අහිංසක කතුන්ට මරු කැඳ වූ සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය

13 වැනි සියවසේ දී යුරෝපයෙන් ඇරඹුණු ‘මායාකාරියන් දඩයම් කිරීම’ කෙටි කාල සීමාවක් තුළ දී ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සහ ස්විට්සර්ලන්තය වැනි යුරෝපීය රාජ්‍යයන්ගේ පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව එංගලන්ත ප්‍රාන්තයන් හි පවා ජනප්‍රිය වුණා. මධ්‍යකාලීන යුගයේ වාසය කළ ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විශ්වාසය වුණේ යක්ෂ වන්දනාවේ යෙදුණු පුද්ගලයින් හෙවත් මායාකාරියන් සඳහා ඔවුන්ගේ පක්ෂපාතී බව වෙනුවෙන් අන් අයට හානි කළ හැකි බලයක් යක්ෂයා විසින් ඔවුන්ට ප්‍රදානය කරන බව යි. 18 වැනි සියවසේ අගභාගය දක්වා (අවසන් වරට මායාකාරියක් ලෙස සලකන ලද කාන්තාවක් මරණයට පත් කිරීම පිළිබඳ පුවතක් වාර්තා වන්නේ 1782 දී ස්විට්සර්ලන්තයෙන්) පැවති මායාකාරියන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය තුළ දී චෝදනා ලද 110,000ක් පමණ වන අහිංසක කාන්තාවන් අතරින් 40,000 – 60,000 අතර ප්‍රමාණයක් මරණයට පත් කර ඇති බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.

(© Wikimedia Commons) විලියම් පවෙල් ෆ්‍රිත්ගේ ‘The Witch Trial’ සිතුවම

1692 වසන්ත සමයේ දී ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’ ඇරඹෙන්නේ යක්ෂයාගේ බැල්මට නතු වූ මැසචූසෙට්ස් ප්‍රාන්තයේ සේලම් ගම්මානයේ දැරියන් පිරිසක්, මායාකර්මයේ යෙදෙන බවට ගැමි කතුන් කිහිප දෙනෙකුට චෝදනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි. එයින් මහත් සේ කැලඹුණු බලධාරීන් විසින් මායාකාරියන් ලෙස චෝදනා ලද කාන්තාවන් පිළිබඳ ව නඩු විභාගයක් පැවැත්වීම සඳහා අධිකරණයක් කැඳවන ලද අතර, කෙටි කලක් තුළ දී චෝදනා ලද 200කට අධික ගැමියන්, ගැමි කතුන්, සහ දරුවන් අතරින් 20 දෙනෙකු එල්ලීම මඟින් මරණයට පත් කර තිබෙනවා. නමුත් 1962 දී සැප්තැම්බර් මාසය වන විට සේලම් ගම් වැසියන් අතර පැතිරී ගිය කැලඹීම ක්‍රමයෙන් අඩු වී ඇත්තේ නඩු විභාගයට එදිරි ව මහජන මතයක් ගොඩ නගමින්. පසු ව මැසචූසෙට්ස් අධිකරණය විසින් චෝදනා ලද පුද්ගලයින් නිදොස් කර ඔවුන්ගේ පවුල් සඳහා වන්දි ප්‍රදානය කළ ද ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’ හේතුවෙන් ඇති වූ වේදනාකාරී මතකයන්, සියවස් ගණනාවක් යන තුරු ම ජන සමාජය තුළ නොනැසී පැවතුණු බව පැවසීමේ වරදක් නැහැ.

(© Peabody Essex Museum) ටී. එච්. මැටසන් විසින් සිතුවම් කරන ලද ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’

භයංකර කාල පරිච්ඡේදයක ඇරඹුම

යක්ෂ වන්දනාවේ යෙදුණු පුද්ගලයින් හෙවත් මායාකාරියන් සඳහා ඔවුන්ගේ පක්ෂපාතී බව වෙනුවෙන් අන් අයට හානි කළ හැකි බලයක් යක්ෂයා විසින් ඔවුන්ට ප්‍රදානය කරන බවට වූ ක්‍රිස්තියානු විශ්වාසය, 17 වැනි සියවස වන විට ඉංග්‍රීසි යටත් විජිතයන්ගෙන් සමන්විත වූ නව එංගලන්තයේ පවා ව්‍යාප්ත වී තිබුණා. එයට අමතර ව පියුරිටන් සමාජයක් වූ සේලම් ගම්මානයේ වැසියන්ට වසංගතයක් සේ පැතිරුණු වසූරිය රෝගය, අසල්වැසි ස්වදේශීය ඇමෙරිකානු ගෝත්‍රිකයන්ගෙන් නුදුරේ දී ම එල්ල විය හැකි ප්‍රහාර, සහ දිගු කාලයක් තිස්සේ ධනවත් සේලම් නගර වැසියන් සමග පැවති බල අරගලය වැනි 1689 දී නව එංගලන්ත ජනපදයන් හි ප්‍රංශය සමග ඇති වූ බ්‍රිතාන්‍ය සංග්‍රාමයේ කටුක පසුවිපාකයන්ට මුහුණ දීමට සිදු වුණා. ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’ සඳහා පසුබිම සැකසුණේ සේලම් ගම් වැසියන්ට තමන්ගේ අසල්වැසියා ව පවා විශ්වාසය කිරීමට අපහසු වූ වාතාවරණයක් තුළ යි.

 (© Wikimedia Commons) ඇල්ෆ්‍රෙඩ් ෆ්‍රෙඩරික්ස් විසින් සිතුවම් කරන ලද ‘ටිටුබා සහ දරුවන්’

1692 ජනවාරි මාසයේ දී සේලම් ගම්මානයේ දේවගැතිවරයා ලෙස කටයුතු කළ සැමුවෙල් පැරිස්ගේ දියණිය වූ 9 හැවිරිදි එළිසබෙත් ‘බෙටී’ පැරිස් සහ ඔහුගේ ඥාති දියණිය වූ 11 හැවිදිරි ඇබිගේල් විලියම්ස් යන දැරියන් දෙදෙනා, වලිප්පුවේ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් පාලනය කළ නොහැකි ලෙස කෑ ගැසීම ආරම්භ කර තිබෙනවා. ප්‍රාදේශීය වෛද්‍යවරයා වූ විලියම් ග්‍රිග්ස්ගේ මතය අනුව ඔවුන් යම් ආකාරයක මායාකරණයකට ලක් වී සිටි අතර කෙටි කලෙකින් ගම්මානයේ තවත් දැරියන් කිහිප දෙනෙකු ද සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සමස්ත සේලම් ගම්මානය ම බියෙන් මුසපත් කරමින්. පෙබරවාරි මාසය අවසන් වන විට දේවගැති පැරිස්ගේ කැරිබියානු වහලා වූ ටිටුබා, සාරා ගුඩ් නම් වූ යාචක ගැහැනියක් සහ සාරා ඔස්බෝන් නම් වූ වයස්ගත, දිළිඳු කතක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලද්දේ රෝගාතුර වූ දැරියන් විසින් මායාකරණය සඳහා ඔවුන් තිදෙනාට චෝදනා නැගීමෙන් අනතුරු ව යි.

(© Wikimedia Commons) ඇබිගේල් විලියම්ස්ගේ කටඋත්තරය

දිනෙන් දින ම ගැමියන් කැලඹුමට පත් කළ මායාකර්ම

චෝදනා ලද මායාකාරියන් තිදෙනා ව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ජොනතන් කෝවින් සහ ජෝන් හැතෝන් නම් මහේස්ත්‍රාත්වරුන් ඉදිරියට පමුණුවා තිබෙනවා. එහි දී සාරා ගුඩ් සහ සාරා ඔස්බෝන් විසින් ඔවුන්ගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කළ ද, ටිටුබා විසින් වරද පිළිගෙන ඇත්තේ සේලම් ගම්මානයේ වාසය කරන අනෙක් මායාකාරියන් ගැන තොරතුරු ලබා දීම මඟින් ඇයට හිමි වන දඬුවම අවම කර ගැනීමේ කොන්දේසිය මත යි. ගම්මානය තුළ තවත් මායාකාරියන් වාසය කරන බව ඇසීමෙන් සේලම් ගැමියන් තුළ ඇති වූ කැලඹුම වඩාත් වර්ධනය වූ අතර, කෙටි කලකින් ම යහපත් කිතුනු බැතිමතුන් ලෙස සමාජයේ ගෞරවයට පාත්‍ර වී සිටි මාතා කෝරී සහ රෙබෙකා නර්ස් යන අය, සහ සාරා ගුඩ්ගේ 4 හැවිරිදි දියණිය මායාකාරියන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

(© William A. Crafts) ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’ අතරතුර දී

චෝදනා ලද කාන්තාවන් කිහිප දෙනෙකු ටිටුබා මෙන් වරද පිළිගෙන ඇති අතර අනෙක් මායාකාරියන් සඳහා අප්‍රමාදී ව නඩු විභාගය ආරම්භ වුණා. 1692 මැයි මාසයේ දී මැසචූසෙට්ස් හි නව ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගත් විලියම් ෆිප්ස්, මායාකර්මයට අදාළ නඩු විභාග කිරීම සඳහා විශේෂ අසා නිශ්චය කිරීමේ උසාවියක් (Special Court of Oyer and Terminer) පවා ස්ථාපිත කර තිබෙනවා.

නව අධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ජෝන් හැතෝන්, සැමුවෙල් සීවිල්, සහ විලියම් ස්ටෝටන්, මායාකර්මයේ යෙදීමේ වරද සඳහා බ්‍රිජෙට් බිෂොප්ට මරණ දඬුවම නියම කරන්නේ ජූනි 2 වැනි දින යි. නව එංගලන්තයේ බලගතු දේවගැතිවරයෙකු වූ කොටන් මැතර්, හුදෙක් ම සිහිනයන්, සහ දර්ශනය වීම් මත පදනම් ව ලබා දෙන සාක්ෂ්‍ය (spectral evidence) නඩු විභාගයේ දී නොසලකා හරින ලෙස අයැදිමින් එයින් දින 5කට පසු ව අධිරණය වෙත ලිපියක් යොමු කරන නමුත්, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දින 8කට පසු ව සේලම් නගරයේ ගැලොවුස් කන්දේ දී බ්‍රිජෙට් බිෂොප් ව එල්ලා මරණයට පත් කරනවා. ඉන්පසු ව ජූලි මාසයේ දී පුද්ගලයින් 5 දෙනෙක්, අගෝස්තු මාසයේ දී පුද්ගලයින් 5 දෙනෙක්, සහ සැප්තැම්බර් මාසයේ දී පුද්ගලයින් 8 දෙනෙක් මරණයට පත් කර තිබෙනවා. එයට අමතර ව බන්ධනාගාර ගත කර සිටි මායාකාරියන් 7 දෙනෙකු එහි දී මිය යන අතර, මාතා කෝරීගේ සැමියා වූ ජයිල්ස් කෝරී ව ගල් යොදා තෙරපීම මඟින් මරණයට පත් කරන්නේ ඔහු විසින් මායාකර්මයේ යෙදීම සඳහා වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

(© Marilynne Roach / American Ancestors) ජයිල්ස් කෝරී ව ගල් යොදා තෙරපීම මඟින් මරණයට පත් කිරීම.

රුදුරු නඩු විභාගයක අවසානය

දේවගැති කොටන් මැතර්ගේ ලිපියේ සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා ආණ්ඩුකාර ෆිප්ස් විසින් මායාකාරියන් අත්අඩංගුවට ගැනීම තහනම් කරන අතර, විශේෂ අසා නිශ්චය කිරීමේ උසාවිය විසිරුවා හැර ඒ වෙනුවට සිහිනයන් සහ දර්ශනය වීම් මත පදනම් ව ලබා දෙන සාක්ෂ්‍ය ප්‍රතික්ෂේප කළ අධිකරණ සංවිධානය සඳහා වූ උත්තරීතර උසාවිය (Superior Court of Judicature) පිහිටුවනවා. 1693 මැයි මාසයේ දී මායාකර්මයේ යෙදීම සඳහා චෝදනා ලද පුද්ගලයින් සඳහා සමාව ලබා දීමට ආණ්ඩුකාර ෆිප්ස් කටයුතු කරන්නේ ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’ විසින් අහිංසක මිනිස් ජීවිත 20ක් බිලි ගැනීමෙන් අනතුරු ව යි.

(© Peter Pelham) දේවගැති කොටන් මැතර්

පසු ව විශේෂ අසා නිශ්චය කිරීමේ උසාවියේ කටයුතු කළ විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, 1697 ජනවාරි 14 වැනි දින අධිකරණය විසින් සේලම් හි ඇති වූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් උපවාස දිනයක් නම් කර තිබෙනවා. 1702 දී ඇමෙරිකානු අධිකරණය විසින් ‘සේලම් හි මායාකාරියන්ගේ නඩු විභාගය’ අනීතික බව ප්‍රකාශයට පත් කළා. එයට අමතර ව 1711 දී ඇමෙරිකානු රජය විසින් මායාකාරියන් ලෙස චෝදනා ලද පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ කීර්තිනාමය නැවත ස්ථාපිත කරමින් පනතක් සම්මත කරන ලද අතර, ඔවුන්ගේ උරුමකරුවන් සඳහා පවුම් 600ක වන්දි මුදලක් ගෙවීමට කටයුතු කර තිබෙනවා.

 

කවරයේ පින්තූරය: © Joseph E. Baker

Related Articles

Exit mobile version