පැමිණ කුඩා දේවාලයක් තනා රන් හීය එහි තැන්පත් කළා.

ප්‍රධාන දේවාලයට පිවිසුම – කටාරම – Ammaduwa Dewalaya facebook page

 රාජකීය දීමනා

ජනප්‍රවාද අනුව අහලගමුවේ මුදියන්සේ මේ සිද්ධිය කෝට්ටේ රජකම් කළ හය වැනි පැරකුම් රජුට දැන්වූ විට ඔහුගේ නියමයෙන් මෙගම සන්නසකින් දේවාලයට පවරා දී සළු හතරක් හා හස්තියෙක් තෑගි කර තිබෙනවා. විවිධ රජවරුන් දේවාලයට නින්දගම් පිරිනමා තිබෙනවා. රාජාධිරාජසිංහ රජ කාලේ දොඩන්වල නිලමේ  1780 දී ලබාදුන් නින්දගම් ප්‍රදානයක් ගැන සඳහන් තුඩපතක් කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පළ කර තිබෙනවා.  

දේවාලයට නිල පංගු 22ක් ද ලබා දී තිබෙනවා. මේ පංගු අතරින් පංගු 21ක් අද දක්වා ම ක්‍රියාත්මක යි. දේවාලයේ ඉඩම් භුක්ති විඳින්නන් ඒ වෙනුවෙන් දේවාල රාජකාරි කළ යුතු වෙනවා. දේවාලයේ උත්සව අවස්ථාවලදී රාජකාරි ගම්වල අය මෙන් ම අවට බැතිමතුන් ද විශාල වශයෙන් සහභාගි වෙනවා.

 දේවාල ගොඩනැගිල්ලේ පිටත අලංකරණ – weligepolaps.gov.lk

පෞරාණික ගොඩනැඟිලි

දේවාල බිම පිහිටා ඇත්තේ මහා මාර්ගයේ සිට තරමක් උස්  . ඒ වෙත පඩිපෙළක් තරණය කර පිවිසිය යුතු යි. ඒ බිමේ ඉහළ ම තැන පිහිටා ඇත්තේ ප්‍රධාන කතරගම දේවාලය හෙවත් දේව මාලිගාව යි. එහි පුරාණ රන් ඊතලය තිබෙන බව බැතිමතුන් විශ්වාස කරනවා. සිංහාසනය, බුදුගෙය, පත්තිනි දේවාලය, මුළුතැන්ගෙය සහ කුණ්ඩසාලය යන ගොඩනැඟිලි අවට පිහිටා තිබෙනවා.

ප්‍රධාන දේවාලය අඩි 88 ක් දිගින් ද අඩි 24ක් පළලින් ද යුක්ත යි. බිත්ති මැටි වරිච්චියෙන් බැඳ හුණු ආලේප කර තිබෙනවා. දේවාලය පිටත බිත්තිය ද විවිධ අලංකරණ සහිත යි. වහලට සෙවිලි කර ඇත්තේ පෙති උළු යි. එම ප්‍රධාන ගොඩනැඟිල්ල කොටස් හතරකින් සමන්විත වෙනවා. සතරැස් වහල හා මුදුනෙහි ඇති කොත් කැරැල්ල නිසා දේවාලයට ලැබී ඇත්තේ අපූරු අලංකාරයක්.

දේවාලයේ ගබඩාව යට වට්ටාරම් ශාලාව ද එයට යාබද ව දිග්ගේ ද තිබෙනවා. කහතමඩුව ගොඩනැඟිල්ල ඇත්තේ දිග්ගෙයට වඩා තරමක් පහළින්. මෙහි කපුවන්ට නැටුම් බැලීම සඳහා කුණ්ඩශාලයත්, පෙරහර වීථි සංචාරය කර ගිමන් හැරිම සඳහා සිංහාසනයක් ද ඉදි කර තිබෙනවා. දේවාලයෙහි ආරක්ෂාව සහ අලංකාරය සඳහා ප්‍රධාන ගොඩනැගිල්ල වටා තැනූ අලංකාර පවුරක් ද දැකගත හැකි යි. ප්‍රධාන ගොඩනැඟිල්ලට යාබද ව පිහිටි පත්තිනි දේවාලය කුඩා ගොඩනැගිල්ලක් ව පවතිනවා.

  වර්ෂ 1967-68 කාලය වන විට ජරාවාසව පැවති මෙම ඓතිහාසික ගොඩනැඟිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මනාව සංරක්ෂණය කර තිබෙනවා.

 ප්‍රධාන දේවාල මාලිගාව- weligepolaps.gov.lk

දේවාල පෙරහර  

කුඹල්​ පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්ත පෙරහර මංගල්ලයක් මෙහි පැවැත්වෙනවා. එය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේදි යි.

මහ පෙරහර දින පහ අවසන් වූ පසුව දිය කැපීමේ චාරිත්‍රය සිදුකරන අතර අවසන් නැටුම වන කොටිකොළඹ නිම කොට මහ පෙරහරින් දිය කැපීමේ ස්ථානයට පැමිණෙනවා. සුදු රෙදිවලින් ආවරණය කළ ජලාශයේ දේවාභරණයෙන් මායිම් කළ ස්ථානයෙන් කෙණ්ඩියට පැන් ගෙන දේවාලය කරා රැගෙන එනවා. මීට අමතරව අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය, ඉල්මහ කච්චිය යන උත්සවත් වාර්ෂිකවත් එහි පැවැත්වෙනවා.

කවරයේ ඡායාරූපය -උස්බිමක පිහිටි දේවාලය- facebook

මූලාශ්‍ර:

වලව මිටියාවතේ ජනකතා- ගුණසේකර ගුණසෝම

සපරගමුවේ පැරණි ලියවිලි- කිරිඇල්ලේ ඤාණවිමල හිමි

පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68

Lankadeepa.lk

Related Articles

Exit mobile version