“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ” යන වැකිය ඔබ අසා ඇති. කැළණි පූජා භූමිය සම්බන්ධව එවැනි වැකියක් නිර්මාණය වී තිබෙන්නේ අතීතයේ සිටම එය පුණ්‍ය භූමියක් ලෙසින් සැලකූ නිසා යි. එසේම ගෞතම බුදුන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබුණු පින් බිමක් වන කැළණියට වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. අතීතයේ සිටම බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වුණු කැළණි පුදබිම අදටත් ලක් වාසී බොදු ජනතාව නිතරම යන එන තැනක්.
බුදුන්වහන්සේගේ තෙවන ලංකාගමනය
කැළණි විහාරය සම්බන්ධ ඉතිහාසය ගැන කතා කරන විට අසන්නට ලැබෙන පැරණිතම සිදුවීම වන්නේ ගෞතම බුදුන්වහන්සේ කැළණියට වැඩම කිරීම පිළිබඳව පුවත යි. බුද්ධත්වයට පත්වීමෙන් වසර 8ක් ගෙවුණු පසුව බුදුන්වහන්සේ කැළණියට වැඩම කළේ මණිඅක්ඛිත නා රජතුමා කළ ඉල්ලීම නිසා යි. එදා බුදුන්වහන්සේට ධර්මය දේශනා කිරිම සඳහා මණිඅක්ඛිත රජතුමා විසින් මැණික් පුටුවක් සාදා තිබුණා. බුදුන්වහන්සේ විසින් ධර්මය දේශනා කර අවසන් වීමෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කර කැළණි ස්ථූපය තැනූ බව මෙරට ශාසන ඉතිහාසය තුළ සඳහන් වනවා.
කැළණි ස්ථූපය
ධාන්‍යාකාර හැඩයට නිර්මාණය කොට ඇති කැළණි ස්ථූපය මණිඅක්ඛිත නා රජතුමාගේ නිර්මාණයක් වුණත් එය විශාල කර සාදනු ලැබුවේ යඨාලතිස්ස රජතුමා යි. ඒ අනුව වර්තමානය වන විට අඩි 90ක් පමණ උසකින් පිහිටි ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 180ක් පමණ වනවා. ලංකාවේ මුල් යුගයේ දී ඉදිවුණු ස්ථූප අතුරින් එකක් වන කැළණි ස්ථූපය, 13 වන සියවසේ දී කාලිංග මාඝ විසින් සිදුකළ ආක්‍රමණය නිසා විනාශයට පත් වුණා. විනාශ වුණු මෙම ඓතිහාසික ස්ථූපය යළි ප්‍රතිසංස්කරණ කරනු ලැබුවේ තෙවන විජයබාහු රජතුමා යි.
විහාර මහා දේවියගේ කතා පුවත
කැළණිතිස්ස නම් රජතුමා කැළණි රාජධානියේ පාලකයා වශයෙන් කටයුතු කළ අවධියේ දී සිදුවුණු මුහුද ගොඩගැලීමක් පිළිබඳව ඉතිහාස පොත්වල සඳහන් වනවා. එම සිදුවීමට හේතු වූ බව කියැවෙන්නේ රජතුමා රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ගිල්වා අපවත් කරවීම යි.
රජතුමාගේ බිසව සහ රජුගේ සොයුරු උත්තිය කුමරු ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. එම සම්බන්ධය පිළිබඳව කැළණිතිස්ස රජතුමාට ආරංචි වීමෙන් උත්තිය කැළණියෙන් පළා ගියා. ඉන්පසුව උත්තිය රජ බිසවට රහසේම ලියුමක් යැවීමට කල්පනා කළා. ඒ සඳහා ඔහු මහණ වෙස්ගත් පුද්ගලයෙකු යොදවනු ලැබුවා. මහණ වෙස්ගත් පුද්ගලයා මාලිගාවට ඇතුළුවන ක්‍රමයක් ගැන කල්පනා කරමින් සිටිය දී හැමදාමත් රහතන් වහන්සේ නමක් මාලිගාවට වඩින බව නිරීක්ෂණය කළා. පසු දිනයේ දී රහතන් වහන්සේ සමග මාලිගාවට ඇතුළු වුණු ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයා හොර රහසේම ලියුම බිම දැමුවේ බිසවට එය ගැනීමට හැකිවන ආකාරයට යි. නමුත් අවාසනාවන්ත අයුරින් ලිපිය රජතුමාගේ නෙත ගැටීමත් සමගම ඔහු එය අතට ගෙන කියවා බැලුවා. රහතන් වහන්සේ විසින් එම ලියුම ලියූ බවට රජතුමා සැක කළ නිසා උන්වහන්සේව තෙල් කටාරමක ගිල්වා මරණයට පත් කිරීමට අණ ලැබුණා. එම සිදුවීම හේතුවෙන් කම්පා වූ මුහුද ගොඩගැලූ බව කියවෙනවා. මුහුද ගොඩගැලීම නිසා සිදුවෙමින් පැවති විනාශය නැවැත්වීම සඳහා රජුගේ දියණිය වුණු දේවි කුමරිය මුහුදට බිලි දුන්නා. කුමරිය රැගත් ඔරුව මාගම රාජධානියට අයත් වෙරළ සීමාවට ගොඩබැස්සා. කුමරිය මුහුදු මහා විහාරය අසල ගොඩබට නිසා විහාර මහා දේවිය ලෙසින් ප්‍රකට වුණා. පසුව මාගම රාජධානියේ පාලකයා වුණු කාවන්තිස්ස රජතුමාගේ අග බිසව වුණු විහාර මහා දේවිය දුටුගැමුණු රජතුමාගේ මෑණියන් ද වනවා. එකල කැළණිය ආසන්නයේ සිදුවුණු මුහුද ගොඩගැලීම සුනාමියක ප්‍රතිඵලයක් බව වර්තමාන ඉතිහාසඥයන් විශ්වාස කරනවා.
කැළණි විහාරයට පුද සත්කාර කළ රජවරුන්
කැළණියේ රජකම් කළ යඨාලතිස්ස රජතුමා කැළණි ස්ථූපය වඩාත් විශාල කර තනවා එහි මහල් පහකින් යුත් ප්‍රාසාදයක් ද ඉදිකරනු ලැබුවා. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැළණි විහාරය තුළ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩවිසූ බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වනවා. එකල විහාරයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණා.
ක්‍රි.ව 227 දී පමණ අනුරාධපුරයේ රජකම් කළ කණිෂ්ඨ තිස්ස නම් රජතුමා මෙහි උපෝසථාගාරයක් ඉදිකරනු ලැබුවා. අනුරාධපුර යුගය අවසන් වීමත් සමග ආරම්භ වුණු පුලතිසි රාජධානියේ රජකම් කළ විශිෂ්ටතම රජවරුන් දෙදෙනෙකු වුණු මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල කැළණි විහාරයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් කළා. නමුත් පොළොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාඝ එල්ල කළ ආක්‍රමණයත් සමගම කැළණි විහාරය පරිහානියට පත් වුණා.
විනාශ වී ගිය කැළණි විහාරය යළි ගොඩනගනු ලැබුණේ තෙවන විජයබාහු රාජ්‍ය සමයේ දී යි. ඉන් අනතුරුව දෙවන පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් කැළණි විහාරය දියුණු කිරීම සඳහා ඇප කැප වී වැඩ කළා.
පෘතුගීසීන් කැළණියට කළ විනාශය
1505 වසරේ දී ලංකාවට පැමිණි පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තුළ වාසය කළා. 1551 වසරේ දී හත්වන බුවනෙකබාහු රජතුමා පෘතුගීසි සොල්දාදුවෙකුගේ වෙඩි පහරකින් මිය යාමත් සමගම ඔහුගේ මුණුබුරා වුණු ධර්මපාල කුමරු කෝට්ටේ රජු වශයෙන් අභිෂේක ලැබුවා. පෘතුගීසීන්ගේ අල්ලේ නැටවුණු රූකඩයක් බවට පත්වුණු ධර්මපාල කුමරු බෞතිස්ම කිරීමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල යන නමින් හඳුන්වනු ලැබුවා. දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ දුර්වල පාලනය නිසා පෘතුගීසින් කෝට්ටේ රාජධානිය තුළ තිබුණු පුරා වස්තු රැසක් විනාශ කළා. 1575 වසරේ දී කපිතාන් දියෝගෝ ද මේලෝ ඇතුළු පිරිසක් කැළණි විහාරය කොල්ලකෑවා. ඉන් පසුව ඔවුන් කැළණි විහාරය තුළ ආගමික වතාවත් කිරීම පවා තහනම් කළා. පෘතුගීසීන් ලබාදුන් අණ නිසා කිසිදු පුද්ගලයෙකු කැළණි විහාරය වන්දනාමාන කිරීමට ගියේ නැහැ. එම නිසා ටික කලකින් විහාරය වල් බිහි වී අභාවයට ගියා.
කැළණිය යළි ගොඩනැගීම
මහනුවර රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගයේ දී මෙරට ශාසනික ප්‍රබෝධයක් ඇති වුණා. එම යුගයේ දී ලාංකීය බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් කැළණි විහාරය යළි ගොඩනැගීමේ සටන ආරම්භ කළා. සරණංකර හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණු නිසා වල් බිහි වී නටබුන්ව පැවති විහාරය යළි ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වුණා.
යළි ගොඩනැගුණු කැළණි විහාරය පසුගිය ශත වර්ෂ 2ක තුළ වඩාත් දියුණුවට පත්ව තිබෙනවා. පසුගිය කාල සමයේ දී ලංකාවේ සිටි ප්‍රසිද්ධම පුද්ගලයින් රැසක් මෙහි ප්‍රධාන දායක දායිකාවන් ලෙසින් කටයුතු කළා. විහාරය දියුණු කිරීම සඳහා ඔවුන්ගෙන් ද බොහෝ උදව් උපකාර ලැබුණා. පසුගිය සියවස තුළ කැළණිය රජ මහා විහාරය අපකීර්තියට පත්වුණේ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි නිසා යි. 1956 බණ්ඩාරනායක රජයේ සිටි විමලා විජේවර්ධන ඇමතිවරිය සහ බුද්ධරක්ඛිත හිමියන් අතර සමීප සබඳතාවයක් ගොඩ නැගී තිබුණා. එය පිළිබඳව ආරංචි වීමෙන් පසුව අගමැතිවරයා ඔවුන්ට කළ උසුළු විසුළු නිසා උරණ වුණු බුද්ධරක්ඛිත හිමියන් තල්දූවේ සෝමාරම නම් චීවරධාරියෙකු ලවා අගමැතිවරයා ඝාතනය කරවනු ලැබුවා. බුද්ධරක්ඛිත හිමියන් මරණ දඬුවමට නියම වුණා.
කැළණි විහාරයේ සිතුවම්
කැළණි විහාරය ගැන කතා කරන විට එහි තිබෙන සිතුවම් අමතක කරන්නට බැහැ. මෙම විහාරය තුළ ඇඳි සිතුවම් යුග දෙකකට අයත්යැ යි විශ්වාස කරනවා. ඒ අනුව මහනුවර යුගයේ දී නිර්මාණය කළ සිතුවම් අතර වෙස්සන්තර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කතා රැසක් දැක්වෙනවා. එසේම 20 වැනි සියවසේ දී සෝලියස් මැන්දිස් විසින් ඇඳි සිතුවම් ද කැළණි විහාරය තුළ දක්නට ලැබෙනවා. එදා කැළණි විහාරයේ ප්‍රධාන විහාරගෙය විනාශ වී තිබුණු නිසා එය යළි ගොඩනැගීම සිදුකළේ හෙලේනා විජේවර්ධන නම් මහා දානපතිනිය යි. එහිදී විහාර ගෙය තුළ චිත්‍ර ඇඳීම සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියාට භාර කළා. එම වගකීම භාරගත් චිත්‍ර ශිල්පියා බුදුන්වහන්සේ ලංකාවට වැඩම කිරීම, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදාව වැඩම කරවීම, සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීම වැනි සිතුවම් රැසක් නිර්මාණය කළා. එම චිත්‍ර අදටත් හොඳින් ආරක්ෂා වී පවතිනවා.
මෙවන් පැරණි සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු ඔබත් දන්නේ ද? ඒ තොරතුරු Roar වෙත ලියන්න: roar.media/contribute