Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ නිදහස් සටන් සහ කළු සුද්දන්ට මාරුවූ ලංකා නිදහස

නිදහස

අඳුරේ

ලැබුවෙමු.

තවමත් එළිවී නැත්තේ! 

(පරාක්‍රම කොඩිතුවක්කුගේ ඉන්දු සහ ලංකා කෘතියෙනි)

ඒ. අරන්ගනාදන් නම්, ද්‍රවිඩ බසින් කවි ලියන ඉන්දියානු කවියා එසේ ලියා තිබෙනවා. භාරතයට නිදහස ලැබුණේ රෑ 12.00ට බව පැවසෙනවා. මේ කවිය පිටුපස ඇති අරුත ඉන්දියාවට වඩා වැදගත් වන්නේ ලංකාවට බව අපගේ හැඟීම යි. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදීමේ අරගලය පෙරදිග ලෝකයේ පමණක් නොව ලොව වෙනත් කලාපයන්හි ද නිදහස් සටන් උණුසුම් කිරීමට හේතු වුණා. 1947 දී ඉන්දියාවට නිදහස දුන් පසුව ලංකාවටත් නිදහස ප්‍රදානය කිරීමට ඔවුන්ට සිදුවුණා. ඒ වනවිටත් සුද්දන් ලංකාවේ සාරය බොහෝදුරට එංගලන්තයට පටවා අවසන්. ඔවුන්ට ලංකාව යටත්විජිතයක් වශයෙන් පවත්වාගැනීම පාඩු ලබන වැඩක් වුණා. ඒ අතර ටයිකෝට් හඳින, ඉංග්‍රීසි පන්නයට වැඩ කරන කළු සුද්දන් පිරිසක් ද ලංකාවේ බිහිවී සිටියා.

1948 ලංකාවට නිදහස ලැබෙන විටත් යටත්විජිත පාලනයෙන් ශේෂ වූ ‘කළු-සුදු’ ‘මුදලි-මුහන්දිරම්’ පවුල්වලින් පැවතෙන නායක කාරකාදීන් විසින්ම එම පාලනය තමන් අතට හුවමාරු කරගත් බව යි පේන්නේ.

ඉන්දියාව බටහිරට යටත් වෙයි

පළමු අගමැති නේරු ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින්- Wikipedia.org

වර්ෂ 1498 වනවිට මුළු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් වුණා. ස්වභාවික සම්පතින් පිරුණු මේ රට ඔවුන්ට ධන ආකරයක් වුණා. ඉන්දීය උප මහාද්වීපයේ විශාල රාජ්‍යයන් තුන වන ඉන්දියාව, පාකිස්ථානය, සහ බංග්ලාදේශය ද ඇතුළත් මහා දේශය 1947 තෙක් බ්‍රිතාන්‍යය සතු තනි පාලනයකට යටත්ව තිබූ විශාලතම යටත් විජිතය යි. නමුත් පසුව මේ විජිතය සුද්දන්ට හිසරදයක් බවට පත්වුණා.

සුද්දන්ට එරෙහි කැරැලි

ගාන්ධි ඇතුළු නිදහස් සටනේ ප්‍රබලයෝ- Wikipedia.org

සුද්දන් මුලින්ම ඉන්දියාව පාලනය කළේ පෙරදිග බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට අයත් රටක් විදිහට. ඒක හරියට ලන්දේසි වී. ඕ. සී. සමාගම ලංකාව පාලනය කළා වගේ. බ්‍රිතාන්‍යයන්ගේ දැඩි පාලනයට එරෙහිව ඉන්දියානු ජනතාව තම විරෝධය දැක්වූයේ ආණ්ඩුවට එරෙහි කැරලිවලින්. ඉන් බිහිසුණුම කැරැල්ල වූයේ, ශිෂ්ටාචාරයේ යුද්ධය හෙවත්, ‘සිපොයි’ කැරැල්ල යි. මෙම කැරැල්ල ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරයේ පදනම විදහටත් සැලකෙනවා. 

ඉන්දියානු නිදහස් අරගලයේ 1857 සිට වසර 10ක කාලයක් තුළ මිලියන ගණනක ජනතාවක් ඝාතනය වූ බව ඉන්දීය ඉතිහාසඥයන් පෙන්නා දී තිබෙනවා. අවසානයේ සුද්දන්ට ඉන්දියාවට නිදහස නොදී බැරිම වුණා. ඉන්දියාව මුළුමනින්ම බ්‍රිතාන්‍යයන්ට අයත් වීමෙන් පසු ඉන්දීය ජනතාව ඔවුනට විරුද්ධව දිගින් දිගටම කැරැලි ගැසූවා.

1857   සිපොයි කැරැල්ල- dailyasianage.com

ක්‍රි.ව. 1857 දී බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැගුණු බිහිසුණුම කැරැල්ල වන සිපොයි කැරැල්ල දක්වා එවැනි කැරලි හයක් ඇති වී තිබෙනවා. මෙම කැරැල්ලේ වැදගත්ම ප්‍රතිඵලය වූයේ, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ පාලනය වෙමින් තිබූ ඉන්දියාව එම පාලනය අවසන් කොට බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත්කිරිම යි. වර්ෂ 1858 අගෝස්තු 02 දින සම්මත කරගත් ‘ඉන්දියානු ආණ්ඩු පනත’ මඟින් එය සිදුවුණා.

ලංකාවේ නිදහස් කැරලි

1818 කැරලි නායක මොණරවිල කැප්පෙට්පොළ ප්‍රතිමාව- Wikipedia.org

1818 දී දියත්කළ උඩරට මහ කැරැල්ල නිදහස උදෙසා අප රටේ හටගත් පළමු අරගලය යි. මහනුවර විනිශ්චයකාර වරයෙකුව සිටි ඒ. සී. ලෝරි ඒ ගැන මෙබඳු සටහනයක් තබනවා:

“1818 කැරැල්ල පැවැති සමයේ උඩරට ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය පාලනය පිළිබද කථා පුවත ලැජ්ජාවක් නොමැතිව කිව නොහැකියි. 1819 වන විට ප්‍රමුඛ පවුල්වල දිවිරැකගෙන සිටි එකදු සාමාජිකයකු පවා සොයා ගැනීමට නොහැකි විය. කඩුවට හෝ තුවක්කුවට ගොදුරු නොවී බේරි සිටි ජනයා කොළරාව, වසූරිය හා අගහිඟකම් හේතුවෙන් සිය ගණනින් මළහ.” 

(ලෝරිගේ ගැසටියර්, 203 පිටුව)

1849 බ්‍රිතාන්‍ය පර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී සිටි, ශ්‍රී ලංකාව ගැන දැනුමක් තිබූ ආචාර්ය ඩේවි සිය සාක්ෂ්‍යයෙන් කියා සිටියේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 1000ක් පමණ 1818 කැරැල්ලෙන් මියගිය අතර (එනම් මුළු බලකායෙන් 20%ක් පමණ) ස්වදේශීන් අතරින් සටනේ දී මියගිය හෝ ඝාතනයට ලක්වූ පිරිස 10 000ක් පමණ වූ බව යි. මෙහිදී මොණරවිල කැප්පෙටිපොළ ඇතුළු කැරලි නායකයන් රැසකට මරණීය දණ්ඩනය හිමිවුණා.

(1818 කැරැල්ල ඇවිලීම සහ පැතිරීම ගැන ලියැවුණු මේ ලිපි ද්විත්වය කියවන්න)

1848 මාතලේ කැරැල්ලේ දී ද විශාල ජීවිත හානියක් සිදුවුණා. ඉන් වැඩිම බලපෑමක් ඇතිවුණේ ඌව පළාතට යි. සරුසාර වගාබිම් අක්කර දහස් ගණනක් ඉංග්‍රීසින් වනසා දැමුණා.

ඉන්දියානු නිදහසේ අරගලය

ඉන්දියානු ජාතික කොංග්‍රසයේ පළමු රැස්වීම- Wikipedia.org

19 වන සියවසේ බිහි වූ ඉන්දියාවේ වැදගත්ම දේශපාලන සංවිධානය ලෙස හැඳින්විය හැක්කේ ක්‍රි.ව. 1885 ඇරඹුණු ඉන්දියානු ජාතික සංගමය යි.  සුරේන්ද්‍රනාත් බැනර්ජි මුල්වී ආරම්භ කළ එය නිදහස පිළිබඳ බලාපොරොත්තු තැබූ ඉන්දියානු ජනතාවට, නැවතත් සංවිධානය වීමට සුදුසු පසුබිමක්‌ නිර්මාණය කළා. පසු කලෙක ඉන්දියානු ජාතික කොංග්‍රසය ලෙස මහා පක්‍ෂයක්‌ බවට පත්වූයේ මෙසේ දේශප්‍රේමීන් කීපදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ඉන්දියානු ජාතික සංගමය යි. පන්ජාබ් ප්‍රාන්තයෙන්, සර්දාර් අජිත් සිං හා සර්දාර් කිෂන් සිං යන දෙසොහොයුරන් ඊට නායකත්වය දුන්නා. ඉන්දියානු ජාතික කොන්ග්‍රසය’ යටතේ මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත්, මහත්මා ගාන්ධි ද නිදහස් අරගලය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළා. 

ජාතික කොංග්‍රසය පිහිටුවනු ලැබීමෙන් අවුරුදු විසි එකකට පසුව 1906 දී සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය බිහි වුණා. මුස්ලිම් ලීගය ආරම්භ කරන ලද්දේ ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීම වෙනුවෙනුයි. නමුත් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් අරගලයේ දී මුස්ලිම් නායකයෝ හින්දු සහ සෙසු ජාතික නායකයන් සමග එකමුතුව අරගලයක නිරත වුණා.

තුනට කැඩුණු නිදහස

අලි ජින්නා සහ ගාන්ධි – indiatvnews.com

නිදහස ලබාදීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තාවකාලික ආණ්ඩුවක් අවශ්‍ය වූ අතර, එහි තනතුරු ලබාගැනීමට මුස්ලිම් සංගමයටත් ආරාධනා කළා. ඔවුන් එය ප්‍රතික්‍ෂේප කළා. ඉන්දියාවෙන් වෙන්වූ ‘මුස්ලිම් රාජ්‍යයක්’ බිහිකර ගැනීම සිය ඉලක්කය බව සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය 1940 දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් කියා සිටියා. මෙම තත්ත්වය යටතේ ඉන්දියාව පුරා හින්දු මුස්ලිම් ජාතිභේදවාදී කැරලි කෝලාහල හටගත්තා. මේ අතර එංගලන්තයෙන් ඉන්දීය ප්‍රතිරාජයා ලෙස මවුන්ට්බැටන් සාමිවරයා පත්කොට එව්වේ මේ පසුබිම සමනය කිරීමට යි. මොහොමඩ් අලිජින්නාගේ මුරණ්ඩු ක්‍රියාකලාපය නිසා ඉන්දියාව දෙකඩ වන බව සාමිවරයා කියා සිටියා. ඔහුගේ අනාවැකිය සැබෑ කරමින් ක්‍රි.ව. 1947 අගෝස්තු 14 දා ඉන්දියාව දෙකඩ වී පකිස්ථානය නම් වෙනම රටක් උපත ලැබුවා. මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් අලි ජින්නා නිදහස් පාකිස්ථානයේ පළමු අගමැතිවරයා හැටියට පත්කරනු ලැබුවා.

(ඉන්දියාව දෙකඩ වීමට මඟ පෑදීම ගැන වැඩිදුර තොරතුරු මේ ලිපියෙන්)

ඒ සමගම 1947 අගෝස්තු 15 දින ඉන්දියාවට නිදහස ප්‍රදානය කෙරුණා. ඉන්දියාව බෙදී රාජ්‍යයන් තුනක් බවට පත්වීමේ කතාව එරට ජාතික නිදහස් අරගලයේ කතන්දරය තුළම හුයක් මෙන් පෙරට යමින් තිබෙනවා. පාකිස්ථානය වෙන්වුණා සේම 1971 දී මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයත් වෙනම රටක් බවට පත්වෙනවා. එය මහත්මා ගාන්ධි වැනි නායකයන් අපේක්ෂා නොකළ දෙයක්.

භගත් සිං

භගත් සිං- Wikipedia.org

භගත් සිංගේ ජීවිතය ද වසර 24ක්‌ වැනි කෙටි කාලයකට සීමා වුණා. ඉන්දියානු නිදහස්‌ සටනේ දැවැන්තයන් වූ මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු, පාටේල් අබ්දුල් කලාම් අසාද්, අලි ජින්නා වැනි චරිත අතර මේ සීක තරුණයාගේ නම ද සටහන්ව තිබෙනවා. ඔහු 1931 මාර්තු මස 23 වැනි දින සවස 5.00ට භාරත මාතාව වෙනුවෙන් දිවිපිදූවා.  

භගත් සිං අවුරුදු 13 දී ක්‍රියාකාරී ලෙස මහත්මා ගාන්ධිගේ ජාතික විමුක්‌ති ව්‍යාපාරයට එක්‌වුණා. පසුව භාරත් මාතා නමින් රහසිගත සංවිධානයක් ඇති කිරීමට මූලික වන භගත් සිං, මුළු මහත් ඉන්දියාව පුරාම නිදහස් අරගලයේ ගිනි පුපුරු නංවන්නට සමත් වෙනවා. විප්ලවයක් තුළින් ඉන්දියාව නිදහස් කර ගැනීම මෙන්ම සමාජවාදී ඉන්දියාවක් ඇති කිරීම භගත් සිංගේ උත්සාහය යි. යාන්තම් වසර 24 සපිරෙද්දී ඔහුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව එල්ලා මරාදමනු ලබන්නේ ඉන්දියාවේ ස්වෛරීත්වයට එරෙහිව සම්මත වීමට නියමිත පනතකට විරෝධය එල්ල කරමින් ඉන්දීය ව්‍යවස්ථාදායක සභා ගැබ තුළ  බෝම්බයක් පිපිරවීමේ වරදට යි.

සර්දාර් වල්ලාභායි පටෙල්

සර්දාර් පටෙල් ප්‍රතිමාව – ebangla.in

මේ වන විට ලෝකයේ උසම ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ. එම ප්‍රතිමාව මඟින් නිරූපණය වන්නේ සර්දාර් පටෙල්. නිදහස් ඉන්දියාව තනි රටක් බවට පත්කර ගැනීමේ ප්‍රධානම ගෞරවය හිමිවන්නේ ඔහුට යි. මහරාජාවරුන්ගේ පාලනය යටතේ පැවති ඇතැම් ඉන්දීය රාජ්‍ය තනි තනිව ස්වාධීන වීමට උත්සාහ කළත්, පටේල්ගේ දුරදක්නා නුවණ නිසා එය වැළකුණා. එසේ නොවන්නට තුනට නොව තවත් රටවල් රැසක් ලෙස ඉන්දියාව කැඩී යන්නට ඉඩ තිබුණා.

සිලෝන් සහ ශ්‍රී ලංකාවේ නිදහස

තවමත් කියවෙන සිලෝන් ටී-  bizenglish.adederana.lk

1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අවධියේ දී ශ්‍රී ලංකාව හැඳින්වූයේ ‘සිලෝන්’ ලෙස යි. භාෂාව, සංස්කෘතිය, ආහාර, ක්‍රීඩා, සහ බ්‍රිතාන්‍ය විලාසිතා මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර ද ශ්‍රී ලාංකිකයන් තවමත් යම් දුරකට අනුගමනය කරන අයුරු දැකගත හැකියි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර කරන විට අදටත් ගුවන් සේවිකාවන් මඟීන්ට තේ පැන් සංග්‍රහ කරන්නේ “ඔබට සිලෝන් ටී අවශ්‍ය දැ”යි සිනහවෙන් අසමින්.

සිලෝන් නම් ‘යටත්විජිත නාමය’ රාජ්‍ය ආයතනවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේ 2011 දී යි. මේ ගැන විවිධ මත පළ වුණු නමුත් එය රජයේ අමාත්‍යවරුන් හැඳින්වූයේ ‘යටතවිජිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමක්’ ලෙස ය. ඒත් රට දෙස බලන විට නම් පෙනෙන්නේ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවී නැති බව යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්;

ඩී. එස්.- කේ. එම්. ද සිල්වා පරි. කේ. එන්. ඕ. ධර්මදාස

https://www.bbc.com/

https://www.silumina.lk/2020/09/12

cover-  ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමී ශ්‍රී නේරු ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සමග -Wikipedia.org

Related Articles